කිසිදු විදෙස් හමුදාවකට ශ්‍රී ලංකාව තුළට පැමිණීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති සිරිසේන

(01.06.2019 – 16:30 +0530 – sinhala.adaderana.lk)

තමන් බලයේ සිටින තාක් කිසිදු විදේශීය හමුදාවකට ශ්‍රී ලංකාව තුළට පැමිණීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය ෴

+++++++++++++++++++++

***************************************

රතන හිමිට සහය පල කරමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්දිරන් උපවාසයක් අරඹයි

(01.06.2019 – 11:56 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ හිමියන්ට සහාය පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා විසින් උපවාසයක් ආරම්භ කර ඇත.

මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසළ අද (31) පෙරවරුවේ මෙම උපවාසය ආරම්භ කර ඇත.

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4 ක් මුල්කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ හිමියන් ඊයේ (31) උපවාසයක් ආරම්භ කලේය.

ශ්‍රී දළඳා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය අද (01) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.

+++++++++++++++++++++

රතන හිමිගේ උපවාසයට පාර්ශව රැසකගේ සහය – මන්ත්‍රී වියාලේන්ද්‍රනුත් මඩකලපුවේ උපවාසයක් අරඹයි

(01.06.2019 – 11:04 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට මේ වනවිට පාර්ශව රැසක් සහය පළ කර තිබෙනවා.

ඒ අනුව එම උපවාසයට සහය පළ කරමින් දෙමළ ජාතික සන්ධානයෙන් පත්ව, ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් අද පෙරවරුවේ තවත් උපවාසයක් ආරම්භ කළා.

හිරු වාර්තාකරු කියා සිටියේ මඩකලපුව – ගාන්ධි උද්‍යානය ඉදිරිපිට අට්ටාලයක් මත ඔහු මෙලෙස උපවාසයේ නිරත වන බවයි.

අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ අසාද් සාලි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 4 ක් මුල් කර ගනිමිනුයි ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී රතන හිමියන් උපවාසය ආරම්භ කරනු ලැබුවේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් ඊයේ පස්වරුවේ කතෝලික සභාවේ නියෝජිතයෙකු වන රාගම පදිංචි මැන්ෆ‍්‍රඩ් ඇන්තනී නමැත්තෙකු ද එක්වුණා.

රතන හිමියන් උපවාසය කරන ස්ථානයට ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැමිණි අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රතන හිමියන් නොසලකා හැරිය යුතු හිමිනමක් නොවන බවයි.

මඩකලපුවේ උපවාසය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

‘‘අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, වහාම එම ධුරවලින් ඉවත් කළ යුතුයි. අමාත්‍ය බදියුදීන් සම්බන්ධයෙන් චෝදනා රැසක් තිබෙනවා.අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඔහු ඉවත් කිරීමට කටයුතු කරන්න ඕන. එමෙන්ම මෙම තුන්දෙනාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද සිදුකළ යුතුයි.’’

මේ අතර, අද දිනයේදී රතන හිමියන්ගේ අඛණ්ඩ උපවාසයට සහය පළ කරමින් ගුරු සංගම්, උපාධිධාරී සංගම් සහ විශාල පිරිසක්ද පැමිණ සිටින බවයි ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිිට සිටින හිරු මහනුවර වාර්තාකරු කමල් සුරවීර කියා සිටියේ.

+++++++++++++++++++++

රතන හිමියන්ට පාර්ශය රැසකගෙන් සහය

(01.06.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය අබියස ආරම්භ කළ උපවාසයේ දෙවැනි දිනය අදයි (01).

එම උපවාසයට සහාය පළකරමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාලේන්ද්‍රන් මහතා ද මඩකලපුවේදි අද උපවාසයක් ආරම්භ කළේය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කළේ, ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් නිරාහාරව අඛණ්ඩ උපවාසයේ නිරතවන බවයි.

රතන හිමියන්ට සහාය පළ කරමින් උපවාසයට එක් වු මැන්ෆර්ඩ් ඇන්තනී මහතා ද අදත් උපවාසයේ නිතර විය.

අප වාර්තාකරු පැවසුවේ, අද පෙරවරුවේ දළදා මාලිගය අසලට පැමිණි සමස්ත ලංකා උපාධිධාරි ගුරු සංගමයේ සාමාජිකයින්ද රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් ඊට එක් වූ බවයි.

උපවාසයේ නිරත රතන හිමියන් බැහැදැකීම සඳහා අද දිනයේදී විශාල පිරිසක් එම ස්ථානයට පැමිණියේය.

ඊයේ (31) දින සිට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ද උපවාසයේ යෙදෙන රතන හිමියන් බැහැ දැකීම සදහා පැමිණියේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.විලයාලේන්ද්‍රන් මහතා පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් මඩකලපුවේදි උපවාසයක් ආරම්භ කළේය.

ඒ ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදීයි.

මෙම උපවාසයට සහාය දක්විමින් අද පස්වරුවේ අම්පාර මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් ඇතුලු ස්වාමින්වහන්සේලා පිරිසක් ද එක් විය.

මේ අතර රතන හිමියන්ගේ උපවාසය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මහාසංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ මැතිඇමතිවරු අදහස් පළ කළේය.

+++++++++++++++++++++

රතන හිමියන් සහ මන්ත්‍රී වියාලේන්ද්‍රන් තවමත් උපවාසයේ

(01.05.2019 – 19:19 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 4 ක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය දෙවන දිනට මේ වනවිටත් ක්‍රියාත්මකයි.

මේ වනවිට එම උපවාසය සදඟා පාර්ශව රැසක් සහය පළ කර තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙන්ම, අද දහවල් ද එම ස්ථානයට පැමිණ රතන හිමියන්ගේ සුවදුක් විමසූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

පූජ්‍ය රතන හිමියන්ගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලූම් අමුණුගම, චන්දිම වීරක්කොඩි, මෙන්ම, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල යන මහත්වරුද අද උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණ සිටියා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ පෙරවරුවේ දළදා මාලිගාවේ මහමළුවේ ආරම්භ කළ මෙම උපවාසයට ඊයේ සවස් වනවිට කතෝලික සභාවේ නියෝජිතයෙකු වන රාගම පදිංචි මැන්ෆ‍්‍රඩ් ඇන්තනී නමැත්තා ද එක්වුණා.

එසේම, රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කිරීමට අද දිනයේදී ගුරු සංගම් සහ උපාධිධාරි සංගම් නියෝජිතයින් ද එක්වූ අතර, මහාචාර්ය චන්න ජයසුමන මහතා ද උන්වහන්සේගේ සුවදුක් විමසීමට එක්වුණා.

මහා සංඝරත්නය මෙන්ම ජනතාව ද අද පෙරවරුවේ සිට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කිරීම සදහා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින් අද තවත් උපවාසයක් ආරම්භ කළා.

ඒ මඩකලපුව – ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදීයි.

මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සදහා ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ පිරිසක් ද, අද උපවාසය පැවති ස්ථානයට පැමිණ එම අට්ටාලය මත අසුන්ගෙන සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, පානදුර නගරයේ පිරිසක් ද පානදුර පොලීසිය ඉදිරිපිටදී අද පස්වරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින්.

+++++++++++++++++++++++++++++++++++

ඥානසාර හිමියෝ රතනහිමි බැහැදැකිමට යති

(02.06.2019 – 12:16 +0530 – lankadeepa.lk)

ඇමති රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් කොළඹ දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් බැහැදැකීමට බොදුබල සේනා සංවිධානයයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (02) පැමිණියහ.

අතුරලියේ රතන හිමියෝ ඉකුත් සිකුරාදා මෙම උපවාසය ආරම්භ කළ අතර අද (02) වන විට තුන්වන දිනටත් උන්වහන්සේ මෙම උපවාසයේ නිරතව සිටිති.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=jc1uIAnJlHg#t=5

***************************************

ස්වර්ණාභරන තොගයක් සමග ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ නිරත කාන්තාවක් අත්අඩංගුවට

(01.06.2019 – 16:33 +0530 – hirunews.lk/sinhala)

ස්වරණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ගුවන් තොටුපොලෙන් පිට කිරීමට උත්සහ කළ කාන්තාවක් ගුවන් තොටුපොල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළේම පිරිසිදු කිරීමේ නිරත කාන්තාවක් බවයි අප වාර්තාකරු කියා සිටියේ.

සංක්‍රමණික මඟී පර්යන්තයේ සිටි මඟියෙකු ස්වර්ණාභරණ තොගය මෙම සේවිකාවට ලබා දී ඇති අතර ඇය එම ස්වර්ණාභරණ තොගය පිරිසිදු කිරීමේ ට්‍රොලියේ සඟවා ගුවන් තොටුපොලෙන් පිටතට රැගෙන යමින් සිටි අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සේවිකාව සතුව තිබු බෑගය තුළ කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 187 ක් බර මාල, වළලු, මුදු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් හමුවී තිබෙනවා.

මෙම ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් එක් කෝටි පහලොස් දහසක් පමණ වන බව සඳහන්.

මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොල රේගුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

***************************************

ආහාරවල සීනි, ලුණු සහ මේද පෙන්වන වර්ණ ක්‍රමය අද (01) සිට

(01.06.2019 – 12:57 +0530 – sinhala.adaderana.lk)

ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය අද (01) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ආහාර පනතට අනුව ඊට අදාළ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අප්‍රේල් මස 17 වනදා නිකුත් කර තිබුණි.

ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය පාදක කරගෙන මෙරට තුළ දැනට වර්ධනය වෙමින් පවතින බෝ නොවන රෝග වලින් පෙළෙන ජනතාවට ආහාර තෝරාගැනීමේදි මඟපෙන්වීම මෙහි මුළික අරමුණ වී ඇත.

ඒ අනුව අද සිට නිෂ්පාදනය කරනු ලබන ඝණ සහ අර්ධ ඝණ ආහාරවල වර්ණ සංකේතවත් කිරීම නිසි අකාරයෙන් සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ආහාර නිෂ්පාදකයන්ට විවිධ ආහාර වර්ගවල අඩංගු සංඝටක ප්‍රමාණය රසයනාගාර පරීක්ෂාවක් මඟින් තහවුරු කර ගත යුතු අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඒ සඳහා මාස තුනක සහන කාලයක් ලබා දී ඇති අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත.

එමෙන්ම අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් දැනුම්වත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය ෴

***************************************

ළඟම මැතිවරණය පළාත් සභා මැතිවරණය – මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

(01.06.2019 – 14:00 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය හෝ ප්‍රථමයෙන් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මැතිවරණ කොමිසන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියි.

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි ළඟම මැතිවරණය විය හැක්කේ පළාත් සභා ඡන්ද විමසීම බව එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණය ජනාධිපතිවරයාගේ පස් අවුරුදු නිල කාලය අවසන් වීමට නියමිත දිනයෙන් මාසයකට ප්‍රථම එනම් නොවැම්බර් 9 හා දෙසැම්බර් 9 ත් අතර කාලයේ පැවැත්විය යුතු බවත් ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්විය හැකි ඈතම දිනය වන්නේ දෙසැම්බර් 7 බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආසන්නතම දිනය විය හැක්කේ නොවැම්බර් 15 බවත් ඒ අනුව මේ කාල පරාසය තුළ ජනාධිපතිවරයා විසින් ඡන්ද විමසීමක් කැදවන්නේ නැතිනම් තෝරාගන්නා දිනයක ඡන්ද විමසීමක් කැදවීමට මැතිවරණ කොමිසමට හැකි බවත් ඔහු සඳහන් කරයි.

එසේම පළාත් සභා ඡන්ද විමසීක් ඕනෑම මොහොතක පැවැත්වීමට සූදානම් බවත් නමුත් ඒ සඳහා වලංගු නීතිය අවශ්‍ය වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය ෴

***************************************

අපේ න්‍යාය පත්‍රයට ගැළපෙන ඕනෙ කෙනෙක් අපි එකතු කරගන්නවා – ප්‍රසන්න රණතුංග

(01.06.2019 – 15:07 +0530 – sinhala.adaderana.lk)

පොදු අරමුණක් යටතේ කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනතාව පිළිගත් කෙනෙක් විය යුතු අතර එනිසා පොදුජන පෙරමුණ වටා ජනතාව පෙළ ගැසෙන්නේ එම පක්ෂයේ නායකයෙක් බලයට පත් කිරීම වන බැවින් ඒ සඳහා තමන් සහාය පල කරන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

තම පක්ෂයේ න්‍යායපත්‍රය අනුව කටයුතු කරන ඕනෑම අයෙක් තම පක්ෂයට එක් කර ගැනීමට කැමති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

කිසිවෙකුගේ අයිතිවාසිකම් දිනාගැනීමට නොව රට වෙනුවෙන් එක් ජාතියක් වෙනුවෙන්, එක රටක්, එක නීතියක් යන කරුණු ත්‍රිත්වය වෙනුවෙන් එක්වන ඕනෑම කෙනෙකුට ඒ සඳහා අවස්ථාව ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

***************************************

තේරීම් කාරක සභාවේ තේරුම මොකක්ද ?

(01.06.2019 – 11:41 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති තේරීම් කාරක සභාවේ සිටින ඇතැම් සාමාජිකයින් පිළිබදව ගැටලු පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසා සිටියි.

රත්නපුරදී ඊයේ (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ විවිධ චෝදනා එල්ල වී ඇති එවැනි සාමාජිකයින් පත් කිරීමෙන් පරීක්ෂණවලට බාධා එල්ලවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය :

‘‘රවී කරුණානායක මහතා අධිකරණය නොමඟ යැවීමට බොරු සාක්ෂ දුන් බවට ඔහුට එරෙහි චෝදනා තියෙනවා.

ඒ වගේම ඔහු මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳ කොමිසම ඉදිරියේ අනාවරණය වු චූදිතයෙක්.

කමිටුව නියෝජනය කරනවා ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස.

ජනතා විමුක්ති පෙරමුණ 2015 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කළ ඊබ්‍රාහිම් නැමැති ධන කුවේර ව්‍යාපාරිකයා අප්‍රේල් 21 ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වු පවුලක සාමාජිකයෙක්.

එවන් සාමාජිකයින්ගෙන් යුත් කාරක සභාවකට පුළුවන්ද රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ඉන්න බුද්ධි අංශ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන්, ප්‍රධානීන් ගෙන්වලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න? කටඋත්තර ගන්න? එහෙමනම් මේ තේරීම් කාරක සභාවේ තේරුම කුමක්ද?

මේ චුදිතයින් බවට පත්වුවන් ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානින් ගෙන්වා ප්‍රශ්න අහනවා.

ඒ වෙලාවේ අහන ප්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරු නොදී බැරිකමට ආරක්ෂක අංශ භාවිත කරන සංඥා වචනයක් කියන්න වුණා.

ඒත් සමඟ මේ රටේ බුද්ධි අංශ පිළිබඳව විශාල හෙළිදරව්වක් කෙරෙනවා.

වෛද්‍ය ෂාෆිට එරෙහිව මේ වන විට පැමිණිලි විශාල ප්‍රමාණයක් මව්වරුන්ගෙන් ලැබිලා තියෙනවා.

මේ පිළිබඳ සොයා බලනකොට ඇමති රාජිත සේනාරත්න පරීක්ෂණවලට බාධා වන ආකාරයෙන් කටයුතු කරන බවට වෛද්‍ය නිලධාරී සංගමයෙන් චෝදනා ලැබෙනවා.

එනිසා අපි ආගමික උන්මත්තකවාදී පීතෘවරුන් ලෙස කටයුතු කරන රාජිත සේනාරත්න ඇතුළු වත්මන් පාලක කණ්ඩායමට කියනවා ජාතියට කරන මේ මහා අපරාධය නතර කිරීමට කටයුතු කරනවා වගේම ජාතියෙන් මෙය වසන් කිරීමට කටයුතු නොකරන්න.

එවගේම අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාලන කණ්ඩායමේ පාලන කාලය තුළ ජාතියට සිදුවු හානියට ජාතියෙන් සමාව ගත යුතුයි’’.

+++++++++++++++++++++

+++++++++++++++++++++

බුද්ධි අංශ නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීම රටට හානි කරයි

(01.06.2019 – 10:50 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර ඇත්තේ පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධවී ඇද්ද යන්න පිලිබඳ සොයා බලා තොරතුරු වාර්තා කිරිම සදහා පමණක් බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති H.M.G.B කොටකදෙනිය මහතා පවසයි.

ඔහු පවසන්නේ කාරක සභාවට බුද්ධි අංශ නිළධාරින් ගෙන්වා ප්‍රශ්න කිරිම සුදුසු තත්ත්වයක් නොවන බවයි.

එලෙස බුද්ධි අංශ නිලධාරින් සම්බන්දයෙන් තොරතුරු හෙළි වීම රටට හානී කර තත්ත්වයක් ඇති විය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදිමෙන් වැලකී සිටිමට බුද්ධි අංශ නිළධාරින්ට හැකියාව පවතින බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කොටකදෙනිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *