ජනිපෙන් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයට ලිපියක්

(17.06.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

එහිදි මුසම්මිල් මහතා පවසා ඇත්තේ තව්හීද් ජමාත් වැනි සංවිධාන තුළ දක්නට ලැබෙන අන්තවාදී ප්‍රවණතාව කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නොමැති බවයි.

එසේම එවැනි අන්තවාදී ප්‍රවණතාවයන් සහ සැබෑ ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජනතාව අතර පවතින වෙනස කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නොමැති බැවින් එම අන්තවාදි පිරිස විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්දයෙන් යම් කිසි පියවරක් ගත යුතු බවද ඒ මහතා එම ලිපියේ සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලට වගකිව යුත්තෝ ඉස්ලාම් ආගම අදහන යම් අන්තවාදී පිරිසක් බව දැන් සමාජය තුළ තහවුරු වී ඇති බව රහසක් නොවන බැවින් ඇතැම්විට සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට එයින් බලවත් අසාධාරණයක් ද සිදුවන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

ඒ අතර මද්‍රසා සහ අරාබි පාසල් රටේ අධ්‍යාපන පද්ධතියට පිටින් පවතින බවට හා නියාමනයක් නොමැති බවට විවේචනයක් එල්ල වී ඇති බවත්එය ඉතාම බරපතළ චෝදනාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

එනම් මෙම පාසල්වල ඉගැන්වීමට විදේශීය රටවල් වලින් පැමිණෙන ආගමික අන්තවාදී දේශකයන් විසින් මුස්ලිම් දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළු කරන බවට ය.

එම චෝදනාවට අදාළ තොරතුරු රාශියක් සමාජගත වී ඇති බැවින් එය අන්තවාදයට විරුද්ධ සහ සාමකාමී සෙසු ජාතීන් සමඟ සංහිඳියාවෙන් ජීවත් වීමට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනතාවට බලවත් අසාධාරණයක් හා කම්පනයක් ඇති කරන බවද ඔහු පෙන්වා දෙයි.

එම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එනම් සත්‍ය කුමක්දැයි රටට හෙළි කිරීමේ බරපතළ වගකීමක් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ පැවරී ඇති බවද මුසම්මිල් මහතා එම ලිපියේ සඳහන් කර ඇත.

තවද ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම, මුස්ලිම් දේවස්ථාන පිළිබඳව, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව මෙන්ම මුස්ලිම් සමාජය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් ගොඩනැගී ඇති මොහොතක සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ වැනි සංවිධානයක් එම මතවාදවලට අදාළ පිළිතුරු නොදීමෙන් ජාතීන් අතර විරසකය තව තවත් වැඩි විය හැකි බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

අදාල ලිපිය පහතින් දැක්වේ :

+++++++++++++++++++++++++++++++++++

තව්හිද් නාමයෙන් කිසිදු පල්ලියක් ලියාපදිංචි කර නෑ – හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්

(17.06.2019 – 11:03 +0530 – sinhala.adaderana.lk)

තමන්ට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලට පිළිතුරු දීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය දිනක දී පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ එක්වෙමින් අසාද් සාලි මහතා විසින් තමා ගැන මෙන්ම තමාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන සහෝදරයා වන ෆායිම් මහතා පිළිබඳව පදනම් විරහිත ප්‍රකාශයක් සිදු කර ඇතැයි ද හලීම් මහතා මෙහිදී කියා සිටියේය.

එනිසා තමාට හා තම සහෝදයාට මේ ගැන තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට අවස්ථාවක් දෙන ලෙස ද එහිදී හලීම් මහතා ඉල්ලීමක් කර සිටියේය.

තව්හිද් යන නාමයෙන් කිසිදු පල්ලියක් ඉදි කර නොමැති බව ද පැවසු හලීම් මහතා, පාර්ලිමේන්තුවේ සම්මත වු පනත් අනුව කටයුතු කරන බැවින් තමාට එල්ල කල චෝදනා පදනම් විරහිත බවත්, පල්ලි ලියාපදිංචිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා, නොදැන මෙම චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් ඔහු හොඳින් දැන ගෙන මෙය සිදු කර ඇති බව ද සඳහන් කළේය.

විශේෂයෙන් පල්ලියක් ලියාපදිංචි කරන සභාවක් ඇති බවත්, එයට ඇති නිර්දේශ මත එම කාර්ය සිදු කරන බවත් පැවසු හලීම් මහතා කරුණා කර මේ ගැන කරුණු දැක්වීමට තේරීම් කාරක සභාවෙන් අවස්ථාවක් ලබා දෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටියේය.

***************************************

17.06.2019

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (17.06.2019)

***************************************

යාපනයේ දී කිතුණු දේව් මැඳුරක සුරුවමක් කඩා දමයි

(17.06.2019 – 11:18 +0530 – sinhala.adaderana.lk)

යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අළුයම කිසියම් පිරිසක් කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ ධීවර රැකියාව සඳහා යන පිරිසක් සුරුවම කඩා දමා ඇති බව දැක පොලීසිය දැනුවත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පැවසූවේ අරියාලෙයි, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ පැවති මාතා සුරුවමක් දෙව් මැදුරු කුටියෙන් ඉවතට ගෙන කිසියම් පිරිසක් සුරුවම මාර්ගයේ දී කඩා දමා ඇති බවයි.

ප්‍රදේශයේ කිතුණු ජනතාව මහත් බැතියෙන් පුජාවන් පැවැත්වු සුරුවමක් එලෙස කඩා දමා ඇති අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් මෙය සිදුකරන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ මේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කොට වරදකරුවන් අත්අඩංගුවට ගත යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි ෴

***************************************

බල්ලා සපා කෑවාට ගුරුවරිය අත්අඩංගුවට

(17.06.2019 – 09:04 +0530 – sinhala.adaderana.lk)

ගුරු නිවාසයේ ඇති දැඩි කරන සුනඛයකු (බල්ලෙකු) පාසල් සිසුවියන් දෙදෙනෙක් සපා කෑමෙන් තුවාල සිදුවීමෙන් එම ශිෂ්‍යාවන් රෝහල් ගත කිරීමේ චෝදනාව මත සුනඛයා ඇති කළ ගුරුවරිය මස්කෙළිය පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා හමුවට ඉකුත් (13) දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හරිමින් නැවත ජූලි මස (31) දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

හැටන් අධ්‍යාපන කලාපයට අයත්, මස්කෙළිය, ඩී.සයිඩ් දෙමළ ප්‍රාථමික විදුහලේ සේවයේ නියුතු ගුරුවරියකට ඉකුත් (13) වෙනි දින හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වරයා විසින් එම නියෝගය ලබා දී තිබේ.

ඩී.සයිඩ් දෙමළ ප්‍රාථමික විදුහලේ 03 වන හා 05 වන ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන මෙම සිසුවියන් දෙදෙනා ඉකුත් 06 වන දින පාසල් වේලාවේ එම පාසලේ ගුරු නිවාසයේ ඇති දැඩි කරන සුනඛයකු විසින් සපා කෑම හේතුවෙන් තුවාල සිදුවූ එක් සිසුවියක් නාවලපිටිය මූලික රෝහලෙන් නේවාසිකව ප්‍රථිකාර ලබාගෙන ඇති අතර අනෙක් සිසුවිය මස්කෙළිය ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

එම ළමයින්ගේ දෙමව්පියන් විසින් මස්කෙළිය පොලීසියට සිද්ධිය පිළිබඳව කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 282 වන වගන්තිය යටතේ බල්ලකු සපා කෑම සම්බන්ධව සුනඛයාගේ අයිතිකරු වන ගුරුවරියට එරෙහිව හැටන් අධිකරණයට “බී” වාර්තාවක් මඟින් කරුණු වාර්තා කර ඇත.

මෙම ගුරුවරියට මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී දැඩි ලෙස අවවාද කරමින් නඩුවේ වැඩිදුර විභාගය පැවැත්වෙන 2019.07.31 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත, පොලිස් සැරයන් සමන්ත (40552) මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇත.

***************************************

බෙලිහුල්ඔය ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 54 ක් අත්අඩංගුවට

(17.06.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – බෙලිහුල්ඔය – පඹහින්න ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ රත්නපුර කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ සිදුකළ වැටලීමකදියි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සහ ප්‍රිගැබ්ලීන් හ ඇපල් වර්ගයේ මත්පෙතිද සොයාගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ ෆේස්බුක් සාදය සංවිධාන කළ රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

ඔවුන් සියලු දෙනා අවුරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන්නන්.

එසේම මෙම පිරිස අතර තරුණියන් සිව්දෙනෙකුද වනවා.

මොවුන් පිරිස බලංගොඩ මහේස්ත්‍රාත් ඩී.එම්.ජේ. දිසානායක හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දඩ නියම කර මුදා හැර තිබෙනවා.

ඒ අනුව හෙරොයින් සහ අයිස් ළඟ තබාගෙන සිටි පස්දෙනෙකුට රුපියල් දස දහස බැගින්ද සෙසු සැකකරුවන්ට රුපියල් 2000 සහ 2500 අතර දඩ නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

***************************************

රාවණ – 1 අද කක්ෂ ගතවෙයි

(17.06.2019 – 15:34 +0530 – lankadeepa.lk)

රාවණ – 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීමට අද (17) කටයුතු කෙරෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කරන ලදී.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙස, නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සමඟ 2017 වසරේදී සහයෝගීතා පර්යේෂණ ගිවිසුමක ප්‍රතිඵලයකට අනුව චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට හැකිව තිබේ.

ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ ශිෂ්‍යයත්වයක් ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මෙනවිය වෙත හිමි වූ අතර මුදල් ගෙවන සාමාජිකයකු ලෙස ආතර් සී.ක්ලාක් ආයතනය විසින් එම ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු තරිදු දයාරත්න මහතා මේ කාර්යයට සම්බන්ධ විය.

මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය විසින් පිරිනමා තිබේ.

+++++++++++++++++++++

‘රාවණා 01’ අද (17) කක්ෂගත කරයි

(17.06.2019 – 14:47 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද කක්ෂගත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙරට වේලාවෙන් අද (17) පස්වරු 3.45 ට එය කක්ෂගත කිරීමට නියමිතයි.

රාවණා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න මහතා සහ දුලානි චාමිකා විතානගේ මෙනවිය යි.

එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ භූමියේ පිහිටි නාසා ආයතන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ආරම්භ කළේය.

පැය 36 ක කාලයක් ගමන් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වුණේ ඉකුත් අප්‍රේල් මාසයේදීයි.

එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය රාවණා වන් චන්ද්‍රිකාව එම මධ්‍යස්ථානයේ සිට මෙරට වේලාවෙන් අද පස්වරු 3.45 ට කක්ෂගත කිරීමට නියමිතව තිබේ.

එය පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් ඉහළින් කක්ෂගත කිරීමටයි නියමිතයි.

එහි අවම ආයු කාලය අවුරුදු එකහාමාරක් වන අතර අවුරුදු 5 ක් දක්වා ක්‍රියා කළ හැකි බවට විශ්වාස කරයි.

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15 ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 7.6 කි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රාවණා – 1 කක්ෂගත කෙරේ

(17.06.2019 – 16:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණ 01 කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.45 ට සාර්ථකව සිදුකෙරුණා.

නේපාල සහ ජපාන චන්ද්‍රිකා දෙකක් සමඟ රාවණා – 1 චන්ද්‍රිකාව අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයෙන් නික්මුණේ පෘථිවියට කිලෝමීටර් 400 ක් දුරින් පිහිටි කක්ෂයක ස්ථාන ගත කිරීමටයි.

ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ආතර් සී.ක්ලාක් ආයතයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න මහතා සහ දුලානි චාමිකා මෙනවිය විසින් නිර්මාණය කළ මෙම චන්ද්‍රිකාව, නාසා ආයතනයට අයත් මධ්‍යම අත්ලාන්තික් කලාපීය අභ්‍යවකාශ පර්යන්තයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවන ලද්දේ පසුගිය අප්‍රේල් 19 වනදායි.

රාවණ – 01 කක්ෂගත කිරීමෙන් අනතුරුව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ තාක්ෂණ හා මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කමනි එදිරිවීර ජපාන අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයේදී, ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසින්.

‘‘ශ්‍රී ලංකාව අද, අභ්‍යවකාශ්‍ය වෙත ඇගේ පියසටහන් එක් කළා මෙරට ප්‍රථම චන්ද්‍රිකාව වන රාවණ – 01 සාර්ථකව කක්ෂගත කිරීමත් සමගින්. ඒ පිළිබඳව බර්ඞ්ස් 3 ව්‍යාපෘතියට මෙන්ම, රාවණ – 01 චන්ද්‍රිකාව නිර්මාණය කළ ශ්‍රී ලාංකික යොවුන් ඉංජිනේරුවන් වන දුලානි චාමිකා විතානගේ මෙනවියට හා තරිඳු ලක්මාල් දයාරත්න මහතාට, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට සහ ජපානයේ කියුෂු සහ ජක්සා අභ්‍යවකාශ ගවේෂණ ආයතනයට අපේ ස්තූතිය හිමිවිය යුතුයි. මෙය අප සැමට ඉමහත් ආඩම්බර විය හැකි අවස්ථාවක් වන අතර, ඒ සඳහා ඉමහත් ප්‍රයත්නයක නිරත වූ විද්‍යාඥයින්ට අපේ ආචාරය හිමිවනවා.’’

රාවණ – 01 චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමේ අවස්ථාව මොරටුව – කටුබැද්ද ආතර් සී.ක්ලාක් ආයතනයේදී සජීවිව දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා.

විද්‍යා හා තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහට ද මෙම අවස්ථාව සඳහා ආරාධනා කර තිබූ අතර, ඔහු එම ස්ථානයට පැමිණියේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් ටික වේලාවකට පසුවයි.

***************************************

දෙමල සන්ධානයට බියේ ජනතාව පන්සල් නොයයි..

(17.06.2019 – 17:30 +0530 – lankacnews.com)

දෙමළ ජාතික සන්ධානයේ ඇතම් දෙශපාලඥයින්ගේ ජාතිවාදී ක්‍රියාකලාප හේතුවෙන් මුලතිව් දෙමළ වැසියන් හා සිංහල වැසියන් අතර භේදීම් සිදුව ඇතැයි ජාතික හිමිකම් සංවිධානයේ සභාපති, දේශප්‍රේමි භික්ෂු පෙරමුනේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුවේය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව පවසා සිටියේ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ඉදිරිපිටදී ගුරුකන්ද විහාරය ආරක්ෂා කර දෙන මෙන් සිදු කරන ලද විරෝධතාවක් අතරතුරදී මාධ්‍යට අදහස් දක්වමිනි.

ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරු ඉවත් කොට නීරාවයඩි පුල්ලයාර් නමින් කෝවිලේ නාම පුවරුව පමණක් බුදු පිළිමය ඉදිරිපිට ඉතිරි කිරීම හා දෙශපාලඥයින්ගෙන් ගුරුකන්ද රජමහා විහාරයට එල්ල වන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් ඊයේ දින හෙලජන බලය විසින් සංවිධානය කොට විරෝධතාවක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා වැලිඔය ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

විරෝධතාවය වෙනුවෙන් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ද සහභාගී වූ අතර එහිදී මාධ්‍යට අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ,

‘‘අද වනකොට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට එදිනෙදා ආපු ගියපු දෙමළ ජනතාව එන එක නතර වෙලා ඒ අයගේ සහජීවනය නැතිකරල ඒ හැම එකකටම වග කියන්න ඕන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඒ අයට බයේ මේ දෙමළ සාමාන්‍ය මිනිස්සු පන්සලට එන්නෙත් නැහැ ඒක ලොකු බරපතල කාරණාවක්.

අනිත් එක තමයි මේ ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පෞරාණික උරුමයක් දළදා වහන්සේගේ ආගමනයේ පළමු සන්ධිස්ථානය ඒ බව පුරා විද්‍යා සාධක මගින් සාක්ෂි තියනවා ඒ වගේම අධිකරණයෙත් ඒ බව ඔප්පු වෙලා තියනවා එහෙම තියෙන අවස්ථාවක පන්සලට මෙලෙසින් බලපෑම් එල්ල වන අවස්ථාවේදී බලධාරීන් බිහිරිව සිටීම අප කාගෙත් අවාසනාවක් වහාම සියලු දෙනා මේ අසාධාරණයන් වෙනුවෙන් එක් විය යුතුයි’’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *