මහනාහිමිවරුන් හා අගරදගුරුතුමන්ට දේශපාලන කෑදැත්තන් කියා ඇමති චම්පික අපහාස කරලා..

(11.06.2019 – 16:40 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

පසුගිය මැයි 31 දා මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාවට විදේශීය හමුදාවන් ගේන්න එපා කියා ඉල්ලීමක් කළා. පෙරේදා පා ච රණවක ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් විදේශ හමුදාවන් ලංකාවට ගේනවා කියා බොරු බියක් ඇති කරන්න දේශපාලන කෑදැත්තන් උත්සාහ කරනවා කියා චෝදනා කළා. රණවක ඇමතිතුමා දේශපාලන කෑදැත්තන් කියා අපහාස කරන්නේ මහනායක ස්වාමින් වහන්සේලාට සහ කාදිනල්තුමාට නොවේ ද? කෑදැත්තා කියන්නේ හොට වක්‍රව තිබෙන කුරුල්ලෙක්. දේශපාලන කෑදැත්තා කියන්නේ වක්‍රව දේශපාලනය කරන අයටයි. මේ ඇමතිතුමා කියන්නේ මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා වක්‍රව දේශපාලනය කරන බව නේද?

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා බොරු බියක් මවන්නේ නෑ. උන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ සහතික ඇත්ත. 2007 දී අත්සන් කළ Acquisitions and Cross Servicing Agreement නැතිනම් ඇක්සා ගිවිසුම පිටු 7 යි. නමුත් 2017 දී අත්සන් කළ ගිවිසුමේ පිටු 54 යි. මේ ගිවිසුමට ඇතුළත් කළ අළුත් කරුණු මොනවාද? ඒ ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි? ඒ වගේම මැයි 15 සිට 17 දක්වා ඇමෙරිකාවේ ගත කළ තිලක් මාරපන ඇමතිතුමා එහි දී සාකච්ඡා කළ Status of Forces Agreement හෙවත් ‘සෝෆා ගිවිසුම’ ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි? ඇමෙරිකානු හමුදාවන්ට නිල ඇඳුම් ඇඳගෙන අවි දරාගෙන ලංකාවේ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන් වන බවත් ඔවුන් මොන අපරාධයක් කළත් තානාපති මුක්තිය හිමි වන බවටත් වගන්ති ඒ ගිවිසුමේ අඩංගු බව මාධ්‍ය වාරතා කළා. ඒක බොරු නම් ඇත්ත කෙටුම්පත රටට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?

අවුරුදු පහකට බලයට එන ආණ්ඩු වලට අවුරුදු 10 ක් 35 ක් හෝ 99 ක් රට ගැට ගැසෙන ගිවිසුම් අත්සන් කරන්න බැරි වන ආකාරයෙන් අපේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

මංගලගේ ආමිස පූජාවන්ට යතිවරයන් යට වෙන්නේ නෑ

ජාතියේ පවට උපන් කට හීලෑ නැති ඇමති මංගල අපූරු ප්‍රකාශයක් කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378 කට රුපියල මිලියන 208 ක් ලබා දී තිබිය දී මට පන්සල් වලට ඇතුළුවීම තහනම් කලේ ඇයි කියලා එතුමා ප්‍රශ්න කරනවා. මංගල ඇමතිතුමනි, බුදු දහම රැක ගන්නවා කියන්නේ හාමුදුරුවන්ට සල්ලි දීලා සාක්කුවේ දාගන්න හදන එක නොවේ. කහ සිවුර කවදාවත් ආමිස පූජාවන්ට යට වුණේ නෑ. හාමුදුරුවරුන් ආමිස පූජාවන්ට යට වුණා නම් උඩරට රාජධානිය අල්ලා ගන්න සුද්දන්ට 1815 වන තුරු ඉන්න වෙන්නේ නෑ. මේ කහ රෙදි පොරවා ගත් හමුදාව සිටිනා තුරා අපට ලංකාව යටත් කර ගන්න බෑ කියා සුද්දා ලියන්නෙත් නෑ.

වසර 2,300 ක් අඛණ්ඩව බෞද්ධයින් බහුතරයක් ජීවත් වුණු ලොව එකම රට ලංකාවයි. ලෝකයේ වෙනත් කිසිම රටක් එතරම් දිගු කලක් එකම ආගමක් සමග පැවතිලා නෑ. අපේ රටේ ඉන්න සහහෝදර ආගම්වල නායකයන් එය ඉතාම නිහතමානීව පිළිගන්නවා. ‘නව ලිබරල්වාදී’ මංගල සමරවීර අමාත්‍යවරයා ඇතුලු අතලොස්සක් පමණයි ඒ තිත්ත ඇත්ත පිළිගන්න අකමැති වෙලා තියෙන්නේ. ‘මේ රට බෞද්ධ රටක් නොවේ’ කියා ඇමති මංගල කියනවා නම් එයාව පන්සල් වලට වැද්ද ගන්න කිසිම භික්ෂුන් වහන්සේ නමකට බෑ. ආමිස පූජාවන්ට යට වන භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් හෙලි කරන්න කියලා අපි මංගල ඇමතිතුමාට අභියෝග කරනවා.

– අරවින්ද අතුකෝරල

***************************************

මේක සිංහල බෞද්ධ රටක්.. අනාගමික රාජ්‍ය අපට එපා.. – ඇමරිකානු තානාපතිගේ මූණටම අගරදගුරු කියයි…

(11.06.2019 – 11:20 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තමන් හමුවට පැමිණි අවස්ථාවේදී තමන් විසින් පැහදිලි කර දුන් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමන් සදහන් කරති.

‘මේ රට සිංහල බෞද්ධ රටක්. ඒක අපට අමුතුවෙන් කියන්න ඕන එකක් නොවෙයි.

මට මතකයි ව්‍යවස්තාව වෙනස් කරන්න හදපු අය අනාගමික ශිෂ්ඨාචාරයක් ගැන කතා කල අයට දවසක් මම කිවුව මේ රට බෞද්ධ රටක් ඒක අල්ලන්න එන්න එපා කියල මං කිවුව. අනාගමික ශිෂ්ඨාචාරය අපට ඕන නෑ. ආගම තුරන් කරන්න හදන අයව ප‍්‍රතික්‍ෂෙප කරන්න. එහෙම අයට ඉඩ දෙන්න එපා.

මිහිදු හිමියන් මේ පොලවට පය තැබූ දින පටන් වසර 2500 ක ඉතිහාසය තුල මේ රටේ ජීවන පැවැත්මේ සංස්කෘතියේ කොදු නාරටිය බවට පත් වෙලා තිබෙන බෞද්ධ දර්ශණය අප ආරක්‍ෂා කල යුතුයි’ යයිද කාදිනල්තුමන් එහිදී පැවසූහ ෴

***************************************

බෝ ගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුන් 5 ක් රෝහලට – එක් සිසුවෙකුට බරපතළයි

(12.06.2019 – 14:21 +0530 – sinhala.adaderana.lk)

බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප්‍රදේශයේදී පෙර පාසල් සිසුන් 5 දෙනෙක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ ඔවුන්ගෙන් එක් දරුවෙකු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

අද (12) උදෑසන 9 ට පමණ පෙර පාසල ආසන්නයේ තිබු වසර 150 ක් පමණ පැරණි බෝ ගසක අත්තක් විශාල හඬක් සමඟ මෙලෙස කඩා වැටී ඇත.

අද (12) උදෑසන පෙර පාසලේ පැවති සිල් සමාදන් වීමේ වැඩසහටහනකින් අනතුරුව මෙම අනතුර සිදුව තිබේ.

එම අවස්ථාවේ දී පහමුනේ, දිප්ති පෙර පාසලේ ඒ වන විට සිසුන් 15 ක් පමණ සිට ඇතැයි සිද්ධිය වෙන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි කාන්තාවක් අද දෙරණට පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට රෝහල් ගත කර ඇති සිසුන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියි.

+++++++++++++++++++++

***************************************

ජපුර සරසවියේ සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

(12.06.2019 – 18:16 +0530 – lankadeepa.lk)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට පහරදුන් බව කියන එම විශ්ව විද්‍යාලයේම සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටවූ බව උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා පැවැසීය.

නවකවදයට විරෝධය දැක්වීමක් සම්බන්ධයෙන් එම සිසුවාට පහරදී තිබෙන බවද උපකුලපතිවරයා කීය.

මේ අතර විශ්ව විද්‍යාලයේ කටයුතු සාමාන්‍යපරිදී සිදුකරන බවද මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා සඳහන් කළේය ෴

***************************************

‘එච්අයිවී-සිපිලිස්‘ ශ්‍රී ලංකාවේදී මවගෙන් දරුවාට බෝවීම නවතී

(12.06.2019 – 17:09 +0530 – lankadeepa.lk)

එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග, මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මෙම වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඊට අදාළ තත්වකරණ සහතිකය ලබාදීමට නියමිත බවද එම කාර්යාංශය පවසයි.

ඒ අනුව දකුණු නැගෙනහිර ආසියා කලාපයේ මෙම සහතිකය ලබාගන්නා තුන්වන රට බවට ශ්‍රී ලංකාව පත්වන බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්තව තිබෙන හෙයින් සෑම ගර්භණී මවකටම තම ගම් ප්‍රදේශයේ සායනයට සහභාගී වී එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග සඳහා සියලු මූලික සේවා ලබාගත හැකි අතර, පරීක්ෂණ ද නොමිලයේ සිදුකර ගත හැකිය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *