අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින 2 ක දුම්රිය වර්ජනයක්

(19.06.2019 – 07:31 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක (02) සංකේත වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා.

වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සදහන් කළේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් ඇමති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (20)

(20.06.2019 – 07:05 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යවරයාද එක්වීමට නියමිත බවයි.

වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමටයි නියමිතව තිබුණා.

කෙසේ වෙතත් පසුව ප්‍රවාහන අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට අනුව අද පස්වරු දෙක දක්වා එම වර්ජනය තාවකාලිකව කල් දැමීමටයි ඔවුන් තීරණය කළේ.

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිතව තිබූ අතර, අද පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් අනිවාර්යයෙන් වර්ජන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා කියා සිටියේ ෴

***************************************

පාස්කු ප්‍රහාරයේ තොරතුරු අනාවරණ කරගත නොහැකි බාධාවක් ජා.නි.පෙ. කියයි

(18.06.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුලු පිරිස එම දෙපාර්තමේන්තුවේ සිටින තාක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි තොරතුරු අනාවරණ කරගත නොහැකි බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්

(18.06.2019 – 18:20 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මෙම වසරේ දෙසැම්බර් මස 31 දක්වා සේවා දිගුවක් (2019-12-31) ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

***************************************

ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශන වාර්තා නොපමාව යොමුකරන්නැයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නියෝග

(18.06.2019 – 16:50 +0530 – hirunews.lk/sinhala)

ජාතික තවුහිත් ජමාත් සංවිධානය සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය පවත්වාගෙන යනු ලබන විමර්ශන හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳ නොපමාව වාර්තා කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

ඊට අදාළ ලිඛිත නියෝගය අද දිනයේ යොමුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මහත්මිය සඳහන් කළේ.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජාතික තවුහිත් ජමාත් නම් වූ මූලධර්මවාදී හා අන්තවාදී ඉස්ලාම් විරෝධී සංවිධානය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද දිනයේ වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබාදී තිබෙනවා.

එම ලිඛිත උපදෙස්වල දැක්වන්නේ අදාළ විමර්ශනවලට භාජනය වූ සැකකරුවන් දෙදෙනෙකු මේ වසරේ අප්‍රේල් 21 වන දින සහ ඉන් අනතුරුව සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ සිද්ධියෙන් මියගොස් ඇති නමුත්, මොවුන් සම්බන්ධ වී කටයුතු කරනු ලැබූ ජාතික තවුහිත් ජමාත් සංවිධානය සහ එහි සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යා යුතු බවයි.

මාවනැල්ල බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධිය සහ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් වෙන වෙනම දැනටමත් විමර්ශනයක් පවත්වාගෙන යනු ලබන බවට නීතිපතිවරයාට දැනගැනීමට ලැබී ඇති බව අදාළ ලිපියේ සඳහන්.

එම විමර්ශන සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ නොපමාව වාර්තා කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

මීට අමතරව පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව තහනම් කරනු ලැබූ ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හෙවත් ජේ.එම්.අයි. සහ විලයාත් අස් සෙයිලානි සංවිධාන, එහි ක්‍රියාකාරකම් සහ එකී සංවිධානවල සාමාජිකයින් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කළ බව රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

කාත්තන්කුඩි පොලිසියේ හිටපු සහ වත්මන් ස්ථානාධිපතිවරුන්ගෙන් තේරීම් කාරක සභාවට සාක්ෂි

(18.06.2019 – 15:26 +0530 – hirunews.lk/sinhala)

අද පස් වන දිනයට රැස්වු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදුන්නා.

මෙම තේරිම් කාරක සභාව රැස්වීමට පෙර නියෝජිතයින් කථානායක කරු ජයසුරිය හමු වී එහි ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති සඳහන්.

ඉන් අනතුරුව කාත්තන්කුඩි පොලිස් හිටපු ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආරියබන්දු වෙදගෙදර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

එහිදී කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා කාරක සභාවේ සාමාජිකයෙකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරවනු දැකගත හැකිවුණා.

ඊට පසුව සාක්ෂි ලබාදීම සිදු කළේ ප්‍රදේශයේ මුස්ලිම් සංවිධාන නියෝජිතයෙක්.

+++++++++++++++++++++++++++++++++++

ගැටළුවලට විසදුම් නැහැ – මන්ත්‍රී බන්දුල

(18.06.2019 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය කරුණු අනාවරණ කළ යුතු බවයි.

***************************************

වැලිසර ගබඩාවක ගින්නක්

(18.06.2019 – 10:52 +0530 – hirunews.lk/sinhala)

රාගම, වැලිසර, ගුණසේකර මාවතේ පිහිටි විදුලි උපකරණ ගබඩාවක අද (18) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

අලුයම හයට පමණ හටගත් මෙම ගින්න කොළඹ, ගම්පහ මහ නගර සභාවල සහ වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීම ඒකක එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.

ගින්නෙන් ගබඩාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

***************************************

කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යළි ඇමති ධුර වල දිවුරුම් දෙයි

(19.06.2019 – 11:14 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුරවලින් පසුගියදා ඉවත් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යළි අමාත්‍ය ධුර වල දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔවුන් පෙර දැරූ අමාත්‍ය ධුර වලම අද පෙරවරුවේ මෙලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

***************************************

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගත වීමට දුන් කාලය දීර්ඝ කෙරේ

(19.06.2019 – 10:34 +0530 – hirunews.lk/sinhala)

හෘද සැත්මකට ලක්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට දුන් කාලය ලබන මස 24 දක්වා දීර්ඝ කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33 යි දශම 9 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ පසුගිය මැයි මස 31 වනදා සිංගප්පූරුවේ රෝහලකදී තම සේවාදායකයාට හෘද සැත්කමක් සිදුකර ඇති බවයි.

පසුගිය 09 වනදා ඔහු එම රෝහලෙන් නික්ම ගොස් ඇති බවත් සති 06 ක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම නඩුව කල් දමන ලෙසටයි ඔහු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධත්වයක් ප්‍රකාශ කළේ නැහැ.

ඒ අනුව මෙම නඩු විභාගය ලබන මස 26 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ ෴

+++++++++++++++++++++

***************************************

යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කෙරේ

(19.06.2019 – 09:47 +0530 – hirunews.lk/sinhala)

වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය කිරීම තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (18) පැවති කැබිනට් රැස්වීමේදී මීට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

මේ වනවිට යාන්ත්‍රික දම්වැල් කියත් 82,000 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති අතර, වන විනාශය සදහා පහසුවෙන් රැගෙන යා හැකි යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

***************************************

අවුරුදු 7ක දරුවෙක් අපයෝජනය කළ පොලීසියේ නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට

(19.06.2019 – 08:08 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ආරක්ෂාව සඳහා යොදවා සිටි කුලියාපිටිය පොලීසියේ නිලධාරියෙකු එම විහාරස්ථානයේම සිටි වයස අවුරුදු 7 ක දරුවෙක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කුලියාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා ෴

***************************************

යාපනයේ නිවසකට පහර දී පළා ගිය ‘ආවා’ කල්ලියේ 10 දෙනෙකු අත්අඩංගුවට

(19.06.2019 – 08:02 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කොකුවිල් ප්‍රදේශයේ නිවසකට පහර දී පළා ගිය ‘ආවා’ කල්ලියට සම්බන්ධ 10 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අදාළ නිවසේ ඉදිරිපස ජනෙල් 6කට, රූපවාහිනී යන්ත්‍රයකට සහ ශීතකරණයකට අලාභ හානි සිදුකර පළා ගොස් තිබුණේ පෙරේදා දිනයේයි.

මොවුන් සමඟ යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

දෙරණ නාලිකාව දයාසිරිගේ සායම අරී.. වීඩියෝවෙන් ‘අතේ කෝට්’..

(19.06.2019 – 09:20 +0530 – lankacnews.com)

ආරක්ෂක මණ්ඩලයේ සිටි ඇතැමුන් ආරක්ෂක මණ්ඩලයේ දී ජංගම දුරකථනයක් දෙකක් තබාගෙන ඒවාට ඇන ඇන සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. (ටීවී දෙරණ 360 දී)

ජනාධිපතිවරයා තමන්ද සිටියදී පඬුවස්නුවරදී පැවති රැස්වීමකදී පැවසුවේ ඇතැමුන් කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකතනයට අනිමින් සිටින බවද කී මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයේදී එවැන්නක් සිදු වූ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වීඩියෝව දමා පෙන්වන්නයි දෙරණ රූපවාහිනියට අභියෝගද කළේය.

එම අභියෝග දෙරණ රූපවාහිනිය විසින් පිලිගනිමින් සිය වෙබ් අඩවියේ අදාල වීඩියෝව පළ කර තිබිණි.

එම වීඩියෝව අනුව ජනාධිපතිවරයා පැහැදිලිවම සඳහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ ඇතැමුන් ජංගම දුරකථනයට ඇන ඇන සිටි බවයි.

https://www.facebook.com/AdaDerana24/videos/449844432227898/

+++++++++++++++++++++

මිනිත්තු 53

+++++++++++++++++++++++++++++++++++

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න.. – අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..

(19.06.2019 – 10:00 +0530 – lankacnews.com)

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කටයුතු කිරීම ගැන ජනතාවගෙන් සමාව අයදින බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා සදහන් කරයි.

ජනතා පරමාධිපත්‍යට ගරු නොකරමින් ජනාධිපති හා අගමැති දෙපැත්තකට වී සිටින බවත් පැවති ආණ්ඩුව නීති විරෝධී ලෙස කඩාකප්පල් කිරීමට ජනාධිපතිවරයා වරදකරු වී ඇතැයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ ජනාධිපති යයිද ඔහු එහිදි පැවසීය.

ආරක්ෂක ඇමතිවරයාද වූ ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යංශයද පැවති නිසා අදාල ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතු බවත් වෙන කිසිවකු ඊට වගකිව යුතු නැති බවටත් ඔහු චෝදනා කලේය.

+++++++++++++++++++++

මිනිත්තු 91
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *