අද (27) මැදියම් රැයේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක්

(27.06.2019 – 07:11 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව පසුගිය 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජනයක් සිදුකළා.

වර්ජනය අවසන් වීමට නියමිතව තිබූ පසුගිය ඉරිදා වෘත්තිය සමිති යළි රැස්වී තීරණය කරනු ලැබුවේ සිය ගැටළුව විසඳන තුරු සෑම සතියකම බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරෙන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සන් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ ෴

***************************************

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි

(26.06.2019 – 18:38 +0530 – lankadeepa.lk)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටෙහි අරාජිකත්වයක් හටගෙන ඇතැයි ද එයට එකම විසඳුම රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පමණකැයි ද මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතීවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

ඒ සඳහා ජනමත විචාරණයක් මගින් ජනතාවගේ කැමැත්ත විමසිය හැකි යැයි ද නීතිඥ තිරාණගම මහතා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධන සිදුකිරීමෙන් මෙම වියවුල ලිහාදැමිය නොහැකි යැයි කී හෙතෙම එවැනි සංශෝධනයක් කිරීමට වුවද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සොයාගැනීම දුෂ්කර මගක් වනු ඇතැයි කීය.

එසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සොයාගැනීම සඳහා ඊට මූලික වන පාර්ශ්වයට මන්ත්‍රීවරුන්ට දොළ පිදේනි දෙන්නට සිදුවනු ඇතැයි ද එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර කටයුත්තක් නොවනු ඇතැයි ද තිරාණගම මහතා සඳහන් කළේය.

ජනතාව රවටා ඡන්දය ලබාගැනීම මිස ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් උරුමකරදීමට කිසිදු දේශපාලන කණ්ඩායමකට වුවමනාවක් නැතැයි චෝදනා කළ ඒ මහතා රට වැටී ඇත්තේ අන්තිම නරක තැනකට යැයි ද පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් විවේචන කළ ද එය සම්මත කරගැනීමට හැකිවූයේ ඔහු කළ මැදිහත්වීම නිසා යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

කටුවපිටිය බෝම්බ පිපිරුම – ඇසින් දුටු සාක්කි කරුගේ හෙලිදරව්ව (27.06.2019)

https://www.youtube.com/watch?v=qhFSGJ0KKVE

+++++++++++++++++++++++++++++++++++

වළ දමා තිබූ ඩෙටනේටර් දහසක් කාත්තන්කුඩියෙන් සොයාගැනේ

(27.06.2019 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කාත්තන්කුඩිය – ඔල්ලිකුලම් ප්‍රදේශයේ වළ දමා තිබූ ඩෙටනේටර් දහසක්, ජෙලග්නයිට් කූරූ 300 ක්, ද්‍රව ජෙලග්නයිට් ලීටර් 8 ක් සහ ටී – 56 උණ්ඩ තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබෙනවා.

ඒ, සෞදි අරාබියේ ජෙඩා නුවරදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් නැමැත්තා අද එම ප්‍රදේශයට රැගෙන ගොස් සිදුකළ පරීක්ෂාවකදීයි.

ඒවා පී.වී.සී. බට අටක් තුළ සඟවා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙන්ම තව්හිද් ජමාත් සංවිධානයේ නායක, සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු වන මොහු ඇතුළු තවත් 05 දෙනෙකු දිවයිනට රැගෙන එනු ලැබුවේ පසුගිය 14 වැනිදායි.

+++++++++++++++++++++

සහරාන්ගේ දෙවැනියා රහස් හෙළිකරයි

(28.06.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

තවුහීද් ජමාද් සංවිධානයට අයත් ඩෙටනේටර් 1500 ක්, ජෙලග්නයිට් කූරු 369 ක් ඇතුළු පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ කඩු 62 ක් කාත්තන්කුඩි, ඔල්ලිකුලම් ප්‍රෙද්ශයේ සඟවා තිබියදී සොයාගැනුණි.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැ‍ගෙන ආ මොහොමඩ් මිල්හාන් නම් ත්‍රස්ත සාමාජිකයා හෙළි කළ තොරතුරු මතයි.

තවුහීද් ජමාද් සංවිධානයට අයත් ඩෙටනේටර් 1500 ක්, ජෙලග්නයිට් කූරු 369 ක් ඇතුළු පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ කඩු 62 ක් කාත්තන්කුඩි, ඔල්ලිකුලම් ප්‍රෙද්ශයේ සඟවා තිබියදී සොයාගැනුණි.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැ‍ගෙන ආ මොහොමඩ් මිල්හාන් නම් ත්‍රස්ත සාමාජිකයා හෙළි කළ තොරතුරු මතයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාද් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙසින් සැලකෙන සහරාන් හෂීම්ගෙන් පසුව එහි නායකත්වයට පත්වීමට සිටි මොහොමඩ් මිල්හාන් ඇතුළු 5 දෙනෙකු පසුගිය 14 වැනිදා සෞදි අරාබියේ ජෙඩාහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සැකකරු ඊයේ කාත්තන්කුඩි, ඔල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් වලදී අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.

පිපිරීම් සිදුකිරීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර් 1500 ක්, ඩෙටනේටර් වයර්, ජෙලග්නයිට් කූරු 369 ක්, ද්‍රව ජෙලග්නයිට්, ටී 56 ඇතුළු විවිධ වර්ගයේ සජීවි පතොරම් මෙන්ම විවිධ වර්ග වල කඩු 62ක් මෙලෙස සොයා ගත් ද්‍රව්‍ය අතර වෙයි.

මේ අතර ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය වාලච්චේන, රිදීතැන්න, ඕමිනියාමඩුව ප්‍රෙද්ශයේ අක්කර 25 ක පමණ ඉඩමක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද යළිත් පරීක්ෂා කරනු ලැබුවේය.

***************************************

හිරු සී.අයි.ඒ. : ත්‍රී රෝද රථයෙන් බස් රථයට යන පානදුරේ භූමිතෙල් ජාවරම

(27.06.2019 – 20:58 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රධාන බස් රථ නැවතුම් පළේ බස් රථ නැවතුම ආසන්නයේම පිහිටි ආපන ශාලාවක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක නිරන්තරයෙන් ත්‍රීරෝද රථයක් නවතා තිබෙන අයුරු හිරු සී.අයි.ඒ. කළ නිරීක්ෂණයේදී අනාවරණ වුණා.

එහිදී හෙළි වුණේ ඇතුළත නොපෙනෙන ලෙස ආවරණය කර ඇති මෙම ත්‍රීරෝද රථය හරහා භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීමේ ජාවාරමකට අදාළව ඉන්ධන බෙදාහැරීම සිදුවන බවයි.

දිනකට කිහිපවරක් වරින් වර මෙම ආපන ශාලාව වසා දමන හිමිකරු ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් හිස් කෑන්වලට තොග වශයෙන් භූමිතෙල් පුරවා ගන්නවා.

ඉන්ධන පිරවුම්හලේ සිට නැවත අවන්හල වෙත එන මෙම පුද්ගලයා භූමිතෙල් තොග බස් රථවල සේවකයන්ට අලෙවිකරන්නේ දුරකථන මාර්ගයෙන් ඔවුන්ව සම්බන්ධ කර ගනිමින්.

***************************************

CCTV කැමරාවේ සටහන් වූ ඝණදෙවි පිළිම සොරකම

(27.06.2019 – 10:36 +0530 – hirunews.lk/sinhala)

හාලිඇළ උඩුවර 7කනුව ප්‍රදේශයේ පිහිටි දේවාලයක තිබු ඝණදෙවි පිළිමයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

මේ සම්බන්ධයෙන් හාලිඇළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් ඝණදෙවි පිළිමය සොරාගන්නා ආකාරය ඒ අසල තිබු CCTV කැමරා පද්ධතියක මෙලෙස පටිගත වී තිබුණා.

එම වීඩියෝව :

***************************************

වෛද්‍ය නවීන් ද සොයිසාගේ, කළුතර වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රහාරයක්

(28.06.2019 – 12:37 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතාට අයත් කළුතර – කුඩාවස්කඩුව ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් එම වෛද්‍ය මධ්‍යස්ථානයට කළුතෙල් සහ ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නවීන් ද සොයිසා විසින් කළුතර – උතුර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පසුගිය දා අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව චෝදනා 10ක් යටතේ මහජන පෙත්සමක් කළුතර – නාගොඩ රෝහල් පරිශ්‍රයේදී අත්සන් කිරීමට කටයුතු කරමින් සිටි අවස්ථාවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට අමාත්‍යවරයාට සහය පළ කරන පිරිසක් විසින් බාධා එල්ල කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ ආධාරකරුවන් පිරිසක් විසින් මහජන පෙත්සම අත්සන් කරන අවස්ථාවේ සිය සංගමයේ නියෝජිතයින්ට තර්ජනය කළ බවයි.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ කළුතර – කුඩාවස්කඩුව ප්‍රදේශයේ පිහිටි සිය වෛද්‍ය මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ද අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහයකයින් පිරිසක් විසින් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

28.06.2019

+++++++++++++++++++++++++++++++++++

29.06.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *