කිරින්දේදී දළ රළට බිළි වුණු එකම පවුලේ තුන්දෙනා; හතරවෙනියා – මව – 29 වනදා මියයයි

(23.06.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk)

කිරින්දේදී දළ රළට බිළි වුණු ජීවිත

කිරින්ද මුහුදු තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ තිදෙනකු අද (23) රළ පහරකට හසු වී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත් වුණි.

විනෝද චාරිකාවක් සඳහා කිරින්දේ ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස මිය ගිය අතර දියණියන් දෙදෙනාගේ මව බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක සේවකයන් පිරිසක් සංවිධාන කළ කිරින්දේ විනෝද චාරිකාවක් සඳහා විසි දෙනෙකු එක්වසිටි අතර ඔවුන්ගෙන් තිදෙනකු කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස් සිටියදී අද මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පලටුපාන හෝටලයක නවාතැන් ගෙන සිටි එම කණ්ඩායමේ හය දෙනකු අද උදෑසන 07:30 ට පමණ රළපෑගීම සඳහා මුහුදු තීරයට ගොස් ඇති අතර අනපේක්ෂිත ලෙස පැමිණි සැඩ රළ පහරකට ඉන් සිව්දෙනෙකු ගසා ගෙන ගොස් තිබුණි.

කෙසේවෙතත් අවට පිරිස් එක්ව, දියේ ගසා ගෙන ගිය සිව්දෙනා වහා වෙරළට රැගෙන ඒමට කටයුතු කළ අතර වහාම ඔවුන්ව තිස්සමහාරාම මූලික රෝහලට සහ කිරින්ද ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කෙරුණි.

ඔවුන්ගෙන් තිදෙනෙකුම පසුව ජීවිතක්ෂයට පත්වුණි. මෙලෙස මිය ගොස් තිබුණේ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකි.

ඒ , හැටන් හී පදිංචි 38 හැවිරිදි නුවන් ජයසූරිය, 04 හැවිරිදි නදීෂා ජයසූරිය සහ 06 හැවිරිදි සහලා ජයසූරිය යන අයයි.

දැරියන්ගේ මව වන 33 හැවිරිදි හෂිනි ප්‍රේමසූරිය බරපතළ තත්වයෙන් පසු වූ හෙයින් තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කෙරුණත් එහි දැඩි සත්කාර ඒකකයක් නොතිබිම නිසා පසුව ඇයව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත්කිරීමට තීරණය කර ඇත.

එහෙත් අවාසනාවට හම්බන්තොට මූලික රෝහලේද රෝගීන් පිරී පැවතීම නිසා රෝහල් පාලනාධිකාරිය තීරණය කළේ ඇයව අම්පාර මහ රෝහල වෙත මාරු කර යැවීමටයි.

ඒ අනුව රෝහලේ පැය හතරක පමණ කාලයක් ගත කළ පසුවත්, තවත් පැය කිහිපයක් වැය කරමින් ඇයව අම්පාර මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගැනුණි.

බරපතළ තත්වයෙන් පසුවූ මව රැගත් ගිලන් රථය අම්පාර මහ රෝහල වෙත රැගෙන එනු ලබන්නේ සවස 02:45 ට පමණය.

මිය ගිය තිදෙනාගේ මළ සිරුරු මේ වන විට තිස්සමහාරාම සහ කිරින්ද රෝහල් වල තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඥාතීන්ට බාරදීමට නියමිතයි.

+++++++++++++++++++++

මුහුදේ ගිලී මියගිය පියා දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු හෙට (25)

(24.06.2019 – 12:32 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද – යාල මුහුදේ ගිලී මියගිය හැටන් ප්‍රදේශයේ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු හැටන් – කුඩාගම පොදු සුසාන භූමියේදී හෙට (25) සිදු කෙරෙනවා.

මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ මේ වනවිට දෙබරවැව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේදි සිදු කෙරෙන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක නිරතවෙමින් සිටියදී කිරින්ද – යාල වෙරළ තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස රළ පහරකට හසුව දියඹට ගසාගෙන ගියේ ඊයේ (23) උදෑසනයි.

සිද්ධියෙන් පියා සහ දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, මව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාරුකර යැවුනේ අම්පාර මහ රෝහලටයි.

කෙසේ වෙතත් ඇය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි අම්පාර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය උපුල් විජේනායක මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

කිරින්ද මුහුදේ සැඟව ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (25)

(25.06.2019 – 10:40 +0530 – sinhala.adaderana.lk)

විනෝද චාරිකාවක් සඳහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේ දී පසුගිය දා සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවසට ගෙනැවිත් තිබේ.

ඊයේ (24) රාත්‍රී 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත දේහයන් රැගෙන එනු ලැබීය.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික විජේසුරිය නැමති 39 හැවිරිදි පියා හා නෙසත්මා සහන්දි විජේසුරිය නැමති 6 හැවිරිදි හා නදිශා ඉනොමි විජේසුරිය නැමති වයස අවුරුදු 4 ක් වු දියණියන් දෙදෙනාය.

මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිඳ නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනිවරයෙකු වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සඳහා එම පිරිස ඉකුත් 22 දින යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඊට පසු දින (23) උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගිමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබුණි.

අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිඳ වන හසිනි විජේසුරිය මහත්මියද මෙම අනතුරට මුහුණ පා බරපතළ තත්ත්වයෙන් අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

හැටන් ප්‍රදේශයේ සියලුම ජනතාවගේ සො සුසුම් මැද ඊයේ රාත්‍රී අනතුරෙන් මිය ගිය අයගේ සිරුරු නිවසට ගෙන විත් තැන්පත් කර ඇති අතර මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු අද (25) පස්වරු 4 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කිරිමට ඥාතින් සහ හිතවතුන් කටයුතු කර ඇත.

මිය ගිය අයට ශෝකය පල කරමින් හැටන් නගරයේ සියලුම කඩ සාප්පුවල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල්වලින් සරසා ඇත.

අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනා මුහුදේ ගිලි හුස්ම හිර විමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව මරණ පරික්ෂණය පැවැත් වු තිස්සමහරාම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වන එච්.ටි.ඩබ්ලිව් අජිත් කුමාර මහතා විසින් නිගමනය කර ඇත.

+++++++++++++++++++++

කිරින්ද වෙරළට බිලි වූ පියා සහ දියණියන් දෙදෙනා අද අවසන් ගමන් යයි

(25.06.2019 – 09:44 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද වෙරළ තිරයේදි සැඩ රළ පහරකට හසු වි මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි අද සිදු කෙරේ.

විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි පසුගිය 23 දින සැඩ පහරකට හසු වී මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික ජයසුරිය නමැති 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ දියණියන්වන නෙසත්මා සහන්දි විජේසුරිය නමැති 06 හැවිරිදි දියණිය සහ නදිශා ඉනොමි විජේසුරිය නමැති 04 හැවිරිදි දියණියයි.

මිය ගිය නුවන් ඉන්දික විජේසුරියගේ බිරිද නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනිවරයෙකු වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සදහා එම පිරිස ඉකුත් 22 දින යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඊට පසු දින උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගිමට ගිය අවස්තාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරියගේ බිරිද වන හසිනි විජේසුරිය ද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හැටන් ප්‍රදේශයේ සියළුම ජනතාවගේ සෝ සුසුම් මැද ඊයේ රාත්‍රි අනතුරෙන් මිය ගිය අයගේ සිරුරු නිවසට ගෙන විත් තැන්පත් කර ඇති අතර මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු අද පස්වරු 4 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කිරිමට ඥාතින් සහ හිතවතුන් කටයුතු කර තිබෙනවා.

මිය ගිය අයට ශෝකය පල කරමින් හැටන් නගරයේ සියළුම කඩ සාප්පු වල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල් වලින් සරසා තිබෙනවා.

අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනා මුහුදේ ගිලී හුස්ම හිර විමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බව මරණ පරික්ෂණය පැවැත් වු තිස්සමහරාම මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරීවරයා විසින් නිගමනය කර තිබෙනවා.

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

+++++++++++++++++++++

කිරින්දේදී බේරුණු මව තවමත් දැඩි සත්කාර ඒකකයේ

(24.06.2019 – 07:04 +0530 – lankadeepa.lk)

කිරින්ද මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලුණු කාන්තාව අම්පාර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබත් ඇයගේ තත්ත්වය බරපතල බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය.

කිරින්ද මුහුදේ රළ පාගමින් සිටියදී ඉරිදා (23) රළ පහරකට හසුව එකම පවුලේ හතරදෙනෙකු මුහුදට ගසාගෙන ගිය අතර ඉන් පියා සහ දියණියන් දෙදෙනා මිය ගියහ. මව අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය.

දියේ ගිලී බරපතල තත්වයේ පසු වූ කාන්තාවගේ මොළයට සහ පෙණහලුවලට හානි සිදුවී තිබෙන බවත් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව සියලුම පරීක්ෂණ කටයුතු කරමින් සිදු කරන බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය ෴

+++++++++++++++++++++

කිරින්දේ අනතුර ඇසින් දුටු සාක්ෂි

(25.06.2019 – gossiplankanews.com)

පසුගියදා වාර්තාවූ කිරින්ද වෙරළේදී රළ පෑගීමට ගොස් මුහුදට ගසාගෙන ගිය පියා සහ දරු දෙදෙනාගේ මරණ රටම කම්පා කරවන පුවතක් විය. එම අනතුරින් බරපතල තුවාල ලද මවද මේ වනවිට බරපතල තත්වයෙන් රෝහල් දැඩි සත්කාර ඒකකයේ පසුවන්නීය. සිද්ධිය පිළිබඳ ඇසින් දුටුවන් සැපයූ විස්තර ඇතුළත් වාර්තාවක් පහතින් :

“අපි රළ පාගමින් මුහුද දෙසට ගියා. ඒ වෙලාවේ ගොඩ හිටපු හසිනි අක්කා කීවා ‘රළ පහර සැර වැඩියි යන්න එපා’ කියලා. ඉදික අයියා ගණන් නොගෙනම බය නැතිව අක්කාටත් එන්න කියමින් මුහුදට ගියා. අපි රළ පාගමින් සෙමින් සෙමින් මුහුදට ගියා. ඒ වෙලාව්වෙ ලොකු රළ පහර දෙක තුනක් ආවා. එකවරම ආ රළ පහරට අපි යට කරගෙන ගියා. එවිට ඉන්දික අයියා චූටි බබාගේත් මගෙත් අත් හයියෙන් අල්ලාගෙන හිටියා. ඒ සමග තවත් රළ පහරකට අපේ අත් ඇතැරුණා. මා දෙතුන්වරක් දිය යටට යමින් උඩට පා වුණා. ඊට පස්සේ චූටි බබාත් ඉන්දික අයියාත් මා දැක්කේ නැ” යැයි රළ පෑගීමට ගොස් මුහුදට ගසාගෙන ගිය පියා සහ දරු දෙදෙනාගේ මරණ පරීක්‍ෂණයේදී එම චාරිකාවට එවූ නුවරඑළිය, දිමුතුගම විජේකෝන් මුදියන්සේලාගේ තිළිණී විජේකෝන් මෙනෙවිය පැවසුවාය.

මෙම සිද්ධියෙන් මියගොස් සිටියේ නැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ නුවන් ඉන්දික විජේසූරිය (39), නසන්ටා සහන්දි විජේසුරිය (06) සහ නදිලා ඉනෝමි විජේසුරිය (04) යන තිදෙනාය.

පියාගේ සහ දරු දෙදෙනාගේ මරණ පරීක්‍ෂණය තිස්සමහාරාම හදිසි මරණ පරීක කේ.ටී.ඩී. නෙරන්ජන් මහතා සිදු කළේය.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවක පිරිසක් තිස්සමහාරාම යාල ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ කිරින්ද මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් මෙම තිදෙනා මියගිය අතර ඔවුන් සමග මුහුදේ ගසාගෙන යද්දී බේරාගත් මියගිය දරුවාගේ මව අසාධ්‍ය තත්වයෙන් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

මරණ පරික්‍ෂණයේදී සාක්කි දුන් තිළිණි විජේකෝන් මෙනවිය මෙසේද කීවාය :

“බැංකුවේ වැඩ කරන පිරිසක් සමග ඒ අයගේ පවුල්වල අයත් එක 21 වැනිදා උදේ අපි විනෝද චාරිකාවක් ආවා. අපි කෙළින්ම ආවේ යාලෙ හෝටලයට. එහි කාමර අරගෙන අපි නතර වී සිටියා.

23 වැනිදා උදේ අපි ආපහු නුවරඑළිය යන්න හිටියේ. 23 වැනිදා උදේම අපි නැගිටලා හිටියෙ. හසිනි අක්කත්, ඉන්දික අයියත්, දරු දෙදෙනා සමග රළ පාගන්න මුහුද පැත්තට ගිහිල්ලා හිටියා. ටික වෙලාවකට පස්සේ හසිනි අක්කා මට කෝල් එකක් දීලා කිවා අපි මුහුද රළ පාගමින් ඉන්නව ඔවුන් ඉන්න තැනට මටත් එන්න කියලා. උදේ 07:30 ට විතර මමත් හෝටලයේ ඉඳල අක්කල ඉන්න තැනට ආවා.

එවිට මම දැක්කා ඉදික අයියා චූටි බබත් එක්ක වෙරළෙ රැල්ල එන හරිය රළ පාගමින් ඉන්නවා. හසිනි අක්කා ලොකු බබා එක්ක වෙරළෙ සිප්පිකටු අහුලමින් ඉන්නව දැක්කා. මමත් එතැනට ගියා. ඒ වෙලාවෙ රැල්ල ගොඩ එන හරියෙ ඉන්දික අයියා චූටි බබා එක්ක රැල්ල පාගමින් හිටියා. ටික වෙලාවකට පස්සේ මමත්, හසිනි අක්කත් ලොකු බබාත් එක්ක ඉන්දික අයියා හිටපු තැනට ගියා. ඉන්දික අයියා, දරු දෙදෙනාත් අක්කාත් රැල්ල පාගන හැටි දුරකතනයෙන් වීඩියෝ කරමින් හිටියා. මමත් මේ දේවල් බලබලා රැල්ල පාගමින් විනෝදවෙමින් හිටියා. ඒ අතරතුර ඉන්දික අයියාත්, මමත් චූටි බබා මැදි කරගෙන අත් අල්ලගෙන රළ පාගමින් ටික ටික ඉදිරියට ගියා.

ඒ වෙලාවෙ ගොඩ හිටපු හසිනි අක්කා කිව්වා ‘දැන් රළ පහර වැඩියි; තවත් ඉස්සරහට යන්න එපා’ කියලා. එවිට අයියා අක්කට කතා කරල කිව්වා ‘ඔයත් බය නැතුව මුහුදට බැහැල අපි ඉන්න තැනට එන්න’ කියලා. අපි රළ පාගමින් ටික ටික ඉදිරියට ගියා.

එක්වරම ලොකුවට රළ පහර කිහිපයක් ආවා. එක රළ පහරකට අපි තුන්දෙනාම යට වුණා. ඒ අවස්ථාවේ අයියා චූටි බබත් මමත් හයියෙන් අත් අල්ලගෙන හිටියා. ඒත් ආපු රළ පහරට අපි වෙන්වුණා. ඒ වෙලාවේ කිහිපවරක් මම වතුර යට යමින් උඩට ආවා. වේගයෙන් ආපු රළ පහරකට මම ගොඩ පැත්තට ගසාගෙන ආවා. ඒ වෙලාවෙ මගේ කකුල් බිම වැදුනා. මම ගොඩට දුවගෙන ආවා. ඒ වෙලාවෙ හසිනි අක්කත්, අයියත් බබාල දෙන්නත් ඉන්නව මම දැක්කෙ නැහැ.

ඔවුන් සොයන්න අපි සමග ආපු ගයන්ත අයියා මුහුදට පනිනව මම දැක්කා. මම හෝටලයට දුවල ගිහිල්ලා එතැන හිටපු අයට කෑගහල කිව්වා අක්කල මුහුදෙ ගහගෙන ගිය බව. එවිට හෝටලයේ හිටපු කිහිප දෙනෙකු මුහුද දෙසට දුවගෙන ආවා. ඊට පසු සිදුවූ කිසි දෙයක් මට මතක නැහැ. පසේ චූටි බබා ගොඩට ගෙනැල්ලා හුස්ම දෙනව වගේ දැක්කා. ඉන්දික අයියත් බබාල දෙන්නත් මියගොස් ඇති බව මට දැන ගන්නට ලැබුණා. ඔවුන් මිය ගියේ කිරින්දෙ මුහුදෙ වැටී දියේ ගිලීමෙන් බවට මට විශ්වාසයි. මේ මරණ පිළිබඳ මට කිසිම සැකයක් නැහැ.”

මරණකරුගේ සහෝදරයා වන දිලාන් චානක විජේසූරිය (36) සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය :

“මියගොස් සිටින අයියා හැටන් නගරයේ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ බිරිය නුවරඑළිය පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිනියක හැටියට කටයුතු කරනවා. බැංකු සේවක පිරිස සමග අයියත්, අක්කත්, දරු දෙදෙනාත් සුබසාධක චාරිකාවකට තවත් පිරිසක් සමග තිස්සමහාරාම යාලට ඇවිත් තියෙනවා. ඔවුන්ගේ මේ ගමන ගැන මම කලින් දැනගෙන හිටියෙ නැහැ. 23 වැනිදා මම නල්ලතන්නියෙ ටෙලිකොම් එකේ වැඩකට වාහනෙන් ඇවිත් හිටියා. උදේ 10:30 ට විතර මගේ ඥාති අයියා කෙනෙක් කෝල් කරලා කිව්වා ඔයාගෙ අයියා ට්‍රිප් එකක් ගිහිල්ලා අනතුරක් වෙලා ඉක්මනින් හැටන් එකට එන්න කියලා. පසුව මම දැනගත්තා අයියා ඇතුළු පිරිසට කිරින්ද මුහුදේදී අනතුරක් සිදුවී ඇති බව. එදා හවස 05:30 ට විතර මම තිස්සමහාරාමට ආවා. එහිදී මට දැනගන්න ලැබුණා, අයියත්, දරු දෙදෙනාත් කිරින්ද මුහුදේ රළ පාගන්න ගිහිල්ලා මුහුදේ ගිලී මියගොස් ඇති බව. මේ මරණය පිළිබඳව මට කිසිම සැකයක් අවිශ්වාසයක් නැහැ.”

මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය තිස්සමහාරාම දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ටී.ඩබ්ලිව්. අජිත් කුමාර මහතා විසින් පවත්වනු ලැබූ අතර ඔහුගේ නිගමනය වූයේ මෙම මරණ තුනම මුහුදේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණ බවටයි.

වෛද්‍ය වාර්තතාව හා ලැබී ඇති සාක්‍ෂි සැලකිල්ලට ගෙන මෙම තිදෙනාගේම මරණ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ හදිසි මරණයන් බවට මරණ පරීක්‍ෂක කේ.ටී.සී. නෙරංජන් මහතා තීරණය කළේය. පොලිස් පරික්‍ෂණ කිරින්ද පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් (63547) ඇනින්, තිස්සමහාරාම පොලිස් කොස්තාපල් (754) ජයරත්න යන මහත්වරු මෙහෙයවූහ.

– තිස්සමහාරාම රංජිත් එස්. ඩයමන්

+++++++++++++++++++++

25.06.2019

+++++++++++++++++++++

කිරින්ද මුහුදේදී අනතුරට පත්ව අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙදරු මවත් ජීවිතක්ෂයට

(30.06.2019 – 08:56 +0530 – sinhala.adaderana.lk)

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් (22) දා සැඩ රළ පහරට හසු වි අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වු බව වාර්තා වේ.

හසිනි විජේසුරිය මහත්මිය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කල අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි 22 දින හසිනි විජේසුරිය මහත්මියගේ පවුලේ උදවිය සැඩ රල පහරට හසු විමෙන් සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණි.

සැඩ පහරට හසු වු හසින් විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇයව කොලඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් ඇතුලත් කර තිබුණි.

ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) රාත්‍රි හැටන් නිවසේදි සිදු කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ජිවිතක්ෂයට පත් හසිනි විජේසුරිය මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසා ඇත.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *