ඇමති රාජිතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධතා සතියක්

(10.06.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුකර ඇති දැවැන්ත හානිය සැලකිල්ලට ගනිමින් අද සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.

+++++++++++++++++++++

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇමති රාජිතට චෝදනාවක්

(11.06.2019 – 21:32 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා නොගත් බවට ජනාධිපති කොමිසම හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලබාදුන් සාක්ෂිය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලේකම්වරියව දැඩි පීඩනයට ලක්කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සදහන් කළා.

***************************************

පොහොට්ටුවෙන් ඉල්ලීමක්

(10.06.2019 – 18:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරීම්කාරක සභාවට පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන් මුහුණදෙන අසීරුතාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සක්‍රියව මැදිහත්වී ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ලංගම ජාතික සේවක සංගම් නියෝජිතයින් අද (11) මැදියම් රැයේ සිට වර්ජනයක

(11.06.2019 – 17:18 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරතවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

හෙට පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් එය අඛණ්ඩ වර්ජනයක් බවට ක්‍රියාත්මක කරන බවයි උපවාසයේ නිරත සේවකයන් සඳහන් කළේ.

ලබාදී ඇති උසස්වීම්වලට අදාළ වැටුප් ලබාදෙන ලෙස පවසමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට ඊයේ දහවල් මෙම උපවාසය ආරම්භ කළා.

අද උදෑසන ජාතික සේවක සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණද එයද විසඳුමකින් තොරව අවසන් වී තිබුණා.

පසුව එම ස්ථානයට අමාත්‍ය දයා ගමගේ ද පැමිණ උපවාසයේ නිරත සේවකයින් සමග සාකච්ජාවක නිරත වු බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

විරෝධතාකරුවන් සඳහන් කළේ සාකච්ඡාවට 13 ක් පමණ මීට පෙර පවත්වා ඇති නමුත් තමන්ට නිසි විසඳුමක් නොලැබුණු බවයි.

ඊයේ රාත්‍රියේ සිරිකොත පක්ෂ මූලස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණා.

***************************************

ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එලි දැක්වෙයි

(11.06.2019 – 22:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග අද එලි දැක්වුණා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති උත්සවයකදී.

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිලිවෙලේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එලි දැක්වීමේ උත්සවය අද පැවැත්වුණේ නෙලුම් පොකුණ ශ්‍රවණාගාරයේදී.

ස්මාර්ට් ගවර්මන්ට්, ස්මාර්ට් සිකියුරිටි, ස්මාර්ට් ට්‍රාන්ස්ප්‍රෝර්ට් ඇතුලු රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන පරිදි සංකල්ප 16 ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මග ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අසීමත ඔබ නම් සංකල්පය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳ ඉදිරි දැක්ම යථාර්තයක් බවට පත්කර ගැනීමට කැපවූවන් අගය කරමින් ජනාධිපති සම්මාන පිලිගැන්වීමද මෙහිදී සිදුවුණා.

***************************************

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික දරුවන්ට A/L සහ O/L ලියන්න අවස්ථාවක්

(11.06.2019 – 20:22 +0530 – sinhala.adaderana.lk)

අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේනම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ විභාග සහතික පත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (11) සවස පැවති උත්සවය අමතමිනි.

විභාග දෙපාර්තමේන්තුව ඉතා විශ්වසනීය ස්ථානයක් විය යුතු බවත් ඒ සඳහා බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා විවිධ පෞද්ගලික මැදිහත්වීම් හැකිතරම් අවම විය යුතු අතර ඒ වෙනුවෙන් විධිමත් ක්‍රමවේද ඇති කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ප්‍රශ්ණපත්‍ර සකස් කරන විද්වතුන් වෘත්තීය හා සාරධර්ම ආරක්ෂා කරන පිරිසක් විය යුතු බවත් විභාගයක් යනු අධ්‍යාපනයේ කිසියම් කඩඉමක් වන බවත් හෙතෙම පැවසුවා.

ගොවි,කම්කරු හා සමාජයේ ඉහලම තරාතිරමේ සෑම පුද්ගලයෙක්ම ජීවිතයේ යම් අවස්ථාවල විභාගවලට මුහුණදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විභාග ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් සෑම දෙනකුටම ඉදිරියට පැමිණිය හැකි බවද අධ්‍යාපනය ටියුෂන් පන්ති මත තීරණය කිරීමට සිදුවී තිබීම ගැනත් පියවර ගත යුතුව ඇති බවද අවධාරණය කළේය.

තමා අධ්‍යාපන අමාත්‍ය පදවියට පත්වී වසර 04 ක කාලය තුළ බොහෝ විප්ලවීය හා සාධනීය වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කළ බවත් නිර්භයව තීරණ ක්‍රියාත්මක කිරීමට යාමේදී නොයෙක් පැති වලින් එල්ල වන ප්‍රහාරයන්ට ලක්වීමට සිදු වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ටැබ් පරිගණක ලබා දීමට වැඩසටන කෙසේ හෝ ක්‍රියාවට නංවන බව ද එහිදි පැවසීය.

අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් බඳවා ගැනීමේ සිට මානව හා භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම විෂයමාලා කාලීනව සංශෝධනය කිරීම ආදී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුකොටගෙන අධ්‍යාපන පද්ධතියේ බොහෝ අඩුපාඩු සමනයවනු ඇති බවද පැහැදිලි කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකට ඔවුන් පදිංචි රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් පෙනී සිටීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන බවද එහිදී සඳහන් කළේය.

විභාග සහතික මාර්ගගත ක්‍රමයට නිකුත්කිරීමේ වැඩපිළිවෙල සිදු කල යුතුව තිබුණේ මීට දශක කිහිපයකට ඉහතදී යැයි පැවසූ අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය ඇතුළු සෑම කාර්යක්ම වෙනුවෙන්ම අවශ්‍ය මුදල් ලබා දුන්නේ යැයි ද පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය විවෘත කිරීම මාර්ගගත ක්‍රමයට සහතිකපත් නිකුත් කිරීමේ සමාරම්භය මාර්ගගත ප්‍රතිඵල සනාථ කිරීමේ වැඩපිළිවෙලට උපරිම දායකත්වය දැක්වූවන්ට තිළිණ හා සහතිකපත් පිරිනැමීම අධ්‍යාපන අමත්‍යවරයා අතින් සිදු කෙරුණි.

මෙම සහතිකපත් බෙදා හැරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරුණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම් එන් රණසිංහ, විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත, තැපැල්පති රංජිත් ආරියරත්න, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් අචාර්ය ජයන්ති ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වුහ ෴

***************************************

හිරු සී.අයි.ඒ. : රණවිරුවන් රවටන වංචනිකයෝ

(11.06.2019 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මියගිය හා ආබාධිත රණවිරු පවුල් සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාදෙන බව පවමින් මුදල් එක්රැස් කරමින් සිටි පිරිසක් හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත අම්පාර පොලිසිය අත්අඩංගුවට ගත්තා.

එම වංචනික පිරිස මීට ඉහතදී ද හිරු සී.අයි.ඒ.හරහා අනාවරණය කළ අතර ඔවුන්ට විරුද්ධව තඹුත්තේගම අධිකරණයේ ද එම වංචාව සම්බන්ධයෙන් නඩුවක් ද විභාග කෙරෙනවා.

අනුරාධපුර, එප්පාවල, අධිරාණීගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව හිමිකම් හා ස්වාභාවික සම්පත් සුරැකීමේ ජාතික සංවිධානය නම් කාර්යාලයක් මගින් කලක සිට මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ තොරතුරු ලබාගෙන තිබුනා.

ඒ එක් රණවිරු පවුලක් සදහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාදෙන බව පවසමින්.

එම මුදල ගෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඔවුන්ට රුපියල් කෝටි 31 ක චෙක් පතක් ලැබී ඇති බවටයි මොවුන් ප්‍රචාරය කර තිබුනේ.

මේ සදහා රණවිරුවන් ලියාපදිංචි කිරීමට එක් අයෙකුගෙන් රුපියල් 3,000 ක බැගින් විශාල මුදලක් මොවුන් එක් රැස් කර ගෙන තිබුනා.

මෙහිදී පොලිස් අත්අඩංගුවට ගත් වංචනිකව මුදල් එක්රැස්කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

***************************************

රතන හිමියන්ට මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දොරටු වැසෙයි

(11.06.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලු පිරිසක් අද මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ ඔවුන්ට විශ්වවිද්‍යාලය තුළට ඇතුලුවීමට පළමුව අවස්ථාව ලබාදුන්නේ නැහැ.

අනතුරුව පැය එකහමාරකට පමණ පසු රතන හිමියන් ඇතුලු පිරිස එම විශ්වවිද්‍යාලය තුළට පිවිසුණු අතර, පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *