ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි – චම්පික රණවක

(09.06.2019 – 21:36 +0530 – sinhala.adaderana.lk)

ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීම බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශලාවේ පැවැති මහාසඟ සමුළුවට සහභාගී වෙමිනි.

මේ අයි.එස් සංවිධානය බිහි වුයේ ඉරාකයේ බවත් අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩි දුරටති අදහස් දැක්වූ අමාත්‍යවරයා :

“සදාම් හුසේන් පළවා හැරීමෙන් පස්සේ ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් අතරින් ඉරාකයේ අල්කයිඩා ව්‍යාපාරය බිහි කළා.

ඒ අල්කයිඩා ව්‍යාපාරය බිහි කළ නායකයා තමයි අල්සර්කාවි. ඔහු 2004 දී මේ ආයතනය පිහිටෙව්වේ. ඔහුගේ ආගමික දර්ශනය තවාහිද් ඉස්ලාම් දර්ශනය. ඒ තවාහිද් දර්ශනයේ ප‍්‍රධාන තේමා දෙකයි. එකක් තමයි ඒක දේවත්වය. අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැහැයි කියන එක. ඒ වගේම අනෙකුත් දෙවිවරු සියල්ලම අසත්‍යයි කියන එක. ඒවගේම ඒ ව්‍යාජ දෙවිවරු අදහන අය එක්කෝ ඉස්ලාම් ධර්මය වැළඳ ගත යුතුයි. එසේ නොවන අය විනාශ නොවන අය විනාශ කර දැමිය යුතුයි කියන එක තමයි ඉතාම සරළව ගතහොත් මේ තවාහිද් දර්ශනය කියන එක.

මෙන්න මෙතන තමයි ගැටළුව තිබෙන්නේ. අපිත් සමහරවිට කියනවා අන්‍ය ආගම් අදහන අය මිත්‍යා දෘෂ්ඨිකයි කියලා. අපි ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ එම අය බුද්ධාගමට ආ යුතුයි නැතිනම් විනාශ කළ යුතුයි කියලා. නමුත් මේ තවාහිද් දර්ශනයේ ප‍්‍රධානම මත දෙක තමයි. අල්සර්කාවිගේ මතයයි, එසේම සහරාන් හසීම්ගේ ද මතයයි ඒ තවාහිද් දර්ශනය ලෝකය පුරා ඉන්න ජිහාඞ්වාදීන්ගේ මතයයි අතරේ කිසිඳු වෙනසක් නැති බව අපි හොඳින් තේරුම් ගත යුතුයි.

ඒ වගේම අල්සර්කාවි ඇමරිකන් හමුදාව විසින් ඝාතනය කළා. ඉන් පසුව අල්බග්ඩාගි කියන පුද්ගලයා නායකයා වශයෙන් පත් වුනා. අල්බග්ඩාගි ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පැවැති ෂරියා විශ්ව විද්‍යාලයකින් ඉස්ලාම් දහම ගැන ආචාර්ය උපාධියක් ලබාගෙන හමුදාවක් පැවත්වාගෙන ගිය පුද්ගලයෙක්. පසුව ඔහු 2014 ජුනි මාසයේ දී ඔහු සිරියාවේ සහ ඉරාකයේ ප‍්‍රදේශ දෙකක් මුදාගෙන මහා බි‍්‍රතාන්‍ය තරම් විශාල ප‍්‍රදේශයක ඉස්ලාමීය රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කළා. එහිදී ඔහු පියවර දෙකේ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කළා.

පළවෙනි කි‍්‍රයාමාර්ගය තමයි රටක් පාලනය කරන්න බැරි තත්වයට එනකම්ම ප‍්‍රහාර එල්ල කිරීම. ඉන්පසුව ඉස්ලාමීය නීතිය අනුව රාජ්‍යයක් ස්ථාපිත කිරීම. මෙන්න මේක තමයි ඔහුගේ මූලික ප‍්‍රතිපත්තීන් දෙක උනේ. ඒ අනුව ඔහු 2014 දී මේ කලිපාතය, ඉස්ලාම් ආගමට ඉතාම වැදගත් මොසූල් නගරයේ දේවස්ථානයකදී මෙය ප‍්‍රකාශයට පත් කළා. කෙසේ නමුත් ඔහුගේ ඒ ඉස්ලාමීය රාජ්‍යය පැතිරී ගොස් තිබෙන ප‍්‍රදේශයන් හි ලංකාවද ඇතුළත් වෙනවා. ලංකාවට ඔවුන් කියන්නේ ‘අල්සලානී’ කියලා. ඔවුන් අදහස් කලා මේ සියළුම රටවල් මේ ඉස්ලාමීය රාජ්‍යයට යටත් විය යුතුයි කියලා.

නමුත් දැන් අද මේ වනවිට ඔවුනට එක බිම් අඟලක්වත් අයිති වෙලා නැහැ. විදේශ රටවලින් අති විශාල ප‍්‍රමාණයක්, හැත්තෑ දහසකට ආසන්න ප‍්‍රමාණයක් සිරියාවේ, ඉරාකයේ අයිසිස් සංවිධානය වෙනුවෙන් යුද්ධ කරන්න ගියා. එයින් සැලකිය යුතු පිරිසක් මිය ගියා. ඉතිරි පිරිස නැවත තමන්ගේ රාජ්‍යය වෙත ආපසු ගොස් තිබෙනවා. එවැනි පිරිසක් ලංකාවෙත් ජීවත් වනවා.

ඒ ආකාරයට සිය මුල්ගම්වලට ගිය පිරිස් ලන්ඩනයේ, පැරීසියේ, රුසියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම නොයෙකුත් අපි‍්‍රිකානු රටවල්වල, බංගලිදේශයේ, ඉන්දියාවේ ඒ වගේම මැලේසියාවේ, පිලිපීනයේ ආදී රටවල්වල පසුගිය කාලයේ ප‍්‍රහාර තිස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් එල්ලකර තිබෙනවා.

ලංකාවේ පළවෙනි අයිසිස් සටන්කරු මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු කෙනෙක්. නම විලාමා. මොහු කුරුණෑගල ආගමික ආයතනයක ඉගැන්වීම් කළ නීතීඥයෙක්. 2015 ජනවාරි මාසයේදී විදේශ ගතවෙලා මේ අයිසිස් සංවිධානයට සම්බන්ධ වෙලා, ඔහුව ඇමරිකන් හමුදාව විසින් එම වසරේම ජූනි මාසයේදී ඝාතනය කළා. ඔහු සහ ඔහුගේ පවුල්වල සාමාජිකයන් 45 දෙනෙක් ඒ අයිසිස් සංවිධානයට සම්බන්ධ වෙලා ඉන්න බවට තොරතුරු ලැබිලා තිබෙනවා. මේ පිළිබඳව යම් යම් අය ප‍්‍රකාශ කළාහම 2016 වර්ෂයේදී මේක පට්ටපල් බොරුවක්. අයිසිස් එකට ලංකාවේ කවුරුත් සම්බන්ධ වෙලා නැහැ කියන ප‍්‍රකාශ ඇතැම් වැදගත් පිරිස් අතින් ප‍්‍රකාශ කෙරුණා.

ඒ වගේම මේ ශ‍්‍රී ලංකාවේ තවුහිද් ජමාත් ව්‍යාපාරය මෙහි මෙහෙයවන්නේ අබ්දුල් රාසික් නැමැති පුද්ගලයෙක්. මොහු තමයි මුලින්ම විශේෂයෙන්ම බෞද්ධාගමට ප‍්‍රහාරයක් එල්ල කරන්න ඉදිරිපත් වූ පළවෙනි ඉස්ලාම් නායකයා. මොහු තමයි මේ තුණුරුවන් කියන්නේ මැණික් ගල් තුනක්ය කියනවා වගේ ග‍්‍රාම්‍ය ප‍්‍රකාශ කරමින් ඉතාමත්ම රැඩිකල් භාවයක් පෙන්වාගෙන විශේෂයෙන්ම තරුණ පිරිස් ආමන්ත‍්‍රණය කරගෙන ඉදිරියට ආවේ. ඔහුගේ සහයකයෙක් හැටියට තමයි සහරාන් හෂීම් හිටියේ. පසුව මොහුගෙන් වෙන්වී ගිහින් සන්නද්ධ කි‍්‍රයාදාමයට ගොඩවුනා.

ඒ අනුව දැනට ලංකාවේ මේ තවුහිද් ජමාත් ව්‍යාපාරයට අයිති නිකායවල් 4 ක් තිබෙනවා. එම හතරේ පනස් දහසකට (50,000) ආසන්න පිරිසක් ඉන්න බව අප අමතක කළ යුතු නැහැ මේ විසිපන් ලක්ෂයක් වන මුස්ලිම් ජනතාව අතරේ.

අපි මතක තබා ගත යුතුයි, අද මේ හුඟ දෙනෙක් කලබල වෙලා කටයුතු කරනවා, වඳ සැත්කම් කළා කියන වෛද්‍යවරයා ගැන. ඒ වගේම තවත් තැන්වල යම් යම් ඇඳුම් පැළඳුම් විකුණුවාය කියන කාරණාත් ඉතා බලගතුයි. වෛද්‍යවරු පිළිබඳ ගැටළුව වෛද්‍ය සභාව විසින් විසඳිය යුතුයි. නමුත් මේ ත‍්‍රස්තවාදයත් අපි අපේ ස්වාමීන් වහන්සේලා සියළු දෙනාම මතක තබා ගත යුතුයි. ලෝකයේ බලවත් රාජ්‍යයන් ගණනාවක් සමග එකවිට සටන් කරන ව්‍යාපාරයක්.

රුසියාවේ, චීනයේ, ඇෆ්ගනිස්ථානයේ, පාකිස්ථානයේ, ඉන්දියාවේ කාශ්මීරයේ, බංගලිදේශයේ, පිලිපීනයේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ, උතුරු අප‍්‍රිකාවේ රටවල් ගණනාවක, යුරෝපයේ මේ හැම තැනකම, හැම මොහොතකම යම් ව්‍යවසනයක් කරන්න, විනාශයක් කරන්න අර අදින බලගතු ව්‍යාපාරයක් බව අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා සහරාන් හසීම් සහ ඔහුගේ සහකයින් මිය ගියාට මේ තැන් තැන්වල සිටින මේ ජාලය සමග සම්බන්ධ වූ පිරිස් අවසන් වෙලා නැති බව අපි සියළු දෙනාම මතක තබා ගත යුතු වෙනවා.

මේ අනුව තමයි විද්වත් පිරිසක් සමග ‘ජාතික මග’ නමින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ. මොකද රට අයාලේ යන නිසා ඒ අයාලේ යන රටට මේ ත‍්‍රස්තවාදය, අන්තවාදය පරාජය කිරීමට ගත යුතු මග මේ යැයි කියලා පෙන්වන්න. ඒ සඳහා අපි බොහොම පැහැදිලිව පෙන්වා දෙනු ලැබුවා පැරණි ත‍්‍රස්තවාදී නීති රීති වලින්, ත‍්‍රස්තවාදය මැඩලීමට පාවිච්චි කළ නීති රීතිවලින්ම මේ නව ත‍්‍රස්තවාදය පරාජය කරන්න අමාරුයි.

මොකද එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී නමින් ආයුධ ගත්ත තිස් හතලිස් දාහක හමුදාවක් හිටියා. ඔවුන්ව වව්නියාව ඉක්මවා ගිය හැටියෙ ම හමු උනා. ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් තිස් හතලිස් දාහක් හිටියා. ඔවුන් ආරක්‍ෂක හමුදා ස්ථානවලට පහරදුන්නා.

නමුත් මේ ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමේ පූර්ව පියවරේ ඉන්නේ ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය උදා වෙනකන්. ඒ සඳහා ඔවුන් ඇතැම් විට තමන්ගේ ආගම අදහන පිරිසම උනත් ඝාතනය කරන්න, විනාශ කරන්න පැකිලෙන්නේ නැති බව අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් විධිමත් නීති රීති රටකට අවශ්‍ය වෙනවා මේ නව ත‍්‍රස්තවාදය පරාජය කිරීමට.

ඒ වගේම අද සාකච්ඡා වෙන දෙයක් තමයි ‘දේශපාලන අංශවල ප‍්‍රශ්නයක් තිබුණද? මෙහෙයුම් අංශවල ප‍්‍රශ්නයක් තිබුණද?’ කියලා. ඇත්තටම දේශපාලන නායකත්වයට පුළුවන් වෙන්නෙ මාර්ගෝපදේශයක් දෙන්න ත‍්‍රස්තවාදය ගැන. බුද්ධි අංශය ඒ පිළිබඳ තොරතුරු රැස්කරගත යුතුයි, ත‍්‍රස්තවාදියාගේ ප‍්‍රමාණය – හැකියාව – ගුණය ගැන. ඒ වගේම ඒ ත‍්‍රස්ත මර්ධනය කිරීම සඳහා මෙහෙයුම් ඒකකයක් තිබිය යුතුයි. ඒ වගේම ඒ සඳහා පොදුවේ පොලීසියේ, ති‍්‍රවිධ හමුදාවේ සහය ලබාගත යුතුයි. දැන් කලින් අවස්ථාවලදි ලංකාවේ බුද්ධි තොරතුරු අංශ සමග බැඳිච්ච මෙහෙයුම් අංශයක් තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් අංශයක් තිබුණා. රෝහණ විජේවීර උලපනේ ඉන්නවා කියලා තොරතුරු දැන ගත්තහම උලපනේ පොලීසියට ලිපි, ටෙලෙක්ස් මගින් දැනුම් දුන්නේ නැහැ. ඒ සඳහා වූ එම විශේෂ බලකාය මත්තෙගොඩ කඳවුරෙන් තමයි එහි ගියේ. විජේවීර කොළඹට ගේනකන් එම ප‍්‍රදේශයේ පොලිසි ඒ බව දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ මේ ත‍්‍රස්තවාදීන්ගේ හැකියාව ගුණය මොකද්ද කියලා හඳුනාගෙන ඒ වෙනුවෙන් වෙච්ච විශේෂ මෙහෙයුම් මණ්ඩලයක අවශ්‍යතාවය දැන් පැන නැගී තිබෙනවා. විපක්ෂ නායකතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ සියලු දෙනාම එකතුවෙලා යම් නිෂ්චිත ආරක්‍ෂක සැලැස්මකට අනුව ගමන් කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා.

ඒවගේම මේ සඳහා වූ අනෙකුත් පියවර – විශේෂයෙන්ම අපේ රටෙන් පිටරටට යන පිරිස පිළිබඳව, පිටරටින ලංකාවට එන පිරිස පිළිබඳව මූල සංසරණය සිදුවන දේවල් පිළිබඳව පියවර ගත යුතු වෙනවා.

(??) ඒ වගේම මෙහිදී අද ලොකු බියක් ඇතිකර තිබෙනවා විදේශ හමුදා ලංකාවට එනවා කියලා. එවැනි කිසිම තත්වයක් නැති බව මම බොහොම වගකීමෙන් කියනවා. ඇතැම් විදේශ රටවල් ලංකාවෙන් ඉල්ලා සිටියා ඒ අයගේ දේපලවලට හානි වෙයි කියලා ඒවයේ ආරක්‍ෂාව සපයා ගන්න අවසර ඉල්ලලා. ඒවට මේ රජය කිසිම ඉඩකඩක් ලබාදුන්නේ නැහැ. මේ යම් යම් දේශපාලන කෑදැත්තන් විසින් ජනතාව තුළ, මාධ්‍ය තුළ ජනපි‍්‍රයතාවය ඇතිකර ගැනීම සඳහා විදේශ හමුදා හෙට ගොඩබහිනවා, අද ගොඩබහිනවා කිව්වට එවැනි කිසිම සිදුවීමක් සිදුවී නැහැ. ඇතැම් පිරිස් ආවා යම් යම් පරීක්ෂණ කරන්න. ඒ පිරිස් එම පරීක්ෂණ කරපුවාවේ. මේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විසින් සිදුකළ යුතුයි. සිදුවන්නේත් එයයි. (??)

ඒ වගේම විදේශීය බුද්ධි අංශවල තොරතුරු අපට ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. කොටි සංවිධානයේ නාවික ජාලය ඕස්ටේ‍්‍රලියානු මුහුදේදී විනාශ කළේ ලංකාවේ බුද්ධි අංශවල තොරතුරුවලින්ම පමණක් නෙමෙයි. විදේශීය බුද්ධි අංශ විසින් ලබාදුන් එම තොරතුරු නිසා තමයි එය සිදු කළේ. ප‍්‍රභාකරන්ගේ කොඳුනාරටිය කැඩුනේ එදා. ඒ නිසා මේ ත‍්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය වගේ දෙයක් නෙමෙයි. රටවල් පනහක හැටක පැතිරී ගිය දෙයක්. ඒ නිසා විදේශ බුද්ධි අංශ සමග ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යාම අපිට අවශ්‍යයි. නමුත් මේ රටේ අනන්‍යතාවය, ස්වෛරීත්වය පාවාදීලා ඒ කටයුත්ත කිරීමට අපි කිසිසේත්ම සූදානම් විය යුතු නැහැ. ඒ පිළිබඳවත් මහා සංඝරත්නය දැනුවත් විය යුතුයි. විශේෂයෙන්ම මේ බාල කතා කියලා හදවත්වල හැඟීම් අවස්සලා නිකන් මිනිස්සු කුලප්පු කරන පිරිස්වලින් අපි බොහොම ප‍්‍රවේශම් විය යුතුයි.

ඒ වගේම මේ සහරාන් කල්ලියට 2018 සැප්තැම්බර් මාසයේ සිට 2019 මාර්තු මාසය දක්වා කාලය තුළ අඩුම තරමේ දශ ලක්ෂ 1000 කට ආසන්න, රුපියල් බිලියනයකට ආසන්න මුදල් ගිණුම් ගණනාවකට පැමිණිලා තිබෙනවා. මේ මූල සංසරණ කි‍්‍රයාවලිය පිළිබඳ කි‍්‍රයාවලිය ඉතාම වැදගත් සොයා ගන්න එක මොවුන්ගේ ජාලය සොයා ගැනීම සඳහා. ඒ සඳහා යම් යම් පියවර රජය අරන් තිබෙනවා. නමුත් ඉදිරියේ මීට වඩා විධිමත්ව එම පියවර ගත යුතු වෙනවා. මේ අන්තවාදීන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා විශේෂයෙන්ම අන්තර්ජාලයේ කි‍්‍රයාදාමයක් අනුගමනය කළ යුතුයි. සහරාන් හෂීම් සහ ඔහුගේ ප‍්‍රහාරයට සම්බන්ධවූ 9 දෙනා සැම්සොන් දුරකතනවල තිබෙන ‘ටීම්’ කියන විශේෂ ‘ඇප්’ එක තමයි පාවිච්චි කළේ. එමගින් කිසිම ආකාරයකට ඔවුන් දුරකතන ඇමතුමක් ගත්තා කියලා දුරකතන කුළුනක හෝ වෙන කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේක එක්තරා ආකාරයක තාක්ෂණ යුද්ධයක්. එමනිසා තාක්ෂණයේ ශක්තිය අපි ලබාගන්නේ නැතිව මේ ත‍්‍රස්තවාදය පරාජය කරන්න බැහැ මේක අන්තර්ජාලයේ නොයෙකුත් තැන්වල තිබෙන දෙයක් නිසා.

ඒ වගේම ලංකාවේ මුස්ලිම්වරුන් අතර දර්ශන 3 ක් තිබෙනවා. අපි දන්න කියන නිදහස් මධ්‍යස්ථ මුස්ලිම්වරයා තමයි ‘සූපිසම්’ අදහපු ‘තරීකා’ මුස්ලිම්වරයා. ඒ වගේම අසූ ගනන්වල ආවා මේ වහබ්වාදයත් සමග ‘තබ්ලික් ජමාත්’ ව්‍යාපාරය. ඔවුන් තමයි මේ රට ඇතුළේ පුංචි අරාබියක් හදන්න උත්සාහ කරන්නේ. ඊ ළඟට ආවා මේ ‘තවුහිද් ජමාත්’ ව්‍යාපාරය. ඔවුන් තමයි වෛරය වපුරමින් ගැටුම්කාරී විදිහට මේ ජිහාඩ්වාදය වපුරවන්නේ. මේ පිරිස අපි විධිමත්ව මුස්ලිම් සමාජය හඳුනාගත යුතුයි. ප‍්‍රචණ්ඩ ජිහාඩ්වාදීන් අපි විනාශ කළ යුතුයි. ඒ අය දෙතුන් සියයක් ඉන්නවා. ඒ බව ඔවුන්ගේ තොරතුරුවලින් හඳුනාගෙන තිබෙනවා. ආරක්‍ෂක අංශ ඔවුන්ව හඹාගෙන යනවා. ඊ ළඟට මේ ප‍්‍රචණ්ඩ ජිහාඩ්කරුවන්ට හවුල්කරුවෝ ඉන්නවා.
3
මූල්‍යමය වශයෙන්, ස්ථාන සපයාදීමෙන්, නොයෙක් ආකාරයෙන්. ඒ අය නිශ්කි‍්‍රය කර දැමිය යුතුයි. වෛරවාදී තවුහිද් ප‍්‍රකාශ කරන අය නීති මාර්ග මගින් හා නිර්රැඩිකල් කරන ව්‍යාපාරයක් මගින් පාලනය කළ යුතු වෙනවා. ඒ වගේම මේ රට අරාබි කොලනියක් කරන්නට රටේ තැන් තැන්වල අරාබි ඇඳුම අඳින්න, අරාබි කෑම කන්න, අරාබි බස පාවිච්චි කරන්න, අරබි විශ්ව විද්‍යාල ඇති කරන්න, අරාබි පාසල් ඇති කරන්න කටයුතු කරනවා. අන්න ඒ පිරිස ශ‍්‍රී ලාංකික කිරීම සඳහා අවශ්‍ය කරන නීති පද්ධති හා සමාජ වෙනසක් අවශ්‍යයි. ඒක මුස්ලිම් සමාජය ඇතුළතිනුත් ඇතිකරගන්න අපි කි‍්‍රයා කළ යුතුයි. ඒ වගේම මධ්‍යස්ත මුස්ලිම් ජනයා අති විශාල පිරිසක් ඉන්නවා මේ රටේ ඒ අය බලාත්මක කළ යුතුයි, ශක්තිමත් කළ යුතුයි.

එහෙම නැතිව මේ මුස්ලිම් ප‍්‍රජාව සැවොම එකයි කියලා කටයුතු කළොත් ඒ සටන අපි පරදිනවා විතරක් නෙමෙයි මේ සටන දිග්ගැහිලා ගිහිල්ලා තව අවුරුදු තිස් හතලිස් ගාණක් යන්න පුළුවන්. ඒ නිසා මේ මුස්ලිම් සමාජයේ ඉන්න මේ ස්ථර වෙන වෙනම හඳුනාගෙන ඒ අයට වෙන වෙනම කටයුතු කිරීම තුළින් පමණයි මෙය ජයග‍්‍රහණය කර හැකි වෙන්නේ.

ඒ වගේම මේ අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු නැහැ කියලා ලොකු ගැටළුවක් පැණ නැගී තිබෙනවා. 2500 ක් අත් අඩංගුවේ ඉන්නවා කියලා. එම තොරතුරු දැන ගැනීම ඥාතීන්ට අයිති දෙයක්. ඒ ඥාතීන්ට තොරතුරු ලබාගැනීමේ මධ්‍යස්ථානයක්, අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔම්බුඩ්ස්මන් කෙනෙක්, දුක්ගන්නාරාල කෙනෙක් පත් කළ යුතුයි. මොකද අපේ රටේ කැරළි කෝලහලවල ඇති වූ නරකම තත්වයක් තමයි පිරිස අත්අඩංගුවට ගත්තහම තොරතුරු ලබාදීමට නොහැකි වීම. ඒ වගේම නව නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුව කටයුතු කරගෙන යනවා මාතෘකා 11 ක් හරහා. විශේෂයෙන්ම මේ ජාතීන්, ආගම් අතර මේ වෛරී ප‍්‍රකාශ කරන අය පිළිබඳව, ඒ වගේම ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ වෙනත් අධ්‍යාපන ක‍්‍රම පවත්වාගෙන යන මේ මද්රාසා පාසල්.

ශරියා පිළිබඳව. ඒ වගේම මේ රටට දේශන කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින් පාලනය කිරීම පිළිබඳව. ඒ වගේම ඇඳුම් පැළඳුම් පිළිබඳව ජාතික ආරක්‍ෂාවට සහ අනන්‍යතාවයට හානියක් වෙන, ඒ වගේම නොයෙකුත් ආගමික ස්ථාන අලුතින් ඇති කිරීමේදී ඒවා ලියාපදිංචි කිරීමේ ක‍්‍රම පිළිබඳව, ආගමික් සිද්ධස්ථාන සහ යාඥා මධ්‍යස්ථාන සඳහා පොදු නීති සම්පාදනය කිරීම සඳහාත්, ඒ වගේම එක ආගමික අමාත්‍යාංශයක් ඇති කරන්න ඕනෙයි කියන එක. ඒ වගේම ආගමන විගමන නීතිරීති පිළිබඳව, විවිධ රටවල්වලින් හා වෙනත් ආයතනවලින් එන අරමුදල් පිළිබඳව අන්තර්ජාල තොරතුරු කාරණය වැනි මාතෘකා ගණනාවක් යටතේ දැන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරගෙන යනවා. ඒ බව මේ අවස්ථාවේදී ඔබ වහන්සේලාට දැනුම් දිය යුතුයි.

ගෞරවනීය මහා සංඝරත්නයත් මේ නීති සම්පාදනයට දායක වෙලා, සෙසු ආගමික පිරිසත් දායක වෙලා අපි හැකි ඉක්මනින් මේ නීති සම්මත කරගෙන සමාජය තුළ තිබෙන සැකය, බිය, වෛරය තුනීකර ගන්න මේ නීති ඉතාම අත්‍යාවශ්‍යයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේගේත්, විශේෂයෙන්ම ඉස්ලාමීය මව්ලවීවරු ඇතුළු ආගමික උගතුන්ගෙත් විශාල වගකීමක් තිබෙනවා මේ අභියෝගය ජය ගැනීම සඳහා අපි කෙටි කාලීනව ක්‍රියාත්මක වීම ගැන. ඒ වගේම මේකට මුහුණ දීමට නම් අපට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. ශක්තිමත් ආර්ථිකයක්, ශක්තිමත් බලවත් රටක් තිබුණොත් විතරයි අපට මේක පාලනය කරන්න පුළුවන් වෙන්නෙ. ඒ සඳහා මේ රටට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් එක්ක විධිමත් සැලසුමක් සමග ආර්ථිකය ගොඩනගන වැඩසටහනක් අවශ්‍යයි.”

සටහන : බ්‍රහ්ම දණ්ඩනයට (කථාබහ නොකර සිටීමට) වඩා වැඩි දඬුවම් බුදු දහමට අනුව ලබාදිය නොහැක. දඬුවම් නියමකරන අයට – දඬුවම් දෙන අයට අකුසල කර්ම රැස්වෙන අතර එම කර්මවල විපාක ලෙස අනාගතයේදී (මෙලොවදී, පරලොවදී) ඔවුනට දුක්විඳීමට සිදුවනු ඇත. නීති පැනවීමට, දඬුවම් දීමට සිල්වත් භික්ෂූන්වහන්සේලා සම්බන්ධ වන්නේ නැත.
– අමරසර

***************************************

බසයේ පාපුවරුව ගැලවී යාමෙන් කොන්දොස්තර සහ මගියෙක් මරුට

(09.06.2019 – 11:21 +0530 – lankadeepa.lk)

කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව කැඩි යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා වන සමන්තුරේ පදිංචි ආර් සේකර් හා මොලගොඩ පදිංචි මගියෙකු බවද පොලිසිය පවසයි.

මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම බස් රථය පහළ කඩුගන්නාව වංගුව අසලදි රථයේ ඉදිරි පා පාවුරුව කඩා වැටිම නිසා කොන්දොස්තරවරයා මගියා බිමට වැටි ඇත. අනතුරුව ඉදිරිපස රෝදයට යට වී දැඩි ලෙස තුවාල සිදුවි ඇති බව පොලීසිය කියයි.

කොන්දොස්තරවරයාගේ දේහය හේනාවල ප්‍රාදෙශිය රෝහලේ හා මියගිය මගියාගේ සිරුර මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් බස් රථයේ රියදුරු මවනැල්ල රෝහලේ ප්‍රථිකාර ලබන බවත් පොලීසිය කියයි.

සටහන : (ඉදිරිපස රෝදයට ඉදිරියෙන් පිහිටි) ඉදිරිපස පාපුවරුවේ ගමන්කිරීමෙන් වළකින්න !

***************************************

ගුවන්තොටේ වැසුණු දොරටු යළි විවෘතයි

(10.06.2019 – 14:08 +0530 – sinhala.adaderana.lk)

ආරක්ෂක හේතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් මේ වන විට නැවතත් මහජනතාවට විවෘත කර තිබේ.

සීමා සහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති දම්මික රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

අද (10) මධ්‍යන 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ අලින්දය විවෘත කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මෙ වන විට එක් මගීයෙකු සමඟ තවත් දෙදෙනෙකුට (02) පමණක් ඇතුල් වීමේ ආලින්දයෙන් ගුවන්තොටුපලේ අභ්‍යන්තරයට ඇතුවිය හැකි බවද ඔහු පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *