විශ්වාසභංග යෝජනා විවාදය ඇරඹෙයි

(10.07.2019 – 12:24 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත් වෙයි.

විවාදය ආරම්භ කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින්.

මේ අතර විවාදය ආරම්භ වීමට පෙර පැවති ප්‍රශ්න විමසීමේ වටයේදී අනුර කුමාර දිසානායක මහතා සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

+++++++++++++++++++++

***************************************

අම්පාරෙන් කොළඹට ගෙන ආ ඇමෝනියා ගැන පුළුල් විමර්ශනයක්

(10.07.2019 – 12:08 +0530 – lankadeepa.lk)

අම්පාරේ සිට කොළඹ බලා රාත‍්‍රී කාලයේ එමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඩිකිය කොටසේ තිබී හමුවූ ඇමෝනියා කිලෝ 150 ක තොගය කාගේ උවමනාවක් මත ගෙනෙන ලද්දැක් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

පසුගිය 9 වැනිදා රාත‍්‍රීයේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පෞද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝ ග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180 ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුවී තිබේ.

එහි අයිතිකරුවෙක් මගීන් අතර නොසිටි නිසාත් පාර්සලය බස් රථයේ පිටුපස ඩිකිය තුළින් හමුවූ නිසාත් එය දැමූ පුද්ගලයා පිළිබඳ නොදන්නා බව පැවසීමෙන් කොන්දොස්තරවරයා සහ රියදුරා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම ඇමෝනියා තොගය බස් රථයේ ඩිකියට ඇතුළු කිරීම නොදන්නේ නම් බස් රථයේ අයිතිකරු විසින් එය කළේ ද යන්න සොයා බැලීම සඳහා අයිතිකරුගෙන් ප‍්‍රශ්න කිරිමට පොලීසියේ අවධානය යොමුව ඇති බව කීය.

අම්පාරේ සිට මේ ඇමෝනියා තොගය බස් රථයෙන් එව්වේ කාටද, කුමක් සඳහා ද යන්න ගැන හෙළි කරගැනීම තුළින් අපරාධ සැලසුමක් ඇද්දැයි අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රොහන් ඕලූගල මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

***************************************

බඩගින්නේ ඉන්න බැරිව දුම්රියට පනින්න හැදූ මවත් දුවත් බේරා ගැනෙති

(10.07.2019 – 10:52 +0530 – lankadeepa.lk)

සැමියා හැර යාම නිසා දින ගණනාවක් තිස්සේ ආහාරක් නොමැතිව කුසගින්නේ සිටි මවක සහ ඇගේ දියණියක දුම්රියට පැන දිවි නසා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට හැකි වූ බව ගල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය පවසයි.

මෙසේ දිවි නසා ගැනීමට උත්සහ දරා ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් මහගල්ගමුව ප්‍රදේශයේ 38 හැවිරිදි එක්දරු මවක සහ දස හැවිරිදි එකම දියණියයි.

ගල්ගමුව වෙල්රොදවත්ත කැලෑ බද ප්‍රදේශයක දුම්රිය මාර්ගය ආසන්නයේ කාන්තාවක හා කුඩා දැරියක අඬමින් සිටින බවට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු දැනුම් දුන් බව පොලිසිය පවසයි.

ගල්ගමුව ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර මහතාට ලැබුණු එම දුරකතන ඇමැතුමත් සමගම පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.

තමා එම ස්ථානයට යන විටත කාන්තාව හා ඇගේ දියණිය දුම්රිය මාර්ගයේ අඬමින් සිටි බව පොලිස් කොස්තාපල්වරයා කීය. ඔවුන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගත් සැණින් කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වා ධාවනය වූ දුම්රිය එම ස්ථානය පසු කර ගිය බව ද පොලිස් කොස්තාපල්වරයා පැවැසීය.

පොලිස් කොස්තාපල්වරයා ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා ජීවිත දෙකක් ගලවාගත හැකි වූ බව දුම්රිය සේවකයෝ පවසති.

මෙම මව සහ දියණිය පොලීසියට රැගෙන ගොස් කරුණු විමසීමේ දී වඩු කාර්මිකයකු වන සැමියා දිනපතා අධික ලෙස බීමත්ව පැමිණ තමන්ට සහ දියණියට හිරිහැර සිදු කරන බවත් දරුපවුලට කෑමට බීමට අවශ්‍ය කළමනා ගැනීමට අවශ්‍ය වියදම් පවා ලබා නොදීමෙන් තමාත් දියණියත් නිතරම බඩගින්නේ සිටි බව කියා සිටියාය.

ඇය මෙසේ ද කීවාය :

“මීට දින ගණනාවකට පෙර බීමත්ව පැමිණි සැමියා කුඩා දියණියට ද බලහත්කාරයෙන් කසිප්පු පෙවීමට උත්සාහ ගත්තා. මා ඊට විරෝධය පළකිරීමෙන් පසුව සැමියා මා සහ මගේ දරුවා දමා නිවෙසින් පිටව ගියා. ඔහු නැවත ආවේ නෑ.

සැමියා එසේ අතහැර ගියාට පස්සේ අපට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. කිසිම ආදායමක් නෑ. මගේ දියණිය සහ වයෝවෘද්ධ ආබාධිත පියා ජීවත් කරවීම සඳහා කඩයප්පන් සකස් කළා. එය සාර්ථක වුණේ නෑ. පස්සේ බඩ ගින්න ඉවසා ගන්න බැරිම තැන පාරේ යන එන අයට අත පා ජීවත් වීමට උත්සාහ ගත්තද අපට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ.”

කන්න බොන්න දෙයක් නැතිව ජීවත්වන්න අසීරු නිසා අන්තිමේ දී දියණිය සමග දුම්රියට පැන දිවිනසා ගැනීමට තීරණය කළ බව ද ඇය කීවාය.

මේ කාන්තාවට සමෘද්ධි සහනාධාරය මුලින් තිබි ඇති බවත්, කුඩා කණ්ඩායම් ක්‍රමය යටතේ සමෘද්ධි බැංකුවෙන් ණය ලබාගෙන ඒ ණය නොගෙවීම නිසා සමෘද්ධි සහනාධාරය ද කපා හැර ඇතැයි දැන ගැනීමට ලැබුණු බවත් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත බණ්ඩාර මහතා කීය.

මව හා දස හැවිරිදි දියණිය ජීවත් වන්නේ කටු මැටි ගැසු පැල්පතක බවත් එහි ආරක්ෂාවක් නොමැති බවත් දැරිය ප්‍රදේශයේ පාසලක පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් පොලිසිය සඳහන් කළේය.

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත ඒ දෙදෙනාට දින කීපයකට සෑහෙන්න වියළි ආහාර ද්‍රව්‍යය ද සපයා දී ඔවුන් නිවෙසට කැඳවාගෙන ගියහ.

මේ සම්බන්ධයෙන් මහගල්ගමුව ග්‍රාම නිලධාරි ජේ.එම්. විජේදාස මහතාගෙන් විමසීමක දී මෙසේ කීය :

“ඔය කියන කාන්තාවගේ සැමියා ඇයව අතහැර ගිහින් ඉන්නේ. ඒ වාගේම ඇගේ පියා ඉන්නෙත් ඒ ගෙදර. ඔහුට වයස අවුරුදු හැත්තෑවක් විතර ඇති. යන්න එන්න බෑ. දැඩි ලෙස රෝගාතුරව ඉන්නෙ. දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්නත් හැකියාවක් නෑ. මේ නිසා ඇය මානසික පීඩනයකින් ඉන්න ඇති. මමත් ඒ නිවෙසට බොහෝ අවස්ථාවල ගිහින් ඇයට උපදෙස් දීලා තියෙනවා .

ඒ කාන්තාවගේ ගේ හදලා දෙන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය ඉල්ලා තියෙනවා. හතර වන අදියරට තමයි ඒ ණය ලැබෙන්නේ. ටිකක් පමාවෙලා තියෙනවා. මම අදත් (09) නිවාස සංවර්ධන අධිකාරියට කතා කළා. අර වයසක පියා වැඩිහිටි නිවාසයකට අරන් යන්න අපි සුදානම් වුවත් ඒ කාන්තාව ඒකට කැමැති වුණේ නෑ. සමෘද්ධිය කැපිලා. ඒත් දැන් ඇයට රුපියල් 2000 දීමනාවක් අනුමත කරලා දීලා තියෙනවා. සමෘද්ධි බැංකුවට මුදල් ගිය සතියේ ඇවිත් තියෙනවා. ගම්වැසියන් උදවු කළත් පවුලේ අය උදවු නොකිරීම ගැනත් ඇය කනගාටුවෙන් හිටියා.”

මේ ගැන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පතිරාජ මහත්මියගෙන් විමසු විට මෙසේ කිවාය :
“ඔය සිද්ධිය දැන ගත් වහාම මම නිලධාරීන් ඒ නිවසට යැව්වා තොරතුරු සොයන්න. මම දැන් කාර්යාලයේ නෙමෙයි ඉන්නේ. උදෙන්ම රාජකාරියකට පිටතට ආවා. ඒ නිසා මට විස්තර අහන්න බැරි වුණා. එන වේලාවක් නම් කියන්න අමාරුයි. මං තවම හරි විස්තරයක් දන්නේ නෑ.”

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව, නිකවැරටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි උපුල් චන්දන මහතා මෙම සිද්ධිය පිළිබඳව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ද දැනුම්වත් කර, සැමියා නොමැතිව අසරණභාවයට පත්ව සිටින එම කාන්තාවගේ පවුල පිළිබඳව සොයා බැලීමට පියවර ගෙන තිබේ ෴

***************************************

රුපියල් කෝටි එකහමාරකට ආසන්න මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.07.2019 – 15:14 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක්කෝටි 47 ලක්ෂ 60,000 ක් වටිනා එක්ස්ටසි මත්පෙති 2952 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ – මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

බෙල්ජියමේ සිට එවූ මත්පෙති අඩංගු පාර්සලයක් ලබාගැනීමට පැමිණීමේදියි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පාද සම්භාහනයට යොදාගන්නා උපකරණයක් සහිත පාර්සලයක් තුළ සූක්ෂම ලෙස මෙම මත්පෙති සඟවා තිබූ බව රේගුව සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

ගාල්ල – ගිංතොට මහා විද්‍යාලයේ ආරක්ෂිත කැමරා පද්ධතිය සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.07.2019 – 14:33 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – ගිංතොට මහා විද්‍යාලයේ ආරක්ෂිත කැමරා පද්ධතිය සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දින කිහිපයකට පෙර, පාසලේ කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් 18,000 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

සොරකමට හසුවේයැයි බියට ආරක්ෂිත කැමරාව ගළවා, ගිංතොට පාලමෙන් ගඟට දැමූ බව එහිදී ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසියට සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ එහි දත්ත ගබඩාවේ සැකකරුගේ ක්‍රියාව සටහන්වී තිබීම හේතුවෙන්.

මොහු ගිංතොට විදානගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, පාසලේ මුරකරුගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටින බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ගාල්ල පොලීසිය සඳහන් කළේ ෴

***************************************

කසල බහාලුම් ගෙන්වා ඇත්තේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක් බව හෙළිවේ

(10.07.2019 – 13:33 +0530 – hirunews.lk/sinhala)

මෙට්ට ආනයනය කරන මුවාවෙන් එංගලන්තයෙන් කැලිකසල බහලුම් 102 ක් ගෙන්වා ඇත්තේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි පෞද්ගලික සමාගමක් බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එංගලන්තයේ සිට මෙරටට ගෙන්වූ භාවිතයෙන් පසු ඉවත් කරන ලද මෙට්ට අඩංගු බහලුම් 102 ක් පසුගිය 7 වනදා කොළඹ වරායේ තිබී රේගුව විසින් සොයාගනු ලැබුවා.

පසුව අනාවරණය වූයේ ඉන් බහලුම් 98 කම භාවිතයෙන් ඉවත් කරන ලද මෙට්ට, කාපට්, ප්ලාස්ටික් සහ පොලිතීන් මෙන්ම, දිලීර අඩංගුද්‍රව්‍ය බවටයි.

කෙසේ වෙතත්, මෙම බහලුම් 98 තවමත් විවෘත කර නැහැ.

මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම බහලුම් තොගය ගෙන්වා ඇති බවටයි රේගුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කටුනායක ප්‍රදේශයේ සමාගමක් මෙම බහලුම් ගෙන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම කසල අඩංගු බහලුම් තොගය එංගලන්තයට යළි ප්‍රතිඅපනයනය කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

රුහුණු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැති වසා දැමේ

(10.07.2019 – 12:59 +0530 – hirunews.lk/sinhala)

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආරක්ෂක අංශ අතර ඊයේ (09) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් පසු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඊයේ ඇති වූ ගැටුම පාලනය කිරීම සදහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවනු ලැබුවා.

පන්ති තහනමට ලක් කර තිබෙන සිසුන් පිරිසකගේ තහනම ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පරිපාලන ගොඩනැගිල්ල අවහිර වන සේ රැදී සිටීම මුල් කර ගනිමින් මෙම ගැටුම හට ගෙන ඇති බව සදහන් ෴

+++++++++++++++++++++

***************************************

CCTV කැමරාවේ සටහන් වූ ජංගම දුරකථන සොරකම

(10.07.2019 – 15:28 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකථන අලෙවි කරන වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙතු එහි විකිණිමට තබා තිබු ජංගම දුරකථන දෙකක් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

සැකකරු විසින් මෙම ජංගම දුරකථන දෙක සොරා ගන්නා ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරාවේ මෙලෙස පටිගත වී තිබුණා.

එම වීඩියෝව :

https://www.youtube.com/watch?v=M3wWmbEm4Ss#t=5

***************************************

ගුරුවරුන්ගේ දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අධ්‍යාපන ඇමතිගෙන් සහනයක්

(10.07.2019 – 17:02 +0530 – hirunews.lk/sinhala)

තමන් සේවය කරන ජාතික පාසලේ වසර 3 ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලූ ගුරුවරුන්ට එම පාසලටම දරුවන් ඇතුළත් කරගැනීමේ අවස්ථාව ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ජාතික පාසල්වල 1, 5, 6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන් සඳහා වන මෙම විශේෂ තීරණය බලපැවැත්වෙන බවයි.

ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටළුවකින් තොරව සිදුකරගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන තිබෙනවා ෴

***************************************

ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ට්‍රම්ප්ට අක්ත පත්‍ර භාරදෙයි

(10.07.2019 – 22:25 +0530 – lankadeepa.lk)

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉකුත් දා (8) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සිය අක්ත පත්‍ර ප්‍රදානය කළේය.

මෙහිදි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ නව තානාපති රොඩ්නි පෙරේරා මහතා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා රොඩ්නි පෙරේරා මහතා මෙම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලෝවාමහාපය සහ ජේතවනාරාමයේ ඡායාරූප දෙකක් ද තිළිණ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *