පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41 කගේ බැංකු ගිණුම් 100 ක් අත්හිටුවයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41 කගේ බැංකු ගිණුම් 100 ක් අත්හිටුවයි

• සෝමාවතීය ක්‍රීඩාපිටියේ ඉදිකිරිම් නවත්වන්න අධිකරණ නියෝගයක්

• ගෝටාභය විමල්ගේ වේදිකාවේ.. ජනාධිපති වූ පසු කඩිනම් කටයුතු යෝජනා දෙයි..

• ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

• අනාගත ජනාධිපතිට බලතල නැති කතාව බොරුවක් – උදය ගම්මන්පිල

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ජනපති අපේක්ෂකයෙක්

• මන්ත්‍රී ධුරය අහිමි වුනත් කනගාටුවක් නෑ – මන්ත්‍රී ඩිලාන් පෙරේරා

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41 කගේ බැංකු ගිණුම් 100 ක් අත්හිටුවයි

(05.09.2019 – 15:24 +0530 – lankadeepa.lk)

පාස්කු දින එල්ල වු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත‍්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම ගිණුම්වල රුපියල් මිලියන 134 ක අධික මුදලක් තිබූ බවද හෙතෙම කීය.

මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 20 ක ට අධික මුදල් ප‍්‍රමාණයක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම ත‍්‍රස්තවාදී සැකකරුවන් සතුව තිබු බිලියන 7 ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අකි‍්‍රය කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කරමින් පවතින බවද හෙතෙම පැවසීය.

මෙම දේපළ අතරට ඉඩම්, ගොඩනැගිලි හා නිවාස අයත් බවත් ඒවා තහනම් කිරීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් හෙතෙම කීය ෴

***************************************

සෝමාවතීය ක්‍රීඩාපිටියේ ඉදිකිරිම් නවත්වන්න අධිකරණ නියෝගයක්

(05.09.2019 – 16:44 +0530 – lankadeepa.lk)

අනවසරයෙන් සෝමාවතීය ජාතික ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඉදිවෙමින් පවතින ක්‍රීඩාංගණය පොලොන්නරුව අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයෙන් වහාම ඉදිකිරිම් අද (05) සිට අත්හිටවූ බව සෝමාවතීය උද්‍යාන බාරකරු කියයි.

සෝමාවතීය ජාතික උද්‍යාන යාබදව ඇති ජාතික ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් පේරක කලාපය තුළ කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකරමින් සිටින ක්‍රිඩාංගණය පිළිබඳව සෝමාවතීය ජාතික උද්‍යානයේ බාරකරු විසින් පොලොන්නරුව අධිකරණයට කරුණු වර්තා කර තිබිණි.

පසුව එහි මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා විසින් වනජිවි දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක් ලබා ගන්නා තෙක් එම ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු නවත්වන ලෙස නියෝගක් නිකුත් කළ බව සෝමාවතීය ජාතික උද්‍යානයේ බාරකරු වන කේ. එම් . එල්. කේ වාසල මහතා පැවසීය ෴

***************************************

ගෝටාභය විමල්ගේ වේදිකාවේ.. ජනාධිපති වූ පසු කඩිනම් කටයුතු යෝජනා දෙයි..

(05.09.2019 – 16:40 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි සමුළුව කොළඹදී පැවැත්වෙන බව එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“ජාතික නිදහස් පෙරමුණ තම තුන්වැනි ජාතික මහා සමුළුව සැප්තැම්බර් 08 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 02:30 ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සමුළුවට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂයන්ට ජයග්‍රහණයෙන් අනතුරුවල ජාතික ප්‍රමුඛතාවන් ලෙස හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහිත යෝජනාවලියක් පිළිගැන්වීමට ද කටයුතු කරනවා.

මෙම අවස්ථාවට අපි විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල සහ ජාතික සංවිධානවල නායකයන්ට ගෞරවයෙන් ඇරයුම් කර තිබෙනවා.

මෙම සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දසදහස් සංඛ්‍යාත පිරිසක් එක්වීමට සූදානම්.

සමුළුව ඉරිදා දිනයේ සජීවීව අන්තර්ජාලය ඔස්සේ හා ජාතික නාලිකාවක් ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා” යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

***************************************

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

(05.09.2019 – colombotoday.com)

අධිකරණයට අපහාස කලායැයි වසර 19 ක සිර දඬුවමක් එකවර වසර 6 කින් ගෙවී යන ලෙස සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරයා සතු විධායක බලතල මත නිදහස් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු පෙත්සම් දෙකක් සැප්තැම්බර් 10 වනදා සලකා බැලීමට නියමිතව ඇත.

මෙයින් එක් පෙත්සමක් අංක 3, ඇස්කොට් ඇවනිව්, කොළඹ 5 ලිපිනයේ පදිංචි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යන රාජ්‍ය නොවන සංවිධානයක (NGO) අධ්‍යක්ෂක ලෙස හඳුන්වන පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර ඇති අතර එම පෙත්සමින් වගඋත්තර කරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල, අධිකරණ අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ බන්ධනාගාර කොමසාරිස් ටී.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නොකොන් නම් කර ඇත.

අනෙක් පෙත්සම අංක 132/2, සුහද මාවත, හිරිපිටිය, පන්නිපිටිය ලිපිනයේ පදිංචි සන්ද්‍යා එක්නැලිගොඩ විසින් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සමින් වගඋත්තර කරුවන් ලෙස නීතිපතිවරයා, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල, වැලිකඩ බන්ධනාගාර අධිකාරි ටී.ජී උඩුවර, ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය, පොලිස්පති පුජිත ජයසුන්දර, වැඩබලන පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ නම් කර ඇත ෴

***************************************

අනාගත ජනාධිපතිට බලතල නැති කතාව බොරුවක් – උදය ගම්මන්පිල

(05.09.2019 – 20:33 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණයේදි තේරී පත්වන අපේක්ෂකයාට කිසිදු බලයක් නොමැති බව ඇතැමුන් කරන ප්‍රකාශ සාවද්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (05) එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා :

“‘අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි; ඔහුට කිසිම බලයක් නෑ’ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා.

ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා. අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ. නමුත් පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා. 19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා. ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ. ඇත්තෙන්ම ඒක වැරදියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අපි දැන් කියවමු. “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”.

මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා.

මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්. කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි.

ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්. 44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි.

19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ. ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ.

අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා. කවුරු හරි එතුමන්ව නොමග යවලා.

4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ. හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව තමයි 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි.

ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා.

දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා. ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි. මේ පිළිබඳව වෙනත් මත පතුරුවමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම අනවශ්‍යයයි මතය හදන්න හදන පිරිස්වලට පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා. එහෙම විවාදයක් කලොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.”

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=4JWpHHE-55w

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=qvxr25T6-ps

***************************************

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ජනපති අපේක්ෂකයෙක්

(05.09.2019 – 21:14 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසූවේ නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ද දැනුවත් කර ඇති බවයි.

***************************************

මන්ත්‍රී ධුරය අහිමි වුනත් කනගාටුවක් නෑ – මන්ත්‍රී ඩිලාන් පෙරේරා

(05.09.2019 – 20:26 +0530 – hirunews.lk/sinhala)

පොදුජන පෙරමුණට සහය දැක්වීම හේතුවෙන් තම මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ඒ සම්බන්ධව කනගාටුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේද සහභාගිත්වයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *