ශ්‍රීලනීපයේ සිහින ඉටුවෙයි ද? ජනපතිවරණය කල් යයි ද?

(08.07.2019 – 06:31 +0530 – lankacnews.com)

ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනතරම් සිහින මැව්වත් 2019 සැප්තැම්බර් 07 සහ ඔක්තෝම්බර් 26 අතර මැතිවරණ කොමිසම විසින් ජනපතිවරණය ප්‍රකාශයට පත් කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද දින (ජූලි 07) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රිවරයා :

“මී ළඟ ජනාධිපතිවරණය කවදාද කියන කාරණය ඔන්න ආයේමත් විවාදයකට තුඩු දීලා. ඒ ගැන ජනාධිපතිතුමාට දෙගිඩියාවක් ඇති වෙලා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අසන්න යන බවට ලොකු රාවයක් පැතිරෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක්. 2005 දී අගවිනිසුරු සරත් එන් සිල්වා මැතිතුමා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කලේ ජනාධිපතිවරයා දිවුරුම් දුන් දින සිට සිය ධූර කාලය පටන් ගන්නා බවයි. වත්මන් ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 09 දා නිසා එතුමාගේ ධූර කාලය එදා සිට වසර පහකින් එනම් 2020 ජනවාරි 09 දා අවසන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි කාලයක් තුල ඊ ලඟ ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. ඒ කියන්නේ 2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ.

1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2(1)(ආ) වගන්තිය අනුව නාමයෝජනා භාර ගන්නා දිනයේ සිට සති හතරකට නොඅඩු සති හයකට නොවැඩි දිනයක ඡන්දය විමසීම පවත්වන්න ඕනෑ. එහෙම නම් ප්‍රමාදම දවස වන දෙසැම්බර් 09 සිට සති හතරක් කියන්නේ නොවැම්බර් 11දා. ආසන්නතම දවස බලන්න නොවැම්බර් 09 සිට සති හයක් කියන්නේ 2019 සැප්තැම්බර් 28.

ජනාධිපතිවරණ පනතේ 2(1)(අ) වගන්තිය අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන දිනයේ සිට දින 16කට නොඅඩු දින 21කට නොවැඩි දිනයක් තමයි නාමයෝජනා දිනය ලෙස ප්‍රකාශ කරන්න ඕනෑ. දැන් අපි දන්නවා නාමයෝජනා දිනය 2019 සැප්තැම්බර් 28 ත් නොවැම්බර් 11 ත් අතර තිබෙන්නේ. එහෙම නම් ඡන්දය ප්‍රකාශ කරන දවස දැන් ගණනය කරමු. සැප්තැම්බර් 28 සිට දින 21 ක් කියන්නේ සැප්තැම්බර් 07 දා. නොවැම්බර් 11 සිට දින 16 ක් කියන්නේ ඔක්තෝම්බර් 26 දා. ඒ අනුව ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනතරම් සිහින මැව්වත් 2019 සැප්තැම්බර් 07 සහ ඔක්තෝම්බර් 26 අතර මැතිවරණ කොමිසම විසින් ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනෑ.

අද අපි ඉන්නේ ජූලි 7. ජනපතිවරණය ප්‍රකාශ කළ හැකි ආසන්නතම දවස වන සැප්තැම්බර් 07 ට අද සිට තිබෙන්නේ හරියටම මාස දෙකයි. ජනපතිවරණ දින වකවානු ගැන විවිධ අදහස් පල කරන මැකොතුමාටත් මේ පිළිබඳ අවධානය යොමු වේවා! මේ ආණ්ඩුවෙන් තැලෙමින් පෙලෙමින් සිටින ජනතාවටත් කළකට පස්සේ සුභ ආරංචියක් ලෙස අප එය දැනුම් දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය :
ජනාධිපතිවරයා පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තිය :
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධූරය දරණ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුල පැවැත්විය යුත්තේය.

1988 අංක 16 පනතින් සංශෝධිත 1981 අංක 15 ජනාධිපතිවරණ පනතේ 2(1) වගන්තිය :
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අවශ්‍ය වන අවස්ථාවක මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කරන නියමයක් මගින්
(අ) අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම සඳහා එකී නියමය ප්‍රසිද්ධ කරන දින සිට දින දහසයකට නොඅඩු වන්නා වූ ද දින විසි එකකට නොවැඩි වන්නා වූ ද දිනයක් සහ නාමයෝජනා භාර ගන්නා ස්ථානය නියම කිරීම සහ
(ආ) නාමයෝජනා භාර ගන්නා දිනයේ සිට සති හතරකට නොඅඩු වන්නා වූ ද සති හයකට නොවැඩි වන්නා වූ ද දිනයක් ඡන්දය විමසීම සඳහා ද නියම කිරීම කළ යුත්තේය.

ශ්‍රිලනිප සමහර නායකයෝ ජනාධිපතිට ලණු දීලා දින සීයට ආපු ජනාධිපති 2020 මැයි 15 දින දක්වා තියා ගන්න හදනවා. ලබන සතියේ එක් දවසක හොඳ නැකතක් එහෙම බලලා ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න බලාපොරොත්තු වෙනවාලු. මේකේ පදනම කුමක්ද? දින සීයකට ආපු මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමන්ව තවත් මාස 6 ක් තියාගන්න මේ ලණු දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ මූලික යටි අරමුණ වෙලා තියෙන්නේ ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමයි. ඒ සදහා නීතියෙන් ඉඩක් තිබෙනවද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක අත්සන් තබා බලාත්මක වුණේ 2015 මැයි 15 දා. ‘ජනාධිපතිගේ ධූර කාලය ආරම්භ වෙන්නේ 2015 මැයි 15 සිටයි’ කියන පදනම අනුව තමයි ඔය කතාව කියන්නේ. ‘19 වන සංශෝධනයේ කිසිම තැනක ජනාධිපති ධූර කාලය ආරම්භ වන දිනය පිළිබඳ කිසිම සඳහනක් නෑ’ කියන එක මම ඉතාම වගකීමෙන් කියනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ ගැන නිශ්චිත සඳහනක් නෑ. මේ නිසා තමයි 2005 දී අපි පැවරූ නඩුවක් පදනම් කරගෙන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දුවක් දුන්නේ ජනපති දිවුරුම් දුන් දවසේ සිට ධූර කාලය ආරම්භ වෙනවා කියලා. එහෙම නම් 2015 ජනවාරි 9 ආරම්භ වුණු වත්මන් ජනපතිගේ ධූර කාලය 2020 ජනවාරි 9 ඉවරයි. අද ඉඳන් හරියටම මාස දෙකකින් ඒ කියන්නේ සැප්තැම්බර් 7 දින ජනපතිවරණය ප්‍රකාශ කරන්න පුළුවන්.

ජනපතිගේ ධූර කාලය අවසන් වෙන්නේ 2020 මැයි 15 කියලා අපි බොරුවට හරි හිතමුකො. ඒත් පාර්ලිමේන්තු මැතිවරණය ජනපතිවරණයට කලින් තියන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ලබා දුන් තීන්දුව අනුව ජනපතිට පාරලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් අවුරුදු හතරාමාරකට පස්සේ. වත්මන් පාරලිමේන්තුව මුල් වරට රැස් වුණේ 2015 සැප්තැම්බර් 1 දා නිසා එය විසුරුවා හරින්න පුළුවන් ආසන්නතම දවස 2020 මාරතු 1 දා. නමුත් ඊට කලින් ජනපතිවරණය ප්‍රකාශ කරන්න වෙනවා.

ජනපතිගේ ධූර කාලය අවසන් වෙන්නේ 2020 මැයි 15 නම් ව්‍යවස්ථාවට අනුව ජනපතිවරණය පවත්වන්න වෙන්නේ මාරතු 15 සහ අප්‍රේල් 15 අතරයි. ඒ අනුව අඩුම ගණනේ මාරතු 19 දා නාමයෝජනා කැඳවන්න වෙනවා. ඒ අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රමාදම දවස මාරතු 3 දා. එතකොට ශ්‍රිලනිපය බලාපොරොත්තු වන ආකාරයට ජනපතිවරණයට පෙර පාරලිමේන්තු ඡන්දය පවත්වන්න වෙන්නේ නෑ. ඒ වෙනුවට මේ ඡන්ද දෙකම එකම පිට වැටිලා කොරේ පිටට මරේ වගේ ලෝක යුද්ධයක් නම් වෙයි වගේ. මින් රට තවත් අවුලකට පත්කරනවා මිසක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ධූර කාලය යටතේ ජනපති ධූරයේ බලය සහ මහිමය පාවිච්චි කරලා පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රීලනීපය දකින සිහිනය නම් සබෑ කරගන්නට වෙන්නේ නෑ කියන එක ඉතාම ව්‍යවස්ථානුකූලව අපි පෙන්වා දෙනවා. රටේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා. මිට කලිනුත් ජනපතිතුමන්ට ඔය වගේම ලණුවක් දුන්නා ජනාධිපති නීතිඥවරයෙක් කියන කෙනෙක්. ජනපතිතුමන් ශ්‍රේෂ්ඨාධීකරණයේ මතය විමිසුවා ‘දින සීයට ආපු මට වසර පහද ඉන්න පුළුවන් හයක්ම ඉන්න බැරිද’ කියලා. වසර පහක් විතරයි කියන තීන්දුව ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ආවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

08.07.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *