පාස්කු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා පාර්ලිමේන්තුවට යෝජනා කල පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු පාස්කු බෝම්බ කමිටුවේ විනිසුරෙක්..

(01.07.2019 – 06:28 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා දින ප‍්‍රහාරය පිළිබඳව පරික්‍ෂණ පවතවනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳව ගැටළුවක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

මේ බව ඔහු ප‍්‍රකාශ කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුටරත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා :

“මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දියත් කළ ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකු වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ඊබ‍්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙක්. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සාමාජිකයකු පෙට්ටිකඩයක් කළද ඔහුගෙනුත් ආධාර මුදල් ලබාගන්නා පක්ෂයක්, එබැවින් තමාගේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබා නොගත්තායැයි කරන ප‍්‍රකාශ පිළිගත නොහැකියි. මේ තත්වය මත ඊබ‍්‍රාහිම්ගේ මුදල්වලින් පාර්ලිමේන්තු ආ නලීන්ද ජයතිස්ස මෙම තේරීම් කාරක සභාව නියෝජනය කිරීම කෙතරම් දුරට සාධාරණ දැයි විමසා සිටින්නට සිදුවනවා.

එමෙන්ම සහරාන් 2015 දී මුස්ලිම් කොන්ග‍්‍රසය සමඟ ගිවිසුම් ගතවී ඇති අයෙක්. මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාද මෙම තේරීම් කාරක සභාව නියෝජනය කරන බවත් ඔහු තමාදැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේදී ප‍්‍රකාශ කළේ මෙම පරික්‍ෂණ කටයුතු වලට බලපෑමක් විය හැකි බැවින් තමා ධුරයෙන් ඉවත් වූ බවයි. එසේ පැවසූ අයෙකු මෙවැනි කාරක සභාවක් නියෝජනය කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයද මතුවනවා.

සහරාන් 2015 දී එජාප ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූ අයකු බව හෙළිදරව් වී ඇති තත්වයක් යටතේ එජාප මන්ත‍්‍රීවරු මෙම පරික්‍ෂණය සිදුකරන්නේ කෙසේද යන පැනයද මතුවන බවත් මෙම කාරක සභාවේදී සිදුවන්නේ රිෂාඩ් සමඟ කතාකරගත් ප‍්‍රශ්න හා උත්තර මාධ්‍ය ඉදිරියේ සජීව විකාශය කිරීමක් පමණයි. මේ හේතුන් මත මෙම පරික්‍ෂණ සාධාරණව හා යුක්තිසහගතව සිදු වේයැයි පිළිගන්නේ කෙසේද?

රණවිරුවන් වසර 2 තිස්සේ චෝදනා ගොනුකිරීමක් නොමැතිව රිමාන්ඩ් භාරයේ සිටිනවා. දොස්තර සාෆි මසකින් නිදිහස් කිරීමට කටයුතු කරමින් තිබෙනවා. එසේ කළහොත් එය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් ද ප‍්‍රශ්නකාරී විය හැකියි. ඉදිරි රජයකදී මේ සම්බන්ධයෙන් සාධාරණ පරික්‍ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පාස්කු බෝම්බ කමිටුවේ සියළු දෙනා සහරාන් සමග සබදතා තිබූ අයයි..

(01.07.2019 – 16:40 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි :

කරු ජයසූරිය මහතා,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

ගරු කථානායකතුමනි,

පාස්කු ඉරිදා දින ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳව

පාස්කු ඉරිදා දින සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳවත් ඒහා බැඳුණු සියලු කරුණු පිළිබඳවත් සොයා බැලීමට යැයි පත් කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතල ගැටළු ගණනාවක් ජනතාව හමුවේ පැන නැගී ඇත.

ඒ ගැටළු අතර මුල්තැන ගනු ලබන්නේ තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳ ගැටළුවයි. තේරීම් කාරක සභාව විසින් විමසා බැලෙන කරුණුවලට අදාළ ප්‍රධානතම චූදිතයකු බව ඔප්පු වී ඇති ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ මෙන්ම අනෙකුත් චුදිතයන් හා ඍජු හා වක්‍ර සබඳතා තිබුණු තැනැත්තෝ මේ තේරීම් කාරක සභාවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති. ඒ සබඳතා පහත පරිදි දැක්විය හැක.

01) ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා :- කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනෙකු ඉහත මරාගෙන මැරෙන ප්‍රහාරයට සහභාගී වූවන්ය. මොහොමඞ් ඊබ්‍රහිම් ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි. ඔහු දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටියි. මෙවැනි තත්වයක් තුළ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මෙම තේරීම් කාරක සභාව නියෝජනය කිරීම කොතෙක් දුරට සාධාරණ ද?

02) මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා :- ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම් සමඟ 2015දී මුස්ලිම් කොංග්‍රසය ගිවිසුම්ගතව මැතිවරණ ව්‍යාපාරයේ යෙදී තිබේ. එසේම මෙම පරීක්ෂණ කටයුතු ස්වාධීනව කරගෙන යෑමට ඉඩදී රාවුෆ් හකීම් මහතා සිය ඇමති ධුරයෙන් ද ඉල්ලා අස්වූ අයෙකි. එවැන්නකු මෙම තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වීම කොතෙක් දුරට යුක්තිසහගත ද?

03) තේරීම් කාරක සභාව නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් :- 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා දිනවීමට එක්සත් ජාතික පෙරමුණ, තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ ගිවිසුම්ගතව කටයුතු කළ බව මෙම තේරීම් කාරක සභාවට ඉදිරිපත් වූ සාක්ෂිවලින් ඔප්පු වී තිබේ.

මේ සියලු කරුණු විමසා බැලීමේ දී ඉහත තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳ බරපතළ ගැටළුවක් පැන නඟින බව කථානායකවරයා ලෙස ඔබතුමා ද පිළිගන්නවා ඇතැයි සිතමි. එබැවින් ඔබතුමන් මෙම තේරීම් කාරක සභාව විසුරුවාහැර මේ පිළිබඳ ජනාධිපති පරීෂණ කොමිෂන් සභාවකට හෝ වෙනත් පිළිගත් ක්‍රමවේදයකට අනුව පරීෂණ පැවැත්වීමට නිර්දේශ කරනු ඇතැයි හුදෙක්ම විශ්වාස කරමු.

මෙයට,
විශ්වාසී,

මොහොමඩ් මුසම්මිල්
(හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
ප්‍රචාරක ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

***************************************

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

(01.07.2019 – 09:35 +0530 – lankadeepa.lk)

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්‍ෂක ගිවිසුම හෙවත් ‘සෝෆා’ ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට හානියක් සිදුවන බව එම ගිවිසුමේ කෙටුම්පත විමර්ශනය කිරීමේදී පෙනීයන බව සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු කීය.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ.

සෝෆා ගිවිසුමේ කෙටුම්පත අනුව මෙහිදී ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරික්‍ෂාවකින් තොරව තබා ගැනීමට ඇමෙරිකාවට හැකියාව ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙරළාරක්‍ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකටවත් රේගුවටත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා හෝ ගුවන් යානා පරික්‍ෂා කිරීමටවත් ඒවාට ඇතුළුවීමටත් අවසර නොලැබේ.

කිසියම් රටටකට අයත් භූමියක හෝ මුහුදු සීමාවක් තුළ රඳවා තිබෙන ගුවන් යානාවක්, යාත්‍රාවක්, වාහනයක් පරික්‍ෂා කිරීමට එරට ආරක්‍ෂක අංශවලට ඇති ස්වෛරි අයිතිය අන්තර්ජාතික වශයෙන් පිළිගත්තකි.

කෙසේ වෙතත් යෝජිත සෝෆා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නොගැනීමට, රේගු බදු නොගෙවීමට සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමෙරිකාව මාන බලන බවක්ද පෙනේ.

එපමණක් නොව ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමෙරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමෙන් තබා ගැනීමේ බලය හිමිකර ගැනීමටද ඇමෙරිකා රජයට අවශ්‍ය වී තිබේ.

තවද ඇමෙරිකානු හමුදාව සතු අවි ආයුධ සහ සන්නද්ධ උපකරණ නිදහසේ තබා ගැනීමට ද මෙම ගිවිසුම හරහා ඇමෙරිකාවට අවශ්‍ය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුමත සාමාන්‍ය නීතියට අනුවත් එලෙස ආයුධ තබා ගැනීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට සහ ඒකාබද්ධ හමුදාවල පමණි.

මීට අමතරව, ඇමෙරිකානු හමුදාවලටත් කොන්ත්‍රාත්කරුවන්ටත් තනි තනිව හෝ සමූහිකවත් තමන්ගේ අනන්‍යතාව භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමට, පිටත්ව යාමට හැකියාවක් ඇති කර ගැනීමටද ඇමෙරිකානු බලධාරීන් මෙම ගිවිසුම හරහා ඉටුකර ගැනීමට නියමිතය. එහි අර්ථය නම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයකින් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඔවුන්ට ඉඩ ලැබීමය ෴

***************************************

ආණ්ඩුව හම්බන්තොට ඉඩම් සුද්දන්ට විකුණන්න හදනවා

(30.06.2019 – 21:23 +0530 – lankadeepa.lk)

මේ වනවිට වත්මන් රජය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 6500 ක් චීනයට හා සයිප්‍රසයට විකිණීමට සූදානමින් සිටින බවත්, මේ රටේ ජනතාවගේ පාරම්පරික බිම් කඩවල් සුද්දන්ට විකුණා දැමීමට එරෙහිව හම්බන්තොට ජනතාව සමග පාරට බහින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (30) සවස හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

‘‘කොකෝවා වැවීම සඳහා තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 1500 ක් සයිප්‍රසයට දෙන්න හදනවා. ඒ වගේම හම්බන්තොට වරාය විකුණා දැමීමෙන් නොනැවතුණු ආණ්ඩුව හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර 5000 ක් චීනයට පවරන්න සැලසුම් සකස් කරමින් යනවා. මේ වන විට මහවැලි බලප්‍රදේශයට අයත්ව තිබූ ඉඩම් ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරියට පවරා තිබෙනවා. කරගහමුල්ල, ආරබොක්ක, සල්මල්යාය, කටුවැව යන ගොවිබිම් ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් මේ අනුව ජනතාවට අහිමි වී යාමේ අවධානමක් තිබෙනවා’’ යැයි පැවසීය.

‘‘මේ ආණ්ඩුව මේ රටේ භාරකාරයෝ මිසක් අයිතිකාරයෝ නෙමෙයි. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නේ මේ රට එයාට සින්නක්කර ඔප්පුවකින් ලියලා දීලා කියලා. මේ ගොල්ලෝ සමහර විට බලයේ ඉන්නේ තව මාස 4 ක් පමණයි. මේ ආණ්ඩුවට බලයක් දීලා තියෙන්නේ අවුරුදු 5 කට පමණයි. එහෙම බලයක් දීපු ආණ්ඩුවක් කොහොමද බහුජාතික සමාගම් වලට මේ රටේ ඉඩම් සදාකාලිකව විකුණන්න හදන්නේ…’’ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

***************************************

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නවතී

(01.07.2019 – 09:48 +0530 – sinhala.adaderana.lk)

පෙර දැනුම් දුන් පරිදි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවා ඇත.

ඒ කොළඹ වරායේ සිට කොලොන්නාව ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නළ මාර්ගයේ ඉතිරි මීටර් 140 ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදෙන බව පවසමින්.

කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාවේ තෙල් ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ කිලෝමීටර 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය පසුගිය 24 වැනිදා නතරවූයේ තෙල් ප්‍රවාහන නල මාර්ගය මත ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ විරෝධය හේතුවෙන්.

මෙය පිටුපස සිටින්නේ රවී කරුණානායක අමාත්‍යවරයා බවට චෝදනා එල්ල කරන ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති කියා සිටියේ මෙම නලය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදුනහොත් අද (01) සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවන බවයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් ඊයේ අදහස් පළ කළේය.

මේ අතර ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුවට විසදුම් ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.

***************************************

දෙරණ සිනමා උළෙලේ වාඩිවෙන්න තැනක් නැතිවුණා – දුලීකාගෙන් චෝදනා

(29.06.2019 – gossiplankanews.com)

ඊයේ (28) පවත්වන්නට යෙදුණ දෙරණ සිනමා උළෙලේ තමන්ට අසාධාරණයක් සිදුවූ බව දක්වමින් රංගන ශිල්පිණී දුලීකා මාරපන මහත්මිය සටහනක් තබා තිබේ.

ඇය පවසන්නෙ තමන්ට ආරාධනා පත්‍ර එවා තිබුණත් උත්සවයේ සංවිධානයේ දෝෂ හේතුවෙන් අසුන් ගන්නට තැනක් නොවූ බවත් තමා හා සැමියා මේ නිසා අපහසුතාවට ලක්වූ බවත්ය. ඇගේ සටහන පහතින් :

+++++++++++++++++++++

Rajika Krishanthi of TV Derana

+++++++++++++++++++++

03.07.2019

***************************************

මරණ දණ්ඩනයට එරෙහිව 11 වන පෙත්සමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

(01.07.2019 – 15:28 +0530 – sinhala.adaderana.lk)

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරමින් අද (01) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ඉදිරිපත් කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ගල්කන්දේ ධම්මානන්ද හිමි, මහාචාර්ය සී. ගුණරත්න, ආචාර්ය කේ සේනාරත්න සහ දැනට වැලිකඩ බන්ධනාගාරය තුළ මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් කිහිප දෙනෙකු ද සිය නීතිඥවරු මාර්ගයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ඒවායේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ,අධිකරණ අමාත්‍යවරිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , වැලිකඩ බන්ධනාගාර අධිකාරි ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පමණක් තෝරාගෙන එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය තුළින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම කරුණට අදාළව ඉදිරිපත් වී තිබෙන සමස්ත මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් තිබේ ෴

***************************************

තංගල්ල, වජිරගිරි මහ විහාරස්ථානයෙන් ‘රයිස් කුකර්’ එකක් සොරකම්කරන හැටි

(01.07.2019 – 14:32 +0530 – sinhala.adaderana.lk)

තංගල්ල, වජිරගිරි මහ විහාරස්ථානයේ තිබූ විදුලි උඳුනක් (රයිස් කුකර්) කිසියම් පුද්ගයෙකු විසින් සොරා ගෙන තිබේ.

පසුගිය 28 දා මෙම සොරකම සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම සැකකරු විසින් තංගල්ල, වජිරගිරි මහ විහාරස්ථානය වෙත පැමිණ දාන ශාලාව තුළ තිබූ මෙම විදුලි උඳුන සොරා ගෙන යන ආකාරය විහාරස්ථානයේ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.

මීට පෙරද මෙම විහරස්ථානයේ දාන ශාලාවේ තිබූ විදුලි උපකරණ කිහිපයක් සොරා ගෙන ගොස් තිබූ බව විහාරාධිපති හිමියන් පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

***************************************

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති හේතුව මහින්ද කියයි (30.06.2019)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *