පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව පොලිසියේ 9කට එරෙහිව අපරාධ සහ විනය පියවර

(20.06.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට පත් කල පරීක්ෂණ මණ්ඩලය නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනෙකු ඇතුලු ඉහල පොලිස් නිලධාරින් 09 දෙනෙකුට සුදුසු අපරාධමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කර තිබෙනවා.

එම මණ්ඩලයේ අවසන් වාර්තාව පිළිබඳව අවධානය යොමුකරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා, ඒ බව වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද දැනුම් දී ඇත්තේ ලිපියක් මගින්.

අදාල පිපිරිම් සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපතිවරයා පත් කල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව අදාල ලිපියෙන් නීතිපතිවරයා දැනුම් දි තිබෙනවා.

ඒ අනුව, පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ කොළඹ , බස්නාහිර උතුර, විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එරෙහිව සුදුසු අපරාධමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එසේම, පොලිස් අධිකාරි කොළඹ උතුර, සහකාර පොලිස් අධිකාරි මීගමුව 03 , සහකාර පොලිස් අධිකාරි මිගමුව 04, කටාන පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ජම්පටා වීදිය පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයාට ද සුදුසු අපරාධ සහ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් 9 දෙනෙකුට එරෙහිව අපරාධ සහ විනය පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත දැනුම්දී තිබෙනවා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කල විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් කමිටු වාර්තාවේ නිර්දේශවලට අනුවයි.

ඒ අනුව, කොළඹ, බස්නාහිර, උතුර, විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එරෙහිව මෙලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරීක්ෂණ මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

එසේම, කොළඹ – උතුර පොලිස් අධිකාරිවරයාට, මීගමුව කොට්ඨාශ තුන සහ හතර භාර සහකාර පොලිස් අධිකාරිවරුන්ට මෙන්ම කටාන සහ ජම්පටා වීදිය පොලිස් ස්ථානාධිපතිවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පරීක්ෂණ මණ්ඩලය සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ.

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට නඩු පැවරීම : ජනපති, අගමැතිටත් නඩු පවරන්න – බිමල් රත්නායක

(21.06.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පහළ නිළධාරීන්ට පමණක් නඩු පැවරීම ප‍්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා පැවසුවේ ආණ්ඩුවේ සහ ආරක්ෂාව භාර ප‍්‍රධානීන්ට ද ඒ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි.

ප‍්‍රහාරය එල්ල වි මාස 02ක් ගතවී ඇතත් තුවාල ලැබූ සහ පවුලේ ප‍්‍රධානියා අහිමිවූ පිරිස් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පෙන්වා දුන්නා.

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනපති කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න

(21.06.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපතිවරයා පත් කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදාළ වාර්තාවේ නිර්දේශවලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා යැවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා ෴

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය පිළිබඳ රජයේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බව රජයේම ඇමතිවරයෙක් කියයි

(21.06.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වී අදට මාස 02 ක් ගතව ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි පරීක්ෂණයක් සිදු කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.

කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් මර්දනය කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ප‍්‍රහාරය එල්ල කළ කණ්ඩායම පිටුපස සිටි පාර්ශවයන් සහ ප‍්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට කටයුතු කළ පුද්ගලයින් පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

***************************************

රනිල්ට හදවතක් නෑ.. කරූට මොළයක් නෑ.. සජිත්ට මේ දෙකම නෑ… (20.06.2019)

***************************************

ජමියියතුල් උලමා සංවිධානය මෙරට ජීවත් වන සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව තලේබානුකරණයට ලක් කරමින් සිටී – මොහොමඩ් මුසම්මිල්

(21.06.2019 – 12:00 +0530 – lankacnews.com)

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30 ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් අතරින් දෙදෙනකු දින 15 ක් ගත වීමටත් මත්තෙන් යළි දිවුරුම් දී ඇති බවත් මේ පිරිස රඟ දක්වමින් සිටින්නේ ‘ත්‍රස්තවාදයට අනුබල දීමේ බරපතළ චෝදනා’ ඇති රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා බේරා ගැනීමේ නාටකයක් යැයි මෙමඟින් තවදුරටත් තහවුරු වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා :

“කබීර් හෂිම් හා ඒ. එච්. එම්. හලීම් යන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනා මෙසේ යළි දිවුරුම් දුන්නා සේම මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් ඇතුළු එම පක්‍ෂයේ හිටපු ඇමතිවරුන් ද රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්‍ෂයේ හිටපු ඇමතිවරුන් ද තම පක්‍ෂවල ‘තීන්දු’ අනුව ඉදිරි දිනවල යළි ඇමති ධුරයන්හි දිවුරුම් දීම ඉහත නාටකයේ ඉදිරි ජවනිකා විය හැකි බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දින 30 ක කාලයෙන් අනතුරුව ‘අපි ඉල්ලා අස්වෙලා සාධාරණ පරීක්‍ෂණයක් කරන තුරු බලා සිටියා. කෝ අපට විරුද්ධ චෝදනා, කෝ අපට නඩු පැවරුවාද?’ යනුවෙන් පවසමින් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ද ඇමති ධුරයේ දිවුරුම් දීම මෙම නාටකයේ අවසන් ජවනිකාව විය හැකි බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන්ලාට එසේ සලකන මෙම ආණ්ඩුව, පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ මියගිය 300කට අධික පිරිසකටත් තුවාල ලැබූ 500කට අධික පිරිසට හා ඔවුන්ගේ ඥාතීන්ටත් ගෙවී ගිය දෙමස තුළ කිසිදු ආකාරයකින් යුක්තිය ඉටු නොකළ බවට ද මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කළේය. එසේම මහනුවර දිස්ත්‍රික්කය තුළ පමණක් අන්තවාදී පල්ලි 40 ක් ඉදි කිරීමට අවසරය ලබා දුන් හලීම් වැනි අයකුට යළිත් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර දීම ‘නරියාට කුකුළන් භාරදීමක්’ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

‘උලමාවරුන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් මදි’

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මහතා සමස්ත ලංකා ජමියීයතුල් උලමා සංවිධානය හෙවත් මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය දෝෂ දර්ශනයට ලක් කළේය. එම සංවිධානය මෙරට ජීවත් වන සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව තලේබානුකරණයට ලක් කිරීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ බවට සාක්‍ෂි තමන් සතුව පවතින බව ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මද්‍රසා සහ අරාබි පාසල් රටේ අධ්‍යාපන පද්ධතියට පිටින් පවතින බවට හා නියාමනයක් නොමැති බවට එල්ල වී ඇති විවේචන සහ මෙම පාසල්වල ඉගැන්වීමට විදේශීය රටවල්වලින් පැමිණෙන ආගමික අන්තවාදී දේශකයන් විසින් මුස්ලිම් දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළු කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා සත්‍ය රට හමුවේ තැබීමේ වගකීම පැවරී ඇති උලමාවරුන් එම වගකීම පැහැර හැර ඇති බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තවද ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම, මුස්ලිම් දේවස්ථාන, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ආදිය පිළිබඳව මෙන්ම මුස්ලිම් ප්‍රජාව තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් ගොඩනැගී ඇති මොහොතක ජමියියතුල් උලමා සංවිධානය එම මතවාදයන්ට අදාළ පිළිතුරු නොදීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් අතර විරසකය තවදුරටත් උත්සන්න වී ඇති බව ද පෙන්වා දුන් මුසම්මිල් මහතා මුස්ලිම් සමාජය කෙරෙහි එල් ල වූ සැක සංකා දුරු කිරීම සඳහා ආගමික වියතුන්ගේ සංවිධානය දැන්වත් ප්‍රමාණවත් ලෙස මැදිහත් විය යුතු බව අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

***************************************

අපේ කථානායකට උපදෙස් දෙන කෙනාට අමෙරිකාවෙන් පඩි ගෙවන්නෙ ඇයි ?

(21.06.2019 – 10:35 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ උපදේශකවරයෙකුට අමෙරිකාවෙන් වැටුප් ලබා දීමට තරම් සාධාරණ හේතුවක් නොමැති බව හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිත හිමි පවසයි.

ලංකා සම සමාජ පක්ෂය ඊයේ (20) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ උපදේශකවරයා ප්‍රදීප් කාරියවසම්, ඔහු අනිවාර්යයෙන්ම අමෙරිකාවේ CIA ඔත්තු සේවයට සම්බන්ධ ආයතනයකින් වැටුප් ලබා ගන්නා බවත් අපේ කථානායකවරයාට උපදෙස් ලබාදෙන්නාට අමෙරිකාවෙන් වැටුප් ලබා දෙන්නේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියේය.

“පසුගිය සතියේ යුනිසෙෆ් ආයතනයෙන් වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවේ කියනව ලංකාවේ 38% ක දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙන බව. මේ කාලය තුළ ආණ්ඩුවේ කී දෙනෙක් මේ ගැන බැලුවද?

සුවපතිට සාම්ප්‍රදායිකව හම්බෙන සම්මානෙට ලක්ෂ 67 ක් වියදම් කරලා තියෙනව.

අපේ රටේ දරුවො බඩගින්නේ මැරෙනවා…” යනුවෙන්ද වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

***************************************

අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවෙන්, මඩකලපුව සරසවිය රජයට පවරා ගන්නැයි නිර්දේශ

(21.06.2019 – 11:28 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හදිසි නීති රෙගුලාසි යටතේ වහාම රජයට පවරා ගන්නා ලෙස අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අද පාර්ලිමේන්තුවට නිර්දේශ කළා.

ඒ, එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කල නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින්.

එම විශ්ව විද්‍යාලයේ සභාපති හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පුත් හිරාස් හිස්බුල්ලා පසුගිය මාර්තු 14 වන දින පාර්ලිමේන්තුවේ කාරක සභාව වෙත කැදවනු ලැබුවා.

අදාළ විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පවතින බව ඔහුගේ ප්‍රකාශයන් පිළිබද සිදුකළ සොයා බැලීමේදී හෙළි වූ බවයි ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මඩකලපුව ෂරීයා විශ්ව විද්‍යාලයට මුදල් ලැබුනු ආකාරය පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞදි අරාබි තානාපති කාර්යාලය එක්ව සම්පුර්ණ පරික්ෂණයක් කල යුතු බවටද නිර්දේශ කර තිබෙනවා.

අදාල විශ්ව විද්‍යාලය මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවිමට අක්කර 35 ක් ලබාදී තිබුණ ද එයට යාබද අක්කර 08 අනවසරයෙන් මෙම ආයතනය ඉදිකර ඇති බව ද වාර්තාවේ සදහන්.

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබද ආංශීක අධික්ෂණ කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක පුර්ණ විවාදයක් ඉල්ලා සිටි අතර එය ලබා දිමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එකගතාව පලකලා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලිම සදහා පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි ෴

+++++++++++++++++++++

මඩකලපු සරසවිය වෙනුවෙන් අරාබි ණයක් ලංකා බැංකුවට ලැබී නැහැ

(20.06.2019 – 19:59 +0530 – lankadeepa.lk)

මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලය සතු කොල්ලූපිටිය ශාඛාවේ පවත්වා ගෙන යන ගිණුමට සෞදි අරාබියෙන් කිසිදු ණය මුදලක් බැර වී නැතැයි ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරු ජනක් ප‍්‍රසංග මහතා අද (20) රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් දෙමින් දැනුම් දී ඇත.

වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ ප්‍රේෂණ අංශයේ කළමනාකරු අද එම කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබිණි. එහිදී එම පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් ලබා දෙමින් එම කළමනාකාරවරයා මේ බව සඳහන් කර ඇතැයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පැමිණිල්ලට අදාළව එම කළමනාකාරවරයාගෙන් අද පෙරවරුවේ සිට පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් බවද එම නිලධාරියා කියා සිටියේය.

අදාළ විශ්ව විද්‍යාලයට අයත් ගිණුමක් ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පවත්වා ගෙන ගියද සෞදි අරාබියෙන් ලැබුණ කිසිදු ණය මුදලක් එම ගිණුමට බැර වී නොමැති බවත් , එවැනි මුදල් තැන්පත් කිරීමට මහ බැංකුවේ විශේෂ අවසරයක් ඇතිව සිදු කළ යුතු ක‍්‍රියාවලියක් බවත් ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරුගේ ප්‍රකාශයේ සඳහන් වෙතැයි දැනගන්නට තිබේ.

රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය මීට පෙර නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ .එල්.එම්.හිස්බුල්ලා මහතාගෙන් ඉකුත් 14 වැනිදා පැය තුනක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර එහිදී ඔහු පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සඳහා සෞදි අරාබියෙන් ණය මුදලක් ලබා ගත් බවයි.

මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි ෴

+++++++++++++++++++++

හිස්බුල්ලාගේ මඩකලපුව විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නැයි නිර්දේශයක්

(21.06.2019 – nethnews.lk)

බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ වහාම රජයට පවරා ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව නිර්දේශ කර තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් එම කාරක සභාව සකස් කළ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි කාලසීමාවේදී මෙම ආයතනය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ ද වංචාකාරී ලිපියක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

***************************************

බුදුමැදුර පිහිටි ස්ථානයේ හිමිකම බෙදාගන්න බැරිවූ නොමිනිසුන් පිරිසක් වැලිගමදී කළ අපරාධය

(21.06.2019 – 10:57 +0530 – hirunews.lk/sinhala)

ස්ථානයේ හිමිකම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව බුදුමැදුරකට හානිකර ඇති පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කිසියම් පිරිසක් මෙලෙස හානි සිදුකර ඇත්තේ ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම රෙස්ට් හවුස් හන්දිය අසළ පිහිටි බුදුමැදුරටයි.

ඊයේ රාත්‍රියේ මෙලෙස බුදුමැදුරට සහ එහි තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේට හානිකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අතර කලක සිට පවතින ආරවුලක් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම බුදුමැදුර වසර 100කට වඩා පැරණි බුදු මැදුරක් බවයි ප්‍රදේශවාසීන් අපට ප්‍රකාශ කළේ.

වැලිගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

***************************************

ඉස්ලාම් ආගම අතහැරියාම මරා දැමිය යුතු බව ආගමේම තියෙනවා

(21.06.2019 දිවයින පුවත්පතින්)

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්කි දෙමින් රිස්වින් ඉස්මයිත් මහතා මෙසේ කීවේය :

මම උපතින් මුස්ලිම්. 2014 දී ආගමෙන් ඉවත් වුණා. මම නිරාගමිකයි. මගේ මුහුණු පොත හරහා ඉස්ලාම් ආගම ගැන මම ලියුවා. මට ඉන්පසු මරණ තර්ජන ආවා. 2016 ජූලි 16 මම පොලිසියට පැමිණිලි කළා. 2017-07-28 සහ 08-28 යන දිනවලත් පැමිණිලි කළා. එත් ඒ පැමිණිලි ගැන කිසිවක් විමසලා නෑ. පාස්කු බෝම්බ ප‍්‍රහාරයට පසු දෙවරක් පොලිස් නිලධාරීන් මගේ නිවසට ආවා. ඇවිත් ආරක්‍ෂාව තිබෙනවාද කියා ප‍්‍රශ්න කළා. මට ත‍්‍රස්ත විමර්ශන අංශයට එන්න කීවා. දැනට අත්අඩංගුවේ සිටින හතර දෙනෙක් මාව මරා දමන්න පසුපස පැමිණ තිබෙන බව කීවා.

දෙහිවල ළමා නිවාසයක දරුවන් 18 ක් අතවරයට ලක්වූ බවට නුගේගොඩ උසාවියේ නඩු තුනක් තිබෙනවා. මේ දරුවන් උදෙසා මා උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණ කළා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් පවත්වන බව මගේ මුහුණු පොතේ දැමුවා. මේක දුටු සහරාන් මාව එතනදි මරන්න කියලා හතර දෙනෙක් එවා තිබෙන බව ලබාගෙන තිබෙන කට උත්තරවලින් දැනගත්තා.

ඉස්ලාම් ආගම අතහැරියාම මරා දැමිය යුතු බව ආගමේම තියෙනවා. ඒ බව පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දෙන 9 සහ 10 ශ්‍රේණිවල ‘ඉස්ලාම් ආගම’ පොතේත් තිබෙනවා. 2015, 2016, 2017 පොත්වල තිබෙනවා එවන් කෙනෙක් ධර්මයේ ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුයි කියා.

මේ වගේ කරුණු පාසැල් පොත්වල තිබියදී සහරාන්ලා බිහිවෙන්න සිරියාවෙන් කවුරුවත් එන්න ඕනේ නෑ. ඉස්ලාම් ආගම අතහරින කෙනෙක් මරා දැමිය යුතු බව කුරානයේ සඳහන් වෙන්නේ නෑ. නමුත් නබිතුමා කළ ප‍්‍රකාශවල තිබෙනවා.

පාසල් පෙළ පොත්වලට මේ වගේ දේශනා ඇතුළත් කර ඇත්නම් ආණ්ඩුවෙන්ම උගන්වලා තියෙනවා රැඩිකල් වෙන්න

+++++++++++++++++++++

21.06.2019

***************************************

2020 ජනපති ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – කේ. සී. ජේ රත්නායක (20.06.2019)

https://www.youtube.com/watch?v=PBbO_86f9vg
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *