වෛද්‍ය ෂාෆිට ඇප (යාවත්කාලිතයි 28.07.2019)

(25.07.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා එල්ලවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තෙවැනි දිනටත් කැඳවීය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෂාෆි වෛද්‍යවරයා ද නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේදීයි.

අද පස්වරු 1.30 ට පමණ නඩු විභාගය ආරම්භ වූ අතර විත්තිකාර වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති නඩුවක් බැවින් භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පිරිස් නඩු විභාගය අවසානයේ පිටතට ගොස් මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හරහා සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිතා මතා සිදුකරන එවැනි ප්‍රකාශ නිසා විශාල අගතියක් ඇති වන බැවින්, මෙම නඩුවේ පාර්ශ්වකරුවන් හැර අනෙකුත් පිරිස් අධිකරණ පරිශ්‍රෙයන් ඉවත් කර නඩු විභාගය සිදුකරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අගතිතයට පත්වූ මවක්වේ නම් නඩු විභාගයේදී පළවන අදහස් දැන ගැනීමට ඇයට අයිතියක් ඇති බැවින් සෙසු පාර්ශ්ව ඉවත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙහිදී යළිත් අධිකරනය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කියා සිටියේ අගතියට පත් පාර්ශ්වය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කවුරුන්ද යන්න දැනගැනීමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවයි.

එහිදී විත්තිකාර පාර්ශ්වය සහ අගතියට පත් පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අනවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි.

මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ ගෞරවනීයව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණයට සහාය වන ලෙසයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුනු දක්වමින් වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සී අයි ඩී යට ලැබුණු පැමිණිලි 615 අතරින් වඳභාවය සම්බන්ධයෙන් සැකයක් සහිත පැමිණිලි සංඛ්‍යාව 147 ක් පමණක් වන බවත්, සෙසු පැමිණිලි සිසේරියන් සැත්කමින් පසුව නැවත දරු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොඉක්මවූ මව්වරු විසින් සිදුකළ ඒවා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකයට තුඩුදෙන පැමිණිලි 147 ක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ දරුණු තුවාල සිදුකිරීමේ වරද යටතට ගැනෙන බවද, ඔහු සඳහන් කළේය.

වෛද්‍ය ෂාෆි අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක 03 අංශයට යොමු කර ඇති බවද වන්ද්‍යකරණය සම්බන්ධයෙන් වෙනම පරික්ෂණ සිදුකරගෙන යන බවද සඳහන් කළ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තහවුරු කිරීමට කරුණු නොමැති බවයි.

එමෙන්ම වන්ද්‍යකරණය සිදුකර ඇත්තේද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා සිදුකිරීමට නියමිතව තිබූ එස් එච් ජී පරික්ෂණ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ශන කටයුතු ඇනහිට තිබෙන බවද නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ කාසල් සහ ද සොයිසා රෝහල්වල ඉකුත් වසර 05 ක කාලය තුළ එස් එච් ජී පරික්ෂණවලට ලක්වූ මව්වරුන්ට සංකූලතා ඇති වී තිබේද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට එම රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලෙසයි.

එමෙන්ම ඉකුත් ජුනි මස 27 වන දින පැවති නඩු විභාගයෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයට කළ ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝපටවල පිටපත් සී අයි ඩී යට ලබාදෙන ලෙස දෙරණ හා හිරු මාධ්‍ය ආයතන වෙත නියෝගයක් කරන ලෙසද අධිකරණයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම් දෙකටම අධිකරණය අවසර ලබා දුන්නේය.

විත්තිකරු රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මේ වනවිට විත්තිකාර වෛද්‍ය ෂාෆි දැඩි තුවාල සිදුකිරීමේ වරද යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වන වගන්තිය ප්‍රකාරව රඳවාගෙන සිටින අතර එය ඇප ලබාදිය හැකි වරදක් බැවින් විත්තිකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති හෙයින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳව කිසිදු වාර්තාවක් සී අයි ඩී ය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම වෛද්‍ය ෂාෆි ඇප මත මුදාහැරියහොත් මව්වරුන්ට විවිධ බලපෑම් එල්ල කර මුදල් ලබාදී විමර්ශන කටයුතු අඩපණ කිරීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට තමන් විරුද්ධ බවද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන් සඳහන් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් යළිත් වරක් නීතිපතිවරයාගේ මතය විමසා සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ විමර්ශනවල කරුණුවලට අනුව ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.

ඒ අනුව විත්තිකරුට ඇප ලබා ලබා දී ඇත.

+++++++++++++++++++++

වෛද්‍ය සාෆිට ඇප

(25.07.2019 – 19:09 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගරගත කර සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මීට සුළු මොහොතකට පෙර ඇපමත මුදාහරුණා.

ඒ, ඊට අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

නඩුව අද පස්වරු 01 ට කැඳවූ අතර, වෛද්‍යවරයාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබාදීම සඳහා එය පස්වරු 5.45 දක්වා කල් තැබුණා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් මත වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මුදාහැරීමටයි.

මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9 ත් සවස 4 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කළා.

නඩුව අගෝස්තු 09 වැනිදා යළි කැඳවනවා.

අද දිනයේ පළමුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේ පෙනී සිටි අතර, එහිදී ඔහු සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය ඇතුළත් බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මව්වරුන්ගෙන් ලැබී ඇති පැමිණිලි 615 න් 147 ක් විමර්ශනය කර අවසන් බවද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම පැමිණිලි තෝරා ගනු ලැබුවේ සිසේරියන් සැත්කම් සිදුකර දරුවෙකු යළි පිළිසිඳ ගැනීමට ගතවන කාලය ඉක්මවා ඇති මව්වරුන් තෝරා ගනිමින් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ.

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ ගැනෙන බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ වුවත් එම වරද තහවුරු කරන කිසිදු කරුණක් මෙතෙක් අනාවරණ වී නොමැති බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද අධිකරණය හමුවේ ඔහු කියා සිටියා.

නමුත්, මෙම විමර්ශන කටයුතු අතරමග නවතා දැමීමට සිදුව ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම, ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මව්වරුන්ට සිදුකරන එච්.එස්.බී පරීක්ෂණ සම්බන්ධයෙන් පසුගිය වසර 5 ක වාර්තා ලබා දෙන ලෙස කොළඹ කාසල් රෝහලට සහ ද සොයිසා කාන්තා රෝහලට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව විනිසුරුවරයා අදාළ නියෝගය ලබාදුන්නා. එසේම, කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අතර, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අංක 3 අංශයට එම විමර්ශන භාරදී ඇති බවත්, ඔහු සඳහන් කළා.

එහිදී වෛද්‍යවරයා මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට හෙළි වුවහොත් ඔහුට විරුද්ධව තවත් නඩුවක් ගොනුකිරීමට බලාපොරොත්තු වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වරදක් කර ඇති බව සාධාරණ සැකයකින් ඔප්පු වී නොමැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද අධිකරණය හමුවේ කියා සිටියේ.

විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ බැවින් එය ඇප ලබාදිය හැකි වරදක් වන අතර, ඔහුට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නා.

අනතුරුව විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර කරුණු දැක්වීම ආරම්භ කළා.

එහිදී ඔහු කියා සිටියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වුවත් එම චෝදනාවලින් මේ වනවිට ඔහු නිදොස් කර ඇති බවයි.

දැනට ඔහුට එල්ල වී ඇති චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන්නේ දින 14 කට වුවත් තම සේවාදායකයා එම කාල සීමාව ඉක්මවා බන්ධනාගාර ගත කර ඇති බවද ඔහු සඳහන් කළා.

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සැත්කම් සිදුකිරීමේදී තවත් වෛද්‍යවරුන් සහ හෙදියන් ඊට සහය ලබාදෙන බව පෙන්වා දුන් ඔහු, තම සේවාදායකයා වරදක් කර ඇත්නම් ඊට අනුබල දීමේ චෝදනාව යටතේ ඔවුන් ද විත්ති කූඩුවට පැමිණවිය යුතු බව මෙහිදී ප්‍රකාශ කළා.

පසුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දැක්වීම ආරම්භ කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන අනෙක් වෛද්‍යවරුන් මසකට සැත්කම් 19 ක් පමණක් සිදුකරන නමුත් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මසකට සැත්කම් 40 ක් සිදුකර ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

එම සැත්කම් සිදුකළ සියලූම මව්වරුන් සිංහල බව පෙන්වා දුන් නීතිඥවරුන් සඳහන් කලේ වෛද්‍යවරයාට එරෙහිව තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ පමණක් නඩු පැවරීම නිෂ්ඵල බවයි.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් පවතින බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේදී පෙන්වා දුන්නා.

මව්වරුන් රෝහලට ලබාදී ඇති ප්‍රකාශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ අතර යම් යම් පරස්පරතා පවතින බැවින් ඔවුන් බිය ගන්වා ප්‍රකාශ ලබාගෙන ඇත්දැයි සාධාරණ සැකයක් මතුවන බව ද එහිදී නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

විද්‍යාත්මක පරීක්ෂණ හරහා මෙම සිද්ධිය ලඝු කිරීමට කටයුතු නොකොට කුරුණෑගල රෝහලේදී සිසේරියන් සැත්කම් සිදුකර ඇති මුස්ලිම් මව්වරුන්ගේ ද ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ රාජ්‍ය බැංකුවක පවතින ගිණුම් වාර්තා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළා.

මේ වසරේ මැයි මස 24 වනදා විට එහි ගිණුම් ශේෂය හතලිස් හතර කෝටි විසිලක්ෂ 568 යි ශත 11 ක් ලෙස සටහන් වී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මෙම ගිණුම් ශේෂය එක් බැංකුවක පමණක් බව පෙන්වා දුන් නීතිඥවරුන් මෙතරම් මුදල් ප්‍රමාණයක් මොහුට ලැබී ඇත්තේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

වෛද්‍යවරයා තම පත්වීම ලබා ගන්නා අවස්ථාවේ ලබාදුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ රුපියල් ලක්ෂ 7 ක මුදලක ණයක් පවතින බව ඔහු පෙන්වා දී ඇති බවත් නීතිඥවරුන් පෙන්වා දුන්නා.

ඒ හේතුවෙන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් වත්කම් බැරකම් පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොකර ඇප ලබාදීම කළ නොහැකි බවයි නීතිඥවරුන් සඳහන් කළේ.

එමෙන්ම, වෛද්‍ය සාෆි ෂිහාබ්දින් අරාබි ජාතිකයෙක් සමග ගණුදෙනු කර ඇති බව ද ඔවුන් ප්‍රකාශ කළා.

එමෙන්ම, ඔහු සම්බන්ධ ආයතන දෙකක් පවතින අතර, එහි සේවය කරන පුද්ගලයින්ගේ ගිණුම් පවා පරීක්ෂා කිරීම අවශ්‍ය බවයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ.

ත්‍රස්තවාදී නායක සහරාන් සමග සබදතා තිබූ අයෙක් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇසුරු කර ඇති බවද ඔවුන් අධිකරණයට පෙන්වා දුන්නා.

එහිදී නීතිඥවරුන් සහරාන් සමග අදාළ පුද්ගලයා ලබා ගත් ඡායාරූප ඇතුළත් වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වූ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වුව ද පසුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විශේෂ කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර යළි රාජ්‍ය සේවයට වෛද්‍යවරයා එක් කර ගැනීම හරහා ඔහුට ඇති දේශපාලන බලය පිළිබිඹු වන බව ද මෙහිදී ප්‍රකාශ වුණා.

ඒ හේතුවෙන් මව්වරුන්ට සාධාරණයක් ඉෂ්ඨ වේදැයි සැකයක් මතුවන බව ද නීතිඥවරුන් කියා සිටියා.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යළි කරුණු දැක්වූ අතර එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන අතර දැනට නඩුවට අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි.

අධිකරණයට පෙන්වා දුන් බැංකු වාර්තා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හරහා විමර්ශනයක් සිදු කෙරෙන බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

+++++++++++++++++++++

වෛද්‍ය සාෆිට ඇප ලබා දීමට එරෙහිව දැඩි විරෝධයක්

(26.07.2019 – nethnews.lk)

සැක සහිත සිසේරියන් සැත්කම් පිළිබද චෝදනා ලබා සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් විරෝධය පළ කරනවා.

එම වෛද්‍යවරයා ඇප මත මුදාහැරීම අසාධාරණ බවයි පූජ්‍ය ආනන්ද සාගර හිමියන් පැවසුවේ.

අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකුද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි ඊයේ ඇපමත මුදා හැරුණේ රුපියල් දෙලක්‍ෂ 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ 25 ක ශරීර ඇප 4 ක් මතයි.

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆිගේ විමර්ශන ගැන පාර්ශ්ව රැසකින් විවේචන

(26.07.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අද පාර්ශ්ව කිහිපයක විවේවනයට ලක්වුණි.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ කිසිවෙක් ආරක්ෂා කිරීම සඳහා විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා එල්ලවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඊයේ ඇප මත මුදාහැරියේය.

ඒ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4 ක් මතයි.

මේ අතර අද රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව පූජාපිටිය කාන්තා බලමණ්ඩලය ෂාෆි වෛද්‍යවරයා ඇප මත මුදාහැරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළේය.

+++++++++++++++++++++

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ගැන, රහස් පොලීසියෙන් විමර්ශනයක්

(27.07.2019 – 08:02 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට රෝහලට ගිය අවස්ථාවේ, ඊට බාධා එල්ල කිරීමේ සිද්ධියකට අදාළවයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යළි ප්‍රකාශ ලබා ගන්නා ලෙසටයි.

කෙසේ වෙතත්, රාජකාරියට බාධා සිදුකිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වනවා.

මේ අතර, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නිදහස් කිරීම වෙනුවෙන් විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

එසේම, වෛද්‍ය සාෆිගේ බැංකු ගිණුමකට වරින් වර විශාල සංඛ්‍යාවකින් මුදල් බැර වී ඇති ආකාරය දැක්වෙන බැංකු වාර්තා කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

සැක සහිත අයුරින් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.

මේ අතර, කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට ඇප ලබාදීමේ සිද්ධියත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ එම පෙරමුණ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා – රුවන් ගුණසේකර

(27.07.2019 – 18:54 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට බාධා කිරිමේ චෝදනාව යටතේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටයුතු වලට බාධා කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරියේදී කටයුතු කරන බව රුවන් ගුණසේකර මහතා පවසයි.

කුරණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව සිදුකරන විමර්ශන අතරවාරයේදී එම විමර්ශන වලට බාධා කළ බවට රෝහල් අධ්‍යක්ෂවරයාට විරුද්ධව මේ වනවිට චෝදනා එල්ල වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශනයට අදාළව විකිරණශීලි විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගැනීමට හා විමර්ශනයට ඉතා වැදගත් වන ලිපි ලේඛන CID භාරයට ගන්න කුරුණෑගල රෝහලට ගිය අවස්ථාවේදී කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සඳහා ඉඩ ලබා නොදුන් බව රුවන් ගුණසේකර මහතා චෝදනා එල්ල කරයි.

රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව දැනටමත් මෙම නඩුව යටතේම අධිකරණයට CIDයෙන් කරුණු වාර්තා කර ඇති බවත් ඒ මහතා පවසයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අද (27) පැවති මාධ්‍ය හමු කිහිපයකදී දැඩි ලෙස විවේචනයට ලක් වුණි.

මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේ ෂාෆි වෛද්‍යවරයා සතු අති විශාල වත්කම් හේතුවෙන් රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පියුමාල් හේරත් මහතා සඳහන් කළේ මෙම ගැටලුව ලංකාව තුළ විසඳා ගත නොහැකිනම් ජාත්‍යන්තර ඇප අධිකරණයට, මානව හිමිකම් කොමසාරිස් හමුවට, හා ජාත්‍යන්තර යුධ අපරාධ කමිටුව හමුවට යාමට සිදුවන බවයි.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂපාතීව කටයුතු කිරීම නිසා මෙහි පරීක්ෂණ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවට ගෙන අය බවයි.

+++++++++++++++++++++

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ ගැන CID විමර්ශන, නීතිපති උපදෙස් මත – රතන හිමි වාර්තාවක් ජනගත කිරීමට සැරසේ

(27.07.2019 – 18:40 +0530 – hirunews.lk/sinhala)

වන්ද්‍යකරණයට ලක්වූ බව පැවසෙන මව්වරුන් පරීක්ෂා කිරීමට විධිමත් තාක්ෂණික උපකරණ මෙරට නොමැති නම්, ඒවා ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් වාර්තාවක් සමාජගත කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය සමග පරීක්ෂණයක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට විරෝධය දැක්වූ එම රෝහලේ අධ්‍යක්ෂවරයා පිළිබඳව නීතිපතිවරයාගේ ද උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

+++++++++++++++++++++

CIDය ෂාෆිගේ වත්කම් හෙළි කරන්නේ නැතිනම් අපි කරනවා – රතන හිමි

(27.07.2019 – 16:33 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ වත්කම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු නොකරන්නේ, ඔහුගේ වත්කම් හෙලි කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

කොළඹ දී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ අදහස් පල කළේය.

මව්වරු වන්ද්‍යාභාවයට පත් කර ඇති ආකාරය පරීක්ෂා කිරීමට විධිමත් තාක්ෂණික උපකරණ ගෙන්විය නොහැකිනම් ඒ සඳහා ඇති දියුණුම උපකරණය මහජන ආධාරයෙන් මහ රෝහලට ලබා දීමට කටයුතු කරමින් සිටින බව රතන හිමියන් ප්‍රකාශ කරයි.

වෛද්‍ය සංගමය ඉදිරිපත් කරන කරුණුවලට වඩා වෙනස් ඥාණයක් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට හෝ නියෝජ්‍ය නීතිපතිවරයාට හෝ තිබේදැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියි.

+++++++++++++++++++++

මවුවරුන් වඳ කළ බවට චෝදනා ලැබූ ෂාෆිගේ ගිණුමේ රු. කෝටි 49 ක්.. දිනකට රුපියල් ලක්‍ෂ දෙක, තුන ඇවිල්ලා….!!!

(27.07.2019 – divaina.com)

වඳ කරනු ලැබූ මවුවරුන්ගේ ප‍්‍රමාණයට අනුපාතිකව වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් ගේ බැංකු ගිණුමට කෝටි ප‍්‍රකෝටි ගණනක මුදල් ලැබී ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී (එජනිස) සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) පැවසීය.

කුරුණෑගල බැංකු ශාඛාවක වෛද්‍ය ෂාෆිට අයත් ගිණුමකට පාස්‌කු ප්‍රහාරයෙන් පසුව රුපියල් ලක්‍ෂ දහ අටක මුදලක්‌ ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය :

“කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතාට ඊයේ ඇප ලබාදුන්නා. මවුවරුන් 3479 දෙනකුට සැත්කම් කරපු මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් විත්තිකරුවා වෙනුවෙන් ඇප ඉල්ලීම කළා. සාමාන්‍යයෙන් ඇප ඉල්ලන්නේ පැමිණිලිකරු වෙනුවෙන්. මේක විහිළුවක්‌. ඊට පස්‌සේ තොරතුරු වසන් කරමින් ෂාෆි වෛද්‍යවරයාට මුදල් ලැබුණු ආකාරය ගැන විමර්ශනය කළා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ගිණුම්වල ශේෂය රුපියල් ලක්‍ෂ පහක්‌වත් තිබුණේ නෑ.

මම ඉදිරිපත් කරනවා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ෂාෆි ෂෙහාබ්දීන්ගේ ගිණුමට මුදල් ආපු ආකාරය ගැන.

ගිණුම් අංක 0112-100-01444149 මහජන බැංකුව කුරුණෑගල ශාඛාව. මේ ගිණුමට මුදල් ලැබීම ගැන මම කොටසක්‌ කියවන්නම්. මේ ආණ්‌ඩුව 2015 ජනවාරි 08 දා පත්වුණේ. ඊට පස්‌සේ මුදල් මොහුගේ ගිණුමට ගලාගෙන එනවා. දිනකට රුපියල් ලක්‍ෂ දෙක, තුන ඇවිත් තිබෙනවා.

2015 අගෝස්‌තු දහවැනිදා මේ ගිණුමට දශ ලක්‍ෂයක්‌ ලැබිලා. දොළහ දින ලක්‍ෂ හතළියයි, දහතුන දින දෙලක්‍ෂ හැත්තෑදහසයි, ඒ මාසේම පහළොස්‌වැනිදා පහළොස්‌ ලක්‍ෂ විසිපන්දාහයි, විසිහය වැනිදා දොළොස්‌ ලක්‍ෂයයි, තිස්‌ එක්‌වැනිදා ලක්‍ෂ දෙකයි. මේවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නෑ. ශානි අබේසේකර මහතා ඇත්ත කතා කරනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා. විලි ලැඡ්ජයි.

මේ ගිණුම් ඉදිරිපත් කරන්නේ නෑ. අර මවුවරුන්ට විශාල අසාධාරණයක්‌ කරනවා. රුපියල් කෝටි හතළිස්‌ නවයකට ආසන්න මුදලක්‌ ෂාෆි ෂෙහාබ්දීන් නමින් බැරවෙනවා. විශාල මුදලක්‌ බැරවෙනවා. ප්‍රහාරයට ආසන්න දිනවලත් විශාල මුදලක්‌ බැරවෙනවා. ප්‍රහාරයෙන් පසුව රුපියල් දහඅට ලක්‍ෂයක මුදලක්‌ බැරවෙලා.

ඔහු කුරුණෑගලින් වත්කම් මිලදී ගන්නවා. ඔහුගේ බිරිඳට සහ ඔහුගේ ඥාතීන් නමින් විශාල වත්කම් ප්‍රමාණයක්‌ මිලදී ගෙන තිබෙනවා.

ශල්‍යකර්මයකින් වඳකරන මවකට සාපේක්‍ෂව රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි ප්‍රමාණයක්‌ විදේශ රටවලින් හෝ වෙනත් තැන්වලින් ෂාෆිගේ ගිණුමට ලැබෙනවා. ඉනෝකා උදයංගනී කියන අඹගොඩේ ප්‍රදේශයේ පදිංචි මව කියනවා රාත්‍රි 11 ට ෂාෆි වෛද්‍යවරයා ඇවිත් එපා කියද්දි බලහත්කාරයෙන් සීසර් සැත්කමට ලක්‌ කළා කියලා. ඔහු මවුවරුන් 11 එල්. ආර්. ටී. සැත්කම්වලට ලක්‌කරලා. දිවුරුම් ප්‍රකාශ සහිතයි. මේවා මම සභාගත කරනවා.

සමස්‌ත මනුෂ්‍යත්වයටම නින්දා කරන ක්‍රියාවලියක්‌ මේක. මේවා ගැන කරුණු කියන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බෑ. ඒ අය නිවට විදිහට ඇප ඉල්ලනවා. සිංහල ද මුස්‌ලිම් ද දෙමළ ද කියලා ප්‍රශ්නයක්‌ නෑ. මේවා මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියා. මේ දේශද්‍රෝහී ආණ්‌ඩුව සිටිනතාක්‌කල් මේ වගේ නීතිවිරෝධී වැඩ කෙරෙනවා. මිනිසුනේ මේවා ගැන ඇස්‌, කන් ඇරගෙන හිටපල්ලා කියලා අපි ඉල්ලනවා ෴

– අකිත පෙරේරා, රනිල් ධර්මසේන

+++++++++++++++++++++

අහිංසක ෂාෆි…..

(28.07.2019 – divaina.com)

අන්තිමේදී දොස්තර ෂාෆි සිහාබ්දීන්ට ඇප ලැබිණ. සිසේරියන් සැත්කම් කරන අවස්ථාවේදී නීති විරෝධී ලෙස සිංහල සහ දෙමළ මවුවරුන් වන්ධ්‍යාකරණය කිරීම, රුපියල් කෝටි ගණනක් අයුතු ලෙස උපයා ගැනීම ඇතුළු තවත් චෝදනා ඔහුට තිබිණ. ඔහුට ඇප දෙනවාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වූයේ නැත. ඒ අනුව දොස්තර ෂාෆි ඇප පිට නිදහස් විය.

මෙයට අවුරුදු කිහිපයකට පෙර රාජපක්‍ෂවරුන් බලයේ සිටි කාලයේ එක්තරා රාත‍්‍රියකදී කොළඹ අවට තැනක මෝටර් රථයක් ගිනි ගනිමින් තිබෙන බවට පණිවුඩයක් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ලැබිණ. ඒ අනුව එහි ගිය සේනානායක දුටුවේ කුමක්ද? දැවෙමින් පවතින රථය තුළ මියගිය මිනිසකු ද සිටින බවය. ඔහු මරා රථය තුළට දමා ගිනි තැබුවේ ද නැත්නම් ඔහු රථය තුළ සිටියදීම රථයට ගිනි තබන ලද්දේ ද, එහෙමත් නැත්නම් රථය හදිසි අනතුරකින් ගිනි ගන්නා ලද්දේ ද යන්න කිසිවෙක් නොදත්හ. රථය තුළ මියගොස් සිටි තරුණයා රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ය. රාජපක්‍ෂවරුන් පරාජය වූ පසු තාජුඩීන් සිද්ධිය ‘නඩුවක්’ ලෙස මතුවුණ අතර පෙරකී රාත‍්‍රියේදී ගිනිගත් රථය බැලීමට ගිය අනුර සේනානායකට මාංචු දමනු ලැබීය. ඔහුට එල්ල වූ චෝදනාව තොරතුරු වසන් කිරීමය. ඔහුට ඇප දෙනවාට C.I.D ය විරුද්ධ වූ අතර අන්තිමේදී අනුර සේනානායකට පුරා මාස 11 කට වැඩි කාලයක් රිමාන්ඞ් හිරගෙදර වහලයේ උළු ගණන් කළේය. අනුර සේනානායක ගැහැනුන් වඳ කළේ නැත. ඔහු සහරාන්ට සල්ලි දුන්නේත් නැත. ඔහු අයුතු ලෙස මුදල් ඉපයූ බවට චෝදනාවක් නොවීය. එහෙත් ෂාෆිගේ කර්ම ශක්තියට වඩා අනුර සේනානායකගේ කර්ම ශක්තිය දුර්වල විය. ඔහුට මාස 11 ක් රිමාන්ඞ් හිරේ ලැගීමට සිදු වූවේත් ෂාෆි සති දෙකක් රිමාන්ඞ් හිරේ සිටියේත් මෙන්න මේ කර්ම ශක්තියේ අවුල නිසා විය යුතුය.

මෙයට සති දෙකකට පමණ පෙර දිනපතා ‘දිවයිනේ’ මුල් පිටුවේ කදිම ඡායාරූපයක් පළ විය. එහි නිරූපණය වුණේ කුරුණෑගල අධිකරණයට ගෙන එන ෂාෆිගේ කෝට් එකේ ගැටුණ කුණු චුට්ටක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් පිස දමන ආකාරය ය. අන්න නියම මිනිස් ගතිය. මෙය පොලිසිය පිළිබඳ තිබෙන මතවාදය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඡායාරූපයකි. සාමාන්‍යයෙන් මේ රටේ ජනයා පොලිසිය හඳුනන්නේ මිනිසුන්ට නිකරුනේ නඩු දමන, ඔලු පලන, ජීප් එකට විසිවන ලෙස පයින් ගහන ආයතනයක් ලෙසය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ වාහනවල ‘ලීස්’ වාරික අපරාධකරුවන් විසින් ගෙවනු ලබන ආයතනයක් ලෙසය. ආණ්ඩුව පෙරලුන විට ඔස්ටේ‍්‍රලියාවට පැන යෑම සඳහා පහසුකම් සකස් කරදෙන්න සිටින ආයතනයක් ලෙසය. එහෙත් ඒ මතය වෙනස් කරමින් වඳ සැත්කම් සැකකරුවකුගේ කෝට් එකේ තැවරුණ කුණු චුට්ටක් පිස දමමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා රටට දෙන පාඩම කොතරම් අගනේද? මිනිසා මොකා වුවද (ගැහැනුන් වඳ කරන්නකු වුවද) ඔහුගේ ඇඳුමේ කුණු ටිකක් තිබුණොත් එය ඉවත් කිරීම මනුස්සකම බව කියන පාඩම නොවේද එහි ගැබ්ව ඇත්තේ?

දොස්තර ෂාෆි ඇත්තෙන්ම අසරණ, අහිංසක, යහපත් මිනිසකු විය යුතු බව (අප තේරුම් නොගත්තාට) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තේරුම් ගත් බව පැහැදිලිය. ෂාෆි පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තිසේරා නමැති පුද්ගලයා කුරුණෑගල උසාවියේදී සැකකරු සම්බන්ධයෙන් කළ දයාන්විත ප‍්‍රකාශ මනුෂ්‍යත්වය පිළිබඳ කදිම උදාහරණයකි. වැඩේ සිදුවන්නේ මෙහෙම නම් ෂාෆි නිවැරදිකරුවන දවසට අප සියලු දෙනා එල්ලා මරා දැමීමේ දඬුවමට ලක් විය යුත්තාහ ෴

+++++++++++++++++++++

28.07.2019

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *