හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

(28.08.2019 – colombotoday.com)

සිංහල පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතුවල හා රාජ්‍ය විරෝධී කි‍්‍රයාවල නිරත වූයේ යැයි කියන මුස්ලිම් ජාතික තරුණයකු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය.

කොළම මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා ප‍්‍රශ්න කොට විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කොට තිබූ ජම්ලි ජුනාර් අනිෆ් මොහොමඞ් ස්මයිල් නමැත්තකු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මරදාන ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන එම සැකකරු ව්‍යාජ හැදුනුම්පත් අංකයක් උපයෝගි කර ගනිමින් ‘ඉෂාර හර්ෂණ වන්නිනායක’ යන නමින් අන්තර්ජාලය ඔස්සේ ඉස්ලාම් අන්තවාදී කටයුතුවල හා අයිඑස් අයිඑස් සංවිධානයේ තොරතුරු හුවමාරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසිය පෙන්වා දුන්නාය.

සිය බිරිඳගේ පියා කොළඹ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවක් පෙන්වා දෙමින් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගෙන ඇති සැකකරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලිපි ශීර්ෂ යටතේ පුද්ගලයන් රැසකට ලිපි නිකුත් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය ෴

***************************************

කිසිම හේතුවක් නිසා අපගේ ජාතික ආරක්‍ෂාව පාවාදීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි – යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

(27.08.2019 – army.lk)

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් “කිසිම හේතුවක් නිසා අපගේ ජාතික ආරක්‍ෂාව පාවාදීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු” යැයි එතුමා පැවසීය.

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ දී නිලධාරීන් අමතමින් සංවිධානය හා එහි නවීකරණය, ජාතික ආරක්‍ෂාව, ජාතිය ගොඩනැගීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, වෘත්තිකභාවය හා වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම, හමුදා සාමාජිකයින්ගේ හා පවුල්වල සුභසාධනය, විශ්‍රාමගැනීම හා අනාගත අපේක්‍ෂාවන් යන කරුණු හතක් යටතේ එතුමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිලි කළහ.

“මගේ විශ්වාසයට අනුව, අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ හතරක් තිබේ. එයින් මම මුලින්ම අවධානය යොමු කරන්නේ රට අරක්‍ෂා කිරීමටත් දෙවනුව කැපී පෙනෙන ඉතිහාසයක් ඇති මේ රටේ ජනතාව ආරක්‍ෂා කිරීමයි. තෙවනුව, මාගේ ප්‍රමුඛත්වය වර්තමානය සහ අනාගතය සඳහා යුද්ධ හමුදාවේ සංවර්ධනය කිරීමයි. සිව්වනුව, මෙම සංවිධානයේ සියලුම සාමාජිකයින්ගේ සුභසාධනය පිළිබඳ සොයා බැලීම මට අතිශයින් වැදගත්ය. මගේ නායකත්වය යටතේ ඉහත කරුණු හතර කෙරෙහි අවධානය යොමු කරමින් යුද්ධ හමුදාව සංවර්ධනය කිරීමේ උපාය මාර්ගය අඛණ්ඩව අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරේ. කෙටි, මධ්‍යම හා දිගු කාලීන යන සැලසුම් තුනක් යටතේ එම අදියරයන් සාර්ථක කරගනු ඇත” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“අපගේ සාර්ථකත්වයට යන ගමනේදී අප අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතා කිහිපයක් තිබේ. එයින් අපගේ ප්‍රමුඛතාවය ජාතික ආරක්‍ෂාවයි. කිසිම හේතුවක් නිසා අපගේ ආරක්‍ෂාව පාවාදීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය. ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අපගේ ප්‍රවේශය ඉතා පුළුල් විය යුතුය. මෙම ප්‍රයත්නයේ දී සමකාලීන හා නැගී එන තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ බලය, බුද්ධි අංශ සහ තාක්‍ෂණය වැඩිදියුණු කිරීම අත්‍යවශය වේ. විශේෂයෙන් බුද්ධි අංශ රැස්කරගත් කරුණු ඉතා වැදගත්ය. බුද්ධි අංශ සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම මගේ න්‍යාය පත්‍රයට ප්‍රමුඛස්ථානය දී ඇත. සාම්ප්‍රදායික තර්ජනයන්ට වඩා අනාගතයේදී සාම්ප්‍රදායික නොවන හා අනපේක්ෂිත තර්ජනයන්ට අප මුහුණදිය යුතු බව පැහැදිලිය. මේ අර්ථයෙන් ගත් කල, අප නව තර්ජනවල මානයන් හඳුනාගත යුතුය. එසේම, අපගේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය, චිත්ත ධෛර්යය සහ සංකල්පීය දැනුවත්භාවය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔවුන්ගේ යුධ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පවසන ලදී.

“අතීතයට හොඳින් ගැලපුන අපගේ විසඳුම් වර්තමාන තත්වයට නොගැලපෙන හෙයින් අනාගත ගැටළු සෑම අංශයකින්ම වෙනස් වනු ඇත. එමනිසා, අප වර්තමානයේ සහ අනාගතයේ ඇතිවන විවිධ තත්ත්වයන්ට විසඳුම් සෙවීමට අඛණ්ඩව අනුවර්තනය විය යුතුය.”

“අනෙක් අතට මහජනතාව හෝ යුද්ධ හමුදාව විසින් මූල්‍ය අක්‍රමිකතා සහ දේපල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මම දැඩි ලෙස ක්‍රියා කරන අතර යුද්ධ හමුදාවේ යහපත සඳහා භාවිතා කිරීමට අපේක්‍ෂා කරන කිසිදු දෙයක් නිලධාරියෙකු අනිසි ලෙස භාවිතා නොකළ යුතුය. එමනිසා, ඔබගේ අණදීම යටතේ සිටින සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපතිවරයා ලෙස මා විසින් නිකුත් කරන ලද නියෝග හා උපදෙස් පිළිපැදීමට වගබලා ගත යුතුය. තවද, එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය සහය ලබාදිය යුතුය.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය.

“සෑම කෙනෙකුටම යුක්තිය ඉටු කිරීම සඳහා ස්වාභාවික යුක්තියේ මූලධර්මයන්ට අනුකූලව සියලු තීරණ ගන්නා ලෙස මම අවධාරනය කරමි. එසේ කිරීමෙන්, සලකා බලනු ලබන කාරණයට අදාළ පාර්ශවයන් කිසිවෙකු සමඟ පක්‍ෂග්‍රාහී නොවී අවසාන තීරණයට එළඹීමට පෙර විභාග කරනු ලැබේ.” යැයි සැමට යුක්තිය ඉටු කිරීමේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අභිප්‍රාය පිළිබඳ සඳහන් කරමින් පැවසීය.

“මා පැමිණියේ මාතලේ බහු සංස්කෘතික විවිධත්වය ප්‍රායෝගිකව පැවති පසුබිමකයි. මගේ ළමා කාලයේ සිට පාසැල් කාලය දක්වා, මම ජීවත් වූයේ ඉවසිලිවන්ත සමාජයකයි. එම විවිධ ජන කොටස්වල සහෝදර සහෝදරියන් එකට ජීවත් වූ අතර මම අදටත් ඔවුන් ඇසුරු කරමි. මේ සඳහා, මා හැදී වැඩුණු සමාජය ජීවත් විය යුතු ආකාරය පිළිබඳව මට ඉගැන්නුවා. එබැවින් මෙම ගමනට නායකත්වයදීමට අවශ්‍ය සියලු පූර්ව අවශ්‍යතාවන්ගෙන් මම සන්නද්ධව සිටිමි.” යැයි ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීමේ සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ලුතිනන් ජෙනරාල් සිල්වා පැවසීය.

“අතීතයට හොඳින් ගැලපුන අපගේ විසඳුම් වර්තමාන තත්වයට නොගැලපෙන හෙයින් අනාගත ගැටළු සෑම අංශයකින්ම වෙනස් වනු ඇත. එමනිසා, අප වර්තමානයේ සහ අනාගතයේ ඇතිවන විවිධ තත්ත්වයන්ට විසඳුම් සෙවීමට අඛණ්ඩව අනුවර්තනය විය යුතුය.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී නැවතත් අවධාරණය කළේය.

***************************************

පළාත් 9 යේම සිදුකරන සහරාන්ගේ ‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරයක සැලැසුමක් හෙළිවෙයි

(28.08.2019 – gossiplankanews.com)

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේ සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුවීම් ලැබූ, අම්පාර පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා දෙවැනි ප්‍රහාරයට දිවුරුම්දී ඊට සූදානම් වූ පිරිසක් බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි කර ගෙන ඇත.

ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් යන තහනම් ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයන් වන මෙම පිරිසට ‘අබු’ යන ගෞරව නාමයද මොහොමඩ් සහරාන් විසින් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. මෙම ත්‍රස්ත ජාලය තුළ මොහොමඩ් සහරාන්ව හඳුන්වනු ලැබුවේද ‘අබු උබයිදා’ යන ගෞරව නාමයෙන් බව පොලිසිය පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීමට පෙර මොහොමඩ් සහරාන් ඇතුළුව එකී ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්‍රස්තයන් විසින් කළු පැහැති ඇඳුම් ඇඳ මුහුණු වසා ගෙන, තියුණු පිහියක් අතැතිව ත්‍රස්ත සංවිධානයට අයත් පසුබිම් තිරයක් භාවිත කර සකස් කරන ලද ස්ථානයක සිට සිය දිවුරුම ලබාදී තිබූ අතර, මෙම ත්‍රස්තයන් 18 දෙනාද එලෙස නුවරඑළිය කඳවුරේ මරාගෙන මැරෙන දිවුරුම දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙරට තුළ දැවැන්ත ප්‍රහාර කිහිපයකට ඔවුන් සැලසුම් කර තිබූ බවටද, තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9 ටම දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමටද මෙම ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අම්පාර පොලිසිය මඟින් දැනට අත්අඩංගුවට ගෙන ඇති මෙම ත්‍රස්තවාදී සැකකරුවන් 18 දෙනාද නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන් දෙසතියක කාලයක් පුහුණුව ලබා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් සහරාන් සහ ඔහුගෙන් පසු දෙවැනි නායකත්වයට පත්වූ, එසේම දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නවුෆර් මව්ලවී යන අය විසින් මෙම ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා පුහුණු කර ඇති බවටද තොරතරු හෙළිව තිබේ.

අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මීට අදාළ විමර්ශන සිදුකර අවස්ථා කිහිපයකදී මෙම සැකකරුවන් 18 දෙනා අත්අඩංගුවට ගෙන ඇත. මින් බහුතරයක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 20 ත් 27 ත් අතර වයස් සීමාවල පසුවන අය බවත් පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

හොඳ අධ්‍යාපන මට්ටමක් සහ ආර්ථික මට්ටමක් ඇති ඔවුන්ගෙන් දෙදෙනකු ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් බවත්, තවත් අයකු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවරයකු බවත් පැවැසේ. දිවුරුම්දීමට අදාළව මොවුන් ලබාගත් වීඩියෝ දර්ශනද ඡායාරූපද ඒ වනවිට පරිගණකවලින් මකා දමා ඇති බවත්, ඒවා නැවත ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මින් කොටසක් අම්පාර පොලිසියේද අනෙක් පිරිස ත්‍රස්ත විමර්ශන භාරයේද රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බවද, එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මීට අදාළව ඊයේ (27 දා) දිනද සැකකරුවන් දෙදෙනකු අම්පාර ප්‍රදේශයේදී අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුවරඑළිය කඳවුරේ පුහුණුව ලද මොහොමදු රයියුද්ධියන් අබ්දුල් රහුමාන් හෙවත් ‘අබුඅනාස්’ සහ හම්බන්තොට පුහුණුව ලද සෙයිනුල් ආබ්දීන් හස්ල හෙවත් ‘අබුරාවා’ යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් දෙදෙනාද පොල්ගොල්ල සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

(චාමර අමරසූරිය, සමන් මාණික්කආරච්චි, එම්. සී. පෙරේරා)

***************************************

කරූට නාමයෝජනා නොදුන්නොත් පිස්සන් කොටුවේ නවත්වන්න වෙනවා – මහින්දානන්ද

(28.08.2019 – 17:59 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයට මුහුණ දීමට ඇති නොහැකියාව හේතුවෙන් ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවේ ඉල්ලීමක් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව අනාවරණ කළේය.

එහිදී අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ, අද වෙනකල් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නොහැකි වී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය බිඳී අවසන් බවත් පැවසු මන්ත්‍රීවරයා, එම පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන බවට තීන්දු කර ඇතැයි ද පැවසීය.

කරූ ජයසූරිය මහතාට අපේක්ෂකත්වය ලබා දෙන බව පවසා සිටියත්, එතුමා ජනාධිපතිවරයා ලෙස ඇඳුම් මහලා, ෆොටෝ ෂූට් කරලා, ජනාධිපති නිල නිවසට හීනෙන් ගොස් අවසන් බවද කියා සිටියේය.

වැරදීමකින් හෝ කරූ ජයසූරිය මහතාට නාම යෝජනා නොලැබී ගියහොත් එතුමා අංගොඩ යැවීමට සිදුවන බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒ අතර එජාපයේ කොටසක් පක්ෂය තුළ සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා කිරීමට කටයුතු කරන බවද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මහතාට හා සුජීව සේනසිංහ මහතාට විරුද්ධව විනය පරීක්ෂණ පත්වද්දි බැඳුම්කර වංචාවේ දී අර්ජුන් ඇලෝෂියස්ගෙන් ඔවුන් දෙපල මුදල් ගත් තොරතුරු ඊයේ (27) දිනයේ දී ලැබුණ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ අතර මාධ්‍ය හමුවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ, සමහර මන්ත්‍රීවරු ජනතාව සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලන බව පැවසුවත් අපි නම් ඉල්ලන්නේ නැති බවයි.

ඔහුව එජාපයේ සියලු දෙනා ඉල්ලනව ද යන්න නොදන්නා බවද පැවසු මන්ත්‍රීවරයා පුවත් පත් වාර්තාවක් ගෙන හැර දක්වමින් කියා සිටියේ, එයින් එජාපයට ජනාධිපතිවරණයකට මුහුණ දීමට තිබෙන නොහැකියාව පැහැදිලිව පෙනී යන බවයි.

ජනාධිපති ධූරය පමණක් අහෝසි කළ නොහැකි බවත් එයට අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක ඒකාබද්ධයේ ඡන්දය ලබා ගත යුතු බවත් පැවසු මන්ත්‍රීවරයාගෙන් “ඔබ පක්ෂයේ හිටපු ප්‍රබල නායකයෙක් කුමාර වෙල්ගම මහතා,මේ අර්බුදය ඇතුළේ එතුමා පන්නලානේ පටන්ගත්තේ ඔබතුමාලා” යනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී කුමාර වෙල්ගම ප්‍රබලයෙක් බව තමා විශ්වාස නොකරන බවද පැවසු මන්ත්‍රීවරයා, එතුමා ලොකු තනතුරු කිසිවක් දැරුවේ නැතැයි ද පැවසීය.

ඊට වඩා තනතුරු තමා දැරූ බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා සන්ධානේ ලේකම් විදිහට මැතිවරණ 11ක් මෙහෙයවා ඇතැයි ද සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ, තම පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගියේ කුමාර වෙල්ගම මහතාට තිබු නඩු දෙක නිසා බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ඒ නඩු ප්‍රශ්නය විසඳු බවත්ය.

වෙල්ගම මහතාගේ සහෝදරයා හෙට බන්ධනාගාර ගත වීමට සිටිය දී අගමැතිවරයා කථා කර එය වැළැක්වු බවත්, දැන් එතුමා ‘ගෝඨා – භය’ ගැන කථා කරන බවද මන්ත්‍රිවරයා පැවසීය.

***************************************

අන්තරේට කදුළු ගෑස් හා ජල ප්‍රහාර

(28.08.2019 – 15:36 +0530 – sinhala.adaderana.lk)

උද්ඝෝෂණයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

කොළඹ ලෝටස් මංසන්ධියේදී පොලිසිය මෙම විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල සිසුන් කොළඹ කොටුව ටෙක්නිකල් මන්සංධිය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් ටෙක්නිකල් මන්සංධිය සහ කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ද පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

***************************************

පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු ෆෙඩරල් පොලීසිය අපේ පොලීසිය ගොනාට අන්දලා – ත්‍රස්තයින්ගේ දුරකථන දත්ත උස්සයි

(28.08.2019 – 15:40 +0530 – lankaleadnews.com)

පාස්කු ඉරිදා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව උදව් කිරීමට පැමිණි ඇමෙරිකානු ෆෙඩරල් පොලීසියේ නිලධාරීන් (FBI) විසින් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 9 දෙනාගේ දුරකථන ඔවුන් බාරයට ගෙන ඇත.

එම නිසා දැන් එම දත්ත ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පොලීසියට නොහැකි වී ඇත. එම දත්ත එසේ සොරකම් කරන්නේ ඒවා මගින් ත්‍රස්තයින් ගනුදෙනු කළ දේශීය සහ විදේශීය බලවේග හඳුනා ගැනීම වැලැක්වීම සඳහා බව ගෝලීය පර්යේෂණ ආයතනය හෙළිදරව් කොට ඇත ෴

***************************************

මුස්ලිම් කාන්තාවට කඳුළු බරින් ඉන්න බෑ නීතිය සම්පූර්ණයෙන් සංශෝධනය කරන්න

24-08-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *