ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයන් 11 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ වල් ගුරෙකු අල්ලයි

(29.08.2019 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ ගුරුවරයෙකු අල්ලයි

මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ පාසැලක 44 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන අද (29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කර තිබෙනවා.

බදුල්ල පොලීසිය ප්‍රකාශ කළේ, මෙම ගුරුවරයා එම පාසලේ සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයා සහ ගණන් ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බවයි.

සිසුන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

***************************************

අනුමත ප්‍රමාණයට වඩා දෙගුණයකට වැඩි පිරිසක් නිවාස අධිකාරියේ සේවයට – ජනපති කොමිසමේදි හෙළිවෙයි

(29.08.2019 – 07:29 +0530 – hirunews.lk/sinhala)

විෂයභාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස යටතේ අද වනවිට කිසිදු නීතිරීතියක් අනුගමනය නොකරන දේශපාලනීකරණය වූ ආයතනයක් බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පත්ව ඇති බව එහි හිටපු පරිපාලන නිලධාරිනි එල්.එච්.ටී. ප්‍රියා පෙරේරා 2015/2018 කාලවකවානුවේ වංචා දූෂණ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (28) ප්‍රකාශ කළා.

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අවිධිමත් පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදෙමින්.

නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා ඇති දිස්ත්‍රික් කාර්යාල විසිපහේ 4500 කට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් සේවය කරන බවයි ඇය එහිදී සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ.

එම අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව 2164 ක් බව පැවසූ ඇය කියා සිටියේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව අමතර බඳවා ගැනීම් සිදුකර ඇති බවයි. ඉන් 95% ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවද හිටපු පරිපාලන නිලධාරිනිය සඳහන් කළා. තවද හම්බන්තොට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයට අනුමත සේවක සංඛ්‍යාව 77 ක් වූවත්, එහි සේවකයින් 1400 කට වැඩි සංඛ්‍යාවක් සේවය කරන බවත් ඇය සඳහන් කළා.

උදාගම් සඳහා දේශපාලන වශයෙන් උපකාර සිදුකරන බොහෝ පිරිස්වලට සහ පිටස්තර පුද්ගලයින්ට චක්‍රලේඛවලට පටහැනිව උසස්වීම්, වැටුප් වර්ධක සහ විශේෂ වාසි ලබාදී ඇති බවද සාක්ෂි ලබාදෙමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනි එල්.එච්.ටී. ප්‍රියා පෙරේරා කියා සිටියා.

එමෙන්ම, ඇය තවදුරටත් සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 31 දෙනෙකු නීතිවිරෝධීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ යොදවා ඇති බවයි. එලෙස ඔවුන් සේවයේ යොදවන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අවශ්‍ය බවත්, එසේ අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය කියා සිටියා. මෙවැනි නිලධාරීන් බඳවා ගැනීමත්, ආයතනය දේශපාලනීකරණය වීමේ වගකීමත් විෂය භාර අමාත්‍යවරයා ලෙස, සජිත් ප්‍රේමදාස ඇතුළු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ට පැවරෙන බවයි සාක්ෂි ලබාදෙමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනි එල්.එච්.ටී. ප්‍රියා පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

ගෝඨා හා මහින්ද ඝාතන සැලසුමක් ගැන සැකකරුවන් පාපොච්ඡාරණය කර නෑ – පොලීසිය

(29.08.2019 – 16:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමක් සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් අසත්‍ය බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව අවධාරණය කර තිබේ.

යුද හමුදා නිලධිරීන් විසින් පසුගිය අගෝස්තු 18 වන දින පලෙයි රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් යන පුද්ගලයා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහුව එදිනම යාපනය ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය වෙත බාර දි තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරනු ලැබු විමර්ශනවලදී අනාවරණය වු තොරතුරු මත වරින් වර සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සින්නමනී කනේෂ්වරන්, ඉරත්තිනම් ක්‍රිෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්නතුරේ හා විනයාගමුර්ති නෙජිලන් යන අයයි.

මෙම සැකකරුවන් සම්බන්ධයේන තව දුරටත් විමර්ශන කිරීම සඳහා කොළඹ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනය වෙත ගොස් තිබුණි.

මෙම ප්‍රධාන සැකකරු වන සින්නයියා සිවරූබන් ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් අනුව අනාවරණය වු තොරතුරු මත පසුගිය දා ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය හා අත්බෝම්බ කීපයක් සොයා ගනු ලැබීය.

එසේම සිදුකල විමර්ශන අනුව ඊයේ (28) දිනයේ දී ටී.නිමලරාජ් හා රූබන් ජතුසන් නැමැති පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට පත් විය.

මෙම සිදුවීම මත අද (29) දිනයේ දී විවිධ මාධ්‍ය තුළින් ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයට සැකකරු පාපොච්ඡාරණයක් දී ඇති බවට පළ වු පුවත් පත් වාර්තා සම්බන්ධයෙන් මෙම නිවේදනය පොලීසිය විසින් නිකුත් කර තිබේ.

එවැනි ප්‍රකාශක් හෝ පාපොච්ඡාරණයක් මෙතෙක් සින්නයියා සිවරූබන් ඇතුළු සැකකරුවන් 7 දෙනා විසින් පොලීසියට හෝ වෙනත් බලධාරියෙකුට ලබා දී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාගේ-මහින්දගේ ආරක්ෂාව තර කරන්න – කනක හේරත්

(29.08.2019 – 19:38 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන විට එජාපයේ බරපතළ ගැටලු උද්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම ඉදිරි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු සැළසිය යුතු බවද ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය :

“සජිත් ප්‍රේමදාස මහතා ජනතාව ඉදිරියේ කියන බොළඳ කතා බලාගෙන ඉඳලා කරු හිතනවා එයාට වඩා මම හොඳ අපේක්ෂකයෙක් කියලා.

කරූ ජයසූරියගේ දුර්වලතා දැකලා ‘මට කට තියෙනවා මම උගත්’ කියලා රාජිත ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලනවා.

රාජිතගේ කට වහලා චම්පික රණවක හිතනවා ‘මම උසයි මට මීට වඩා හොඳට ජනාධිපතිකම කරන්න පුළුවන්’ කියලා.

‘ජාතික ආරක්ෂාවට මම තමයි හොදම’ කියලා සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක කම ඉල්ලනවා.

මේ වෙනකොට දයා ගමගේ මහතා කිව්වා ‘මටත් සල්ලි කියනවා මටත් ජනාධිපති වෙන්න පුළුවන්’ කියලා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසි කෙනකුට සමකළ නොහැකි දක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරලා තියෙනවා.

ඊයෙ මංගල සමරවීර මහතාගේ නිවසේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ පවතින විදිහට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ගැටලුව ඉතාම බරපතළයි. මේ වෙනකොට මන්ත්‍රීවරුන් දෙදෙනකුට විනය පරීක්ෂණ තිබියදීතැන් තැන් වල රැස්වීම් තියෙනවා.

2015 වසරේ අපව පරාජය කරන්න එකතු වුනු කණ්ඩායම් මේ වෙනකොට ආණ්ඩුවෙන් දුරස් වෙනවා.

මනෝ ගනේෂන් තමන්ගේ අමාත්‍යංශයේ වැඩ කරන්න බෑ කියනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇඟිලි ගහනවා කියලා.

ඊයේ රවුෆ් හකීම් කිව්වා තමන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක අර්බුදය පිලිබඳ කලකිරී සිටින බව. කොහොම වුණත් අපි කියනවා එජාපයේ අපේක්ෂක ඉතා කඩිනමින් ඉදිරිපත් කරන්න කියලා.

දැන් වෙනකොට 2015 ආණ්ඩුව හදන්න එකතුවුණු බලවේගය වෙන්වෙලා ඉවරයි.

මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය දියවෙමින් පවතිනවා.

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනාධිපතිවරයා සමග ඊයේ පෙරේදා සාකච්ඡා කරලා තියෙනවා.ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බැරි නිසා රනිල් එකම විසඳුම හැටියට දකින්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමයි.

අවුරුදු හතරහමාරක් බලයේ ඉඳලා තමන්ට පත්වෙන්න බැරිවෙන කොට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න රනිල් වික්‍රමසිංහ තීරණය කරලා තිඛෙන්නේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ. අද ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් නැහැ. ජනමත විචාරණයක් මේ ඉදිරි මාස තුනක දී තියන්න හැකියාවකුත් නැහැ. ඉදිරි ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා දැනටම කටයුතු කරනවා.

අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශයක් කළා. ඔහු කිව්වේ බැඳුම්කර සිද්ධියේ දී අප වරදක් කළා නම් ඊට අදාළ චෝදනාව කරුවන්ට දඩුවම් දෙන්න කියලයි. මේ තියෙන තත්වය අනුව අද බැඳුම්කර හොරකම එජාපයම පිළිඅරගෙන තිඛෙනවා. එජාපය අද කඳවුරු දෙකකට ඛෙදිලා දෙගොල්ලන්ටම චෝදනා කර ගන්නවා.

බැදුම්කර චෝදනා සම්බන්ධයෙන් ඍජුවම චෝදනා ලැබූ මන්ත්‍රිවරුන් ඒ කාලේ ඇමතිධූරය අතහැරලා නැවත ඇමැතිකම් ගත්තා. හොරකමට සම්බන්ධ අය දෙපැත්තෙම ඉන්නවා.

ජනාධිපතිවරයා බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන්න කියලා නියෝග කළා.

ඒ වගේම අපිත් ඉල්ලනවා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වහාම ඊට අදාළ පුද්ගලයින්ට දඩුවම් දෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ දෙපක්ෂයේම සාක්ෂි ලබා ගැනීමට හොඳම අවස්ථාව මෙයයි. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ව වහාම මේ රටට ගෙන්නන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

තනතුරේ රාජකාරී කරන ගමන්ම ජනාධිපතිවරණයට තමන් සුදුසුයි කියල කෙනෙක් කියනවා නම් එයා ස්වාධීන වෙන්නේ නැහැ.

කතානායක වරයා ජනාධිපති අපේක්ෂක තනතුර ඉල්ලා සිටිනවා නම් කතානායක තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි.”

***************************************

එස්.බී. සහ ඩිලාන්ට විනය පියවර

(29.08.2019 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාට සහ ඩිලාන් පෙරේරා මහතාට මෙන්ම එම අවස්ථාවට එක්වූ නිදහස් පක්ෂ සාමාජිකයන්ට පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියේ නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා සහ සන්ධාන මහ ලේකම්වරයා එක්ව පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

ඔවුන් පක්ෂය හැරගියා සේ සලකන බවද නිදහස් පක්ෂය සඳහන් කරනවා.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රීලනිපය-ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා එකඟතාවක්

(29.08.2019 – 22:18 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති නිල සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇතිවී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල සාකච්ඡා ආරම්භ විය.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

ඒ සඳහා දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යව මහත්වරුන් එක්විය.

එහිදී නිදහස් පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරණයට සහාය පල කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අවබෝධතා ගිවිසුමක් සඳහා එකඟ වී ඇත.

සන්ධානයක් බිහි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බව ශ්‍රීලනිපයේ නියෝජිතයින් ප්‍රකාශ කළේය.

ඇතැම් කරුණු පිළිබඳ නැවත සාකච්ඡා කළ යුතු බවටද අදහස් හුවමාරු වී ඇත.

***************************************

පිටුපසට ධාවනය කළ ලොරියක් දුම්රියේ ගැටී 7 කට තුවාල

(29.08.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සහ වැල්ලවත්ත අතරදී පිටුපසට ධාවනය කළ ලොරි රථයක් මරදානේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රියේ ගමන් කළ මගීන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

(දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්ද පවතින බවයි.)

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

පලෙයි JMO ගේ තවත් ගෝලයින් 6 ක් අත්අඩංගුවට

(29.08.2019 – 17:05 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සින්නමනි තනේෂ්වරන්, ඉරත්තිනම් ක්‍රිෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්නතුරේ, විනයාගමූර්ති නෙජිලන් යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට අමතරව, ටී. නිමලරාජ්, රූබන් ජතුසන් යන අය ද අධිකරණ වෛද්‍යවරයා සමග සබඳතා පවත්වාලීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් පලෙයි ප්‍රදේශයේම පදිංචිකරුවන්.

එමෙන්ම, අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් ඇතුළු අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 6 දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් යාපනය වෙත ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී පලෙයි – කරන්ඩි ප්‍රදේශයේ සඟවා තිබූ අවිආයුධ තොගයක් ද මීට පෙර සොයාගනු ලැබුවා.

මේ අතර, වව්නියාව – කෝවිල්පුදුකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී බෝම්බ පිපිරවීම සදහා යොදා ගන්නා ඩෙටනේටර් දෙකක් සහ බෝම්බ පිපිරීම සදහා යොදා ගන්නා වයර් අඩි 100 ක් අද උදෑසන පොලීසිය සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම, පන්නල – කුලියාපිටිය මාර්ගයේ කංකානියමුල්ල රක්ෂිතයට අයත් යටත්තාවල ප්‍රදේශයේ තිබී ඊයේ සොයා ගත් ක්ලේමෝ බෝම්බ තුන නිෂ්ක්‍රිය කරන ලෙස අධිකරණය අද නියෝග කළා.

***************************************

නවක වධයෙන් සිසුවකුගේ කොඳුඇට පෙළට හානි කළ අය සොයා පරීක්ෂණ

(29.08.2019 – 18:31 +0530 – lankadeepa.lk)

දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ඉගෙනුම ලබන සිසුවකු මාස දෙකක කාලයක් අමානුෂික ලෙස නවක වධයට ලක්කර කොඳු ඇට පෙළට හානි කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ සිසුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම සිසුවා අද (29) දෙහිවල පොලිසියට පැමිණිලි කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙසේ නවක වධයට ලක්ව ඇත්තේ බටහිර මුදුන්කොටුව, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු කළමනාකරණ පීඨයේ පළමුවසරේ සිසුවෙකි.

මෙම සිසුවා ජූනි 03 වැනි දින උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ලියාපදිංචි වී කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී එහි දෙවන හා තෙවන වසරවල සිසුන් මාස දෙකක කාලයක් දිනපතා නවක වධයට ලක්කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය කියයි.

ඉකුත් 02 වැනි දින නවක වධයට ලක් වීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන්ද, දේශීය වෛද්‍යවරයකුගෙන්ද ප්‍රතිකාර ලබා ඇති අතර, කොඳු ඇට පේළියේ ඇදයක් හටගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

මේ හේතුවෙන් අගෝස්තු 02 වැනි දින සිට එම සිසුවා අධ්‍යයන කටයුතු සඳහා එහි යාමෙන් වැළකී ඇති අතර, ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමට ද නියමිතය.

සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.

දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

***************************************

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගය 10 දා

(29.08.2019 – 18:15 +0530 – lankadeepa.lk)

රසායනාගාර වාර්තා ප‍්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා සිට විභාග කිරීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළහ.

ඒ අනුව පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස මෙම නඩුව විභාග කරන දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අවවාද කළහ.

මෙම නඩුව දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ (සභාපති විනිසුරු) ශෂී මහෙන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහතවරු ඇතුලත් වෙති.

රසායනාගාරයෙන් නිකුත් කරන රසායනාගාර වාර්තා ප‍්‍රතික්ෂේප නොකර බාර ගැනීම සඳහා කුලියාපිටිය ‘සෙත්සුව’ පෞද්ගලික රසායනාගාරයෙන් මාස්පතා රුපියල් 25,000 බැගින් ඉල්ලා ඉන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගන්න ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.

මෙලෙස චෝදනා ලබාඇත්තේ කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි තෙන්නකොන්වෙල මහතාය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන ඔක්තෝම්බර් 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළහ.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ දිස්නා ගුරුසිංහ මහත්මිය පෙනී සිටියාය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන තේජිත කෝරලගේ, චමින්දි අර්සකුලරත්න, ඇතුළු නීතීඥ කණඩායමක් සමඟ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *