බදියුදීන්ට එරෙහිව ගම්මන්පිලගෙන් චෝදනා 16 ක් ඇතුළත් පැමිණිල්ලක්

(12.06.2019 – 17:30 +0530 – sinhala.adaderana.lk)

රටේ පවතින අපරාධ නීතිය අනුව යම් පුද්ගලයෙකුට එරෙහිව ඇති අපරාධ චෝදනා ඕනෑම දිනයක ගොනුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිල්ලක් බාරදීම සඳහා පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා 16 ක් ඇතුළත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානය වෙත අද බාරදෙනු ලැබුවේය.

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා 16 ක් සහ ඊට අදාළ සාක්ෂි ලේකන 80 ක් සහිත පැමිණිල්ලක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.

එම චෝදනා 16 අතරේ බදියුදීන් ඇමතිවරයා විසින් මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක් අත්පත් කරගත් ආකාරය සියලුම ඔප්පුවල පිටපත් සහිතව භාරදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඇති විශ්වාසභංගයේ සඳහන් චෝදනාවලට අදාළ සාක්ෂිද පොලීසියට බාරදෙන බව ගම්මන්පිල මහතා පැවසීය.

එහිදී සිය අදහස් පල කරමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය :

“හැබැයි මේ නඩු ඇසීමේ ක්‍රමය පිළිබඳ අපේ කිසිම ප්‍රසාදයක් නෑ. පැමිණිලි ලබා දීමට කාලය සතියයයි. මාසයක් ඇතුළත නඩු අසා ඉවර කළ යුතු බව තීරණය කරන්නෙත් සැකකරුවන්.

අපේ රටේ අපරාධ නීතිය හැටියට පුද්ගලයෙකුට එරෙහි අපරාධ චෝදනා ඕනෑම කාලයක ගොනු කළ හැකියි. ඒ සඳහා කාල සීමාවක් නෑ.

ඒ අනුව අපට පෙනී යනවා මේ කමිටුවත් බදියුදීන්ලාගේ, අසාත් සාලිලාගේ වැරදි සෝදා පවිත්‍ර කර ඔවුන් නිවැරදි කිරීමට යොදාගන්නා කුණු ලොන්ඩරියක් බවට පත්වේවි කියලා.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිදු කළ අපරාධයට ඔහුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි යන පීඩනය එල්ල කිරීමට ජනතාව හා තමන් එක්ව ක්‍රියාකරන බවයි.

+++++++++++++++++++++

බදියුදීන්ට විරුද්දව පොලිස් මූලස්ථානයට සාක්‍ෂි සහිතව පැමිණිලි කල බරපතල චෝදනා 16 මෙන්න..

(13.06.2019 – 03:21 +0530 – lankacnews.com)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ මහජන සම්බන්ධතා ‌‌ලේකම් උපුල් ‌කෝණාර මහතා කොළඹ කොටුව පොලිස් මූලස්ථානය වෙත පැමිණි‌මෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය :

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා දාසයක් (16) සහිත ඒ වගේම ඊට අදාළ සාක්ෂි අසූවක් (80) ද සහිත පැමිණිල්ලක් අද අපි මෙම කමිටුවට ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා. සාක්ෂි සහිත චෝදනා දාසය අතරේ රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා තමන්ගේ පවුලේ අයගේ නමටත් ඒ වගේම තමන්ගේ පවුලේ සමාගම් වන ‘මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර් ලිමිටඩ්’ සහ ‘ග්‍රීන් ෆාම් ලිමිටඩ්’ යන සමාගම් වල නමටත් මන්නාරමින් අක්කර 3000 ක් අත්පත් කරගත් ආකාරය සියලුම ඔප්පු පිටපත් සමග අද දින අප පොලිසියට බාර දෙනවා.

ඒ වගේම එම ඔප්පු වල වටිනාකම අඩුවෙන් දාලත් මිලියන 240 ක මුදලකට මේවා මිලදී ගත් බවයි ඔප්පු වල සඳහන් වන්නේ. සැබැවින්ම මෙම ඉඩම් මිලදී ගැනීමට ඊට වඩා මහා ධනස්කන්ධයක් වියදම් කළ බව පැහැදිලියි. 1990 දී ෂොපින් බෑගයක එක ඇඳුමක් දාගෙන මන්නාරමින් පිටත් වෙච්ච රිෂාඩ් බදියුඩීන් කියන තරුණ කොලුගැටයා ට ඒ තරම් ධනය ලැබුනේ කෙසේ දැයි එතුමා රටට පැහැදිලි කළ යුතුයි. අඩුම තරමේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රචාරක දැන්වීමකට වත් සහභාගීවෙලා ද ? සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කළ විදිය එතුමා රටට පැහැදිලි කළ යුතුයි.

2010 වසරේ උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පාරවල් හදන්න මිලියන සියයක් ලබාගෙන පාරවල් හදන්නේ නැතුව සිය පවුලේ සමාගම් වලට එම මුදල් ලබා දුන් ආකාරයත් සාක්ෂි සහිතව අපි ඉදිරිපත් කරලා තියෙනවා.

ගංවතුර ආධාර විදිහට ලබාදුන්න මුදල් කොහොමද කැරකිලා තමන්ගේ සාක්කුවට දා ගත්තෙ කියන එකටත් සාක්ෂි සහිත චෝදනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියල්ලටම අමතරව රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනා වලට අදාල සාක්ෂි සියල්ලත් අද අප පොලීසියට බාර දෙනවා.

නමුත් මේ නඩු ඇසීමේ ක්‍රමය පිළිබඳව අපේ කිසිම ප්‍රසාදයක් නෑ. පැමිණිලි ලබාදීමට දී ඇත්තේ සතියයි. මාසයක් ඇතුළත නඩුව අහලා ඉවර කළ යුතුයි යැයි තීරණය කරන්නේ කවුද ? සැකකරුවන් ! සැකකරුවන්ට එහෙම පැමිණිලි ලබාදීමේ කාල වකවානු නඩුවක් අසා ඉවර කරන කාල වකවානු තීරණය කිරීමේ හැකියාවක් නැහැ. අපේ රටේ අපරාධ නීතිය අනුව යම් පුද්ගලයකුට තියෙන අපරාධ චෝදනා ඕනෑම දවසක ගොනු කරන්නට පුළුවන් වගේම එයට කාල සීමාවක් නැහැ. ඒ වගේම සැකකරුවන්ට හැකියාවක් නැහැ නඩුවක් මසකින් අසා අවසන් කරන්න යැයි කියන්න. අපි හොඳටම දන්නවා ලංකාවෙ අපරාධ නඩුවක් අසා අවසන් කරන්නට අවුරුදු දහයක් පහළොවක් ගත වෙනවා. විශේෂයෙන් සියලු තොරතුරු පරිගණක ගත වී තිබුණ මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවුනේ දෙදිනක් පමණයි. වසර 4 ක් ගත වෙලත් තාම චෝදනා ගොනු කරලා නැහැ. එවැනි පසුබිමක මාසයක් ඇතුළත මෙම චෝදනාවට ලක් වූවන් පිළිබඳ විභාග කර ඔවුන් වැරදිකරුද නිවැරදිකරුද යන්න මාසයක් ඇතුලත තීරණය කරන්න යැයි ඔවුන්ම දින වකවානු ප්‍රකාශ කිරීම ඇත්තටම විහිළු සහගතයි.

ඒ අනුව අපට පෙනී යනවා මේ කමිටුවත් මේ ක්‍රියාවලියත් රිෂාද් බදියුඩීන්ලගෙ අසාත් සාලිලගෙ වැරදි සෝදා පවිත්‍ර කරන කුණු ලොන්ඩරියක් බවට පත් වේවි කියන එක. නමුත් අප නැගූ චෝදනා සත්‍ය බව රට දැනගත යුතු නිසා අප නැගූ චෝදනාවන්ට අදාල සාක්ෂි සහිතව අද දින පොලීසියට භාර දීමට අප කටයුතු කරනවා.

මෙහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කල පිවිතුරු හෙළ උරුමය මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර මහතා දැක්වූ අදහස් :

අප බස්නාහිර හිටපු ආණ්ඩුකාරවරයාට එරෙහිව කාරණා තුනක් යටතේ පැමිණිලි ගොනු කරනවා. නබිතුමාගේ නම කිව්වොත් මරාගෙන මැරෙන්න ලෑස්ති යැයි ඔහු වරක් ප්‍රකාශ කළා. එම ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම මෙම මරාගෙන මැරෙන ප්‍රකාශයෙන් පාස්කු ඉරුදින එවැනි ප්‍රහාරයක් එල්ල කල ත්‍රස්තයන්ට ද ලොකු අණුබලයක් ලැබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස අපි ඒවා දකිනවා. ඊට අමතරව මෙරට රාජ්‍ය ආයතන වලට වාහන මිලදී ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව ගිහිල්ලා ඔහුට හිතවත් එක්සෝටික් කාර් සේල් ප්‍රයිවෙට් ලිමිටඩ් (Exotic Cars Pvt Ltd ?) කියන ආයතනයෙන් වාහනයක් මිලදී ගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් ඔහු වාහනය භාවිතා කර තිබෙනවා.

පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

‘ජාත්‍යන්තරයට වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්වෙලා’

(12.06.2019 – 14:48 +0530 – lankadeepa.lk)

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්ව ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී අද (12) පැවසූහ.

ජනතාව පීඩාවට පත්ව සිටියදී ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලු විසඳනවා වෙනුවට දේශපාලඥයන් ඔවුන්ගේ දුක් අදෝනා නගමින් එකිනෙකාට චෝදනා කරමින් රටට විහිලු සපයමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රට පුපුරවන පාර්ලිමේන්තු බෝම්බය නිශ්ක‍්‍රීය කරනු, ජනපති, අගමැති, කථානායක සහ ආණ්ඩුවෙන් රට බේරා ගනිමු යන මැයෙන් තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී යුතුකම සංවාද කවය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසුහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංස හිමියෝ මෙසේ ද කීහ :

‘‘මේ ලෝකේ කිසිදු රටක ජනතාවකට සිදු නොවූ දේවල් සිදුවූ ජනතාවක් ඉන්න රටක් බවට අපේ රට අද පත්ව තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවෙන් අපේ රටත් ජනතාවත් බේරගමු කියන ස්ථාවරයේ අද අපි ඉන්නවා.

අද අපේ රටේ ආණ්ඩුවක් තිබුණත් කිසිම ගැටලුවකට වගකියන ආණ්ඩුවක් මේ රටේ අද නැහැ. කිසිම ප‍්‍රශ්නයකට පිළිතුරක් දෙන රජයක් නෙමෙයි මේ පවතින්නේ. අද අපිට අසාගෙන ඉන්න තියෙන්නේ මේ ආණ්ඩු කරන පුද්ගලයන්ගේ ප‍්‍රශ්න සහ රණ්ඩුයි.

අද ජනාධිපතිට අගමැති චෝදනා කරනව. අගමැතිට ජනාධිපති චෝදනා කරනවා. එවැනි නාටකයක් මේ රටේ ජනතාව හැටියට අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අද මේ පාලකයන්ගේ එකම වගකීම වෙලා තියෙන්නේ තම තමන්ගේ බලය රැක ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් ජනතාව රවටමින් උදේ, දිවා නැතිව කැපවෙනවා.

අද ජනතාවට තමන්ගේ දුක් ගැනවිල්ලක් කියන්න පුලූවන් දේශපාලඥයෙක් මේ රජය තුළ නැහැ. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය නිසා මේ රට අද තවත් ප‍්‍රපාතයකට වැටිලා තියෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට අද වනතෙක් මේ ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නැහැ. ජේ. ආර් ජයවර්ධන මහතා ඒ කාලේ ප‍්‍රකාශ කළා වගේම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපුරා ගත යුතුයි කියන පණිවිඩය මේ ආණ්ඩුවත් අපිට ලබා දීලා තියෙනවා.

නිතරම රටේ අර්බුදයක් නිර්මාණය කරලා මේ රජය ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹෙමින් සිටිනවා. මේ ගැටුම් අස්සේ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට භාර දුන්නා. මේ ආණ්ඩුව අද වැඩ කරන්නේ පිට් පොකට් කාරයෝ වගේ. මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා.

මේ ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයන්ට රැවටෙන්න අපි සූදානම් නැහැ. මේ ආණ්ඩුවේ කටයුතු දෙස අපි වෙනදටත් වඩා විමසිල්ලෙන් බලා සිටිනවා. දැන් මේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ගැටලුව විසඳීමටත් මේ ආණ්ඩුව ඉදිරිපත් වෙන බවක් පේන්න නැහැ.

අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න කියලා අපි මේ පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ බෝඩිංකාරයේ වගේ කටයුතු කරන්නේ නැතිව රටේ භාරකාරයන් යැයි සිතමින් වගකීම් සහගතව කටයුතු කරන ලෙසට අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

මහ මැතිවරණයක් උදෙසා වු ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු අනූප පැස්කුවල් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ ෴

+++++++++++++++++++++++++++++++++++

“රිෂාඩ්ලා සමග ආණ්ඩු හදන්න දෙන්නේ නෑ, ඒක අපේ බෙල්ල අපි විසින්ම කපා ගැනීමක්” විමල් ගෙන් සැර කතාවක්.!

(12.06.2019 – nethgossip.lk)

මින් ඉදිරියට සිය දේශපාලන සහය ලැබෙනා කඳවුරක් නිර්මාණය කරනා කිසිඳු රජයකට අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් සහභාගී කර ගැනීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරනවා.

රාජ්‍ය බලය ලබා ගෙන අන්තවාදය පෝෂණය කරනා දේශපාලකයන්ට නැවතත් රාජ්‍ය බලය ලබා දීම සියතින් ගෙල සිඳ ගැනීමට සමාන බවද වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියා.

අතීතයේ සිටම අන්තවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සටනක තමන් නියැලුනු බවත්, තමන්ගේ මතවාදී අරගලයේ වෙනසක් සිදු නොවුනු බවත් ඒ බව ජවිපෙ කේ ඩි ලාල්කාන්ත පවා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍යහමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසූවා.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/481181819285772/

+++++++++++++++++++++

බදියුදීන් ගස්යන කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්.. ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කල සතොස වාහනවල GPS වාර්තා මෙන්න..

(12.06.2019 – 22:06 +0530 – lankacnews.com)

සතොස ආයතනයේ කීර්තිනාමයට හානි කළේ තමා ද එසේ නැතහොත් සතොස සිය පාලනය යටතේ තිබියදී එහි ගබඩා තුළින් කුඩු තොග හමුවන තත්වයකට පත් කළ රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාදැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, තමාට පැවරූ නඩුවේදී රිෂාඩ්ගේ සියලු සතොස දූෂණ අක්‍රමිකතා පෙන්වා දෙන තෙක් එහි වාහන වහාබ්වාදී අන්තවාදීන් භාවිත කළ බව සනාථ කරන GPS වාර්තා දෙකක් මාධ්‍ය හමුවේ තැබුවේය.

වහාබ්වාදී අන්තවාදීන් භාවිතා කර ඇති බවට අපරාධ පරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදාළ අංශය සොයා ගෙන ඇති සතොස වාහන අතර PI-2961, PI-2962, PI-2963 හා PI-2882 යන වාහන ද වන බව විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසුවේය :

“අපි කරුණු කිහිපයක් ඔබ හමුවේ අවධාරණය කරන්නයි මෙම මාධ්‍ය හමුව කැඳවූයේ. වහාබ්වාදී ත්‍රස්තවාදීන්ට සතොස වාහන ලබාදී ඇති බවට අප කළ අනාවරණය හේතු කොටගෙන එම ආයතනයේ කීර්තිනාමයට සිදු වූ හානියට රුපියල් බිලියනයක පමණ වන්දියක් ඉල්ලා නඩු පවරන බවට ප්‍රවෘත්ති පළ වී තිබෙනවා. ඇත්තෙන්ම සතොස කීර්තිනාමයට හානි වූයේ කවදා ද? ඔබට මතක ඇති සතොස කන්ටේනර් තුළ තිබී කුඩු තොග ගණනින් හමු වූ අවස්ථාව. මේවා සිදු වූයේ සතොස ආයතනය රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා යටතට පත්වූ පසුවයි. සතොස කීර්තිනාමයට හානි වූයේ එම අවස්ථාවේදීයි. එවිට නඩු පැවරීමක් නොවූයේ ‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ’ නිසා ද? ලොව මත්ද්‍රව්‍ය ජාවාරම සහ වහබ්වාදී ත්‍රස්තවාදය එකට බැඳී යන ඒවායි. ‘ගර්භාෂ යුද්ධය’, මත්ද්‍රව්‍ය ජාවාරම සහ වහාබ්වාදී ත්‍රස්තවාදය අතර තිබෙන සබඳතාව මේ පිළිබඳව අධ්‍යයනය කළ පිරිස් හොඳින් දන්නවා.

‘එක සාක්‍ෂියක්’

අපි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට කියනවා, ‘අධිකරණයේදී හමුවෙමු. එහිදී අපි සතොස වාහන වහාබ්වාදීන් විසින් භාවිතා කිරීම පමණක් නොවෙයි, තවත් බොහෝ කරුණු ඔප්පු කර පෙන්වන්නම්. එදාට සතොස කීර්තිනාමයට හානි කළේ කවුද, කියා මේ රටේ ජනතාව තවදුරටත් තේරුම් ගනිවි’ කියා. අද දින මීට අදාළව එක සාක්‍ෂියක් පමණක් ඉදිරිපත් කරන්නම්. සතොස ආයතනය සතු PI-2961, PI-2962, PI-2963, PI-2882 වාහන පිළිබඳ බොහෝ තොරතුරු අප සතුව තිබෙනවා.

PI -2963 වාහනයේ GPS වාර්තාවක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. ‘කොළඹින් ගමන් ආරම්භ කරනවා. වැඩි වෙලාවක් නතරව ඉන්නේ සයින්දමරුදු, මඩකලපුව ආදී ප්‍රදේශවල. ඉන් පසුව මන්නාරමට ගිහින් බොහෝ කාලයකට පසුව තමයි මේ වාහනය කොළඹට එන්නේ.’ (වාර්තාව මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි) මේ වාර්තාව අප ඔබ වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් හෝ CD තැටි මාර්ගයෙන් ලබා දෙන්නම්. ඉහත සියලු වාහනවල GPS වාර්තා අපරාධ විමර්ශන අංශය විසින් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය භාර කොට්ඨාසය තුළ ද මේ සියලු තොරතුරු තිබෙනවා. පොලිස් අපරාධ විමර්ශන අංශය (CID) මේවා පිළිබඳ දන්නවා. සතොස හා GPS සේවා සපයන ආයතන වෙතින් මේ සියලු කරුණු ගැන ප්‍රශ්න කරපු CIDය දැන් කිසිත් නොදන්නා බබ්බු වගේ ඉන්නවා. රිෂාඩ් බදියුදීන්ව ආරක්‍ෂා කරනවා. ඒ නිසා CID පරික්‍ෂණ ගැන අපට කිසිසේත්ම සෑහීමකට පත් වීමට බැහැ.

‘අසරණ චේතන’

සතොස ආයතනයේ වාහන නිකුත් කිරීම භාර නිලධාරියා චේතන නැමැත්තෙක්. ඔහු තමයි ඉහත වාහන අන්තවාදීන්ට නිකුත් කර තිබෙන්නේ. ඔහු අසරණ තත්වයකට පත් කරලා රිෂාඩ් බදියුදීන්ලා වැඩ කරවාගෙන තිබෙනවා. වාහන ලබා ගන්නා විට ‘කොහේද යන්නේ? කවද්ද ආපසු එන්නේ?’ යන ප්‍රශ්නවලට ඉහත වාහන පාවිච්චි කළ පිරිස් කිසි විටක පිළිතුරු ලබා දී නැහැ. මේ වන විට ඉහත කී එක් වාහනයක GPS උපකරණ ගලවා දමා තිබෙනවා. ඒ වාහනය දැන් තිබෙන්නේ කොහේද, කියා සතොස ආයතනය දන්නේ නැහැ. නඩු දැමිය යුත්තේ අපට ද? සතොස වාහන අවභාවිතා කළ රිෂාඩ් ඇතුළු ගෝලයන්ට ද? අපේ ආණ්ඩුවක් යටතේ තම රාජකාරිමය වගකීම නිසි පරිදි ඉටු නොකළ චේතන නැමැත්තා නීතිය ඉදිරියට ගෙන එන බව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.

‘වනාතවිල්ලුවේ හිටපු ගෝලයෝ’

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන් සැඟව සිටි වනාතවිල්ලුව කඳවුර තුළ පුහුණු වූයේ කාගේ ගෝලයන් ද? එය පවත්වා ගෙන ගිය පුත්තලම පළාත් පාලන ආයතනයක විපක්‍ෂ නායකවරයා කාගේ ගෝලයෙක් ද? අරාබි රටවල සල්ලිවලට කෑදරකමින් වහාබ්වාදය පතුරුවා හැරීමේ දේශපාලන කොන්ත්‍රාත්තුව භාරගෙන ඒ සල්ලි පොදි ගහපු පාපතරයා කවුද? ශ්‍රී ලංකාවේ වහාබ්වාදී අන්තවාදය පතුරුවා හැරිය දේශපාලන ගුරුවරයා රිෂාඩ් බදියුදීන් නොවෙයි නම් වෙන කවුද?

‘රිෂාඩ් ශුද්ධවන්තයකු කරන්න මාසයක්’

තමන් ලබා ගත්තු ඇමතිකම යොදා ගෙන ත්‍රස්තවාදීන් බිහි කරපු දේශපාලකයන් රොත්තක් කරපු දේවල් පිළිබඳව මාසයකින් සොයා බලා අවසන් කිරීමට අපේ ආරක්‍ෂක අංශවලට බැහැ. මාසෙකින් සියලු පව් සෝදා ගෙන ආයෙත් ඇමතිකම් අරගෙන වහාබ්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන්නයි මේ නොමිනිසුන් උත්සාහ කරන්නේ. මේ රට ලේ විලක් වෙනවාට විරුද්ධ පිරිස් ඊට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. ‘ක්‍ෂණික නූඩ්ල්ස්’ හදනවා වගේ මාසෙකින් වැඩ අවසන් කරන්න අපේ රහස් පොලිසිය ඩිජිටල් යුනිට් එකක් ද? මෙයාලාට විරුද්ධව පැමිණිලි කිරීමට කාලයක් දුන්නා. දැන් ඉදිරියේදී කියාවි ‘ඒවා සියල්ල බොරු’ කියලා. මේ ඇමති ටික ඊළඟට ශුද්ධාවන්තයන් ලෙස ඇමති පුටුවල වාඩි වේවි. රිෂාඩ් බදියුදීන් දැන් තොත්ත බබෙකු වෙන්න හැදුවාට ඔහු වගකිව යුතුයි පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ගේ ජීවිතවලට.

‘සාෆි – රිෂාඩ් සම්බන්ධය’

දැන් බලන්න අර කුරුණෑගල රෝහලේ ‘ගර්භාෂ යුද්ධය’ කරපු වෛද්‍යවරයා කාගේ ගෝලයෙක් ද? ඔහු එජාපයෙන් මහ මැතිවරණයට තරග වැඳුණේ රිෂාඩ් බදියුදීන්ගේ හයිය ඇතිව. එයා රිෂාඩ්ගේ හොඳම ගෝලයෙක්. ඡන්දයෙන් පැරදුනු පසුව යළි කුරුණෑගල රෝහලට ආවේ රිෂාඩ්ගේ දේශපාලන බලයෙන්. මේ සියලු කරුණු අනාවරණය වී තිබියදී ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් ඇමැති ‘පාපතරයා’ රකිනවා. රිෂාඩ් බදියුදීන් රකින මේ ආණ්ඩුව පාස්කු දින ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි.

‘රෙදි විතරක් නොවෙයි අමුඩ කෙටියත්…’

මේ ආණ්ඩුව මේ විදියට රිෂාඩ් රකින ගමන් තේරීම් කාරක සභා ‘නාඩගමකුත්’ නටනවා. මේක කරගෙන යන්නේ කිහිපදෙනෙකුගේ රෙදි ගලවන්න. නමුත් මෙතැනදී ආණ්ඩුවේ සියලුදෙනාගේ රෙදි විතරක් නොවෙයි, අමුඩ කෙටියත් ගැලවෙනවා. ඊයේ අසාද් සාලි තේරීම් කාරක සභාවට ඇවිත් සාක්ෂි දුන්නා. එහිදී ඔහු කියපු කතාවක් තමයි ‘මට පසුගිය ආණ්ඩු කාලයේ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු කීවා රුපියල් මිලියන 500 ක් දෙන්නම්, දේශපාලන කටයුතුවලින් ඉවත් වී ඉන්න’ කියන එක. මෙහි ඇත්ත කතාව මම කියන්නම්.

‘අසාද් සාලිගේ දිවුරුම් පෙත්සම’

මම ඔබට පෙන්වන්නම් 2013 මැයි 08 වැනිදා ඬේලිමිරර් පුවත්පතේ පළ වී ඇති වාර්තාවක් (මාධ්‍යයට පෙන්වයි). මෙහි පළ වෙන්නේ අසාද් සාලි ඉන්දියාවේ ගොස් කළ ප්‍රකාශය පිළිබඳවයි. අපි කවුරුත් දන්නවා අසාද් සාලි ඉන්දියාවට ගොස් කීවා ‘අනාගතයේ දී මුස්ලිම් ජනතාවට සන්නද්ධ වෙන්න වෙනවා’ කියා. දෙමළ බෙදුම්වාදයට උදව් දෙන සංවිධානයක සමුළුවකට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු සමග ගිහින් තමයි මෙයා කීවේ ‘ලංකාවේ දෙමළ කතා කරන සියලු ජනකොටස් සමගි විය යුතුයි’ කියලා. ඒ සමුළුවෙන් පසුව ඉන්දීය සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඉහත ප්‍රකාශය කළා. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසයි මේ දේශපාලුවා අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවට ගත්තට පසුව ඔහු දිවුරුම් පෙත්සමක් දුන්නා. (සාලිගේ දිවුරුම් ප්‍රකාශය මාධ්‍යයට පෙන්වයි) මේ දිවුරුම් පෙත්සමින් අසාද් සාලි කියනවා ‘මම කියපු දෙය වැරදියටයි මේ සඟරාව වාර්තා කර ඇත්තේ. එය ඉදිරියේදී නිවැරදි කරනවා. මම ජාතික ආරක්ෂාවට හානිකර කිසිවක් කර නැහැ’ කියා. මේ දිවුරුම් පෙත්සම දුන්නාට පසුවයි මෙයාව නිදහස් කළේ. ඒකයි ඇත්ත කතාව. මිලියන 500 ක් තියා සත 05 ක්වත් වටින මිනිහෙක් ද අසාද් සාලි?

ඒ විදියට මුස්ලිම් ජනතාවට සන්නද්ධ වෙන්න ගුරුහරුකම් දුන්නු අසාද් සාලිලා අද තේරීම් කාරක සභාව ඉදිරියේ තොත්ත බබාලා වෙනවා. මේ සාලි නිතරම කියන පට්ටපල් බොරුවක් මගේ සිහියට එනවා. ඊට පිළිතුරු දිය යුතුයි. මා ඉතා වගකීමෙන් කියනවා ‘පසුගිය ආණ්ඩුව සමයේ යුද හමුදා බුද්ධි අංශ සහරාන්ට හෝ තව්හිද් ජමාත් සංවිධානයට ශත 05 ක මුදලක් ලබා දී නැහැ’ කියා. එසේ ලබා දී තිබෙනවා නම් ‘ඔප්පු කර පෙන්වන්න’ කියාත් මේ රටේ බුද්ධි අංශවලට ගරහන, හමුදාව පාවා දෙන මේ තක්කඩි ආණ්ඩුවට අභියෝග කරනවා.

‘හිස්බුල්ලා, සහරාන් සමඟ ගිවිසුම් ගහපු හැටි ’

අසාද් සාලිගේ කටින්ම පිටවෙනවා, ‘සහරාන් කාත්තන්කුඩිවල ගෙවල් 120 ක් ගිනි තැබුවා. ඔහුට විරුද්ධව කටයුතු කරපු ධෂක්‍ මාරු කළා’ කියා. එහෙමනම් කවුද මේ සහරාන්ට රැකවරණය දුන්නේ ? හිස්බුල්ලා මිස වෙන කවුද? නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී සහරාන් සමග ගිවිසුම් ගහන්නෙ නැතිව තරඟ කරන්න මෙයාට බැරි වුණාලු. කවුද සහරාන් සමග ගිවිසුම් ගැහුවේ? හිස්බුල්ලා. මේවත් අසාද් සාලිගේ වාචාල කටින් එළියට ආපු ඒවා. සහරාන් නමැති මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා සමග ගිවිසුම් ගහපු හිස්බුල්ලා නිදැල්ලේ. හිස්බුල්ලා නිදැල්ලේ ඉන්න ගමන් කයිවාරුත් ගහනවා ‘මුස්ලිම් ජනතාව ලංකාවේ සුළුතරය වුණාට ලෝකයේ බහුතරය’ කියා. මේ දේශපාලන අපතයින් පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ට ගරහමින් කිසිම ප්‍රශ්නයක් නොමැතිව ඉන්නවා.

අද මේ රටේ ආණ්ඩුවක් නැහැ. ජනාධිපති කැබිනට්ටුව කැඳවන්නේ නැහැ. ඇමතිවරුන්ට යනඑන මං නැහැ. මෙහෙම ආණ්ඩුවක් හදපු ලක්‍ෂ 62 ට ‘දෙයියන්ගෙම පිහිටයි’ කියලා තමයි කියන්න වෙන්නේ. 2014 – 2015 දී ජනාධිපතිවරණ වේදිකාවල, මහ මැතිවරණ වේදිකාවල අප කියූ දේවල් අද සැබෑ වී තිබෙනවා. ‘වෙනසක් කියලා මේ හදන්න යන්නේ ආඬි 07 දෙනාගේ කැඳ හැලියක්’ කියා එදා අපි පෙන්වා දුන්නා. මෙහෙම ආණ්ඩුවක් මේ රටට උවමනා නැහැ. එය ගෙදර යැවීම රටට ආදරය කරන සියලු බලවේගවල යුතුකමක්.

‘ඇමෙරිකන් රාජ්‍ය ලේකම් එන්නේ ඇයි? ’

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය රටවල් 04 කට සීමා වෙලා තිබියදී ලංකාව ඉන් එකක් වෙලා. මෙහෙම වෙන්නේ ඇයි ? ඔවුන්ට අවශ්‍ය මේ රට ඔවුන්ගේ නවතම මිලිටරි තිප්පොළ බවට පත් කර ගන්නයි. බොහෝ විට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ගිවිසුම් අත්සන් තැබීම මෙහිදී සිදු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵල ලෙස තානාපති මුක්තිය සහිතව අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් මෙහි ඒවි. ඔවුන් හෝ ඔවුන්ගේ වාහන, භාණ්ඩ පරීක්‍ෂා නොකෙරේවි. ඔවුන්ට ඇමෙරිකානු නීතිය පමණක් බල පැවැත්වේවි.

මේ ඇමෙරිකන් හමුදාවන්හි පිරිස් ශ්‍රී ලංකාවේ තරුණියක් දූෂණය කළොත් ඔවුන්ට ලංකාවේ නීතිය අදාළ නැහැ කියා බේරාගන්න උවමනා පසුබිම පවා දැන් හොර රහසේම හැදෙනවා. බලන්න, පළමුවරට වෙනත් රටක නීතිඥ සංගමයක ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත වෙන්න යනවා. ඇමෙරිකානු නීතිඥ සංගමයේ ශාඛා කාර්යාලයක් තමයි එසේ විවෘත කිරීමට උත්සාහ ගන්නේ. මේ කාර්යාලයේ සිටින නීතිඥ මහත්වරු තමයි අනාගතයේදී මේ ඇමෙරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් ශ්‍රී ලංකාව තුළ කරන වැරදි වෙනුවෙන් පෙනී සිටින්නේ. මේ කටයුත්ත දැනට අතරමග නතර වී ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය නිසයි.

‘දේශපාලන කටුස්සෙක්’

මේ සියල්ල මෙසේ සිදු වෙද්දී එදා රනිල් වික්‍රමසිංහට ‘දොන් ජුවන් ධර්මපාල පෙරියබණ්ඩාර’ කියපු දේශපාලන කටුස්සා අද කියනවා, ‘සමහරු ඇමෙරිකන් හමුදා ශ්‍රී ලංකාවට එනවා, කියන එක බොරුවක්’ කියා. සිංහල ජාතිකත්වය විකුණන් කාපු, අද රනිල් වික්‍රමසිංහ ‘දුටුගැමුණු’ වගේ පෙනෙන, ඇමෙරිකාවේ ගිහින් මාසයක් තිස්සේ සිංහල බෞද්ධ ජනතාව රැවටීමට ඉගෙන ගෙන ආපු දේශපාලන කටුස්සා ඉතා තදින් මේ රටට ආදරය කරන පිරිස් ප්‍රතික්‍ෂේප කළ යුතුයි.

රිෂාඩ්ලාගේ අවස්ථාවාදී දේශපාලනය, වහාබ්වාදී ත්‍රස්තවාදය, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආගමනය, ඇමෙරිකානු නීතිඥ සංගමයේ ශාඛා කාර්යාලය යන මේ සියල්ල අතර අන්තර්සබඳතා තිබෙනවා. ඒවා පිළිබඳ සම්පූර්ණ චිත්‍රය අපි දැකිය යුතුයි. මේ තත්වය කඩිනමින් වෙනස් කිරීමට රටට ආදරය කරන සියලු බලවේග පෙළ ගැසිය යුතුයි.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය ලේකම්, හිටපු මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස, වෘත්තීය කටයුතු පිළිබඳ ලේකම්, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත වන්නිආරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++

මහනුවරත් අපට නැති වෙනවා – Amith Weerasinghe (11.06.2019)

https://www.youtube.com/watch?v=q8V3r0sOLbA
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • සිවිල් නඩු විශාරද නිතිඥ තුමා මොකටද බෝම්බ පුපුරලා මිනිස්සුත් මැරිල ජන්දේ ලන්වෙනකම්ම හිටියේ පැමිණිල්ල දාන්න
    ඉඩම් ගත්තනම් අක්කර තුන්දහක්ම ගිය සුමනේ ගත්ත වෙන්න බැහැනේ අයි කලින් නඩු නොදැම්මේ. දැන් කෙස්පැලෙන තර්ක යන්තන් සාටකේ එල්ලිල බඩ වියත් රැක ගන්නවා කටේ සව්දම නම් ඉවරයක් නැ විමලය නම් උපවසයක්වත් කරා තමුන් කරපු දේකුත් කියමු බලන්න අර (GR) අහිංසක මනුස්සයව කුණු දේශපාලනේට ඇදල දාල නැතිනාස්ති කරපු එක ඇර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *