යාපන පාසලකදී මන්ත්‍රී ශ්‍රීධරන් වෛරයෙන් කළ කතාව

(11.07.2019 – 09:52 +0530 – lankadeepa.lk)

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුද හමුදාව අද පාසල් ආරක්‍ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ඇඟ කිලිපොළා යන තරමේ ප්‍රකාශයකි. එයට හේතු දෙකකි. පළමුවැන්න එම ප්‍රකාශයේ අන්තර්ගතයයි. දෙවැන්න මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරන්නේ පාසල් දරුවන්ට වීමය. මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කළේ කිලිනොච්චිය පුනරීන් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්‍ෂ 84 ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

දේශපාලනඥයා යනු ජනතා නියෝජිතයෙකි. එබන්දකුගේ කතාබහ වගකීම් සහගත විය යුතුය. ආදර්ශවත් විය යුතුය. සැබෑවකි. වන්නිය රුධිරයෙන් නෙත බරිත පොළොවකි. ලේ කුහර පෑදුණ පොළොවකි. ඒ භීත යුගය යළි යළිත් වර්තමානයට රැගෙන ආ යුතු නැත. අවශ්‍ය වන්නේ ඒ මිනිසුන්ගේ කඳුළ සිනාවකටත් ඒ මිනිසුන්ගේ වෛරය බලාපොරොත්තුවකටත් පරිවර්තනය කළ හැකි දියුණු වැඩපිළිවෙළකි. සන්සුන් සංහිඳියාවෙන් පිරි ගත් අනාගතයක් සම්බන්ධ සිහිනය ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කර ගත හැකි වන්නේ එමගිනි.

එමතුදු වුව කිලිනොච්චිය, පුනරීන් පිරමන්දනාරු පාසලේ දරුවන් ඉදිරිපිට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි :

“අද මම පාසලට එනවිට මාර්ගයේ ඉදිරියෙන්ම හිටියේ යුද හමුදාව. මේ වෙනකොට යුදහමුදාව දාලා තියෙන්නේ දකුණේ බෝම්බ පුපුරපු තැන්වලට නොවෙයි. මේ වගේ පළාත්වල සාමාන්‍ය පාසල්වලටම යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්‍ෂා කරනවා කියලා හොඳ නම ගන්න තමයි දාල තියෙන්නේ. මේ නිසා මම මේ දරුවන්ට කියනවා ඔයාලා ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න ඔයාලගේ තාත්තලා කී දෙනෙක් මැරුවද? සහෝදරයන් කී දෙනෙක් මැරුවද? කියලා. දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගෙ රඟපාමින් ඉන්නවා.”

ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගත හැකි වූයේ මෙබඳු ප්‍රකාශවලින් බවට සැකයක් නැත. සහරාන්ට මරාගෙන මැරෙන අනුගාමිකයන් බිහිකරගත හැකි වූයේ ද මෙබඳු පන්නයේම ප්‍රකාශවලිනි. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට අවශ්‍ය වන්නේත් වර්තමාන පරපුර තුළින් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගැනීමටද යන ප්‍රශ්නය මඟහැර යා යුතු නැත.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව උතුරේ පාසල්වල ආරක්‍ෂාවට හමුදාව යෙද වූ විට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඉල්ලා හිටියේ ‘හමුදාව ඉවත් කරන්න එපා’ යනුවෙනි. උතුරෙන් හමුදාව ඉවත් කිරීම පිණිස විවිධාකාරයේ සටන් ක්‍රියාමාර්ග තෝරමින් සිටි දෙමළ ජාතික සන්ධානය එක්වරම සියයට අනූ නවයක්ම කැරකී කියා සිටියේ හමුදාව අවශ්‍ය බවය.

යථාර්ථය එයයි. හමුදාවේ වගකීම මහජනයා ආරක්‍ෂා කිරීමය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටම භීතියෙන් ඇළලී ගියේය. එයට උතුර දකුණ කියා බේදයක් ද නොවීය. දෙවැනි වටයේ ප්‍රහාරයක් පිළිබඳව ද වාර්තා විය. පාසල්වලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට ද බුද්ධි අංශ වාර්තා කර තිබිණි. පාසල්වල ආරක්‍ෂාවට හමුදාව යෙදවීමට සිදු වූයේ ඒ අනුවය.

ශ්‍රීධරන්ලා කියන ආකාරයට සිංහල ආණ්ඩුව හෝ සිංහල හමුදාව අවධානය යොමු කළේ සිංහල දරුවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මේ එකම රටකි. ඒ එකම රටේ සියලු දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් රජය පියවර ගත්තේය. හමුදාව එම පියවර ක්‍රියාත්මක කළේය.

ශ්‍රීධරන්ලා ඒ සම්බන්ධයෙන් සතුටු විය යුතුය. නැවත නැවතත් සතුටු විය යුතුය. එහෙත් ඒ වෙනුවට ඔවුන් කරන්නේ ජාතිවාදී සැරව ගෙඩිය පිපිරවීමය. රුධිර ගංගා මතින් පීනා යමින් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සහ දරන අයකු හැරුණු විට මෙවන් ප්‍රකාශ නොකරනු ඇත. මේ නිර්ලජ්ජිත මෙන්ම නින්දනීය උත්සාහය ලත් තැනම ලොප් කළ යුතුය.

ඉකුත් වසරේ දී යාපනයේ ගම්බිම් යටකළ මහා ගංවතුරේදී ඒ ජනයාගේ පිහිටට ආවේ ආරක්‍ෂක අංශය. ඒ ලකුණුදා ගැනීමට නොවේ. හොඳ නම ගන්න නොවේ. එය ආරක්‍ෂක හමුදාවල පරම වගකීම වන හෙයිනි. පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ද රටේ ආරක්‍ෂාව ආරක්‍ෂක අංශ බාර ගත්හ. ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඒකාන්ත විශ්වාසය රැගෙන එන්නේ ඔවුන්ය. එයට සිංහල, දෙමළ, මුස්ලිම් කියා බේදයක් නැත. එය වගකීමය. යුතුකමය. එය නිසරු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකුට අයිතියක් නැත. මන්දයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන බවට ශපථ කර ඇති හෙයිනි ෴

***************************************

ආණ්ඩුවක් ඉල්ලූ පමණින් පිටු ඉවත් කරන්නේ නැහැ – ෆේස්බුක් පිටු ඉවත් කිරීමේ ඇත්ත නැත්ත ෆේස්බුක් සමාගම හෙළි කරයි

(12.07.2019 – nethgossip.lk)

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු පවසති.

ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව පිළිපදින බව ද එම නිලධාරීහූ කීහ.

ෆේස්බුක් සමාගමේ නැගී එන වෙළෙඳපොළවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර ඔවුහු එම කරුණු සඳහන් කළහ.

කොළඹදී ඔවුන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. එහිදි අදහස් දැක්වූ ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයා මෙසේ කීය.

“රජයන් වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ කටයුතු කිරීමේදී අපි ඉතා විනිවිදභාවයෙන් වැඩ කරනවා. ඒ වගේම අපි ලෝකයේ සෑම රජයක් සහ ආණ්ඩුවක් සමඟ කටයුතු කරන්නේ එකම විදියකට. ඒ තත්ත්ව සහ ප්‍රමිත වෙනස් වෙන්නේ නැහැ.

රජයන් සහ ආණ්ඩු සමඟ කටයුතු ක්‍රියාවලිය ඉහළම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව අනුගමනය කරනවා. ඒ වගේම අපි මානව හිමිකම් සංවිධානවලට පොරොන්දු ලබා දී තිබෙනවා. එම සංවිධාන සමඟ කටයුතු කරනවා. ඒ නිසා රජයක් හෝ ආණ්ඩුවක් ඉල්ලීමක් කළ පමණින් අපි ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළවන ඡායාරූප හෝ සටහන් ඉවත් කරන්නේ නැහැ. ඒවා සීමා කරන්නේ නැහැ.

රජයකට හෝ ආණ්ඩුවකට එවැනි ඉල්ලීම් කරන්න පුළුවන්. එසේ ඉල්ලීම් කළ හැක්කේ නීත්‍යනුකූල ආයතනයක් මාර්ගයෙන්. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ නම්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මාර්ගයෙන්.

පුද්ගලයෙක් දිගින් දිගටම අපේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරනවා නම් ඒ උල්ලංඝණය කිරීම්වල බරපතළකම අනුව අපි ඔවුන්ගේ ගිණුම හෝ පිටු ඉවත් කරනවා. එසේ වුවත් අපි එහෙම ගිණුම් හෝ පිටු හෝ ඉවත් කරන්න කලින් එම පුද්ගලයා දැනුවත් කරනවා.

ඔවුන් ඊට එකඟ නැතිනම් ඔවුන්ට පුළුවන් අභියාචනයක් කරන්න. ඒ අනුව ස්වාධීන කණ්ඩායමක් දෙවැනි වරට ඒ ගැන විමසා බලනවා. ඒ කමිටුව කිව්වොත් අදාළ පුද්ගලයා ප්‍රතිපත්ති උල්ලංඝණය කරලා කියලා ඒ පිටුව නැවත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙත් කමිටුව තීරණය කළොත් අතපසු වීමක් වෙලා කියලා හා ඔවුන් අභියාචනය සමඟ එකඟවුණොත් අදාළ ෆේස්බුක් ගිණුම හෝ පිටුව නැවත ක්‍රියාත්මක කරන්න අපි පියවර ගන්නවා. ඒ වගේම අපි සමාව අයැදීමකුත් කරනවා” ෴

***************************************

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් – Google transit ලංකාවේ මෙහෙයුම අරඹයි…

(12.07.2019 – 15:00 +0530 – lankacnews.com)

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ වෙයි. ඒ ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සරයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට Google traffic යන විශේෂාංගය ශ්‍රී ලංකාවට විවෘතව පවතී. එම Google traffic විශේෂාංගයෙන් පෞද්ගලික ප්‍රවාහන තොරතුරු සහ පෞද්ගලික ප්‍රවාහනය සඳහා ස්ථාන සහ මාර්ග සිතියම් තොරතුරු සපයයි. නමුත් ගූගල් මැප්හි පොදු ප්‍රවාහන සේවාවේ තොරතුරු ලබා දෙන Google transit විශේෂාංගය තවමත් ශ්‍රී ලංකාවට විවෘතව නොමැත. ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී අද සිදු කෙරුණේ එම Google transit විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීම සඳහා අතවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීමයි. ඉදිරි දින කිහිපයේදී ගූගල් ආයතනය විසින් එකී දත්ත නිරීක්ෂණය කර අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් Google transit විශේෂාංගයෙන් ‍තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මෙරට පොදු ජනතාවට උදා වන බවත් එම ව්‍යාපෘතියේ ‍භාරකරු, මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසයි.

“මෙම සේවාව යටතේ ඔබට පොදු ප්‍රවාහනයේ තොරතුරු විශාල වපසරියකින් ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා. උදාහරණයකට ඔබට නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය යැයි සිතමු. එවිට මෙම Google transit විශේෂාංගයෙන් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරනවා. ගමනට ගතවන කාලය, බස්රථ නවත්වන ස්ථානය, පයින් යායුතු තැන්, දුම්රිය නැඟිය හැකි තැන් ආදි වශයෙන් තොරතුරු රැසක් එයින් ලබා ගත හැකියි. ඇත්තටම මෙම විශේෂාංගය දැනටමත් ජපානය, චීනය වැනි රටවල ක්‍රියාත්මක වනවා. ඉදිරි සති කිහිපයේදී අපේ රටෙත් මෙම විශේෂාංගය සක්‍රිය වනවා. එය ප්‍රවාහනයේ තොරතුරු විප්ලවයක් යැයි අපට හඳුන්වා දෙන්න පුළුවන්…”යිද ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පැවසීය.

Google transit විශේෂාංගයෙන් මුල් අවස්ථා‍වේදී තොරතුරු ලබා ගැනීමට හැකි වන්නේ බස්නාහිර පළාතේදී පමණි. දෙවැනි අදියරේදී සෙසු පළාත් දක්වා ව්‍යාප්ත කෙරේ. දුම්රිය, අන්තර් පළාත් බස්රථ සහ පළාත් සභා බස්රථ පිළිබඳ ‍තොරතුරු එයින් ආවරණය කෙරෙයි. දුම්රිය රතු පැහැයෙන්ද අන්තර්පළාත් බස්රථ නිල් පැහයෙන්ද පළාත් සභා බස්රථ කොළ පැහැයෙන්ද සිතියමේ දැක්වෙයි.

ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසන්නේ මුල් අවස්ථාවේදී කාල සටහන් ගත තොරතුරු පමණක් එම Google transit විශේෂාංගයෙන් ලබා ගැනීමට හැකි වුණත් පසුව GPS තාක්ෂණය යොදා ගනිමින් සජීවි තොරතුරු මෙම විශේෂාංගයෙන් ලබා දීමට හැකි වනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවද ප්‍රවාන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී සහතික කළේය.

“තාමත් බොහෝ අය ජාතික ගමනා ගමන කොමිසම් සභාව දෙස බලන්නේ බස්රථ සඳහා බලපත්‍ර ලබා දෙන ආයතනයක් ලෙස. නමුත් ජාතික ගමනා ගමන කොමිසම් සභාවෙන් විය යුත්තේ ලයිෂන් ලබා දීම නොමෙයි. මගේ පෞද්ගලික මතය නම් ජාතික ගමනා ගමන කොමිසම් සභාව කළ යුත්තේ බස්රථ නියාමනය පමණයි. එතැනට ජාතික ගමනා ගමන කොමිසම් සභාව ගෙන යාමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා. ඒ වගේම Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමට මුල පිරීමට හැකි වීම ගැනත් මම සතුටු වනවා. එයින් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි අපි විශ්වාස කරනවා. අද අපි මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ පොදු ප්‍රවාහනයෙන් මහජනතාව ඈත් වීම. කෙසේනමුත් මේ වන විට නැවත වරක් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වන බව නවතම දත්ත පෙන්නුම් කරමින් තිබෙනවා. Google transit වැනි විශේෂාංග හඳුන්වා දීම මඟින් එය තවදුරටත් වර්ධනය කර ගත හැකි බව මම වි‍ශ්වාස කරනවා…”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

***************************************

ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ට්ගාඩ් සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..

(12.07.2019 – 22:10 +0530 – lankacnews.com)

ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති මේජර් නිශ්සංක සේනාධිපති මහතා විසින් සකස් කරන ලද ලිපියකි :

නාවික හමුදාව යටතේ තිබූ අවි ආරක්ෂණ කටයුතු ඔවුන්ගෙන් ඉවත්කර අපගේ ඇවන්ට්ගාර්ඩ් සමාගමට දුන්නේ ඇයි දැයි අසමින් ද්වේශ සහගත ලෙස අවළාද නගනා, මඩ ගසනා සහ එම ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනගැනීමේ කුතුහලයෙන් පෙළෙනා බොහෝ දෙනෙකු වෙනුවෙන් මා මේ ලිපිය ලිවීමට තීරණය කළෙමි. සියලු ලිපි ලේඛන අප අතැතිව වසර පහකට ආසන්න කාලයක් අප ඒ පිළිබඳව නිහඬව සිටියේ එයින් නාවික හමුදාවට වෙන අපහසුතාවයත්, අප ආයතනයේ වැඩ කළ විශ්‍රාමික නාවික හමුදා නිළධාරින් එය හෙළිදරවු කරනවාට දැක්වූ අකමැත්තත් නිසා ය. නමුත් අකමැත්තෙන් වුවත් මේ මොහොතේ සත්‍යය ජනතාවට හෙළිදරව් කළයුතුව ඇත.

නාවික හමුදාව යටතේ පැවති ගොඩබිම පවත්වාගෙන ගිය අවි ආරක්ෂණ මෙහෙයුම්, අපගේ සමාගමට අයත් ගාලු වරායේ නවතා තිබූ (MV මහනුවර) නෞකාව වෙත ලැබෙන්න්ට ප්‍රධාන හේතු වුයේ නාවික හමුදාවේ පහල ස්ථරයේ අවි ආරක්ෂණ කටයුතු බාරව ක්‍රියා කළ දූෂිත නිළධාරින් නීතී විරෝධී අවි ආයුධ 800 වැඩි ප්‍රමාණයක් (මේ අපට දැනගන්නට ලැබුණු අවි ගණන පමණි. සැබෑ ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩිවීමට පුළුවන) ඩොලර් 5000 ක මුදලකට විදේශිකයන්ට විකිණීමත්, ඒවාට බලපත්‍ර ලබාදීමත්, ඔවුන්ගෙන් කප්පම් ගැනීමත්, විදේශිකයන් අවි ආයුධත් සමග මෙරටට ඇතුළු වීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වීමත් ආදී කරුණු නිසා ය. මේ නීති විරෝධී අවි ISIS සහ අල්කයිඩා සංවිධාන අතට පත්විය. යම් දිනෙක මෙවා හෙළි වූ විට සිදුවිය හැක්කේ කුමක්දැයි සිතාගත නොහැකිය. අප මේ සියලු කරුණු පවසන්නේ සාක්ෂි සහිතව වන අතර මෙම සාකච්ඡාව සිදුවූයේ අද්මිරාල්වරු පස්දෙනෙකු ඉදිරිපිටදී ය. එම දූෂිත නිළධාරින් සේවයෙන් පහකිරීමෙන් පසු මෙම මෙහෙයුම් නවතා දමන්නට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා අණ කළත් කරුණු දැක්වීමෙන් පසුව අප ආයතනයට එම මෙහෙයුම් බාර ගැනීමට හැකි බව දන්වා සිටියේ අප සමාගම ඒ වනවිටත් කිසිවකුගේ සහයක් නොමැතිව රතු මුහුදේ අවි ආරක්ෂණ නෞකාවක් පවත්වාගෙන ‍යෑමත්, ඒ වන විට මුහුදේ සිදුකරන අවි ආරක්ෂණය සම්බන්ධයෙන් පළපුරුද්දක් තිබූ එකම ආයතනය ඇවන්ට්ගාර්ඩ් වීමත් නිසා ය. පළමුව මෙම මෙහෙයුම් ලබාදුන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති රක්නා ලංකා පෞද්ගලික සමාගමට වුවත් ඔවුන්ට එය ඉටු කිරීමට නෞකා ආදී ප්‍රමාණවත් තරම් සම්පත් නොතිබූ නිසා ඔවුන් අප සමග හවුල් ව්‍යාපාර ගිවිසුමකට එකඟ විය. මෙම ගිවිසුම නිසා නාවික හමුදාවටත්, රක්නා ලංකා සමාගමටත් පෙර ලැබුණ අදායම මෙන් කීප ගුණයක අදායමක් ලබාගත් හැකිවිය.

අවි ආරක්ෂණ මෙහෙයුම් සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ප්‍රසංශාවට ලක්කළ ආකාරය 2012 වසරේ නාවික හමුදාවේ ඉහළ නිළධාරින් අට දෙනෙකු හා මා අතර පැවති රැස්වීම් වාර්තාවේ ඇත. “නාවික හමුදාවට අවශ්‍ය වන්නේ මුදල් නොව ජාතිකාරක්ෂාව බව කීමට තරම් හිටපු නාවික හමුදාපතිවරයා නිහතමානී වු බව අප මතක් කළ යුතුය.” එමෙන්ම රණවිරුවන් ලෙස, ශ්‍රේෂ්ඨ නාවික හමුදාවට අපගේ ගෞරවය සෑමවිටම හිමිවනු ඇත. අප මෙතෙක් කල් මේ කරුණු සඟවාගෙන සිටියේ මෙමගින් නාවික හමුදාවට සිදුවන ලැජ්ජාව ගැන සලකාය. නමුත් මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ජාතික පුවත්පත් වෙත යොමු කිරීමට ද මා තීරණය කර ඇත.

විශේෂ හෙළිදරව්ව :

රක්නා ලංකා මෙහෙයුම් අප වෙත බාරදීමට පෙර විදෙස් ආයතන 24 ක් සඳහා විදෙස් රටවලට ගෙනගිය අවි 172 ක් අස්ථානගතව වූ අතර එයින් 158 ක් ලොවවටා ගොස් අප ආයතනයට සොයාගත හැකිවිය. ඉතිරි 14 අදටත් අස්ථානගත ය. එම අවි ISIS, අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ අතට පත්වන්නට ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැරිටයිම් ආයතනය ලිඛිතව දැන්වූ ලිපියක් අප සතුව ඇත. යම්කිසි දිනෙක් ත්‍රස්තවාදීන් මෙම අවි භාවිත කර මනුෂ්‍ය ඝාතනයක් සිදුකර හසු වුවහොත් ගිනි අවියේ නොම්මරය බලා එය ලංකාවෙන් නිකුත්කර ඇති බවට අනාවරණය වනු ඇත. මේ ගැන මා වගකිවයුතු ආයතන හා CID ය දැනුවත් කළ නමුත් ඔවුන් ඒ පිළිබඳව ක්‍රියාත්මක වුයේ නැත.

මේජර් නිශ්සංක සේනාධිපති
ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති

+++++++++++++++++++++++++++++++++++

ඇවන්ගාර්ඩ් සභාපතිගේ චෝදනාවලට නාවික හමුදාවෙන් පිළිතුරු

(13.07.2019 – nethnews.lk)

ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අවි ආරක්ෂන මෙහෙයුම් සම්බන්ධයෙන් නගන චෝදනා වලට නාවික හමුදාව අද ප්‍රතිචාර දැක්වුවා. ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශකර තිබුනේ නාවික හමුදාවේ පහළ ස්තරයේ අවි ආරක්ෂන කටයුතු භාරව සිටි දූෂීත නිලධාරීන් නීති විරෝධී අවි ආයුධ 800කට වැඩි ප්‍රමාණයක් ඩොලර් 5000 ක මුදලකට විදේශිකයන්ට අලෙවි කර ඇති බවයි.

මෙම අවි ආයුධ අයි එස් සහ අල් කයිඩා යන සංවිධාන අතට පත්ව ඇති බවයි ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සඳහන් කර සිටියේ. අත්අඩංගුවට ගත් ආයුධ රැගත් විදෙස් නෞකාවක් මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කළ බවත් තමන්ට අයත් නීත්‍යානුකූල නෞකාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

මෙම චෝදනා වලට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

+++++++++++++++++++++++++++++++++++

ෆයිසර් මුස්තාපාට එරෙහිව සාක්ෂි හමු වූ හැටි නිශ්ශංක හෙළි කරයි

(14.07.2019 – nethnews.lk)

අවි ආරක්ෂණ මෙහෙයුම්වලදී නීතිවිරෝධි ගනුදෙනු සිදුකර නොමැති නම්, ඒ පිළිබඳ තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාපාට අභියෝගයක් සිදු කළා.

කෙසේවෙතත් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා මන්තී‍්‍රවරයා ඊයේ (13) ප‍්‍රකාශ කළේ අදාළ චෝදනා තමන් ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

ෆයිසර් මුස්තාපාගේ එම ප‍්‍රකාශයට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාපා අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් බවයි.

“මේ පුද්ගලයා මගේ ඔෆිස් එකට ඇවිල්ලා මගෙන් සමාව ඉල්ලුවා. මම කිව්වා ඇමතිවරයා ලැජ්ජ නැතුව එන්න එපා ඔෆිස් එකට… කවුද? මේ… ෆයිසර් මුස්තාපා. මම කිව්වා එළියෙදි හම්බවෙන්න මං කියලා දෙන්නම් කියලා. මම කිව්වා මේ හොරට ‘වෙපන්’ විකුණපු කම්පැනිය වහන්න කියලා… මගේ අත්දෙක අල්ලලා වැන්දා. “

පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෆයිසර් මුස්තාපාට එරෙහි අදාළ චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කිරීමටද තමන් සූදානම් බවයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වැඩිදුරටක් සඳහන් කළේ ෴

***************************************

බදියුදීන්ට ඇමතිකම දුන්නොත් යළි විශ්වාසභංගයක් ගෙනවා – රතන හිමි

(13.07.2019 – 15:35 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යළි සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවහොත් ඔහුට එරෙහිව යළිත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

මාවතගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව සඳහන් කළේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමෙන්තු තුළ විශ්වාසය දිනා ගත්තද රටේ විශ්වාසය දිනා ගත නොහැකි බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙයි.

අද මෙම ආණ්ඩුව රැකගනු ලබන්නේ දෙමළ ජාතික සන්ධානය සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිස බව රතන හිමියන් වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

අයිස්-කුෂ් සමඟ තරුණියන් තිදෙනෙක් ඇතුළු 9 ක් අත්අඩංගුවට

(13.07.2019 – 14:36 +0530 – sinhala.adaderana.lk)

බොරලැස්ගමුව පොලිස් වසමේ අබේරත්න මාවතේ පිහිටි නිවසක් වටලා නිවසේ සාදයක් පවත්වමින් සිටි සැකකරුවන් 06 ක් හා සැකකාරියන් 03 ක් කුෂ් නැමැති මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 45 ක්, අයිස් මිලි ග්‍රෑම් 5 ක්, සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

තවද ඔවුන් සතුව තිබී විදේශීය සිගරට් 63 ක් හා මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා භාවිත කරන නවීන උපකරණ 04 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අද (13) අළුයම පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසක සිදුකළ පරීක්ෂාවකදී නීති විරෝදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසකින් ඊයේ (12) රාත්‍රියේ සිට ඝෝෂාකාරි හඩක් ඇසෙන බවට අසල්වැසියෙකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

පොලීසිය අද අළුයම අදාළ නිවස වෙත ගොස් ඇත්තේ ඒ අනුවයි.

එම අවස්ථාවේ නිවසේ සාදයක් පවත්වමින් තිබී ඇති අතර තරුණ තරණියන් 09 දෙනෙකු එහි රැඳී සිට තිබූණි.

ඔවුන්ගේ හැසිරීම පිළිබඳව සැක සිතූ පොලීසිය නිවස පරීක්ෂා කර තිබේ.

නීති විරෝධී මත් පෙති සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට යොදා ගන්නා උපකරණ හමු වී ඇත්තේ එම අවස්ථාවේදීය.

එම මත්ද්‍රව්‍ය අතර කෘස් ලෙස හැඳින්වෙන මත් පෙති සහ තවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය කිහිපයක හමුව තිබේ.

එහිදී සාදයට එක්ව සිටි තරුණයන් හයදෙනෙකු හා තරුණියන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස වුරුදු 20-25 අතර වයසේ පසුවන අතර ඔවුන් දෙහිවල, තලංගම, අනුරාධපුර, කටුනායක, මොරටුව, මිගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ බොරලැස්ගමුව පොලීසිය විසින් සිදු කරන අතර සැක කරුවන් අද (13) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

හලාවත මුහුදේ දී දළ රළට බිළිවු සිඟිත්තිය

(13.07.2019 – 12:15 +0530 – sinhala.adaderana.lk)

හලාවත මුහුදේ රළ පාගමන් සිටියදී මුහුදට ගසා ගෙන ගොස් කුඩා දියණියක් මිය ගොස් ඇත.

එම දරුවගේ මව සහ තවත් දියණියක් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

අද (13) දවහල් මෙම අනතුර සිදුවී ඇත.

මියගොස් ඇත්තේ මහනුවර – ගංතුරේ පදිංචින සිටි ඕෂදී සෞම්‍යා සත්සරණී නම් අවු: 01 යි මාස 02 වු දැරියකි.

විනෝද සවාරියක් සඳහා හලාවතට ඔවුන් පැමිණ සිට ඇති අතර හලාවත මුහුදේ රළ පාගමින් සිටින විට ඔවුන් එක් වරම මුහුදට ගසා ගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එම ස්ථානයේ සිටි පිරිස් සහ ධීවරයින් විසින් මුහුදේ ගිලෙමින් සිටි දැරියන් හා මව ගොඩට ගෙන හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් එක් දැරියක් මිය ගොස් ඇත.

හලාවත මුහුදු වෙරළ අනාරක්ෂිත බැවින් රළ පෑගීමෙන් වළකින ලෙස හලාවත නගර සභාව, පොලීසිය සහ ආපදා කළමණාකරන ඒකකය දැණුවත් කිරීමේ පුවරුද සවි කර ඇත.

නමුත් එම අවවාද නොතකා රළ පෑගීමට යාම හේතුවෙන් මෙවැනි අනතුරු නිරන්තර සිදුවන බව පොලීසිය ප්‍රකාශ කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *