ගම්මන්පිලගෙන් කථානායකට ලිපියක්

(15.06.2019 – 19:17 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම නිසා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය බලය ඉක්මවා යමින් කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා , කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉකුත් 13 වැනිදා රැස්වු අවස්ථාවේදී රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේය.

මේ පිළිබඳ ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දැක්වූ විෂය භාර අමාත්‍යවරයා කියා සිටියේ එම චක්‍රලේඛය නිකුත් කෙරුණේ තමා දැනුවත්ව බවයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරන්නේ රාජ්‍ය සේවක නිල ඇඳුම පිළිබද ප්‍රශ්න කිරිමේදි තේරීම් කාරක සභාව, තමන්ට නොමැති බලයක් ආරෝපණය කරගෙන සිටින බවයි.

තේරීම් කාරක සභා සාමාජිකයින් අඳුරේ අතපතගාමින් ලේකම්වරයාට ටොකු ඇනිමට ගත් උත්සහයේදී ලේකම්වරයාගේ අදීන බව අනෙකුත් රාජ්‍ය නිලධාරින්ට ද ආදර්ශයක් බව අදාළ නිවේදනයේ සදහන්.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා වෙත පවරන සාක්ෂිකරුවන්ට ඉතාම කාරුණිකව ද , ප්‍රහාරයේ වගකීම සමස්ත ආණ්ඩුව මත පවරන සාක්ෂිකරුවන්ට කුරිරු ආකාරයෙන් ද කමිටු සාමාජිකයින් විසින් සලකනු ලබයි.

එබැවින් ඔවුන් සකසන වාර්තාවේ විශ්වසනීයත්වය පිළිබදවද ජනතාව තුල අවිශ්වාසයක් මතුව තිබෙන බව ගම්මන්පිල මහතා අවධාරණය කර තිබේ.

ගම්මන්පිල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ, තේරීම් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ට සිය බලසීමාව තුල අපක්ෂපාතීව සහ සත්‍යවාදීව කටයුතු කරන මෙන් තරයේ අවවාද කරන ලෙසයි.

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ක්‍රියාකලාපය ගැන මහා සංඝරත්නයේ කිසිදු ප්‍රසාදයක් නෑ

(15.06.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහා සංඝරත්නය තුළ කිසිදු ප්‍රසාදයක් නොමැති බව අස්ගිරි පාර්ශ්වයේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා ඊයේ (14) පස්වරුවේ අස්ගිරි විහාරයට පැමිණි අවස්ථාවේදීයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා ඊයේ පස්වරුවේ අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නාහිමියන් බැහැදුටුවේය.

එහිදි අදහස් දැක්වු ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි – මහාලේඛකාධිකාරී – අස්ගිරි පාර්ශ්වය :

“දැනට මේ පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභා කමිටුව තුළ සිද්ධ වෙන ක්‍රියාදාමය පිළිබඳව දැන් මේ වෙනකොට ප්‍රාසදයක් නැහැ. ඒක අපේ රජය රාජ්‍යත්‍රන්තය වශයෙන් විශාල අර්බුදයකට නිර්මාණය කරලා තියෙනවා.”

***************************************

කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

(13.06.2019 – colombotoday.com)

මාර්ග සංවර්ධන අධිකාරියට මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනකු බඳවා ගැනීම එහි ඇමැතිවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම්වරිය ලෙසද කටයුතු කළ අධිනීතිඥ චමින්දානි කිරිඇල්ල මහත්මිය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් අනුව පාරිශුද්ධ භාවයෙන් තොරව සිද්ධ වී ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ (12 දා) හෙළි විය.

ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගවිනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව රැස්වූ අතර එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරියකු විසින් සාක්ෂි ලබාදුන් අතර එහිදී වැඩිදුරටත් මෙම තොරතුරු අනාවරණය විය.

එම මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනා රු. 25,000 ක මාසික වැටුපකට බඳවාගෙන ඇති අතර ඒ සඳහා මසකට රු. 11,25,000 බැගින් වසරක කාලයක් සඳහා රුපියල් 1,35,00,000 ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිවැයෙන් ගෙවා ඇත.

මෙම නිලධාරීන් බඳවා ගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස 8 වසර සමත්වීම සහ සන්නිවේදන හැකියාව සලකා බලා ඇති අතර, එම සුදුසුකම් සලකා බැලීමෙන් අනතුරුව බඳවා ගත් නිලධාරීන් 45 දෙනා අතරින් පළමුවෙනියාට නම සඳහන් වන ඞී. ජී. උපාලි මහතාගේ පෞද්ගලික ලිපි ගොනුවේ වෙනත් සුදුසුකම් යටතේ උඩ පළාත් ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ බව සඳහන් කර ඇත. කොමිෂන් සභාව හමුවේ තවදුරටත් හෙළිදරව් වූයේ තනතුරු ලබාගත් 45 දෙනාම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් බවයි.

එමෙන්ම එම නිලධාරීන් 45 දෙනා මාර්ග සංවර්ධන අධිකාරියෙන් වැටුප් ලැබුවත් ඔවුන් සේවයට වාර්තා කළ යුතු ස්ථානයක් නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු නිලධාරියකු විසින් ඔවුන් අධීක්ෂණය කර නොමැති බවත් එම කොමිෂන් සභාවේදී හෙළි විය ෴

***************************************

ශ්‍රී ලාංකිකයන්ගේ සහජීවනය ලොවට පෙන්වමින් වව්නියාවේ පැවැත්වුනු ‘සහජීවනයේ දන්සල’

(16.06.2019 – nethnews.lk)

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ දර්ශනය රැගෙන ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදට (16) යෙදි තිබෙනවා. ඒ අනුව අද දිනයේදී අනුරාධපුරය සහ මිහින්තලය ඇතුළු පූජා නගර කේන්ද්‍රකර ගනිමින් දහස් ගණන් සැදැහැවතුන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙනවා.

එසේම දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයක් ආශ්‍රිතවම දාන, ශීල, භාවනා වැඩසටහන් සහ දන්සැල්, බැති ගී ප්‍රසංග ඇතුළු බෞද්ධ ආගමික අංග රැසක් සංවිධානය කර තිබෙනවා.

මේ අතර අද ජාතීන් අතර සහජීවනය වර්ධනය කරමින් වවුනියාව, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය සංවිධානය කළ ‘සහජීවනයේ දන්සල’ අද (16) උදැසන වවුනියාව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක සකිලා බානු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

එම කාර්යාලයේ සේවයේ නියුතු සිංහල, මුස්ලිම් හා හින්දු ජනතාව එක්ම මෙම දන්සල සංවිධානය කර තිබුණා.

***************************************

අස්ගිරි නාහිමිගෙන් එජාපයට දැඩි විවේචනයක්

(16.06.2019 – ada.lk)

එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටට හා ජනතාවට ආදරේ නැති බවත් එය ප්‍රසිද්ධියේ බයක් නැතිව නිර්භයව ප්‍රකාශ කරන බවත් තමන්ට නැතිවෙන්නට හා ඇතිවෙන්නට දෙයක් නැති මුත් රට ජාතිය වෙනුවෙන් කෙළින් කථා කිරිම අවශ්‍ය බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.

අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් මෙසේ පැවැසුයේ ඊයේ (15 දා) ඓතිහාසික දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය හා නිරාවරණය කිරිමේ උත්සව අවස්ථාවේදිය.

“රට රැක ගැනිම ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලෙන් පස්සෙ අවසානයි. ඉන් මෙහා ඇති වෙච්ච එක්සත් ජාතික පක්ෂ පාලකයෝ මේ රටට ආදරේ නෑ; මේ රටේ ජනතාවට ආදරේ නෑ; කියල අපි ප්‍රසිද්ධියේ කියනව කිසි බයක් නෑ.

අපි නිර්භයව කියනව අපිට නැතිවෙන්න දෙයකුත් නෑ; ඇතිවෙන්න දෙයකුත් නෑ; නමුත් අපි කෙළින් කතා කරන්නට ඕන. මේ රට ආරක්ෂා වෙන්නට ඕන. සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන. බෞද්ධයන් ආරක්ෂා වෙන්නට ඕන. ඒකයි අපේ පරමාර්ථය.

භික්ෂුන් වහන්සේලා කැපවෙන්නෙ අපේ සිංහල ජනතාව රැකගන්න; බුද්ධාගම රැකගන්න. ඒ සඳහා තමයි අපි කොතනත් කතා කරන්නෙ. අපි නිහඬව හිටියා නෙමෙයි. අපි ආපු හැම නායකයෙකුටම කිව්වා. අපි ප්‍රසිද්ධ වෙන්න කතා කළේ නෑ. ඒ අයට කරුණාවෙන් සිහිකරලා මේ අවස්ථාවේ කළ යුත්තේ මේ දේ කියල.

ඊයේ පෙරේදා ආපු දේශපාලකයෙකුටත් මම සඳහන් කළා – එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් – එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල. ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ; එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.”

***************************************

ඇමති ධුරයෙන් ඉවත් කර රාජිත අත්අඩංගුවට ගනු.. – ඇමති රාජිතට විරුද්ව විරෝධතා..

(16.06.2019 – 12:40 +0530 – lankacnews.com)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ අමාත්‍ය දූරය ඉවත් කොට ඔහුට විරුද්ධව කඩිනම් පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා වව්නියාව මහරෝහල ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව දිස්ත්‍රීක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඊයේ දින කෑම පැයේදී වව්නියාව මහරෝහලේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණඩලය විසින් මෙම විරෝධතාවය සංවිධනය කොට තිබුණි.

විරෝධතා කරුවන් එහිදී කියා සිටියේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ අමාත්‍ය දූරය වහාම ඉවත් කොට ඔහුව අත්අඩංගුවට ගත යුතු බවටත් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කිරීමට ජනාධිපති කොමිෂමක් හෝ පත්කළ යුතු බවටත් එසේ නොවන්නට රටේ ජනතාවටම සිදු කරන මහා අසාධාරණයක් බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතය ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්වීමේ නීතිමය වලංගුබව සහ ඉන් රටට වන වාසි….

(16.06.2019 – 12:00 +0530 – lankacnews.com)

01) විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම.

02) ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම.

03) ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3, 4(අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම.

04) සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නා ජාතික ආණ්ඩුවක් නොවීම.

05) පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4½ ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 3, 4 සහ 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරුවීම පමණක් වීම.

06) ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම.

07) ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය 46.1 ව්‍යවස්ථාව අනුව 30 ට සීමා වීම.(ජාතික ආණ්ඩුවක් නොවීම)

08) ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම.

09) විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කරජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම.

10) විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම.

– නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

***************************************

සෙල්ලම් පිස්තෝලයක් රැගෙන කොල්ලකෑමට පැමිණි පුද්ගලයාට පොලිස් වෙඩි

(16.06.2019 – 13:55 +0530 – sinhala.adaderana.lk)

හොරණ නගරයේ පිහිටි මුල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (16) අලුයම අදාළ පුද්ගලයා මුල්‍ය ආයතනයට ඇතුළු වී ඇති අතර මුල්‍ය ආයතනයට අදාළව හොරණ පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති ආරක්ෂිත නලාව නාදවීම හේතුවෙන් හොරණ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් ඇති බව සදහන්.

එහිදී එම ආයතනයේ පලමු මහලේ සිටි කොල්ලකරු ඔහු සතුව තිබූ ගිනි අවියකින් පොලීසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් සැකකරුගේ දකුණු පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර තුවාල ලැබු ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

සැකකරු පොකුණුවිට මිමින ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ.

එමෙන්ම ඔහු සතුව තිබී සොයාගත් ගිනි අවිය ප්ලාස්ටික සෙල්ලම් පිස්තෝලයක් බව ද පොලීසිය සදහන් කළේ ෴

+++++++++++++++++++++

***************************************

පරීක්ෂණ ඇනහිටලද? සැක තව්හිද් තවත් 50 ක් නිදැල්ලේ

(15.06.2019 – aruna.lk)

ආරක්ෂක බුද්ධි අංශ මගින් හඳුනාගෙන ඇති තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයින් පනහකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු මේ වනවිට නතර වී ඇති බව වාර්තා වේ.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම්ගේ කඳවුරුවලට සහභාගි වෙමින් ආත්මාරක්ෂක කඩු ආදී පුහුණුවීම් සිදු කළ සාමාජිකයින් වැඩි පිරිසක් ඒ අතර වන බව වාර්තා වේ. ඊට අමතරව සමාජජාලා මගින් ජාතිවාදය ඇති කරමින් කටයුතු කළ එම සංවිධානයේ සාමාජිකයින්ද ඒ අතර වේ.

ඇතැමුන් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලැබූවන් බවටද තොරතුරු ලැබී ඇත.

ආරක්ෂක බුද්ධි අංශ පසුගිය කාලයේදී සිදු කළ මෙහෙයුම්වලදී එසේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරී සාමාජිකයින් එකසිය හතළිහකට (140) ආසන්න පිරිසකගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ත්‍රස්ත විමර්ශන ඒකකයට යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන් පනහකට වැඩි පිරිසක් ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හා තවත් හතළිහකට ආසන්න පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් ඉතිරි පනහකට ආසන්න පිරිසෙන් මේ වන තෙක් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව වාර්තා වේ. මෙම පිරිස අවුරුදු 20-30 අතර පුද්ගලයින් බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකායද සිය මෙහෙයුම් සීමා කර ඇති අතර ඒවා මන්දගාමීව සිදුවන බව සඳහන් වේ.

මෙම තත්ත්වයන් මත පසුගිය 12 වැනි දින මාතලේ කලුදාවල ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයකුට අයත් ගෙවත්තක තිබී මෙරට නිෂ්පාදිත කාල බෝම්බයක් සමග පුපුරන ද්‍රව්‍ය සොයා ගෙන ඇත. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම උපකරණ සොයාගෙන ඇති අතර හතරැස් යකඩ බටයක සකස් කළ එම බෝම්බය සොයා ගෙන ඇත.

පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 630 ක්, ඩෙටනේටර් 4 ක්, ඇමෝනියම් ග්‍රෑම් 300 ක්, යතුරුපැදි බැටරියක්, ඔරලෝසුවක්ද තිබී ඇත. යකඩ බටයක පුපුරන ද්‍රව්‍ය පුරවා එහි ජෙලිග්ට්නයිට් කූරක්ද ඩෙටනේටරයක්ද දමා සකස් කර ඇති අතර එය පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලත් අයකු විසින් සකස් කළ එකක් බව වාර්තා වේ.

– චමින්ද සේනාරත්න

***************************************

දෙරණ සැබෑ කළ තවත් සිහිනයක් – පරිත්‍යාගශීලින් ගෙන් දරු පවුලකට නව නිවහනක්

(16.06.2019 – 19:31 +0530 – sinhala.adaderana.lk)

දැඩි ආර්ථික දුෂ්කරතා නිසා පාසල් වරම් අහිමි වූ තණමල්විල මුවන්පැලැස්සේ දරුවන් තිදෙනෙකු පිළිබඳව ‘අද දෙරණ’ පසුගිය වෙසක් පොහෝ දින වාර්තා කළේය.

අප කළ වාර්තාකරණයේ ප්‍රතිඵලයක් ලෙස එම දරුවන් තිදෙනාට සතියක් ඇතුළත පාසල් යාමේ වරම යළි හිමි වුණි.

එහෙත් ඔවුන් ජීවත් වූ මේ කුඩා නිවස දරු පවුලකට දිවිගෙවන්නට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත.

ඒ අනුව වෙසක් පොහෝ දින අද දෙරණ ඔස්සේ මේ පුවත දුටු ප්‍රෙද්ශවාසීන් සහ ධානපතීන් ඉන් දින තුනකට පසු මේ දරු තිදෙනාට නව නිවහනක් තනාදීම සඳහා මුල්ගල තැබුවේය.

එලෙස ඉදිකෙරුණු නිවස මේ දරු පවුල වෙත බාරදීම අද පොසොන් පොහෝ දින සිදුවුණි.

මේ නිවස වෙනුවෙන් මූල්‍යාධාර සැපයීමට දායක වූ පිනට හිතැති පරිත්‍යාගශීලීන් තණමල්විල ප්‍රදේශයේම තවත් දිලිඳු පවුල් වෙත නිවාස ගොඩනගාදීමේ වැඩසටහනක්ද මෙයට සමගාමීව ආරම්භ කිරීම විශේෂත්වයකි.

උතුම් පොසොන් පුන් පොහෝ දිනයේ මෙලෙස අර්ථවත් මෙහෙවරකට උරදුන් සැමට අද දෙරණෙන් තුති !

***************************************

පාස්කු ප්‍රහාරයෙන් අසරණ වු මල් නෙලන්නන්

(16.06.2019 – 19:14 +0530 – sinhala.adaderana.lk)

මල් නෙළීම සිය ජීවිකාව කරගත් පිරිස් පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු දැඩි අසීරුතාවට පත්ව ඇත.

ඒ පුදබිම් කරා ජනතාවගේ පැමිණීම අඩු වීම හේතුවෙනි.

එලෙස අසීරුතාට පත් පවුල් 30 ක් පිළිබඳ තොරතුරු අද දෙරණට වාර්තා වුණේ දඹුල්ල ප්‍රදේශයෙන්.

දඹුලු රජමහා විහාරය අවට, ජයමාවත, රත්මල්ගැහැල, නවපාදෙණිය, සල්ගාලු මාවත යන ප්‍රදේශවල පවුල් 30 කට ආසන්න සංඛ්‍යාවක් සිය දිවි සරි කරගන්නේ වැව්වලින් මල් නෙළා පුදබිම් අසල අළෙවි කිරීමෙන්.

වැව් පීරමින් ජීවිත අවදානමද නොතකා මොවුන් මේ වෑයම දරන්නේ ජීවන අරගලය දිනන්නටයි.

ඒ දිවි සටනට කාන්තා හෝ පිරිමි භේදයක් නැහැ.

දහසක් දුක් මැද නෙළන මල් අළෙවියට පුදබිම් වෙත ගෙන ආවත් ඒවා මිලට ගන්න සැදැහැවතුන් නොමැති වූ විට දැරූ වෙහෙස ගඟට ඉනි කැපුවා හා සමානයි.

දිවයිනේ බොහෝ පුදබිම්වල මල් අළෙවිකරුවන්ට කුටි සකස් කර තිබුණත් දඹුල්ල රජමහා විහාරය අවට එවැනි පහසුකම් නොමැතිවීමත් මේ තත්ත්වය ඇති වීමට තවත් හේතුවක්.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනේනේ මේ හැකි පමණකින් හෝ මේ අර්බුදයෙන් මිදෙන්නට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි.

***************************************

‘පොදු අපේක්ෂකයා’ කියන නම කුජීත කරලා ඉවරයි – රෝහිත අබේගුණවර්ධන

(16.06.2019 – 18:56 +0530 – sinhala.adaderana.lk)

නැවත කිසිදෙන පොදු අපේක්ෂකයෙකුට මේ රටේ ජනාධිපතිවරයා විය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

“පොහොට්ටුවේ කියවෙන්නේ එක නමයි. ඒ ගෝඨාභය රාජපක්ෂ. ඒ නමම තමයි රට ඉල්ලන්නෙත්. එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුත් කියනවා ගෝඨ ආවොත් අපි දෙනවා කියලා.

අපේ නම් කියවෙන්නේ නෑ.

අපි අභියෝග කරනවා එහෙන් මෙහෙන් අහුලගන්න යන්නැතුව එක්සත් ජාතික පක්ෂයෙන් ‘මෙන්න අපේ unp අපේක්ෂකයා’ කියලා පෙන්නන්න කියලා.

ආයේ ‘පොදු අපේක්ෂකයෙකුට’ ලංකාවේ දේශපාලනයේ යළි ජනාධිපති වෙන්නනම් බෑ.

පොදු අපේක්ෂකයා කියන නම විනාශ කරලා නම කුජීත කරලා ඉවරයි.” යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *