ආණ්ඩුවට එරෙහි වෙන්න සියලුම කතෝලික මන්ත්‍රිවරු එක් විය යුතුයි – නිමල් ලන්සා

(12.06.2019 – 22:53 +0530 – sinhala.adaderana.lk)

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සියලු කතෝලික මන්ත්‍රිවරු එක් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්ෂ මුලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා :

“රිෂාඩ් බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන්න එජාපයේ කතෝලික ඇමැතිවරු එකඟ වෙලා තිබුණා ඒවගේ එළැඹෙන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේදිත් ඊට සහාය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඒ විශ්වාසභංගය ගෙනත් තියෙන්නෙත් පාස්කු සිද්ධියට අදාලවයි. මුස්ලිම් ඇමැතිවරු 20 ක් තමන්ගේ එකාට ප්‍රශ්නයක් වුනාම එක තැනක හිට ගත්තා. අපේ කතෝලික ජනතාව 300 ක් විතර මිය ගියා.

500 ක් විතර තුවාල ලැබුවා. මේ අය ජිවිත පුදකරපුවාම තමයි රටේ ත්‍රස්තවාදයක් තියෙන බව හෙළී වුනෙත්. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුත් මේ ප්‍රහාරයට ආන්ඩුව වගකිය යුතුයි කිව්වා.

මේ සියලු දෙනාම රජයට එරෙහිව ජවිපේ ගෙනාපු විශ්වාසභංග යෝජනාවට සහාය දෙයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පක්ෂය, ආණ්ඩුව රකිනවා වෙනුවට ජිවිත පූජා කරපු ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන්න එකතු වෙන්න කියලා වැදලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.”

***************************************

බුලත්සිංහලදී තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ හතරදෙනෙකු අත්අඩංගුවට

(13.06.2019 – 09:00 +0530 – hirunews.lk/sinhala)

බුලත්සිංහල – මහගම වෙල්ගම ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකදී තේකොළවලට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කළ හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායම ඊයේ සිදුකළ වැටලීමකදී රසායනික කුඩු කිලෝග්‍රෑම් 124 ක්, තේ කොළ කිලෝග්‍රෑම් 53 ක් සහ විද්‍යුත් උපකරණයක්ද සොයා ගනු ලැබුවා.

පසුව සැකකරුවන් බුලත්සිංහල පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමේ බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙනවා ෴

***************************************

මංතීරු දඩය රුපියල් 2000 යි

(13.06.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ පැය දෙකක් තුළ සිදුකළ මෙහෙයුමකදී මංතීරු නීති කඩකළ රියදුරන් 582 කට එරෙහිව නඩු පැවරූ බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙම නඩු පැවරීම සඳහා සී සී ටී වී දර්ශන ද උපයෝගී කරගත් බවයි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් 2,000 ක දඩයක් නියම කරන බවයි ෴

***************************************

හිටපු ඇමති කබීර් හෂීම්ට අරණායක භික්ෂු පෙරමුණෙන් චෝදනාවක්

(12.06.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයා භික්ෂුන් අතර අසමගිය ඇති කිරීමට කටයුතු කරන බව අරනායක භික්ෂු පෙරමුණේ ලේකම් පුජ්‍ය බඩල්කුඹුරේ විමලරතන හිමියන් පවසනවා.

සතර කෝරළය නියෝජනය කරමින් සංඝයාවහන්සේ පිරිසක් එක්ව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් ප්‍රකාශ කළා.

හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාට යළි අමාත්‍ය ධුරය ලබාගන්නා ලෙස ඉල්ලමින් පසුගියදා සිව්කෝරළ එක්සත් බෞද්ධ පදනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් ඒ අතරතුර තවත් භික්ෂුන්වහන්සේ පිරිසක් පැමිණ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට විරෝධය පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

ඇමති තනතුරු ලබාගැනීම ගැන රවුෆ් හකීම්ගෙන් ඉඟියක්

(12.06.2019 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි යළි තනතුරු භාර ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් ඊයේ රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් ද බැහැදැකීමට ගිය අතර, එහිදී ඔහු මේ බව කියා සිටියා.

රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්, එහි කාරක සංඝ සභික පූජ්‍ය හූරිකඩුවේ පවරසිරි හිමියන්, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් අතර එහිදී සාකච්ඡා වුණා.

+++++++++++++++++++++++++++++++++++

ජාතීන්ගේ අනුපාතයට අනුව ඉල්ලීම් ලබාදිය යුතුයි

(13.06.2019 – 12:48 +0530 – sinhala.adaderana.lk)

කුමන රජයක් පත් වුවද ඉදිරියේදී ජාතීන්ගේ අනුපාතයට අනුව ඉල්ලීම් ලබාදීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

යුතුකම සංවිධානය ඊයේ (12) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ එක් එක් ජාතීන් නියෝජනය වන පරිදි මණ්ඩලයක් පත් කර ඒ මඟින් ඉල්ලීම් ඉටුකිරීම කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් :

“බොරු කියලා සියලු ජාතීන් රවටනවා. ඒ මත සිත් පීඩාවක් තියෙන්නෙ. ආණ්ඩුව දිහා ඇස් ඇරලා බලන් ඉන්නවා. ඇමතිලා, ආණ්ඩුකාරවරු අස්වුණාට ප්‍රශ්නයට විසඳුමක් නෑ.

රට එක නීතියක් යටතට ගේන්න ඕනෙ. ජනතා අනුපාතයට අනුව කටයුතු කරන්න. ඉඩම්, රැකියා ජාතීන්ගේ අනුපාතයට අනුව බෙදන්න. කිසි ජාතියකට අසාධාරණකම් කරනවා කියන්න බෑ. ජාතීන් නියෝජනය කරමින් මණ්ඩලයක් හදන්න.ඒ හරහා ඉල්ලීම් ලබාදෙන්න.”

***************************************

සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් සිදු කිරීමට යන කෝටි ගණනක වංචාවක් ?

(13.06.2019 – 12:20 +0530 – sinhala.adaderana.lk)

සමස්‌ත ලංකා සමෘද්ධි බැංකු, මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇතුළු තවත් සංගම් දෙකක් විසින් සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට යන බව පැවසෙන කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබඳ පැමිණිලි කිරීම සඳහා අද (13) මහනුවර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ ඇත.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් රුපියල් කෝටි 40 ක පමණ වන මූල්‍ය වංචාවක් සිදු කිරීම සඳහා දෙපාර්තමේන්තු අධ්‍යයක්ෂ ජනරාල්වරයා විසින් මේ වන විටත් චක්‍රලේකන නිකුත් කර ඇති බව සමස්‌ත ලංකා සමෘද්ධි බැංකු, මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂ ජනරාල්වරයා සහ සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සෘජුවම වගකිවයුතු බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මහනුවර පොලිස් ස්ථානය විසින් බාර ගනු ලබන්නේ ලක්ෂ 50 ට මූල්‍ය වංචාවන්ට අදාළ පැමිණිලි බැවින් පැමිණිල්ල බාර ගැනීම ප්‍රත්ක්ෂේප කර ඇති අතර සමස්ත ලංකා සමස්‌ත ලංකා සමෘද්ධි බැංකු, මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ අදාළ පැමිණිල්ල ලබන සඳුදා (17) දින ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.

එසේම මෙම මූල්‍ය වංචාවට විරෝධය පාමින් හෙට (14) දිස්ත්‍රික් 08ක සමෘද්ධි බැංකු ශාඛා වසා දමා දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බවත් ඔහු සඳහන් කළේය ෴

***************************************

13.06.2019

***************************************

13.06.2019

***************************************

අනතුරට පත්වූ දරුවා අසළින් නොසෙල්වුණු අම්මාගේ ආදරය කැමරාවේ සටහන්වෙයි

(13.06.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මව් සෙනෙහස මිනිස් ලෝකේ මෙන්ම සත්ව ලෝකයේද පවතින බවට යළි යළිත් තහවුරු කරන සිදුවීමක් හාලිඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තමන් කුසින් වැදූ දරුවා අනතුරට ලක්වූ අවස්ථාවේ ඒ අසළින් නොස්ල්වුණු මව් එළදෙනක් පිළිබඳවයි මෙම පුවත වාර්තා වන්නේ.

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගණදෙවි කෝවිල අසල කාණුවකට වැටී තවත් එළදෙනක් එහි සිරවී තිබෙනවා.

එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා එළදෙන ගොඩගනු ලැබුවේ බොහෝ වෙලාවකට පසුවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ එම එළදෙනගේ මව් එළදෙන මිනිසුන් එක්ව ඇය ගොඩගෙන අවසන්වන තුරු නොසෙල්වී ඒ අසල රැඳී සිටියේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=5zfGZ7xtNEY#t=5
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *