අගමැතිගේ අපල දුරු කරන්න අලි පැටියෙක් යොදා ගැනීමේ උත්සහයක්?

(13.07.2019 – 19:24 +0530 – sinhala.adaderana.lk)

රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඇත් පැටවෙක් දේශපාලන අවශ්‍යතාවයක් මත පුද්ගලික බාරයට පැවරීමේ සූදානමක් පිළිබදව ලිපියක් භාරදීම සඳහා අද (13) අරලියගහ මන්දිරයට වැඩම කළ ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එහි සිටි ආරක්ෂක නිලධාරින්ගෙන් බාධා එල්ල වුණි.

කෙසේවෙතත් එල්ල වූ බාධා හමුවේ වුවද උන්වහන්සේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් අදාල ලිපිය භාරදීමට පියවර ගත්තේය.

රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඉසිර නැමැති ඇත් පැටවා නිතීවිරෝධි ලෙස දේශපාලන බලපෑමෙන් පුද්ගලික බාරයට පැවරීමේ සූදානමට එරෙහිවන්නැයි ලිපියක් භාරදීම සඳහා සුරකිමු ශ්‍රි ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද අරලියගහ මන්දිරයට වැඩම කළේය.

කෙසේවෙතත් එහි සිටි ආරක්ෂක නිලධාරින් උන්වහන්සේට පවසා සිටියේ එහි අනිත් දොරටුවෙන් පැමිණෙන ලෙසයි.

කෙසේවෙතත් එම දොරටුවෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුලු වීමට නොහැකි වීම නිසා උන්වහන්සේ නැවතත් ප්‍රධාන දොරටුව වෙත වැඩම කළ අතර එහිදී යම් නොසන්සුන්කාරි තත්වයක් හටගත්තේය.

අවසානයේ පාහිංයගල ආනන්ද සාගර හිමියන් අරලියගහ මන්දිරය වෙත ගොස් අදාල ලිපිය භාර දී නැවත පිටතට වැඩම කර සිටියේය.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් පල පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගේ අපල දුරුවීම උදෙසා වනාන්තරයක නිදැල්ලේ වැඩෙන අලි පැටවෙකු කතරගම දේවාලයට භාරකිරීමට රජයේ අමාත්‍යවරු දෙදෙනෙක් සූදානම්වන බවට ලද තොරතුරකට අනුව එය වහා නතර කරන ලෙස ඉල්ලා සත්ව සුබසාධක සංගම් නියෝජතියින්ගේ අත්සන්වලින් යුත් ලිපියක් අග්‍රාමාත්‍යවරයාට භාර දීම සඳහා එහි පැමිණි බවයි.

අලි පැටවා ඉතාමත්ම කුඩා තවමත් කිරි උරා බොන සතෙකු වන බවත් ජනාධිපතිවරණයට අභිෂේක ලැබීම වෙනුවෙන් යොදා ගැනීම කිසිසේත් අනුමත නොකරන බවයි.

තමන්ගේ දේශපාලන අරමුණ ඉටු නොවන බව දැනීමේ දී ඒ සඳහා සතුන් පවා යොදා ගැනීමට දේශපාලකයන් පෙළඹී ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කරයි.

මේ සඳහා වග කිව යුතු අමාත්‍යවරු දෙදෙනෙක් සිටින බවත් ඒ ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ජෝන් අමරතුංග අමාත්‍යවරයා බවත් උන්වහන්සේ අනාවරණය කළේය.

මෙම කරුණු සනාථ කළ හැකි දුරකථන ඇමතුමක් තමන් සතු බවත් ආනන්ද සාගර හිමි පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් පලකිරීමෙන් අනතුරුව උන්වහන්සේ නැවතත් එහි සිටි ආරක්ෂක නිලධාරින්ට දෝෂාරෝපණය කර සිටියේය.

මේ අතර අරුණ ලක්සිරි උණවටුන නම් නීතිඥවරයෙක් ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉසිර නම් ඇත් පැටවා නීති විරෝධි ලෙස පුද්ගලික බාරයට පත්කිරීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

+++++++++++++++++++++

මහා සංඝරත්නයට වැසුනු අගමැති කාර්යාලයේ දොර

(13.07.2019 – 18:43 +0530 – hirunews.lk/sinhala)

රිදීගම – සෆාරි උද්‍යානයේ නිදැල්ලේ සැරිසරන ඇත් පැටවෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අපල දුරු වීම සදහා නීතිවිරෝධී ආකාරයෙන් පෞද්ගලික භාරයට පත් කිරීමේ සූදානමක් පවතින බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

මේ සම්බන්ධයෙන් ලිපියක් භාරදීම සදහා අරලියගහ මන්දිරයට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ සදහන් කළේ අදාළ අලි පැටවා පෞද්ගලික භාරයට පත් කිරීමේ උත්සාහයට අමාත්‍යවරයෙකු ද සම්බන්ධ බවයි.

කෙසේ වෙතත්, අදාළ ලිපිය අග්‍රාමාත්‍යවරයාට භාරදීම සදහා අරලියගහ මන්දිරයට ඇතුළුවීමට පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සහ තවත් පිරිසක් උත්සාහ දැරීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තා.

අදාළ පිරිස පසුව අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි මහජන සබදතා නිලධාරියෙකුට මෙම ක්‍රියාවට විරෝධය දක්වන ලිපිය භාර දුන්නා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ කිරිබොන වයසේ පසුවන ඇත්පැටවෙකු මෙලෙස පෞද්ගලික භාරයට පත් කිරීමේ සූදානමක් පවතින බවයි.

***************************************

තේරීම් කාරක සභාවෙන් ජාතික ආරක්ෂාවට වන අනතුර ගැන විජේදාසගෙන් කරූට ලිපියක්

(13.07.2019 – 18:59 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව එළඹෙන 24 වනදා යළි රැස්වීමට නියමිතව ඇත.

එදිනට සාක්ෂි විමසීම සඳහා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මඟින් ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම පිළිබඳ ශිර්ෂ යටතේ කරුණූ 12 කින් යුත් ලිපියක් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කථානකය කරූ ජයසුරිය මහතා වෙත යොමු කර ඇත.

රාජ්‍ය ආරක්ෂක පනතේ දෙවන වගන්තියට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂාව තහවුරු කිරීමේලා අවශ්‍ය ආයතන, සංවිධාන, උපකරණ, ස්ථාන සහ තොරතුරු සුරක්ෂිත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලස්වා ඇති බව පෙන්වා දෙන විජේදාස රාජපක්ෂා මහතා සඳහන් කරන්නේ පනතේ 7 වන වගන්තියට අනුව ආරක්ෂක රහස් තොරතුරු හෝ ලේඛන කිසිදු පාර්ශ්වයකට ලබාදීම සපුරා තහනම් බවයි.

එවැනි නිල තොරතුරු සතු අයෙකු විසින් ඒකී තොරතුරු ලබාදිය හැක්කේ සේනාධිනායක, පොලිස්පති, හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු බලයලත් නිලධාරීන්ට පමණක් බව ද විජේදාස රාජපක්ෂ මහතා යොමුකළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

විජේදාස රාජපක්ෂ මහතා යොමුකළ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ නිල රහස් පනතේ 27 වැනි වගන්තියට අනුව රහස්‍ය තොරතුරු යන්නට, රහස්‍ය වචන, සංඛේත, අභිඥ්ඥා වචන, රහස් ස්ථාන, හමුදාවන් පිළිබඳ තොරතුරු, ඡායාරූප රහස්‍ය ලේඛන, පිඹුරුපත්, දළ සටහන් ආදිය සියල්ල ඇතුළත් බවයි.

රාජ්‍ය බුද්ධි අංශ පමණක් සතු පැවතිය යුතු තොරතුරු කිසිවෙකු විසින් හෝ නිල බලයක් නොමැතිව ලබාගැනීම, ලබාගැනීමට සැලැස්වීම, හෙළිදරව් කිරීම, මාධ්‍ය තුළින් විකාශයට පත් කිරීම, එවැනි කාරණයක් සඳහා අනුබල ලබාදීම, නිල රහස් පනතේ 26 වන වගන්තියට අනුව වසර 14 කට නොවැඩි කාලයක් සිර දඬුවමකට හෝ රුපියල් 20,000 ක දඬ මුදලක් නියම කිරීමට හෝ ඉහත කී දණ්ඬණයන් දෙකටම හෝ යටත් කිරීමට ලක්කළ යුතු සාපරාදී අපරාධයක් බවද එම ලිපිය මඟින් සිහිපත් කර ඇත.

එමෙන්ම මෙම රහස්‍ය තොරතුරු ලබා ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය මඟින් පාර්ලිමේන්තුවට බලයක් ලබාදී නොමැති බවද එම ලිපියේ සඳහන්ය.

මෙම ලිපියේ 12 වන කරුණ මඟින් විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ සේනාධිනායකයා ලෙස සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය බුද්ධි තොරතුරු පාර්ලිමේන්තුව තුළ හෝ වෙන කුමන ස්ථානයකදී හෝ හෙළිදරව් කිරීමට ඉඩදීම මඟින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.1 ආ සහ 38.2 ආ 1 ව්‍යවස්ථාවන්හි ප්‍රතිපාදනයන් චේතනාන්විතව උල්ලංඝනය කර ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

තේරීම් කාරක සභාවේදී බුද්ධි ප්‍රධානීන්ගේ සාක්ෂි රහසිගතව විමසීමේ තීරණයක්

(14.07.2019 – 07:01 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 24 වැනිදා බුද්ධි අංශ ප්‍රධානීන්ගේ සාක්ෂි විමසීම රහසිගතව සිදුකිරීමට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් මේ වනවිටත් සකස් කර ඇති අතර, එය මාධ්‍ය වෙත අනාවරණ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ ඡායාරූපයක් හෝ ලබාගැනීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙලෙස බුද්ධි අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳ විවිධ පාර්ශව මත පළ කර තිබුණා. මෙම කැඳවීම මගින් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අනන්‍යතාව හෙළිවීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවටයි අදහස් පළ වුණේ.

එළැඹෙන 24 වැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි රැස්වීමට නියමිත අතර, එදිනට රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබෙනවා.

එමෙන්ම, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ එදිනට සාක්ෂි ලබාදීමට නියමිතයි ෴

***************************************

සහරාන් පිළිබඳ ලිපිගොනුව ගැන අහන්න සුදත්ත හිමි පොලිස් මූලස්ථානයට

(13.07.2019 – 17:25 +0530 – sinhala.adaderana.lk)

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (13) පොලිස් මූලස්ථානය වෙත පැමිණියේය.

ඒ 2017 වසරේදී සහරාන් පිළිබඳව සඳහන් කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ බව පැවසෙන ලිපිගොනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් 2017 වසරේදී සහරාන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට නෛතික උපදෙස් ලබා දීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 11 වන දා නිවේදනය කළේය.

සහරාන් සම්බන්ධයෙන් වසර දෙකකට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව හිටපු නීතිපතිවරයා කිසිදු පියවරක් ගෙන නොතිබූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දක්වන නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනී නීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය පෙන්වා දුන්නේ, 2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යොමුකළ ලිපි ගොනුව පරිශීලනය කර බැලීමේදී සහරාන් හෂීම් සහ ඔහුට සම්බන්ධ ජාතික තවුහිඩ් ජමාද් සංවිධානයේ අන්තවාදී ක්‍රියා කලාපයන් පිළිබද කරුණු අඩංගු වී නොතිබූ බවයි.

එමෙන්ම අදාළ ලිපි ගොනුව පිටු 300 කින් සමන්විත බවට සුදත්ත හිමියන් කරන ප්‍රකාශය සාවද්‍ය සහ නිවැරදි නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව සිය නිවේදයන මඟින් අවධාරණය කෙරුණි.

එහි වැඩිදුරටත් ප්‍රකාශ වුයේ ඉහත කරුණු සලකා බැලීමේදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින මාධ්‍යයට කරන ලද ප්‍රකාශය, අසත්‍ය, පදනම් විරහිත සහ සාවද්‍ය එකක් බවයි.

2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය යොමුකළ ලිපි ගොනුව පරිශීලනය කර බැලීමේදී සහරාන් හෂීම් සහ ඔහුට සම්බන්ධ ජාතික තවුහිඩ් ජමාද් සංවිධානයේ අන්තවාදී ක්‍රියා කලාපයන් පිළිබද කරුණු අඩංගු වී තිබුණේ නැති බවත් එහිදී සඳහන් විය.

කෙසේ වෙතත් අද (13) පොලිස් මූලස්ථානය වෙත පැමිණි සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනී නීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය සහරාන් පිළිබඳ ලිපි ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි බව පිළිගත් බවයි.

මෙම ලිපිගොනුව සම්බන්ධයේ පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව විමර්ශනය කර නෛතික ක්‍රියාමාර්ග ගත්තානම් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගැනීමට තිබු බව උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

නීතිය ක්‍රියාත්මක කරන සියලු ආයතන මේ සඳහා වගකිව යුතු බවත් ඒ හිමියන් සඳහන් කළේය ෴

***************************************

හිරු සී.අයි.ඒ. : දේශපාලන රැකවරණ මැද වනසන සෝමාවතිය රක්ෂිතය

(13.07.2019 – 21:24 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව අවට වනාන්තර පද්ධතිය සුනු විසුනු කළ ආකාරයෙන්ම සංවිධානාත්මක වන සංහාරකයින් පිරිසක් පොලොන්නරුවේ වනාන්තර පද්ධතිය විනාශ කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මෙන්ම වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින සෝමාවතී ජාතික උද්‍යානයේ ඉඩම් ද, කුඹුරු අස්වද්දන මුවාවෙන් මේ වනවිටත් අත්පත් කරගෙන අවසන්.

හිරු සී.අයි.ඒ. සිදු කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙම නීති විරෝධී කුඹුරුවලට ජලය සැපයීම සදහා සෝමාවතිය ජාතික වනෝද්‍යානය දෙකඩ කරමින් ඇළ මාර්ගයක් ද ඉදිකරමින් පවතින බවයි.

පසුගිය බදාදා අප හිරු සී.අයි.ඒ. හරහා හෙළිකලේ දකුණු ආසියාවේ විශාලතම විල්ලු පද්ධතිය සහිත ජාතික වනෝද්‍යානය වන පොලොන්නරුව – ජලගැලුම් නිම්න උද්‍යානය වන සංහාරකයින් ග්‍රහණයට ලක් කර ගෙන තිබු ආකාරයයි.

කුඹුරු අස්වද්දන මුවාවෙන් වනෝද්‍යානය සතුව පවතින භූමිය ක්‍රම ක්‍රමයෙන් අත්පත් කරගන්නා කැළෑ පාළුවන් ක්‍රම ක්‍රමයෙන් කුඹුක් ගස් සියල්ල ගිනි තබා විනාශ කර තිබුනා.

ඊට සමගාමීව සංවිධානාත්මක කල්ලියක් විසින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින සෝමාවතී ජාතික උද්‍යානය ද නිතී විරෝධීව අත්පත් කරගනිමින් සිටින්නේ කුඹුරු අස්වැද්දීමට මුවාවෙමින්.

රජය සතු ජාතික වනෝද්‍යානයක සැලකිය යුතු අක්කර ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් කුඹුරු අස්වැද්දීමට කැලෑපාළු ජාවාරම්කරුවන් පෙළඹී තිබෙන්නේ මෙරට නීති රීති කිසිවක් තඹ දෙයිතුවකට හෝ මායිම් නොකරමින්.

ජාතික වනෝද්‍යානයක් රැකගැනීමට පනවා ඇති නීති රෙගුලාසි පොත්වලට පමණක් සීමාකරමින් දිනෙන් දින කම්බි වැටවල් ගසමින් ප්‍රබල දේශපාලන රැකවරණ ලබමන් ජාවාරම්කරුවන් විසින් මෙම වනෝද්‍යානය අත්පත් කරගනිමින් පවතිනවා.

කිසිවෙකුටත් නොදැනෙන ලෙස වසර සිය දහස් පැරණි මහා වනස්පතීන් දිනෙන් දින මරණය කරා ගෙන යන අතරතුරම වනෝද්‍යාන භූමියට වතුර හරස්කරමින් හිස් භූමි ප්‍රදේශ කුඹුරු බවට පත්කිරීමට ද මේ වනවිට සිදුකරමින් පවතිනවා.

මෙහි ඇති විමතිය දනවන කරුණ වන්නේ පසුගිය දිනවල බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් සෝමාවතී ජාතික වනෝද්‍යානය දෙකඩ කරමින් ඇල මාර්ගයක් ඉදිකර ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ ද ආධාරයෙන් වීමයි.

මෙම නීති විරෝධී ඇල මාර්ගය පිළිබදව ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් විමසු විට ඇය ප්‍රකාශ කලේ මෙම ස්ථානයේ ඇල මාර්ගයක් කැපීමට අවසර දී නොමැති බවයි.

ප්‍රාදේශීය ලේකම්වරිය දැන් කුමන පිළිතුරක් ලබාදුන්න ද නීති විරෝධීව කුඹුරු අස්වද්දමින් සෝමාවතිය ජාතික උද්‍යානය තම අණසකට යටත් කරගැනීමට වෙරදරන සංවිධානාත්මක ජාවාරම්කරුවන් මේ වනවිට අදාල ඇල මාර්ගය උපයෝගී කරගනිමින් කුඹුරුවලට අවශ්‍ය ජලය ලබාගැනීමට ද පියවර ගෙන අවසන්.

***************************************

මිරිස්සේ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග 12 ක් අත්අඩංගුවට

(13.07.2019 – 21:29 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – මිරිස්ස මුහුදේ ධීවර යාත්‍රාවක ෆේස්බුක් සාදයකට සැරසුණු, තරුණ තරුණියන් 12 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මිරිස්ස මුහුදේ ධීවර යාත්‍රාවක මෙම සාදය පැවැත්වීම සඳහා යාමට පැමිණි පිරිසක් පිළිබඳව මාතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට පත්වූ 12 දෙනා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ඇති අතර, එම පිරිසට තරුණයින් 09 දෙනෙකු සහ තරුණියන් 03 දෙනෙකු ඇතුළත්.

ඔවුන් ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගනේමුල්ල, මාකොළ, කැළණිමුල්ල, රත්මලාන, හඳගනාව, වත්තල, මාතර සහ වැලිගම පදිංචිකරුවන්.

වයස අවුරුදු 20 ත්, 26 ත් අතර වයස්වල පසුවන ඔවුන් ළඟ තිබී හෂීස්, අයිස්, කේරළ ගංජා, එම්.ඩී.එම්., මෙන්ම හඳුනා නොගත් මත්පෙති සහ දිවයට තබාගන්නා මත් මුද්දරද හමුවී තිබෙනවා.

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=w-LCn5W4Oug#t=5

***************************************

ආරක්‍ෂිත කැමරාවේ සටහන් වූ මුදල් සොරකම

(13.07.2019 – 18:01 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දෙවට ප්‍රදේශයේ අවන්හලකදී, පිටස්තරව පැමිණි පුද්ගලයෙකු එහි පැමිණි කාන්තාවකගේ මුදල් සොරකම් කර පලා යන ආකාරය අවන්හලේ සවි කර තිබු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.

මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ දිනයේදීයි.

එම අවන්හලට කාන්තාවන් දෙදෙනෙක් දිවා ආහාර පාර්සල් ලබා ගැනීමට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ අවන්හලේ සේවය කරනු ලබන සේවකයෙක් ලෙස හඟවමින් පුද්ගලයෙක් අදාළ කාන්තාවන් දෙදෙනා සමඟ කතා බහක් සිදු කරනු ලබනවා.

පසුව ඔහු එම කාන්තාවන් දෙදෙනා මිලදී ගැනීමට පැමිණි දිවා ආහාර පාර්සල් සඳහා මුදල් ලබාගෙන එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දෙවට වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

https://www.youtube.com/watch?v=QAfW_GsOgKM#t=5
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *