ෂාෆි කළේ වඳ සැත්කම් විතරද…? ත‍්‍රස්තවාදයටත් සම්බන්ධලු – නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න

(21.07.2019 – divaina.com)

නීතිය ඉදිරියේ පවා අසරණවී සිටින සත්‍යය, නිර්භයව ඉදිරියට ගෙන ඒමේ වගකීම ඔවුහු සිය දෙවුර මතට ගත්හ. කිසිදු වාසියක් ප‍්‍රයෝජනයක් නොමැතිව සිය මුදල්, කාලය ඔවුන් විසින් සත්‍යය සහ ජාතිය වෙනුවෙන් වියදම් කරනු ලබන්නේ, සිය ජීවිත පමණක් නොව අඹු දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ද පැත්තක දමාය. ෂාෆි විසින් කරන ලද සංහාරය සහ ෂාෆිගේ අපරාධ ගොනුවේ තවමත් හෙළිදරව් නොවූ තොරතුරු ගවේෂණය කරමින්, අධිකරණය හමුවේ, එම අම්මාවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කමිටුවේ එක් නියමුවෙකු වන නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා, ෂාෆි සාපයේ, මෙතෙක් හෙළි නොවූ දෑ සහ ඉදිරිය පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය – ෂාෆි සාපය පිළිබඳව කතා කිරීමට පෙර ඔබ සම්බන්ධයෙන් සහ මෙම සිද්ධියේදී අසරණ වූ මවුවරුන් වෙනුවෙන් ඔබ පෙනී සිටීම දක්වා කතාව පැහැදිලි කළහොත්…

පිළිතුර – මම මාරවිල ප‍්‍රදේශයේ නීතිඥවරයෙක්. ෂාෆි සිද්ධිය පිළිබඳව මුල් අවස්ථාවේදී ආරංචි වූ විට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මම කුරුණෑගලට ගියා. එහිදී රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය වීරබණ්ඩාර මහතා හමුවී මම ඒ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කළා. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන කඳන්ගමුව මහතා ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය විශාල කාර්ය භාරයක් කළා. එම කාර්ය භාර්ය නොවන්නට මෙවැනි නඩුවක් මේ විදිහට ස්ථාපිත වන්නේ නැහැ. එහිදී තමයි අපිට දැන ගන්නට ලැබුණේ මේ සඳහා නීතිඥ සහයක් ඒ වන විටත් ලැබෙන්නේ නැහැ කියන එක. එහිදී අපි විසින් ස්වේච්ඡාවෙන්ම මෙම අධිකරණ ක‍්‍රියාමාර්ගය සඳහා ඉදිරිපත් වන්නේ. මුල් අවස්ථාවේදී මමත් නීතිඥ චානක අබේවික‍්‍රම, නීතිඥ නිරෝෂි උයන්වත්ත යන තිදෙනා තමයි අධිකරණයට මුල් දිනයේදී ඉදිරිපත් වුණේ. එදා රැඳවුම් නියෝග මත සිටි ෂාෆි වෛද්‍යවරයා නොමැතිව තමයි අධිකරණයට කරුණු වාර්තා කළේ.

ප‍්‍රශ්නය – ෂාෆි සාපයෙන් අසරණ වූ මව්වරු වෙනුවෙන් ඔබ ඉදිරිපත් නොවුණත්, මේ රටේ පොලිසිය සහ එවැනි අනුශාංගික ආයතන රාශියක් එවැනි අය සඳහා පෙනී සිටිය යුතු වෙනවා. එම ආයතන මේ අසාධාරණයට ලක්වූ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටියේ නැද්ද…?

පිළිතුර – මෙතැනදී මූලිකවම මෙම ක‍්‍රියාමාර්ගය ආරම්භ වෙන්නේ, ‘දිවයින’ පුවත් පත විසින්, මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා විසින් කරන අනාවරණයක් තුළින්. මේ සිද්ධිය ආරම්භ වෙන්නේ, වඳභාවය සම්බන්ධයෙන් වුවත්, එතැනින් එහාට මේ සිද්ධිය ගමන් කරනවා. ෂාෆිට සහරාන් සමග සම්බන්ධයක් තිබුණාද…? මේ ලබා තිබෙන වත්කම් ෂාෆිට ලැබුණේ කොහෙන්ද…? ආදිය සම්බන්ධයෙන් කරුණු හෙළිවෙන්න පටන් ගන්නේ දිවයින පුවත්පතේ අනාවරණයෙන් පස්සේ…

නඩුවේ පළමු දිනයේදී රහස් පොලිසිය පිටු දෙසිය දහයක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එමගින් රහස් පොලිසිය අධිකරණයට කියන්නේ, ෂාෆිට සහරාන් සමග සම්බන්ධයක් නැති බව කියනවා. දෙවැනියට ෂාෆිට තියෙන අයථා ලෙස වත්කම් උපයා ගත්තා කියන චෝදනාවෙන් ද රහස් පොලිසිය විසින් ෂාෆිව නිදොස් කරනවා. ඊළඟට වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කටයුතු කරන ආකාරය දෙස බලන්න… එතැනදී සාක්ෂි ලබා ගන්න ප‍්‍රශ්න කරන්නේම ෂාෆිට වාසි ආකාරයට. ඒ අනුව අවසානයේදී රහස් පොලිසිය විසින් පැලෝපීය නාළය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලනවා. එම පරීක්ෂණය ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ වඳ සැත්කම් සඳහා මිසක් ෂාෆි කරපු විදිහේ සියුම් වන්ද්‍යා කුමන්ත‍්‍රණ එම පරීක්ෂණයෙන් හසුවෙන්නේ නැහැ. ෂාෆි නීති විරෝධී ලෙස කරන ලද වන්ද්‍යා සැත්කම් සඳහා එම කටයුත්ත නිවැරදි වුවත්, ඔහුගේ සියුම් වඳ සැත්කම් සඳහා එම වැඩපිළිවෙළ නිවැරදි වන්නේ නැහැ. ඇත්තටම ෂාෆි කරපු දේ හෙළිදරව් කරන්න නම්, පැලෝපීය නාළය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම ප‍්‍රමාණවත් නැහැ. සම්පූර්ණයෙන්ම ප‍්‍රජනන පද්ධති පරීක්ෂාවක් සඳහා එම මව්වරු ලක් කළ යුතු වෙනවා. එදා ගරු අධිකරණය රහස් පොලිසිය ඉල්ලූ පරීක්ෂණය නැවැත්තුවා. ඒ පරීක්ෂණය කියන්නේ ෂාෆි නිදහස් කිරීමේ කූට උපක‍්‍රමයක්. අපි සම්පූර්ණ ප‍්‍රජනන පද්ධති පරීක්ෂාවක් ඉල්ලදී රහස් පොලිසිය ඉල්ලන්නේම පැලෝපීය නාළ පරීක්ෂාවක්. මේ විදිහට රහස් පොලිසිය මව්වරුන් වෙනුවෙන් නෙමෙයි පෙනී සිටියේ, ෂාෆි නිදහස් කිරීම වෙනුවෙන්… ෂාෆි වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් කියන දේම තමයි රහස් පොලිසියත් අවසාන වශයෙන් කිව්වේ…

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන පරිදි පාස්කු ප‍්‍රහාරය සඳහා ෂාෆි වෛද්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙනවා නම්, ඒ සඳහා වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතු වෙනවා. ෂාෆි සහ ඉස්ලාම් ත‍්‍රස්තවාදය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ සැකයක් ගොනු වෙන්නේ කොහොමද…?

පිළිතුර – සාහරන් සහ වත්කම් කියන චෝදනා දෙක අපි එකට ගත යුතුයි. සහරාන්ගේ සම්බන්ධය හෙළිවෙන්න අවුරුදු දාහතරක්, වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා, මේ තරම් ධනස්කන්ධයක් උපයාගන්නේ කොහොමද…? ඒ ප‍්‍රශ්නය සඳහා පිළිතුරක් දෙන්න නම් ෂාෆි සහ ඔහුගේ වත්කම් සඳහා සිටින හවුල්කාර පාර්ශ්ව පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ සියලු දෙනාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා, ෂාෆිගේ පවුලේ සියලු දෙනාගේ දුරකථන වාර්තා ආදිය විශ්ලේශනය කළ යුතු වෙනවා. එම කිසිදු දුරකථන වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. රහස් පොලිසිය කටයුතු කරන්නේ එහෙමයි. කුරුණෑගල පොලිසිය විසින් මේ ගැන ඉදිරිපත් කරලා තියෙන වාර්තා රාශියක් තිබෙනවා. එම වාර්තා යටගහලා, ෂාෆි තමන් ළඟ තියාගෙන රහස් පොලිසිය විසින් අමුතුම නාට්‍යයක් රඟ දක්වන්න පටන් ගත්තා.

ප‍්‍රශ්නය – ෂාෆි සතු වත්කම් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සොයාගන ඇති තොරතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වන්නේ නැත්තේ ඇයි…?

පිළිතුර – කුරුණෑගල නගරයේ ඇති ‘රියෝබාර්’ කියන දේපළ ෂාෆි මිලට ගන්නවා. එය මිලදී ගැනීමේදී තවත් හවුල්කරුවන් තුන්දෙනෙක් සිටිනවා. මේ හවුල්කරුවන් කවුද…? ඒ අයට මේ කෝටි පහළොවක විස්සක දේපලක් ගන්න මුදල් කොයින්ද…? මේ හවුල්කරුවන්ගෙන් මේ දක්වා රහස් පොලිසිය කිසිදු සාක්ෂියක් අරගෙන නැහැ. ෂාෆි සතුව කෝටි ප‍්‍රකෝටි ගණනක දේපල තිබෙනවා. රහස් පොලිසිය මේ කිසිවක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරලා නැහැ. රහස් පොලිසිය කරන්නේ ෂාෆි වෛද්‍යවරයා තමන් ළඟ තබාගෙන ලියන පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන එක විතරයි. එදා කිව්වේ පොලිසියෙන් බේරුණත් රහස් පොලිසියෙන් බේරෙන්න බැහැ කියලා. අද පොලිසියෙන් හසු කර ගත්ත කෙනා බේරෙන වැඩේ කරන්නේ රහස් පොලිසිය.

දෙවැනි කාරණය තමයි නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව. හානියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් මෙවැනි නඩුවලදී එනවා. මේ නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව එන්නේ අම්මලා වෙනුවෙන්. එහෙම ඇවිල්ලා, විත්තිකරුට රහස් පොලිසිය දුන්න වාර්තාව තමයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් කියෙව්වේ. වෙන කිසිදු කොළ කෑල්ලක්වත් නීතිපති දෙපාර්තමේන්තුව කියෙව්වේ නැහැ.

ෂාෆිට මේ තරම් විශාල මුදලක් ආවේ කොහොමද කියලා, හොයන්න ඕනේ. ඉස්ලාම් ත‍්‍රස්තවාදය සමග ෂාෆිගේ වත්කම් සඳහා වඳ සැත්කම් සඳහා සම්බන්ධයක් තිබෙනවාද යන්න පුළුල් විමර්ශනයක් අවශ්‍යමයි. අපි දැනට අප සතුව ඇති තොරතුරු හෙළි කරන්නේ නැහැ. ඒවා අනාගතයේදී හෙළි කරන්නම්. ෂාෆිගේ බැංකු ගිණුම්වල ඇති තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා විනිසුරුතුමා, පළමු දිනයේම නියෝග කළා. එම වාර්තාව දෙවැනි දිනයේදී රහස් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. අපි අධිකරණයේදී ඇහැව්වා, මෙම වාර්තා ඉදිරිපත් නොකර රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව විත්තිකරු නිදහස් කරන්න කියලා ඉල්ලන්නේ කොහොමද කියලා. ඒ අනුව අධිකරණය විසින් ෂාෆි සතු සියලු දේපළ, ගිණුම් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරනවා.

ප‍්‍රශ්නය – පාස්කු ප‍්‍රහාරය සහ වඳ සැත්කම් අතර සම්බන්ධයක් ඇති බවට පෙන්නුම් කිරීමට ඔබ කිහිපවරක්ම උත්සාහ කළා. එසේ වුවත් තවම මේ දෙක අතර සම්බන්ධයක් ඇති බව කීමට තරමේ සාක්ෂි කිසිවක් හමුවී නැහැ…

පිළිතුර – සාක්ෂි හමුවී නැහැ නෙමෙයි… ඒවා යටපත් කරන්න උත්සාහ කරනවා කිව්වොත් නිවැරදියි. පාස්කු ප‍්‍රහාරයේ වගකිව යුතු සියලු දෙනා දැන් නිදහස්… එසේ වුවත් එක්කෙනෙක් හිරවුණා. ඒ ෂාෆි. මේ ක‍්‍රියාදාමයේ හිටපු යහළු මිත‍්‍රාදී සියලු දෙනා නිදහස් වුණා. ෂාෆි විතරක් ඉතුරු වුණා. දැන් මේ රාජ්‍ය යාන්ත‍්‍රණය, මුස්ලිම් අන්තවාදය, ජාත්‍යන්තරය එකතුවෙලා සිය සම්පූර්ණ වෙර යොදවන්නේ ෂාෆි නිදහස් කර ගන්න. මේ සාහසික කාර්යය සම්බන්ධයෙන් ලංකාවේ සියලු දේශපාලන නායකයෝ නිහඬයි… ඉදිරි මැතිවරණ සඳහා මුස්ලිම් ඡන්ද මල්ල දිනා ගන්න ඔවුන් මෙසේ නිහඬතාවය පළ කරනවා. ඡන්ද බලාගෙන සත්‍යය වෙනුවෙන් පෙනී නොසිටින මේ නායකයෝ ඉන්න කොට, මෙවැනි සම්බන්ධකම් අපි හෙළිදරව් කරගන්නේ කොහොමද…?

ෂාෆිගේ ජාතිය නෙමෙයි අපිට තියෙන ප‍්‍රශ්නය… මේ වැඩේ කළේ සිංහල වෛද්‍යවරයෙක් මුස්ලිම් ජනතාවට එරෙහිව නම් ඒත් අපි මේ විදිහටම පෙනී සිටිනවා. මේක සිංහල වෛද්‍යවරයෙක් මුස්ලිම් ජාතියට එරෙහිව කරා නම් මේ රටේ තත්ත්වය කොහොම තියෙයිද…? එහෙනම් අද ලෝකය පුරාම සිංහලයන්ව හම ගහනවා. එහෙම දෙයක් තම ජාතියට වෙලා තියෙද්දී සිංහලයෝ ඉවසාගෙන සිටීම පිළිබඳව මේ රටේ මුස්ලිම් ජනවර්ගය සිංහල ජාතියට ස්තුතිවන්ත විය යුතු වෙනවා. මේක මනුෂ්‍ය සංහතියට එරෙහිව කරන ලද අපරාධයක්… ඒ නිසා මුළු ලෝකයම එකතුවෙලා මේ අපරාධය පිළිබඳව හෙළි කරගන්න ඕනේ.

ප‍්‍රශ්නය – රහස් පොලිසිය විසින් ෂාෆිට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකරන බවට ඔබ දැඩිව කියා සිටිනවා. එවැනි ක‍්‍රියාදාමයක් සඳහා රහස් පොලිසිය යොමුවීම සඳහා තිබෙන හේතු මොනවාද…?

පිළිතුර – ඊළඟ ඡන්දයට කලින් ෂාෆි නිදහස් කර ගැනීම සඳහා අද සිටින දේශපාලන හස්තයට වුවමනාවක් තිබෙනවා. එය ඉටු කරගන්න හැකි සෑම බලයක්ම ඔවුන් යොදනවා. නමුත් මේ රටේ තවම උත්තරීතර මිනිස්සු ඉන්නවා. ඔය කිසිම බලයකට නොනැමෙන විනිසුරුවරුන් තවම මේ රටේ ඉන්නවා. ඔය සල්ලිවලට නැවෙන්නේ නැති වෛද්‍යවරු තවම මේ රටේ ඉන්නවා. තවමත් මේ රටේ සාධාරණය වෙනුවෙන් තමන්ගේ අතින් වියදම් කරගෙන, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් සිටිනවා. ෂාෆි වෙනුවෙන් මෙසේ රහස් පොලිසිය පෙනී සිටින්නේ, දේශපාලන මැදිහත්වීම සහ මුදල් යන කාරණා දෙක වෙනුවෙන්.

ප‍්‍රශ්නය – ඔබ ඇතුළු නීතිඥවරු පිරිසක් ස්වේච්ඡාවෙන් පමණක් නොවේ, අතින් සියලු වියහියදම් දරාගෙන මේ කාර්යයේ නිරතවෙනවා. සමහර ආරංචි මාර්ග පවසන්නේ මේ කර්තව්‍යයේ යෙදෙන විට ඔබ ඇතුළු පිරිසට ජීවිත තර්ජන පවා ඇතිවී තිබෙන බවයි… ඒ ගැන පැහැදිලි කිරීමක් කළහොත්…

පිළිතුර – අප සියලු දෙනාට අද වන විට තර්ජනයට මුහුණ පා තිබෙනවා. අපේ ජීවිතය අවදානමකට ලක්ව තිබෙනවා. රටේ නීතිය රකින රහස් පොලිසිය, අද හැසිරෙන ආකාරය දුටුවාම, අපිට කිසිම ආරක්ෂාවක් නැහැ. මුස්ලිම් අන්තවාදය කියන්නේ සල්ලි ආකරයක්… ඔවුන්ට අපිව ඝාතනය කිරීම සුළු දෙයක්. පසුගිය සතිය වන විට මගේ ෆේස්බුක් ගිණුම් දෙකම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මේ තමයි පළමු තර්ජනය… අපිට තිබෙන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් අපි පොලිසිය දැනුවත් කරලා තියෙනවා. නමුත් තවම අපට ආරක්ෂාව සඳහා කිසිදු පියවරක් පොලිසිය අරගෙන නැහැ.

ප‍්‍රශ්නය – මෙසේ අසරණ වූ මවුවරු වෙනුවෙන් ඔබ ඇතුළු පිරිස සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවද…?

පිළිතුර – පසුගියදා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට අපි අම්මාවරුන් දහසක් කැඳවලා මෙම සංවිධානය පිහිටුවා ගත්තා. මේ සංවිධානයේ නම ‘යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය’. එහි සභාපති මම. කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ නීතිඥ නිරුෂි උයන්වත්ත, ජාතික සංවිධායක නීතිඥ චානක අබේවික‍්‍රම, ලේකම් ලෙස කටයුතු කරන්නේ නීතිඥ සමන් මහත්මයා. මේ සඳහා අම්මාවරු විසිදෙනෙක්ගේ කමිටුවක් දා ගත්තා. එදා අපි එකමුතු වුණහම ඒ සඳහා කිසිදු අනුග‍්‍රහයක් අපිට ලැබුණේ නැහැ. එදා සිටි මව්වරුන්ට මාතර කඩෙන් දිවා ආහාරය ගේන්න රුපියල් පහළොස්දාහක් අපේ අතින් තමයි දුන්නේ. මේ කිසිදු කටයුත්තක් සඳහා අපිට උදව් ලබන්නේ නැහැ. අපේ දෛනික නඩු කටයුතු පවා අතපසු කරමින් තමයි අපි මේ වැඩවලට යන්නේ. මේ තොරතුරු සෙවීම පහසු නැහැ. ඒවායේ පිටපත් ලබා ගැනීම ලංකාව වටේ යන්න වෙනවා. මේ සඳහා විශාල වියදමක් යනවා. මම මේ රටේ සහ විදේශගතව ඉන්න සියලු ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ අපරාධය හෙළිදරව් කර ගැනීම සඳහා අප සමග එක් වෙන්න… මේ නඩුව රාජ්‍ය බලය සහ අන්තවාදයේ සල්ලි කන්දෙන් වැහිලා යන්න දෙන්න එපා… මේ නඩුවේදී සත්‍ය යටපත් වුවහොත් පරදින්නේ ඒ අම්මාවරුන් පමණක් නොවේ. මේ ජාතියම ලෝකය ඉදිරියේ පරදිනවා. ඒ නිසා මේ ත‍්‍රස්තවාදී අන්තවාදය පරද්දවන්න අපි එකට එකමුතු වෙන්න ඕනේ. අපි පිටිපස්සේ කිසිදු දේශපාලන හස්තයක් නැහැ. රතන හිමියන් අපි සමග සිටීම අපිට ලොකු හයියක් වුණා. උන් වහන්සේගේ ඉදිරිපත්වීම අපිට විශාල සහයෝගයක් වුණ බව කියන්නම ඕනේ.

සාකච්ඡා කළේ : මනෝජ් අබයදීර

+++++++++++++++++++++

ෂාෆි බේරන්න ගහන දහංගැට; ෂාෆි නිවැරැදිකරු කරගැනීමට HSD පරීක්‍ෂණය ඉල්ලයි…..!

(21.07.2019 – divaina.com)

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ඔවුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ ශල්‍යකර්මවලදී වඳ භාවයට පත් වූ බව කියන මව්වරුන්ට HSD පරීක්‍ෂණය සඳහා කාසල් සහ සොයිසා රෝහල්වල සියලු පහසුකම් සලසා ඇති මුත් කිසිම මවක් මේ වන තුරුත් එම පරීක්‍ෂාව සඳහා ඉදිරිපත් නොවූ බවයි.

පුදුමයට කරුණ වන්නේ කුරුණෑගල අධිකරණය මගින් මෙම HSD පරීක්‍ෂාව නතර කරන ලෙස නියෝගයක් ලබා දී තිබීම මේ සෞඛ්‍ය බලධාරීන් නොදැන සිටීමය. HSD පරීක්‍ෂණය මගින් මව්වරුන් වඳ භාවයට පත් වී ඇත්ද යන්න නිවැරැදිව සොයා ගැනීමට නොහැකි බවට නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරු පුනපුනා කියා සිටියහ.

මෙම පරීක්‍ෂණය මගින් කෙරෙන්නේ පැලෝපීය නාලය හරහා ඩයි වර්ගයක් යවා එය ක‍්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමය. එහෙත් එම ක‍්‍රමය මගින් මව්වරුන් වඳභාවයට පත් වී ඇත්දැයි හඳුනාගැනීම අපහසුය.

එමෙන් ම එම පරීක්‍ෂණය මව්වරුන්ට හානිදායක පරීක්‍ෂණයක් බව ද කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් හමුවේ ජුනි මස 28 වැනිදා පෙන්වා දුන්නේය. HSD පරීක්‍ෂණය ක‍්‍රියාත්මක කිරීමෙන් පිළිකා ඇති විය හැකි බවත්, මඳසරුභාවයට පත්ව සිටින මව්වරුන් ස්ථිර වශයෙන් ම වඳ භාවයට පත්විය හැකි බව ද වෛද්‍යවරු පැහැදිලි කර දුන්හ.

මේ තත්ත්වය සලකා බැලූ කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා වඳ භාවයට පත් වී ඇති බව කියන මව්වරුන් HSD පරීක්‍ෂාව සඳහා යොමු කිරීම නතර කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයෙන් පුනපුනා ඉල්ලා සිටියේ HSD පරීක්‍ෂණය සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසයි. මොවුන්ට අවශ්‍ය වී තිබුණේ HSD පරීක්‍ෂණය සිදුකර වෛද්‍ය ෂාෆි නිවැරැදිකරුවකු කර ගැනීමට බව පැහැදිලිය.

මව්වරුන් වඳ භාවයට පත් කර ඇද්ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා විසින් ක‍්‍රමවේදයන් කීපයක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

මෙම ක‍්‍රමවේදයන් පිළිබඳව වාර්තාව සකස් කර තිබුණේ නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් හරහා ය.

කුරුණෑගල රෝහල මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශයන් මෙසේය :

1. වෛද්‍ය ෂාෆි විසින් සීසර් ශල්‍යකර්මවලට භාජන කළ රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන්ගේ ප‍්‍රජනන ඉන්ද්‍රියයන්වල ව්‍යුහයට හා ක‍්‍රියාකාරීත්වයට යම් හානියක් සිදු වී ඇත්දැයි පරීක්‍ෂා කිරීමට සුදුසු නවීන තාක්‍ෂණ ක‍්‍රමවේදයන් භාවිත කර එම මව්වරුන් පරීක්‍ෂාවට ලක් කර ඔවුන්ගේ මඳසරුභාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය යුතු බව.

2. පිළිගත් පර්යේෂණාත්මක විධික‍්‍රමයක් වන සංඛ්‍යාතමය ක‍්‍රමවේදයන් භාවිත කර ඔහු විසින් සිදුකළ සීසර් ශල්‍යකර්මවලින් පසු මදසරුභාවයට පත් වී ඇති සිංහල සහ මුස්ලිම් මව්වරුන්ගේ සංඛ්‍යාවන් සංසන්දනය කිරීම සහ වෙනත් නාරි හා ප‍්‍රසවවේදී වෛද්‍ය නිලධාරීන් සිදුකළ සීසර් ශල්‍යකර්මවලින් පසු මඳසරුභාවයට පත් වූ මව්වරුන්ගේ සංඛ්‍යාවත් වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ සීසර් ශල්‍යකර්මවලින් පසු මඳසරුභාවයට පත්වූ මව්වරුන් හා සංසන්දනාත්මක විශ්ලේෂණයක් කළ යුතු බව.

මෙම ක‍්‍රියාවන් මාර්ගයෙන් මව්වරුන් වඳභාවයට පත් කර ඇත්ද යන් නිවැරැදිව නිගමනයකට එළඹිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.

– මනෝජ් අබයදීර

+++++++++++++++++++++

සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම අගෝස්තු 6 වනදා

(22.07.2019 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අයතා ආකාරයට දේපල උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මස 06 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා.

මෙම පෙත්සම අද විනිසුරු බුවනෙක අලූවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ කැදවනු ලැබූ අතර මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ පවසා සිටියේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති අනෙකුත් වගඋත්තරකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

මේ අතර ඇතැම් වගඋත්තරකරුවන් වෙත නොතීසි ලැබී නොමැති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය අද යලි නොතීසි නිකුත් කර තිබෙනවා.

රැඳවුම් භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙම පෙත්සමෙන් වෛද්‍ය සාෆි ඉල්ලා තිබුණා ෴

+++++++++++++++++++++

කුරුණෑගල මහේස්ත‍්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

(22.07.2019 – 18:46 +0530 – lankadeepa.lk)

ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210 කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශ්වකරුවකු නොවන එමෙන්ම, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් එච්.එස්.ජී (H S G) පරීක්ෂණය නවතා දැමීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට එම දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා ඇත ෴

+++++++++++++++++++++

සාෆි ගැන කෙරෙන විමර්ශන ගැන දැනුවත් කරන්න යුක්තිය උදෙසා මව්වරුන් ජනපති ලේකම් කාර්යාලයට

(23.07.2019 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සහ ඔහු විසින් මව්වරුන්ට වන්ද්‍යාකරණ සැත්කම් කළ බව කියන සිද්ධිය පිළිබඳ සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.

එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු වෙත ඔවුන් ලිපියක් භාරදුන් අතර, ඊට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද එක්ව සිටියා.

යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයේ සභාපති නීතීඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා එහිදී කියා සිටියේ වෛද්‍ය සාෆි ශිහාබ්දීන් වත්කම් උපයාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි.

+++++++++++++++++++++

එ.ජා නියෝජිතයා ෂාෆිගේ දුක සැප සොයයි

(22.07.2019 – 06:28 +0530 – lankaleadnews.com)

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නිසාලෙයිට් සොසී මෙරටට පැමිණ ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 2000 කට අධික තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීන් සහ කුරුණෑගල මව්වරුන් වඳභාවයට පත් කළ බව කියන වෛද්‍ය ෂාෆි පිළිබඳව විමර්ශනය කිරීමට බව හෙළිවී ඇත.

දින අටක් පුරා මෙරට රැඳී සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අගතියට පත් මව්වරු හෝ පාස්කු ප‍්‍රහාරයෙන් විපතට පත් පිරිස හමුවී සාකච්ඡා කිරීමට ඉදිරිපත් වී නැත.

මෙරට මුස්ලිම් ජනතාවට තර්ජන සහ ප‍්‍රහාරවලට මුහුණදීමට සිදුවී ඇති බවත් මුස්ලිම් ජාතිකයන් නිකරුනේ අත්අඩංගුවට ගෙන ඇති බවත් දක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පිටු 10 ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කර ඒ ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබිණි.

මේ අනුව ලබන 26 දා තෙක් මෙරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කරුණු විමසීමට තීරණය කර ඇත්තේ ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කරන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියා ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලකයන් සහ රජයේ නිලධාරීන්ගෙනි.

මෙම එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරට තත්ත්වය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් සහ මහා සංඝරත්නය සමග සාකච්ඡා පවත්වන බව සිය න්‍යාය පත‍්‍රයේ දක්වා නැත ෴

+++++++++++++++++++++

බොරු කියා මිනිහව අමාරුවේ දාන්න හැදුවැයි සාපිගෙ ගෑණි ගෙන් පැමිණිලි දෙකක්

(24.07.2019 – gossiplankanews.com)

බොරු කියා මහත්තයාව අමාරුවේ දාන්න හැදුවැයි වෛද්‍ය සාෆිගේ බිරිඳ වෛද්‍ය ඉමාරා සාෆිගෙන් පැමිණිලි දෙකක්

වෛද්‍ය මොහොමඩ් සාෆිට විරුද්ධව රෝහල් අධ්‍යක්ෂවරයා සහ පොලිසිය ව්‍යාජ චෝදනා එල්ල කර ඇති බව සඳහන් කරමින් වෛද්‍ය සාෆිගේ බිරිඳ, වෛද්‍ය ඉමාරා සාෆි ඊයේ (23) පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළාය. CIB ii 182/108, CIB ii 187/109 යන අංක යටතේ මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා විසින් වෛද්‍ය සාෆිට විරුද්ධව ව්‍යාජ පැමිණිලි 11 ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම, කුට ලේඛන සකස් කිරීම, අධිකරණය නොමග යවනසුලු බොරු තොරතුරු ලබාදීම යන කාරණා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉන් එක් පැමිණිල්ලකින් ඉල්ලා ඇත.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් දිසානායක කුරුණෑගල අපරාධ විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා යන නිලධාරින් විසින් වෛද්‍ය සාෆිට විරුද්ධව බොරු පැමිණිලි නවයක් ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ ෴

+++++++++++++++++++++

සාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතා

(25.07.2019 – 10:38 +0530 – hirunews.lk/sinhala)

අයථා අන්දමින් වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහිව කුරුණෑගල නගර මධ්‍යයේ අද විරෝධතාවක් පැවැත්වුණා.

ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ සහ ජනතාව එක්ව පැවැත්වූ මෙම විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම විරෝධතාවට එරෙහිව පොලීසිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබූ අතර, එහිදී නියෝග කෙරුණේ මහජන පීඩාවක් ඇති නොවන අන්දමින් සහ දේපළවලට අලාභහානි නොවන අන්දමින් විරෝධතාව පවත්වන ලෙසයි.

වෛද්‍ය සාෆි ශිහාබ්දීන්ට එරෙහි නඩුව අද පස්වරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත අතර, වෛද්‍යවරයාට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය පැවැත්වුණේ.

ඊට සමගාමීව නගරයේ ඇතැම් ස්ථානවල කළු කොඩි ඔසවා තිබුණා.

වෛද්‍ය සාෆි සහබ්දීන්ගේ සියලුම වත්කම් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පසුගිය 12 වනදා නඩුව කැඳවූ අවස්ථාවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝගයක් කළා.

මේ වනවිට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂාව තරකර ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු පුෂ්පකුමාර ජයරත්න සඳහන් කළේ.

මේ අතර තමන්, අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෛද්‍ය සාෆි සහබ්දීන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 6 වනදා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීමටද නියමිතයි.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *