ඕනෑම අවස්ථාවක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට සූදානම්

(27.06.2019 – 07:05 +0530 – sinhala.adaderana.lk)

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එවන් දැනුම්දීමක් සිදු කළ ඕනෑම අවස්ථාවක එය ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සදහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය හිමිවී සිටින සිව් දෙනෙකු සදහා මරණ දඩුවම ලබාදීමට තමන් අත්සන් කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය.

ඉදිරි සති දෙක තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.

කෙසේ වෙතත් අදාල තීරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව අද දෙරණ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කළේය.

කෙසේ වෙතත් ඒ සදහා මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මූලික කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර ඕනෑම අවස්ථාවක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි.

+++++++++++++++++++++++++++++++++++

එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය එරෙහි වෙයි

(27.06.2019 – 07:14 +0530 – sinhala.adaderana.lk)

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සදහා තමන් මේවන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පල කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව එක්සත් රාජධානිය පවසන්නේය.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් රාජධානිය විරෝධය පල කරන බවයි.

මිට මාස 06 ක පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරයේදී මරණ දණ්ඩනය භාවිතා කිරිමට එරෙහි ගෝලීය තහනමට පක්ෂය ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර ඇති බව අදාල නිවේදනයේ සදහන් කර තිබේ.

එම ප්‍රතිපත්තිය ආපසු හැරවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්ථාවරයට, සංචාරක කර්මාන්තයට සහ ව්‍යාපාර කටයුතුවලට ප්‍රතිගාමී පියවරක් වනු ඇති බව එක්සත් රාජධානීය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ නම් ත්‍රස්තවාදය වැලැක්විම ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරිමේ කාරණා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරිමට අපහසු වනු ඇති බව අදාල නිවේදනයේ සදහන් වන්නේය.

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවන ලෙස දිගින් දිගටම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද එක්සත් රාජධානිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයෙන් තම සංවිධානය කම්පනයට පත්ව සිටින බවයි ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

එම ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් මහත පෙන්වා දෙන්නේ වසර 43කට පසුව ශ්‍රි ලංකාව තුළ යලි මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පල කරන බවයි.

මෙම තීරණය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර කීර්තියට හානිදායක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල තීරණය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නැවත සලකා බලනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවත් ක්ෂමා සංවිධානය පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මරණීඩ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම බරපතල අපරාධයක් බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේය ෴

+++++++++++++++++++++

එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමේ තීරණය සමඟ වැලිකඩ සිරකරුවෝ තැතිගනිති

(26.06.2019 – 22:43 +0530 – lankadeepa.lk)

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බව එම බන්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේය.

සී 3 සිර වාට්ටුවේ සිටි මරණීය දඬුවම නියම වූ සිරකරුවන් 84 දෙනෙකු පසුගියදා බූස්ස හා වටරැක බන්ධනාගාර වෙත හදිස්සියේ මාරුකර යැවූ අතර සී 3 වාට්ටුව හදිසි අලුත් වැඩියාවකට ලක්කර තීන්ත පිරියම් කිරීමද , එල්ලුම් ගහ පරීක්ෂා කිරීමද සිදුවෙමින් පැවැතීම පිළිබඳව සිරකරුවෝ කුකුසෙන් පෙලෙන්නට වූහ.

මෙම සිරගෙය තුළ කුමක් හෝ සිදුවන බවට සැකහැර දැන සිටි සිරකරුවන්ට අද (26) ලද පුවත අදහගත නොහැකි විය.

ඒ සමඟම 200 ක් පමණ මරණ දඬුවම නියම වූ සිරකරුවෝ දැඩි බියකින් පෙලෙන්නටත් , බලාගත් අත බලා සිටින්නටත් පෙළඹුණු බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රූපවාහිනි නරඹමින් නිදහසේ ගත කළ මරණ දඬුවම් නියමවූ සිරකරුවන්ගෙන් ඇතැමෙක් සිහි නැතුව ඇද වැටුණු බවද බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවැසීය.

මේ වන විට සී වාට්ටුවේ සිරමැදිරි 26 ක්ම හිස් කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය.

***************************************

රාජිතගේ දූෂණ හා අක්‍රමිකතා ගැන දිගටම මහජනතාව දැනුවත් කරනවා

(27.06.2019 – 08:28 +0530 – sinhala.adaderana.lk)

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ බව පැවසෙන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විපක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (27) පැවති සාකච්ඡාවකින් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේබව සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ විජේරාමේ පිහිටි නිල නිවසේදි සිදුවුණි.

***************************************

රාජිතගෙන් අනතුරු ඇඟවීමක්

(27.06.2019 – 06:21 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය කිරිම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිය දි චීනයෙන් දුම්වැටි ආනයනය කිරිම සදහා බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

චීනයෙන් දුම්වැටි ආනයනය කළහොත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා මේ පිළිබදව නොදන්නා බවත්, කඩිනමින් අවධානය යොමු කරන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

මුදල් අමාත්‍යාංශය මගින් චීන දුම්වැටි ආනයනය කිරිම සදහා අවසර ලබාදුනහොත් තමා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකාවේ වෙසෙන 6000 ක් පමණ වන ලියාපදිංචි චීන කම්කරුවන් වෙනුවෙන් එම දුම්වැටි ආනයනය කරන අතර, ඒ සදහා ආනයන බලපත්‍රය ලබාදීමට නියමිතව ඇත්තේ මත්පැන් නිෂ්පාදකයෙකුට බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ ප්‍රඥප්තියේ ඇතුලත් කරුණු 22 න් 20 ක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇත.

චීන දුම්වැටි ආනයනය කිරිම එම වැඩපිළිවෙල ආපසු හැරවීමකි. දුම්වැටි පාලනය කිරිම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි විරෝධී සම්මානය ශ්‍රී ලංකාවට අවස්ථා 03 ක දි ලැබී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ තමන් සිටින තුරු චිනයෙන් දුම්වැටි ආනයනය කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, එය 2015 ලබාදුන් පොරොන්දු කඩ කිරිමක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි ෴

***************************************

රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි – බැසිල් රාජපක්ෂ

(26.06.2019 – 21:59 +0530 – sinhala.adaderana.lk)

ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ අද (26) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මුස්ලිම් උලමා සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ රජයක් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙළක් සකස් කිරීම සහ ඉදිරි මැතිවරණ වලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද දිනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්සත් ලංකා පොදුජන පක්ෂය, මුස්ලිම් උලමා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා :

“ඉදිරි සතියකදී අපි අනුගමනය කළ යුතු පතිපත්තිය ජනතාව ඇසුරින් සකස් කරන්න අපි තීරණය කළා. ඒ අනුව ගම සමග පිළිසදරක් වැඩසටහනක් ගම් මට්ටමින් අදහස් හා යෝජනා එකතු කරමින් තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කරපු දේශපාලන පක්ෂ වල අදහස් යෝජනාවලියට එකතු කරන්න තීරණය කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රදේශයකට ආගමකට ජාතියකට සීමා වුන පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂයට අවුරුද්දකටත් වඩා අඩු වයසක දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන්න හැකිවුණා.

මේ වන විට ලංකාවේ වැඩිම මහජන නියෝජිතයින් ප්‍රමාණයක් ඉන්නේ අපේ පක්ෂයට. රට පුරාම මහජන නියෝජිතයින් 4000 කට වැඩි ප්‍රමාණයක් අපිට ඉන්නවා. මහජන නියෝජිතයින් වැඩි වීමත් සමහර වෙලාවට ප්‍රශ්නයක්. දරුවෝ වැඩි උනාම පාලනය කරගන්න අමාරුයි. ඒවුනත් අපි නිසි විනයක් සහිත පක්‍ෂයක්. එනිසා අපිට ඒ අය මෙහෙයවීම අමාරුනැහැ.

අපේ පක්ෂයේ කිසිම ජාතියකට ආගමකට ප්‍රදේශයකට සීමා කරලා නැහැ. රටේ හැමෝමටම එක නීතියක් තිබිය යුතු බවයි අපේ අදහස. ජාතියක් විදියට එකට ඉන්න එක නීතියක් අවශ්‍යයි.

අනාගතයේ රටේ පාලනය ගැන ඉන්න පක්ෂයක් විදිහට රටේ සාමකාමී පරිසරයක් අපි බලාපොරොත්තු වෙනවා. එල්ටී. ටී ඊ සංවිධානයෙන් රට බේරාගෙන ආරක්ෂාව තහවුරු කිරීම නිසයි ශීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යන්න හැකිවුණේ. අපි ආණ්ඩුව භාර ගන්න කාලේදී රටේ ජාතිවාදී අරගල තියෙනවා නම් බලාපොරොත්තු වන සංවර්ධනය කරා යන අපට බැහැ .

ඒ නිසා පාස්කු ඉරිදා සිද්ධිය වැනි සිදුවීම් රට තුළ නැවත සිදුවෙනවා දකින්න අපි කැමති නැහැ.බේරුවල සිද්ධිය අවස්ථාවේදී ඊට මැදිහත් වෙලා සිද්දිය සමථයකට පත් කරන්න අපට හැකි වුණා. සියලු තොරතුරු තිබිලත් පාස්කු ඉරිදා සිද්ධිය නතර කරගන්න වත්මන් රජයට නොහැකි වුණා.

ආණ්ඩුව මෙයට වගකිව යුතුයි. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ එහි වගකීමත් අප පිට පටවන්න. නීතිය ක්‍රියාත්මක කරන ආයතන අධිකරණය හමුදාව මේ හැමදේම තියෙන්නෙ ආණ්ඩුව ලඟ.

මුස්ලිම් ජනතාවගෙන් කීප දෙනෙක් කරපු දෙයකට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ.ඒ වගේම පොහොට්ටුවේ කිහිප දෙනෙක් කරන වැඩ වලට වැඩවලට සම්පූර්ණ පොහොට්ටුව වග කියන්න අවශ්‍යත් නැහැ.

යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ එවකට රජය මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ සේවය වචනයෙන් කිව නොහැකි බව එහි දී සඳහන් කළ මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ් මජීඞ් මහතා ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන බව එහිදී සඳහන් කලේය.”

***************************************

ජපන් රැකියා වෙනුවෙන් කිසිදු අතරමැදියෙකුට මුදල් දෙන්න එපා !

(26.06.2019 – 20:31 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලාංකිකයින්ට ජපන් රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ මෙතෙක් රැකියා සැපයීම ආරම්භ කර නොමැති බැවින් ජපන් රැකියා සඳහා කිසිදු අතරමැදියෙකුට මුදල් ලබා දීමෙන් වලකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ අමාත්‍ය තකාෂි යමෂිටා මැතිතුමන් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14 ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට 2019.06.19 දින ජපානයේ තෝකියෝ නගරයේදී අත්සන් තබන ලදී.

මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැඟිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.

මෙම ගිවිසුම පදනම් කරගෙන ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පහත සදහන් පියවර ගැනීමට නියමිතය.

  1. අදාළ වෘත්තිය ක්ෂේත්‍ර 14 ක් සදහා ශ්‍රි ලංකාවේ ලබාදෙන වෘත්තිය පුහුණුව මඟින් ලබාගත හැකි නිපුණතා මට්ටම, ජපානයේදී පිළිගැනීම සදහා වන නිපුණතා මට්ටම් සැසදීම හා ප්‍රතීතනය සිදුකිරීම.
  2. එක් එක් වෘත්තීය සදහා ජපානය පිළිගන්නා ජපන් භාෂා නිපුණතා මට්ටම තීරණය කිරීම.
  3. වෘත්තිය සහ භාෂා කුසලතා ඇගයීම සඳහා කුසලතා පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව දෙරට අතර, එකඟතා ඇති කර ගැනීම.
  4. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයින් බඳවාගැනීම සඳහා සුදුසුකම්ලත් බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සි ආයතන සඳහා අනුමැතිය ලබා දීම.

එක් එක් රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම්, වයස් සීමාව, ජපන් භාෂා ප්‍රවීණතාව, වැටුප් පරිමාණයන් වැනි කරුණු පිළිබදව තවමත් දෙරට අතර නිශ්චිත එකගතාවයන්ට එළැඹී නොමැත.

ඉහත කරුණු නිමකිරීම ඉදිරි කාලය තුළ කාර්යාංශය විසින් සිදුකරනු ලබන අතර, ඉන් අනතුරුව ජපානයෙන් ලබාගන්නා රැකියා ඇබෑර්තු කාර්යාංශ පනත අනුව නියාමනය කරනු ලබයි.

ඉහත කරුණු සියල්ල පියවරෙන් පියවර මහජනතාව වෙත කාර්යාංශය දැනුම් දෙන අතර ඒ වන තෙක් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට මෙම රැකියා සදහා ජපානයට බදවාගැනීම් පිළිබදව කිසිදු කටයුත්තක් ආරම්භ කිරීම සපුරා තහනම්ය.

ජපන් රැකියා අවස්ථා ලබාගැනීම සදහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් මේ දිනවල වඩාත් උනන්දු වන නමුත් තවමත් නීත්‍යානුකූල අයුරින් මෙම වැඩසටහන ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ අදාල කටයුතු සිදුකෙරෙමින් පවතින බැවින් ජපන් රැකියා ලබාගැනීම සදහා මේ මොහොතේ අයදුම්පත් හෝ මුදල් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා නොදෙන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි ෴

***************************************

විනාශයේ ආරම්භක ලකුණ අගමැති – ඩලස් අලහප්පෙරුම

(26.06.2019 – 19:39 +0530 – sinhala.adaderana.lk)

රටේ වත්මන් අර්බුදවලට ප්‍රධානම හේතුව 2015 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තු ආසන 47 ක් පමණක් තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අග්‍රාමාත්‍යධුරය ලබා දීම බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළ කළ අදහස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රිවරයා කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවේදී.

එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශය පිළිකුලෙන් බැහැර කරන බවයි.

ඔහු පැවසුවේ ගෝඨාභ මහතාගේ පරම සතුරාවත් එවැනි ප්‍රකාශයක් සිදු නොකරණු ඇති බවයි.

එවැනි ප්‍රකාශ දේශපාලන සතුරන්ට ප්‍රබල තුරුම්පු සැපයුමක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=owgq-413Vd4#t=5

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=ICXxU2rKl9I#t=5

***************************************

ඇමති අකිල චෝදනා ප්‍රතික්ෂේප කරයි

(26.06.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk)

තමාගේ ඡායාරූපය සහ ප්‍රකාශයක් පාසල් පෙළපොත් සඳහා ඇතුළත් කරන ලෙසට තමා බලපෑම් කළේයැයි පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (26) මාධ්‍ය හමුවකදී සඳහන් කළේ තමා එවැන්නක් සිදු කිරීමට බලපෑම් කළ බව පවසමින් ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් බව කියන හිටපු ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයාද එවැන්නක් ප්‍රකාශ නොකළ බව පවසමින් දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.

පාසැල් පෙළපොත් මුද්‍රණය කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබූණු අතර එම පැමිණිලි විභාගයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී ඉලංගසිංහ මහතා සාක්ෂි ලබාදී ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාව පෞද්ගලිකවම අමතා අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහ ඔහුගේ ප්‍රකාශයක් සෑම පෙළපොතකටම ඇතුළත් කරන ලෙසට දැනුම් දුන් බවත් , අදාළ ඡායාරූපය සහිත පිටුවක් පෙළපොතක් සඳහා ඇතුලත් කිරීමට රුපියල් 04 ක අතිරේක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එහිදී ඔහු පැවසූ බවට වාර්තා පළ විය.

කෙසෙවෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

***************************************

යුද හමුදාපති සාක්ෂි දෙයි – රිෂාඩ්ට නැවත එන්න දින දෙයි

(26.06.2019 – 18:43 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව අද (26) හත්වන දිනටත් රැස්විය.

අද දිනයේදී එම කමිටුව හමුවේ පළමුව සාක්ෂි දෙනු ලැබුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි.

පාස්කු ප්‍රහාරයෙන් පසු නිවාස සහ විවිධ ස්ථාන පරීක්ෂා කීරීමේ දී කිසියම් පුද්ගලයෙගෙන් තමාට බලපෑමක් එල්ල නොවූ බව යුද හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදා නිලධාරීන් විසින් අප්‍රේල් 26 දින ඉෂාන් අහමඩ් නැමති පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පසු හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා දුරකථනය ඔස්සේ තුන්වරක් ඇමතූ බව යුද හමුදාපතිවරයා පැවසීය.

එහෙත් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් තමාට නොකළ බවත් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අසා සිටීමක් පමණක් සිදු කළ හමුදාපතිවරයා සඳහන් කළේය.

ඉෂාන් අහමඩ් නැමැත්තා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සමඟ වැඩ කරන පුද්ගලයෙකු පුතෙකු බව හිටපු අමාත්‍යවරයා තමාට පැවසූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පැවසීය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් ඉෂාන් අහමඩ් නැමැත්තා ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා සම්බන්ධ බවට සාමාන්‍ය දැනුමක් තිබූ බව හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඒ කාල වකවානුවේ අත්අඩංගුවට ගැනීම කරනු ලැබූවේ අදාළ ත්‍රස්ත ජාලය සම්බන්ධ පුද්ගලයින් බවත් එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම ත්‍රස්ත ජාලය පිළිබඳ හමුදාවට දැමක් තිබීම හේතුවෙන් බව හමුදාපතිවරයා පැවසීය.

ඉන් අනතුරුව කාරකසභාව හමුවේ සාක්ෂි දෙනු ලැබුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර් අශෝක මහතායි.

පසුව කමිටුව හමුවේ සාක්ෂි දෙනු ලැබුවේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාණ්‍යාධිකාරී පී.එල්.යූ. රත්නමලල මහතායි.

අවසාන වශයෙන් අද දිනයේදී කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා නියමිතව තිබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතායි.

කෙසේ වෙතත් ඔහුගෙන් සාක්ෂි විමසීම සඳහා මෙම කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම නිසා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි ලබානොගෙනම යලි එළඹෙන සිකුරාදා දිනයේදී කමිටුව හමුවට සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ලෙස ඒ මහතා හට දැනුම්දීම සිදුකෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

ඇමති හලීම්ගේ සොහොයුරා තේරීම් කාරක සභාවට – බොදුබල සේනාවත් අවස්ථාවක් ඉල්ලයි

(27.06.2019 – 07:27 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාගැනීම සඳහා ලබන සිකුරාදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ සොහොයුරා වන ෆායිම් එම්. හෂීම් කැඳවා තිබෙනවා.

ඊට අමතරව බැටිකලෝ කැම්පස් පෞද්ගලික ආයතනය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා ලබාදුන් ප්‍රකාශවලට අදාළව ලංකා බැංකුවේ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ද එදින සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම බොදුබල සේනා සංවිධානයද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ රිෂාඩ් බදියුදීන් අමාත්‍ය ධූරය දැරූ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම්, සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.එන්.රංජිත් අශෝක සාක්ෂි ලබාදුන්නා ෴

***************************************

STF බුද්ධි තොරතුරකට සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලයි – පිලීපීන් කතක් හා ලාංකික සැමියා අත්අඩංගුවට

(26.06.2019 – 18:08 +0530 – sinhala.adaderana.lk)

අද (26) උදෑසන 11.30 පමණ මුල්ලේරියාව පොලිස් වසමේ ගල්හේන පාර ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබේ.

එහිදී බලපත්‍ර නොමැතිව සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සැකපිට පිලිපීන ජාතික කාන්තාවක් හා ඇයගේ ශ්‍රී ලාංකීක සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු සමීර ඉන්ද්‍ර කුමාර නැමති කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා ඔහුගේ බිරිඳ වන වයස අවුරුදු 36 ක් වු අම්රුම් සන්තෝසා යන කාන්තාවකි.

සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කර ගත් තොරතුරු මත අද දහවල් 12.30 ට පමණ නවගමුව පොලිස් වසමේ අංක 560/2, හොරපොත, කඩුවෙල යන ලිපිනයේ පවත්වා ගෙන ගිය බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලා තවත් සැකකරුවන් සමඟ භාණ්ඩ කීපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුගේ රියදුරුවරයා වන සමන් කුමාර නැමැත්තා ද අත්අඩංගුවට ගෙන ඇත.

සිම් කාඩ් 1764 ක්, ජංගම දුරකථන 30 ක්, සිම් බොක්ස් 12 ක්, ලැප් ටොප් 01 ක්, යතුරු පුවරු 07 ක් , යූ.පී.එස්.07 ක්, මවුස් 03, නෙට් වර්ක් හබ් 08 ක් හා රවුටර් 07 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි ෴

***************************************

අධික වේගය නැවතුන හැටි

(26.06.2019 – 17:59 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව දෙමටපිටිය ප්‍රදේශයේදී නතර කර තිබු ලංගම බස් රථයක අධික වේගයෙන් පැමිණි ජීප් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර,එම අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් :

https://www.youtube.com/watch?v=sdT89D74ork#t=5

***************************************

රාජ්‍ය නිලධාරින්ගේ නිල ඇඳුමට අදාළ චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

(26.06.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය නිළධාරින්ගේ නිළ ඇදුම් පිළිබඳ දැනට නිකුත් කළ ඇති චක්‍රලේඛය අහෝසි කිරිමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති විවිධ යෝජනා සැලකිල්ලට ගනිමින්.

නව සංශෝධනයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන්.

මෙහිදී සාරිය සහ ඔසරිය මෙන්ම සිය ආගමික පසුබිමට අනුව ඕනෑම සංවර ඇඳුමකින් සැරසි සේවයට පැමිණීමට අවසර හිමිවනු ඇති.

කෙසේ වෙතත්, කිසිදු හේතුවක් මත මුහුණ ආවරණය වන ලෙස සැරසි රජයේ කාර්යාලවලට පැමිණිමට අවසර ලැබෙන්නේ නැහැ.

මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයින් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමෙන් සැරසි සිටිය යුතු බව සඳහන් වූ අතර, කාන්තාවන් සාරිය හෝ ඔසරියෙන් සැරසි සිටිය යුතු බවට දැක්වුණා.

මෙම චක්‍රලේඛණය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ද අවධානය යොමුවූ අතර අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි එම කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කෙරුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *