ඔබේ අදීනත්වය පූජාසනයේ තබමු.. පාස්කු බෝම්බ කමිටුවට දණ නොනැමු රාජ්‍ය පරිපාලන ලේකම්ට ඉහලම හරසර..

(14.06.2019 – 13:20 +0530 – lankacnews.com)

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව අගය කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විශේෂ ඇගැයීමේ ලිපියක් යොමු කර ඇත.

එම සම්පුර්ණ ලිපිය පහත දැක් වේ :

ජේ.ජේ. රත්නසිරි මහතා,
ගරු ලේකම්,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ,
නිදහස් චතුරශ්‍රය,
කොළඹ 7.

ගරු ලේකම්තුමනි,

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ පෙන්වූ අදීනත්වය ඇගයීම

අද උදෑසන දුරකථන මාර්ගයෙන් වාචිකව කරන ලද ඇගැයීමට අතිරේක වශයෙන් ඔබතුමන් වෙත ලිඛිත ඇගැයීමක් ලැබෙන්නට සලස්වන මෙන් අප සාමාජිකත්වය කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ලිපිය යොමු කරන්නට අදහස් කළෙමු.

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී ඔබතුමන් දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව ශ්‍රී ලාංකිකයන් වශයෙනුත්, මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන ආචාර්යවරු වශයෙනුත් අපගේ ගෞරව බහුමානයට ලක්වේ.

විශේෂ වශයෙන් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා මතුකළ අසංවර, අතාර්කික කරුණු හමුවේ ඔබ දැක්වූ සංයමය, පරිචය සහ අදීනත්වය සමස්ත රාජ්‍ය සේවයටම අභිමානයක් ලෙස අපි දකින්නෙමු.

ඉදිරි කාලයේ ද රටත් ජනතාවත් වෙනුවෙන් අපක්ෂපාතී රාජ්‍ය සේවයක නියැලීමට ඔබතුමන්ට ධෛර්යය, ශක්තිය ලැබේවායි සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නෙමු.

තෙරුවන් සරණයි,

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන්,

මහාචාර්ය චන්න ජයසුමන
මහ ලේකම්

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවක ඇඳුම පිළිබඳ චක්‍රලේඛයේ වගකීම මද්දුමබණ්ඩාර භාර ගනියි

(14.06.2019 – 19:14 +0530 – sinhala.adaderana.lk)

රජයේ සේවකයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් චක්‍රලේඛය නිකුත් කෙරුණේ තමා දැනුවත්ව බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

එම චක්‍රලේඛය සම්බන්ධයෙන් අමාත්‍යවරයා නොදැනුවත් බවට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ (13) පළවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඊයේ රැස්වු අවස්ථාවේදී රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේය.

නමුත් මේ පිළිබඳ අද අදහස් පළ විෂය භාර අමාත්‍යවරයා අද කියා සිටියේ එම චක්‍රෙල්ඛය නිකුත් කෙරුණේ තමා දැනුවත්ව බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ ක්‍රියාකලාපය විවිධ පාර්ශ්ව රැසක විවේචනයට ලක් වුණි.

+++++++++++++++++++++

***************************************

උතුරු ආණ්ඩුකාර තට්ට තනියම ‘අවා කල්ලි’ ලොක්කන් හමුවෙන්න යයි..

(14.06.2019 – 16:40 +0530 – lankacnews.com)

ආවා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාව ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පවසමින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද ආවා කල්ලියට (14) විවෘත්ත ආරාධානවක් කොට සිටියේය.

පසුගිය 12 වනදා යාපනය කොකුවිල් උපදුම්රිය ස්ථානාධිපති වරයාට පහරදීම සමබන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අදාල පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට සැක පල කිරීම හේතුවෙන් උතුරු පලාත් ආණ්ඩුකාර වරයා විසින් ආවා කල්ලියට සාකච්ඡාවක් වෙනුවෙන් මෙම විවෘත්ත ආරාධනාව සිදු කොට ඇත.

උතුරු පලාතේ සිදු කෙරෙන අවි ආයුද ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා සමාජ විරෝධි ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර බියක් ඇතිව තිබෙන අවස්ථාවක ආවා කල්ලියට කිසියම් ගැටලුවක් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවට අද උදෑසන උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලයේදී ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

උතුරේ ජනතාව අතර ව්‍යාකූල තත්වයක් හෝ බියක් ඇතිවන්නේ නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් එවැනි තත්වයක් ඇති කිරීමට හේතුව මෙන්ම ආවා කල්ලියේ අරමුණ ජනතාවට දැනගත යුතු බවටත් ආවා කල්ලියට මෙය හොඳ අවස්ථාවක් බවටද ඒ සඳහා කිසිදු සැකයකින් තොරව තමන් හමුවීමට හෝ එම කල්ලිය හමුවීමට තමන් සූදානමින් සිටින බවටද උතුරු ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

ඉදිරියේදී ශිෂ්‍යත්ව – සා.පෙළ හොඳම ප්‍රතිඵල කියන්නේ නෑ

(14.06.2019 – 19:44 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේදී 5 ශ්‍රේණයේ ශිෂ්‍යත්ව විභාගයේ හා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වල සමස්ථ ලංකා මට්ටමින් හොඳම ප්‍රතිථල ලබාගත් ස්ථානයන් ප්‍රකාශයට පත් නොකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

***************************************

රට වෙනුවෙන් සැබෑ දේශපාලන වීරයෙක් නිර්මාණය කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(14.06.2019 – 19:25 +0530 – sinhala.adaderana.lk)

සිංහල සහ දෙමළ ජනතාව එක් වී එළැඹෙන ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් සැබෑ දේශපාලන වීරයෙක් නිර්මාණය කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

යාපනය ප්‍රදේශයේ පැවති උත්සවයකදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

හින්දු – බෞද්ධ සංස්කෘතික සංසදය විසින් 13 වැනිවරට පැවැත් වූ සිංහල භාෂාව පාඨමාලාව සාර්ථකව නිමා කළ සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම අද සිදුකෙරුණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු නොකිරීම ගැටළුවක්

(14.06.2019 – 19:16 +0530 – sinhala.adaderana.lk)

බරපතළ අපරාධ චෝදනා එල්ල වී තිබියදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන පොලිස් විමර්ශන සිදු නොකිරීම ගැටලුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසනවා.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (14) පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මාරගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මිය ගිය දෙපලක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමඟ තිබූ සම්බන්ධතා කාටවත් වසන් කිරීමට අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.

ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරනය සඳහා එක් අපෙක්ෂකයෙකු පමණක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා මේ රටට ආදරය කරන ආයෙකු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාව අද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

ඒ, මන්ත්‍රීවරයා විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහායි.

+++++++++++++++++++++++++++++++++++

මරාගෙන මැරෙන්න දිවුරුම් දුන් සහරාන්ගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(14.06.2019 – 17:01 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට නායකත්වය සැපයු සහරාන් හෂිම්ගේ සමීපතමයින් දෙදෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ යුධ හමුදාව එක්ව සිදුකළ රහසිගත මෙහෙයුමකදී මොවුන් මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මොහොමඩ් රාසික් මොහොමඩ් රිස්වි නැමැති පරිගණක තාක්ෂණික ශිල්පියෙකු ලෙස නුවර ප්‍රදේශයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු සහ මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නැමැති රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා අවි පුහුණුව ලබා ඇති බවට සහ මරාගෙන මැරෙන දිව්රුම් දී ඇති බවට මුලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

මොවුන් දෙදෙනා සහරාන් හෂිම් විසින් සංවිධානය කෙරුණු දේශනවලටද සහභාගී වී ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

https://www.youtube.com/watch?v=AYYke0IW3aA#t=5

***************************************

රාජිතට ඇති චෝදනා දොස්තර ෂාෆිට ඇති චෝදනාවන්ට වඩා බරපතළයි

(14.06.2019 – 22:55 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුවද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී එය වෙනුවෙන් රජයේ මුදල් රුපියල් බිලියන 05 ක් වැය කිරීම, ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ මෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ලබා දීම වැනි මානව අපරාධ සිදු කළ බැවින් ඔහු ධුරයෙන් පහ කළ යුතු බවට විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අද (14) සවස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා :

“රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව දැනටමත් සනාථ වී ඇති බරපතළ දූෂණ චෝදනා පිළිබඳව කරුණු දැනුම්වත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත මහත්වරුන් කණ්ඩායමක් අද මෙහි පැමිණියා.

‘රජයට පවරා ගත්තා’ යැයි පට්ටපල් බොරු පවසමින්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තවදුරටත් පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් රුපියල් බිලියන 05 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට නීති විරෝධීව වියදම් කර තිබෙනවා කියා.

ඇත්ත වශයෙන් ඒ කාරණාව වුවත් ප්‍රමාණවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා හිරේ යවන්න. නමුත් මේ රටේ නීතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඒ වගේම රාජිත සේනාරත්න අමාත්‍ය ධුරය දරන කාලයේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රෝහල්වලින් ප්‍රතිකාර ගත්තු රෝගීන්ට ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ සියල්ල ලබා දී තිබෙනවා.

ඖෂධ ජාවාරම්කරුවන් සතුටු කිරීමටයි මේ බරපතළ මානව අපරාධය කර ඇත්තේ. මෙය සමූහ මිනිස් ඝාතනයක් ලෙස හඳුනාගත හැකියි.

අද දුප්පත්, අහිංසක රෝගීන්ට රජයේ සෞඛ්‍ය සේවය පිළිබඳව මෙතෙක් පැවැති විශ්වාසය නැතිව ගොස් තිබෙනවා.

මෙවැනි බරපතළ දූෂණ, මානව අපරාධ සිදු කළ අයකුට තවදුරටත් කැබිනට් අමාත්‍ය ධුරයක් දැරිය හැක ද? මෙවැනි පුද්ගලයකුට ‘ඇමති’ කියා ආමන්ත්‍රණය කරන්න මේ රටේ ජනතාවට පුළුවන් ද?

දොස්තර සාෆිට එල්ල වී ඇති චෝදනාවන්ටත් වඩා බරපතළයි, ඇමති රාජිතට එල්ල වී ඇති චෝදනා.

දොස්තර සාෆිගෙන් බැට කෑවේ සිංහල ගැබිණි මව්වරුන් පමණයි.

නමුත් රාජිත සේනාරත්න කියන දත් දොස්තරගෙන් බැට කාලා තිබෙනවා, මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු රෝගීන්.

මේ මානව අපරාධයන්ට වගකිව යුතු ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත් කර පරීක්‍ෂණ කටයුතු ඇරඹිය යුතුයි. එහෙම නැත්නම් මේ මානව අපරාධයන්ට සහාය දුන් ආණ්ඩුවක් ලෙසයි මේ ආණ්ඩුව සැලකිය හැක්කේ.” යනුවෙන් ඔහු සිය අදහස් පල කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇමැති රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා කරාපිටිය රෝහලේ සියලුම වෛද්‍යවරුන් අද දැවැන්ත උද්ඝෝෂණයක

(14.06.2019 – mawbima.lk)

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා ගාල්ල කරාපිටිය රෝහලේ සියලුම වෛද්‍යවරුන් අද (14) දහවල් රෝහල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකලා.

උද්ඝෝෂණකරුවන් උද්ඝෝෂණ සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරත වී තිබෙනවා.

රෝගීන් බැලීමට පැමිණෙන පිරිස වෙත වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමද සිදු කළ අතර ජනතා බදු මුදල් වලින් බිලියන 5කට අධික ප්‍රමාණයක් වංචා සහගත ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලබාදීම, ගැබිනි මවුවරුන්ට, දියවැඩියා රෝගීන්ට, පිළිකා රෝගීන්ට කල් ඉකුත් වූ ගුණාත්මක බවින් තොර ඖෂධ ලබාදී ජීවිත අනතුරට ලක් කිරීම, ඖෂධ සමාගම් නියෝජිතයෙකු ඖෂධ නියාමන අධිකාරියේ සභාපති බවට පත් කිරීම, ඖෂධ මිලදී ගැනීම් වලින් මුදල් කෝටි 10 ක පමණ මුදල් අවභාවිතය, වෛද්‍ය සභාව දේශපාලනීකරණය කිරීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝග නොසලකා හරිමින් රටපුරා වෛද්‍යවරුන් ස්ථානගත කිරීම, ඇතුළු සටන් පාඨ සදහන් පුවරු ඔසවා ගනිමින් වෛද්‍යවරුන් උද්ඝෝෂණයේ නිරත වන අයුරු දක්නට ලැබුනා.

***************************************

වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් ඝාතනයට ජෙඩාහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ බව හෙළි වෙයි

(14.06.2019 – 22:35 +0530 – sinhala.adaderana.lk)

අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තවත් ප්‍රබලයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් නැමැත්තා සෞදි අරාබියේ ජෙඩා නුවරදී අත්අඩංගුවට ගෙන ගැණුනි.

පොලීසිය පැවසුවේ ඔහු සහ එම සංවිධානයේ තවත් ප්‍රබල සාමාජිකයින් සිව් දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාලව මොවුන් පස්දෙනා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ සවුදියේ ජෙඩාහි ගුවන්තොටුපලක් ආසන්නේ ඇති ලැගුම්හලක සැඟවී සිටියදීයි.

මෙහිදී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා ලෙසින් සැලකෙන සහරාන් හෂීම්ගෙන් පසුව එහි නායකත්වයට පත්වීමට සිටි මොහොමඩ් මිල්හාන්ද අත්අඩංගුවට ගනු ලැබුවේය.

පොලිසීය පැවසුවේ ඔහු සමඟ සිටි එම සංවිධානයේ තවත් ප්‍රභල සාමාජිකයින් සිව්දෙනෙකුද එහිදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම්.ඒ.මොහොමඩ් මිලා, ඒ.අබුසාලි, එම්.අයි.එම්.ස්මායිල් සහ එම්.එම්.එම්.ෂානාවස් ෂව්‍රි යන අයයි.

අනතුරුව ඔවුන්ව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 282 දරන ගුවන් යානයෙන් අද අලුයම 04 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රැගෙන එනු ලැබුවේය.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කීරීම්වලදී අනාවරණ වී ඇත්තේ පසුගිය හජ් වන්දනා සමයේ මොවුන් මක්කම වන්දනාව සඳහා එරටට ගොස් ඇති බවයි.

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවට ඔවුන්ට සැලවීමත් සමඟ ඔවුන් එහි සැඟව කාලය ගත කර ඇත.

එමෙන්ම මෙම කණ්ඩායමේ ප්‍රධානියා වන මොහොමඩ් මිල්හාන් නැමැත්තාද මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිට ඇති බවද වාර්තා වෙයි.

පසුගිය මැයි මස 31 වනදා පොලීසිය විසින් සොයාගත් සහරාන් හෂීම් භාවිත කළ ලැප්ටොප් පරිඝනකයේ ඇති දත්ත හා මොහොමඩ් මිල්හාන්ගේ පරිඝනකයේ ඇති දත්තවල සමානතා ඇති බවද පොලිසිය විසින් අනාවරණ කරගෙන ඇත.

වැඩිදුරටත් පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 30 වනදා මඩකලපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුද වන බවයි.

එමෙන්ම ඔවුන්ගේ ආයුධද මිල්හාන් නැමැත්තා විසින් පැහැරගෙන ගොස් ඇති බවත් එහිදී අනාවරණ වී ඇත.

එහිදී ගිනි අවි සහරාන් හෂීම් වෙත ලබාදී ඇත්තේ මිල්හාන් නැමැත්තා විසින් බව වාර්තා වෙයි.

+++++++++++++++++++++++++++++++++++

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ සැකකරුවන්ට ඇප ගන්න සහරාන් සල්ලි දීලා

(14.06.2019 – 21:26 +0530 – sinhala.adaderana.lk)

මාවනැල්ල හා අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා නීතීඥවරුන්ට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදීමට සහරාන් හෂීම් උත්සාහ ගෙන ඇති බව අනාවරණය වී ඇත.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් විසින් සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා නීතීඥවරුන්ට ලබා දීමට සැකකාර රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති මවුලවිවරයාට මෙම මුදල ලබාදී ඇති බව විමර්ශනවලදී හෙලිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

ඒ අදාල නඩුව ඊයේ (13) කැඳවූ අවස්ථාවේදීයි.

අදාල සිදුවීම සහරාන් විසින් මෙහෙයවා ඇති බවත් උඹලා ගහලා මා ළඟට වරෙල්ලා යනුවෙන් ඔහු සැකකරුවන්ට පවසා ඇති බවත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇති බවත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය දැනුවත් කර ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා වූ මවුලවිවරයා , වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයේදී තරුණයින්ට අන්තවාදී න්‍යායන් සම්බන්ධයෙන් උපදේශන සේවා ලබාදී ඇති බවටත් ඒ සඳහා සහරාන් හෂීම් පැමිණ ඇති බවත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය දැනුවත් කර ඇත.

අනතුරුව සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් යලි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

***************************************

රටට පවුල් ආණ්ඩුවක් අවශ්‍යයි – ඉන්දික අනුරුද්ධ

(14.06.2019 – 19:47 +0530 – sinhala.adaderana.lk)

19 වන ව්‍යවස්ථාව හේතුවෙන් රටට පවුල් ආණ්ඩුවක් අවශ්‍ය වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසීය.

“ගම්පහට නම් එන්න එපා. 19 තියාගෙන ආණ්ඩු කරනවා නම් . නෝනයි මහත්තයයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් තාත්තයි පුතයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් අයියයි මල්ලියි ආණ්ඩු කරන්න ඕනෙ. 19 තියාගෙන පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බෑ.”

***************************************

ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබා ගැනීම අඟහරුවාදා (18) ඇරඹේ

(15.06.2019 – 13:13 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එදින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ තේරීම් කාරක සභාව පිළිබදව කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදහස් දක්වා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ තේරීම් කාරක සභාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හා සමානව ක්‍රියාත්මක වන බවයි ෴

***************************************

අධිවේගයේ නොමඟ ගිය බවුසරය

(15.06.2019 – 09:21 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම ප්‍රදේශයේදී බවුසර් රථයක් අනතුර ලක්වීමෙන් එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා තිබෙනවා.

කඩවත සිට බණ්ඩාරගම දක්වා ධාවනය වූ බවුසර් රථයක් අද (15) උදෑසන මෙලෙස අනතුර ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරාට නින්දයාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.

තුවාල ලැබූ රියදුරු සහ රිය සහායක ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට අතුළත් කර තිබෙනවා.

භුමිතෙල් ප්‍රවාහනය කළ බවුසර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් රථයට සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

***************************************

ජුලි 7 ධර්ම සංඝායනාවක්

(15.06.2019 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 7 වනදා මහනුවර භික්ෂුන් වහන්සේලා දස දහසකගේ සහභාගිත්වයෙන් ධර්ම සංඝායනාවක් සිදුකරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *