පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය උපවාසය අත්හරියි

(03.06.2019 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟ සිය උපවාසය අවසන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඒ, උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන්. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රතන හිමියන් රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමඟ උපවාසයේ යෙදුණු, හින්දු සහ කතෝලික ආගමික පූජකවරුන් ද ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත යොමු කරනු ලැබුවා.

රතන හිමියන් උපවාසයේ නිරතව සිටියදී අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවා.

මේ අතර, භික්ෂූන් වහන්සේ අන්‍යාගමික පූජකවරුන්, මහජන නියෝජිතයින් ඇතුළු තවත් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ අද පෙරවරුවේ උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කළේ පසුගිය සිකුරාදා උදෑසන සිටයි.

මේ අතර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසදුම් ලබාදෙන ලෙස මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පෙරවරුවේ ලිපියක් යොමු කර තිබුණා.

එමෙන්ම, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකළ උපවාසයට සහය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක වෙළදසැල් වසා දමා, කළු කොඩි ඔසවා විරෝධතා පළ කෙරුණා.

මහනුවර, අනුරාධපුර, බදුල්ල, තංගල්ල, ඇඹිලිපිටිය, කළුතර, අලුත්ගම, හැටන් සහ දිවයිනේ තවත් බොහෝ ප්‍රදේශවල මෙලෙස වෙළදසැල් වසා දමමින් විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, මාතලේ, පොළොන්නරුව, මහියංගනය, මොරටුව, පානදුර, මාතර සහ තවත් ප්‍රධාන නගර මූලික කර ගනිමින් විරෝධතා පා ගමන්, උද්ඝෝෂණ සහ නිහඬ විරෝධතා ද පැවැත්වුණා.

මීට අමතරව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ද විරෝධතාවක් පැවති අතර, ඊට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියා.

එම විරෝධතාව හේතුවෙන් කොළඹ, ඕල්කට් මාවතේ රථ වාහන තදබදයක් ද හට ගත්තා.

එමෙන්ම, කළුතර සහ මීගමුව නගරවල ද අද බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කෙරුණේ උපවාසයේ නිරත වී සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින්.

එමෙන්ම, ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමත් සමඟ ඇඹිලිපිටිය, පූන්ඩළුඔය සහ අලුත්ගම ඇතුළු නගර කිහිපයක රතිඤ්ඤා දල්වා සතුට සැමරූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

https://www.youtube.com/watch?v=J4o3eYy4_8g#t=5

+++++++++++++++++++++

රතන හිමි උපවාසය අත්හරී – ප්‍රතිකාර සඳහා රෝහලට

(03.06.2019 – 14:53 +0530 – sinhala.adaderana.lk)

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර උපවාසය අත් හරිනු ලැබීය.

ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි.

අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව මහනුවර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මෛත්‍රී ගුණරත්න මහතා විසින් ප්‍රකාශ කළ නිවේදනය සත්‍ය බව තමා විශ්වාස කරන බව ද පැවසීය.

ජනතාව ඉදිරියේ පැවසු බැවින් එය විශ්වාස කළ හැකි බව ද කියා සිටි රතන හිමියන් රිෂාඩ් බුදියුර්දීන් ධූරයෙන් ඉවත් කිරීම ජනපතිට කළ නොහැකි අතර, ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

එසේ නොවුන හොත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට කටයුතු සුදානම් කර ඇති බව ද උන්වහන්සේ මෙහිදී වැඩදුරටත් කියා සිටියේය.

දරුවන් වද කිරීම සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථානපනය කිරීමට හැකියාවක් ඇති බවත්, අධ්‍යාත්මික අධිෂ්ඨානයක් ඇති තනි පුද්ගලයෙකුට සමාජයක් වෙනස් කළ හැකි බවත් පැවසු උන්වහන්සේ තමා ඒ ආදර්ශය ලබා දුන් බවට විශ්වාස කරන බවද පැවසීය.

+++++++++++++++++++++

ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ සිට උපවාසයක නිරත වෙමින් සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් කරන ඉල්ලීම්වලට වහා විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලමින් මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහ නා හිමිවරුන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යොමුකල ඒකාබද්ධ ලිපිය : (lankadeepa.lk)

+++++++++++++++++++++

03.06.2019

+++++++++++++++++++++

02.06.2019

+++++++++++++++++++++

රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

(04.06.2019 – 07:14 +0530 – hirunews.lk/sinhala)

දින 4 ක අඛණ්ඩ උපවාසය අවසන් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා.

ඔහු සදහන් කළේ උන්වහන්සේට ආහාර ලබාදීම අද සිට ආරම්භ කරන බවයි.

මේ අතර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් උපවාසය අවසන් කළ ද සැලසුම් කළ පරිදි අද දිනයේ ව්‍යාපාරික කටයුතුවලින් වැලකී සිටින බව කොළඹ – මැනිං වෙළද සංගමය පවසනවා.

මීට පෙර ඔවුන් උන්වහන්සේගේ උපවාසයට සහය පළ කරමින් අද දින ව්‍යාපාරික කටයුතුවලින් වැළකී සිටීමටයි තීරණය කරනු ලැබුවේ ෴

+++++++++++++++++++++

04.06.2019

+++++++++++++++++++++

රතන හිමියන් බලෙන් ටිකට් කපාගෙන මහනුවර රෝහලෙන් පිටව යයි..

(05.06.2019 – 13:24 +0530 – lankacnews.com)

දළදා මාලිගාවේ මහ මළුවේ පවත්වන ලද මාරාන්තික උපවාසය අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් භික්‍ෂු වාට්ටුවකට මාරු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

එහිදී තම කැමැත්තෙන්ම රතන හිමියන් රෝහලෙන් පිටත්ව ගිය බව රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරයි.

රෝහලෙන් බැහැර වෙද්දී රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය සාමාන්‍ය තත්වයට හැරී තිබූ බවද ඔහු කියා සිටියේය ෴

+++++++++++++++++++++

රතන හිමිගේ උපවාසයට මල්වතු-අස්ගිරි පාර්ශවවල දැඩි විරෝධය…

(05.06.2019 – 10:00 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාවේ මහ මළුවේ මාරාන්තික උපවාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි දැඩි විරෝධය එල්ල වී තිබේ.

තමන් වහන්සේ උපවාසයක් කරන්නේ යැයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රතන හිමියන් පවසා ඇතත් එසේ කරන්නේ කුමන ස්ථානයකදැයි පැහැදිලි නොකර දළදා මාලිගාවේ මහ මළුවේ රතන හිමියන්ගේ උපවාසය ආරම්භ කර ඇති බව එම නිකායන් හිමිවරුන් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අද දිනයේ රැස්වීම් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එමහිමිවරුරන් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද යම් ප්‍රමාණයක දැනුවත් කිරීමක් දැනටමත් සිදු කර තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ සිදු කරන ලද උපවාසය හේතුවෙන් එම පූජනීය ස්ථානයේ අනවශ්‍ය කෑකෝ ගැසීම්, හූ කීම්, වෛර වෛරීසහගත ප්‍රකාශ මෙන්ම ස්ථානය දැඩිලෙස අපිරිසුදු වීමක් සිදුව ඇතැයි ද දළදා මාලිගාවේ භාරකරුවන් වන අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ට මාලිගාවේ තේවා කටයුතු කරන්නන් විසින් පෙන්වා දී තිබේ.

මීට පෙර කිසිදු අවස්ථාවක දළදා මාලිගාව මේ ආකාරයේ අවභාවිතාව නැති බවද ඔවුන් මහනාහිමිවරුන්ට පෙන්වා දී ඇත.

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වන් දළදා මාලිගාව හඑ මළුවේ සිට වෛරීසහගත ප්‍රකාශ සිදු කිරීම, සියදිවි නසාගැනීමට උත්සාහ දැරීම ආදී කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එය බුද්ධ දර්ශනයේ මුලික හරයන්ට අනුකූල නොවන බවත් රතන හිමියන්ගේ උපවාසය සහමුලින්ම දේශපාලනික උවමනාවත් වෙනුවෙන් කරන ලද කටයුත්තක් යයිද නිකායන්හි ප්‍රධාන හිමි වරුන්ගේ මතය වී ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් වෙයි

(03.06.2019 – 17:55 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුර්දීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නව දෙකෙක් ඊට ඇතුළත්ය.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන් පසුගියදි ආණ්ඩුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී අද (03) පෙරවරුවේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වුණි.

අනතුරුව ඔවුන් එහිදී ගනු ලැබූ තීරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කරනු ලැබුවේය.

ඉන් පසු ඒ පිළිබවද ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමැතිවරුන් මාධ්‍ය වෙත සිය තීරණය පිළිබඳව කරුණුපැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසා සිටියේ ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර හෙබවූ කැබිනට් අමාත්‍ය වරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරු සහ රාජ්‍ය අමාත්‍ය ධුර හෙබවූ ෆයිසාල් කාසීම්, එච්.එම්.එම්.හාරීස්, අමීර් අලි සහ අලි සහීර් මවුලානා යන මහත්වරු මෙලෙස සිය ධුරවලින් ඉවත් වුණි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතාද අද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

මුස්ලිම් ඇමතිලා සිංහල-මුස්ලිම් ජාතින් දෙකම එකවර රවටලා… මාසයක නිවාඩුවක් අරන් පමණයි..

(04.06.2019 – 09:20 +0530 – lankacnews.com)

ඊයේ (03) දිනයේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිලා සිදු කර ඇත්තේ මාසයක නිවාඩුවක් ලබා ගැනීම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

ඔවුන් මුස්ලිම් ජාතියත් සිංහල ජාතියක් දෙකම එකවර රැවටීමකට ලක් කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘360’ වැඩසටහන හා එක්ව අදහස් පල කරමිනි.

( මිනිත්තු 97 )

+++++++++++++++++++++

රනිල්ගේ ලොන්ඩරිය බදියුදීන් වෙනුවෙන් වැඩ..

(04.06.2019 – 08:40 +0530 – lankacnews.com)

කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.

වර්තමාන ආණ්ඩුව තමන්ගෙ වැඩ බැරි කම හින්දා එක පැත්තකින් මේ රට අද අඳුරෙන් අඳුරට ගෙනියනවා. ඒ වගේම ජීවිත 253ක් පුජා කරලත් තාමත් ඉස්ලාම් අන්තවාදීන් රැකගැනීමේ, පෝෂණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ආණ්ඩුව තාම අතහැරලා නෑ. මේ රට සුරක්ෂිත කරන්න බැරි නම්, මේ රටේ ජනතාවට ආරක්ෂාව සලසන්න බැරි නම්, වහාම අස්වෙලා පුළුවන් කෙනෙකුට භාර දීලා ගෙදර යන්න කියන එකයි අද ජනතාව පාරට බැහැලා ඉල්ලා සිටින්නේ.

අද රතන හාමුදුරුවන්ට පිංසිද්ද වෙන්න අසාද් සාලි හිස්බුල්ලා කියන ආණ්ඩුකාරවරු දෙන්නව ඉවත් කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි රිෂාද් බදුර්ඩීන් තාම ඉන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උත්සාහ කරන්නේ තේරීම් කාරක සභාව කියන ලොන්ඩරිය අස්සට දාලා රිෂාඩ්ගේ ඇඟේ තියෙන ලේ පැල්ලම් හෝදලා රිෂාඩ්ට ඡන්දෙ දෙන්න පුළුවන් වෙන වාතාවරණයක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ට හදලා දෙන්න.

අපි අගමැතිතුමාට කියනවා අපරාධයක් පිළිබඳ පරීක්ෂණ කරන්න පුළුවන් පොලිසියට විතරයි තේරීම් කාරක සභාවට නෙවෙයි. අපරාධ චෝදනා ගොනු කරන්න පුළුවන් නීතිපතිට මිසක් තේරීම් කාරක සභාවට නෙවෙයි. රිෂාඩ් වැරදිකරුද නිවැරදිකරුද කියන තීරණය දෙන්න පුළුවන් අධිකරණයට මිසක් තේරීම් කාරක සභාවට නෙවෙයි. ඒ නිසා බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්නේ නැතුව පොලිසියට නීතිපතිට අධිකරණයට තමන්ගේ කටයුතු කරගන්න ඉඩ දීලා ඒකට අවශ්‍ය වාතාවරණය සලස්වන්න රිෂාඩ්ට වහාම ඉල්ලා අස්වෙන්න කියන්න. එහෙම අස් නොකලොත් තේරීම් කාරක සභාව හරහා ඔහුව සුද්ද කරන්න හැදුවොත් රත්වෙලා ඉන්න මේ රටේ ජනතාව පාරට බැහැලා රිෂාඩිට විතරක් නෙවෙයි මුළු ඇමති මණ්ඩලයම ගෙදර යවන්න සූදානම් කියන පණිවිඩය අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයත් සමඟ පුද්ගලයින් 2289 දෙනෙකු අත්අඩංගුවට

(03.06.2019 – 16:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 2289 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ත්‍රස්තවාදී ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම් ආදී චෝදනා ඔවුන්ට එල්ල වී ඇති බවයි.

ඒ අනුව පුද්ගලයින් 423 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, තවත් පුද්ගලයින් 211 දෙනෙකු පොලීසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

මීට අමතරව තවත් පුද්ගලයින් 1655 දෙනෙකු දැනට ඇප මත මුදා හැර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *