සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3 දෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට

(07.06.2019 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය මීගමුව – ඒත්තුකාල ප්‍රදේශයේ අද අලූයම සිදුකළ වැටලීමකදී සන්නිවේදන උපකරණ රැසක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ඒ අතර, දත්ත සක්‍රිය කර තිබූ අයිෆෝන් 402 ක්, සිම්කාඩ් පත් 17,400 ක්, රවුටර්ස් 60 ක් සහ අධි සන්නිවේදන උපකරණ රැසක් වන බවයි.

ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සහ චීන ජාතිකයෙකු මෙම උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් සන්නිවේදන ක්‍රියාවලියේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී වංචාවන් සිදුකළ බවට අනාවරණ වී තිබෙනවා.

+++++++++++++++++++++

මීගමුවේ අත්අඩංගුවට ගත් සන්නිවේදන උපකරණ සහ සැකකරුවන්, සී.අයි.ඩී යට

(08.06.2019 – 07:21 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය මීගමුව – ඒත්තුකාල ප්‍රදේශයේ දී සන්නිවේදන උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

දත්ත සක්‍රිය කර තිබූ අයිෆෝන් 402 ක්, සිම්කාඩ්පත් 17,400 ක්, රවුටර්ස් 60 ක් සහ අධි සන්නිවේදන උපකරණ සමඟ මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සහ චීන ජාතිකයෙකු මෙම උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විශේෂයෙන් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීම ඇතුළු සන්නිවේදන ක්‍රියාවලියේදී වංචා සිදුකළ බවට අනාවරණ වී තිබෙනවා ෴

***************************************

සම්මත වූ රු. 25,000සේ දඩය ගැන, බස් සංගම් විශ්ලේෂණයක – ත්‍රිවිල් වලින් විරෝධයක්

(08.06.2019 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව රථ වාහන දඩ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට බස් සංගම් සූදානම් වනවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ වැඩි වූ දඩ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් කමිටුවක් ද පත් කළ බවයි.

එමෙන්ම, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ද සඳහන් කළේ තම සංගමය ද වැඩි වූ රථ වාහන දඩය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දෙන බවයි.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ද වැඩි වූ නව රථ වාහන දඩයට විරෝධය පළ කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විෂය භාර අමාත්‍යවරුන් මීට අදාළව තම සංගමය නොමඟ යැවූ බවයි.

රථ වාහන ධාවනයේදී රියදුරන් සිදුකරන වැරදි සදහා මෙතෙක් පැවති දඩුවම් ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ පාර්ලිමේන්තුවේදි අනුමැතිය හිමිවුණා.

මෙමගින් රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරි ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසු රිය ධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමගින් බීමත්ව රිය පදවා සිදුකරන අනතුරුවලින් සිදුවන මරණයකදී අය කරන දඩය රුපියල් ලක්ෂයේ (100,000) සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස (150,000) දක්වා අය කරන අතර, අවුරුදු දෙකකට නොඅඩු සිරදඩුවම් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

අධික වේගයෙන් රිය ධාවනය කිරීමට දඩුවම් ලෙස වේග කාණ්ඩ 4 ක් යටතේ දඩ නියම කර ඇත්තේ රුපියල් 3000 සිට රුපියල් 25,000 දක්වා පරාසයකයි ෴

+++++++++++++++++++++++++++++++++++

අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළට – අධි වේගයේ 100 පැන්නොත් දඩ ගෙවන්න වෙන්නේ මෙහෙමයි

(08.06.2019 – nethnews.lk)

අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 100 ක් වන අතර එම වේග සීමාව 20% කින් වැඩි වුවහොත් (100 – 120 kmph අතර) රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා දඩ මුදලක් නියම කර ඇති බවයි එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම වේග සීමාව 20%ත් 30%ත් අතරනම් (120 – 130 kmph) රුපියල් 5000 සිට 10000 දක්වා දඩ මුදලක් නියම කර ඇති අතර වේග සීමාව 30% ත් 50% අතර නම් (130 – 150 kmph) රුපියල් 10000 සිට රුපියල් 15000 දක්වා දඩ මුදලක් නියම කර තිබෙනවා.

එසේම වේග සීමාව 150% ඉක්ව වූ අවස්ථාවන්හීදී (150 kmph) ඉක්ම වූ අවස්ථාවන්හිදී දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ නංවා තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

  • වේග සීමාව 100 – 120 අතර නම් දඩය රු. 3000 – රු. 5000
  • වේග සීමාව 120 – 130 අතර නම් දඩය රු. 5000 – රු. 10000
  • වේග සීමාව 130 – 150 අතර නම් දඩය රු. 10000 – රු. 15000
  • වේග සීමාව 150 ඉක්ම වූ විට දඩය රු. 25000

***************************************

ඒ 9 මාර්ගයේ රිය අනතුරකින් තුන්දෙනෙක් මරුට – ප්‍රදේශවාසීන් විරෝධතාවක

(08.06.2019 – 09:39 +0530 – hirunews.lk/sinhala)

ඒ 9 මාර්ගයේ – කැකිරාව – කොරොසගල්ල – තිබ්බටුවැව ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් ළමයින් තුන් දෙනෙකු මිය යාමත් සමඟ එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවුණා.

ඇහැලියගොඩ සිට අනුරාධපුරය දක්වා ලී කඳන් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක්, උපකාරක පන්ති සඳහා සහභාගිවීමට බලාපොරොත්තුවෙන් මාර්ගය අයිනේ සිටි සිසුන් සිව් දෙනෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් අවුරුදු 14, 15, 16, යන වයස්වල පසුවන කොරොසගල්ල ප්‍රදේශයේ පදිංචි සිසුන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි අනෙක් සිසුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ පාදයකට දැඩි හානි සිදු වී ඇති බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ.

සිද්ධියෙන් පසු පළා යමින් සිටි අදාළ කැබ්රථයේ රියදුරු අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 25 දුරින් ඉපලෝගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණා.

ඔහු මෙන්ම කැබ් රථයේ සිටි තවත් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.

54 හැවිරිදි කැබ් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් එම ස්ථානයේ ටයර් පුළුස්සමින් විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග ඇති වු උණුසුම් තත්ත්වය හේතුවෙන් ඒ 9 මාර්ගය – කොරොසගල්ල මංසන්ධියෙන් තාවකාලික වසා දැමීමට සිදු වුණා.

පසුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිසිය දුන් පොරොන්දුවත් සමග ප්‍රදේශවාසීන් විරෝධතාවය අවසන් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Yprlg3U_RYE#t=5
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *