මේ රටේ තියෙන්නේ එක නීතියයි අරාබි නීති, ශරියා නීති මෙහෙ බෑ – අමාත්‍ය වජිර අබේවර්ධන

(29.05.2019 – mawbima.lk)

“මේ රටේ තියෙන්නේ එක් නීතියයි. අරාබි භාෂාව, අරාබි නීති, ශරියා නීති මෙහේ බෑ. අරාබි අකුරු ගහපු පුවරු සියල්ලම ගලවා දමන්න රාජ්‍ය නිලධාරීන් වහාම කටයුතු කරන්න” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් සිදුකරන ලද දේශනයකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය :

“නැඟෙනහිර පළාතේ ඇතැම් තැන්වල අරාබි අකුරු සඳහන් පුවරු තිබෙනවා කියා පැමිණිලි ලැබී තිබෙනවා. ඒ නිසා අගමැතිතුමාගේත්, ජනාධිපතිතුමාගේත් උපදෙස් මත අපි චක්‍රලේඛයක් නිකුත් කරනවා සියලුම ප්‍රධාන ලේකම්වරුන්ට, දිසාපතිවරුන්ට, ප්‍රදේශීය ලේකම්වරුන්ට සහ පළාත් පාලන ආයතනවලට අරාබි අකුරු සඳහන් සියලු පුවරු රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා ගලවා දමන්න කියා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාවිත කරන්න පුළුවන් භාෂා තුනයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පමණයි. අරාබි භාෂාවෙන් පුවරු සවිකර තිබෙනවා නම් ඒවා ගලවා දැමිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුයි.

ඒ විතරක් නෙවෙයි මේ රටේ නීති දෙකක් තිබෙන්න බෑ. අපේ රටේ තියෙන්නේ එක නීතියයි. මොන ආගමිකයාට වුණත් ඒ නීතිය පමණයි. ශරියා නීතිය මෙහේ බෑ. ගල් ගහලා මරන ඒවා, බෙල්ල කපා මරන ඒවා මෙහේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් තිබුණා. 2010 සිට 2015 දක්වා මේ රටේ පාර්ලිමේන්තුවේ හදිසි පනත් කිහිපයක් සම්මත කරගෙන. මේ පනත් ඇතුලේ ශරියා නීතිය තිබෙනවා. ඇතැම් ගැසට් පවා නිකුත් කරලා තිබෙනවා. අපි දැන් රජයක් ලෙස මේ ගැසට් සියල්ල අවලංගු කරනවා. ඒ වැරදි විධියට සම්මත කරපු පනත් සියල්ල සංශෝධනය කරනවා. මේවා රජය කඩිනමින් කරන්න අවශ්‍ය පියවර ගන්නවා.”

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ කඩිමුඩියේ සම්මත කළ ඇතැම් පනත් අනුව යමින් රාජ්‍ය නොවන සංවිධාන ද ලියාපදිංචි කර තිබෙන බවයි. මේ සියල්ල ගැන නැවත සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත කටයුතු කරමින් තිබෙන බවත් නීතිය ආගම අනුව වෙනස් වන දෙයක් නොවන බවත් ආගම අනුව වෙනස් වන්නේ සංස්කෘතිය පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

බෝම්බ පුපුරන තුරු රනිල් බලාගෙන හිටියෙ ඇමෙරිකන් හමුදාව ලංකාවට ගේන්න

(29.05.2019 – mawbima.lk)

මුස්ලිම් සහ සිංහල ජාතීන් අතර භේද ඇතිකරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට එජාපය ගෙන යන උපක්‍රම නවතා දැමීමට සහ මැතිවරණ ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් සටනක් ආරම්භ කර නැතැයිද එම පෙරමුණ රටේ ජාතික කොඩිය සහ සුබසාධන කොඩිය අතට ගෙන එජාප ආණ්ඩුවට එරෙහි විය යුතු කාලය එළඹ ඇතැයිද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

රටෙහි ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් ඇති ගිවිසුමක් වන සෝෆා ගිවිසුමට ශ්‍රී ලංකාව අස්සන් තැබුවහොත් රටේ ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම නැති වී යන බව රටෙහි විද්වතුන් පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයිද පැවැසූ වාසුදේව නානායක්කාර මහතා ස්ත්‍රියක් දරුවන් නැති කෙනකු බවට පත්කිරීම සඳහා පැලෝපීය නාළ අවහිර කිරීම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකුට ඉතා සුළු කාරණයක් බව තමාට වෛද්‍ය වෘත්තියේ නියැළෙන මහාචාර්යවරුන් පැවැසූ බවද හෙළි කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (27දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හෙතෙම මෙසේද කීය :

මේ රටේ අද අසමත් වෙලා තියෙන්නේ එජාප ආණ්ඩුවයි. ඒකට පාර්ලිමේන්තුවේ ඉන්න සේරම මන්ත්‍රිවරුන් පළි නැහැ. නමුත් එජාපය හදනවා මතයක් ගොඩනැඟීමට පාර්ලිමේන්තුව එපා. මන්ත්‍රිවරු 225 එපා. දේශපාලනය එපා කියලා. ඡන්ද නැති තත්ත්වයකුයි එජාපයට අවශ්‍ය වෙලා තියෙන්නේ.

රොබට් බ්ලේක් කියන හිටපු ඇමෙරිකානු තානාපතිවරයා පසුගියදා ලංකාවට පැමිණියා. ඔහුගේ සත්කාරකයා වුණේ මිලින්ද මොරගොඩ මහතායි. බ්ලේක් මහත්තයා ගෝඨාභය රාජපක්ෂට ප්‍රශංසාවකුත් කරලා තිබුණා. ඔහු කියන්නේ ගෝඨාභය මහතා ඇතුළත් වූ එක දේශපාලන පෙරමුණක් ඇතිවිය යුතුයි කියලයි. ගෝඨාභය මහතා ජනාධිපති අපේක්‍ෂකයෙක් විධියට දැන් මතුවී ගෙන එනවා. නමුත් එජාපයට එහෙම කෙනෙක් නැහැ.

සියලු දෙනා එක්තැන් කළයුතු දේශපාලනයක් අවශ්‍යයි කියලයි මිලින්ද මොරගොඩ මහතා කියන්නේ.

ඇමෙරිකාවට අවශ්‍යයි ලංකාවේ ස්ථානගත වෙන්න.

මේ රටේ බෝම්බ පිපිරීමක් ඇතිවුණාට පස්සේ අගමැති කියනවා ආරක්ෂක මණ්ඩලයට ඔහුට ආරාධනා කළේ නැහැයි කියලා. නමුත් එතුමා ඒ බව රටට කිව්වේ නැහැ. අගමැතිතුමා මේ සිදුවීම පිළිබඳව දැනගෙන සිටියා. මේ සැලැස්මවල්වල තිබුණේ ඇමෙරිකානු හමුදාව මෙරටට ගෙන්වා ගැනීමයි.

සෞදි අරාබිය කියා තිබෙනවා. කොමියුනිස්ට්වාදය නතර කිරීමට වහාබ්වාදයත් ත්‍රස්තවාදයත් පතුරවන ලෙසට ඇමෙරිකාව උපදෙස් දුන් බව. ඇමෙරිකාවයි සෞදි අරාබියයි ළඟම මිත්‍රයන්. අද ඇමෙරිකාව, චීනය සහ ඉරානය සමඟ සටනකට පැටලිලායි ඉන්නේ. භෞතික පිහිටීම අනුව මේ වන විට ලංකාව අවශ්‍යයි ඇමෙරිකාවට. නමුත් ඇමෙරිකාව සූදානම් වූ දෙය ඇමෙරිකාවට කරගන්න බැරිවුණා.

ඉන්දියාවේ මෝදි දිනලා තිබෙනවා. පොදු ජනතාව බෙදලයි ඔහු දිනුවේ. හින්දු, මුස්ලිම් වශයෙන් බෙදුවා. මෝදි දක්ෂිණාංශ ප්‍රතිපත්තියක්. මේ රටේ ජනතාව ඒකරාශී විය යුත්තේ අධිරාජ්‍යවාදයට එරෙහිවයි ෴

+++++++++++++++++++++++++++++++++++

පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක අන්‍යාගමික දහම් පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකරලා

(29.05.2019 – mawbima.lk)

අනුරාධපුර – මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අසිරිග්ගම ගම්මානයේ පිහිටි පැරණි ගඩොල්කැට ඇතුළු පුරාවිද්‍යා නෂ්ටාවශේෂ සහිත භූමියක මද්‍රාසා පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකර ඇති අයුරු තන්ත්‍රිමලේ යුද හමුදාව සහ පරසන්ගස්වැව පොලිසිය ඒකාබද්ධව ඉකුත් 25 දා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අනාවරණය කරගෙන තිබේ.

මෙම අවස්ථාවේදී පොලිසිය විසින් අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයට මේ බව දැනුම්දීමෙන් පසු එම ස්ථානයට පැමිණි පුරාවිද්‍යා නිලධාරීහු මද්‍රාසා පාසල් ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ පුරාවිද්‍යා භූමියක් තුළ බවද තහවුරු කරන ලදී.

මේ පිළිබඳව අනුරාධපුර පුරාවිද්‍යා දිස්ත්‍රික් කාර්යාලයෙන් විමසීමේදී පුරාවිද්‍යා ගවේෂණ නිලධාරි ජයන්ත විජේවර්ධන මහතා මෙසේ පැවැසීය :

“2015 වර්ෂයේදී මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අසිරිග්ගම පිහිටි මෙම භූමි භාගයේ මද්‍රාසා පාසලක් පිහිටුවීමට බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දැනට ගොඩනැඟිල්ලක් ඉදිකර තිබෙනවා.

එම වර්ෂයේදීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිත ඉල්ලීමක් කළා, එකී පුරාවිද්‍යා නටබුන් සහිත ඉඩම මැනුම් කොට වෙන් කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස. මේ පිළිබඳව අධිකරණයටද වාර්තා කර තිබෙනවා.

අදාළ භූමිය මෙතෙක් මිනුම් කොට අපට භාරදී නැහැ. එය නීත්‍යනුකූලව භාරදුන් විගස – එකී භූමිය පුරාවිද්‍යා ස්මාරක සහිත ආරක්ෂිත ප්‍රදේශයක් හැටියට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නවා.”

මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය ෴

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුව මුල සිට අහන්න තීන්දු කරයි

(29.05.2019 – mawbima.lk)

අගෝස්තු මස 06 වැනිදා තීන්දුව දීමට නියමිතව තිබූ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව 2015 සිට විභාග වූ ‘විල්පත්තු වන විනාශයට’ අදාළ නඩු විභාගය සහමුලින්ම අත්හිටුවා එය ජූලි මස 31 වැනිදා සිට නව විනිසුරු මඬුල්ලක් හමුවේ යළි මුල සිටම විභාග කොට කඩිනමින් තීන්දුව ලබාදෙන ලෙසට අභියාචනාධිකරණයේ නව සභාපති විනිශ්චයකාර යසන්ත කෝදාගොඩ මහතා නියෝග කොට ඇත.

ඒ අනුව එකී ‘රීට්’ පෙත්සම ඊයේ (28 දා) ජනක් ද සිල්වා සහ එන්. නිශ්ශංක බන්දුල කරුණාරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවනු ලැබීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිය දේශපාලන බලය යොදාගනිමින් අදාළ බලධාරීන්ගේ බලය යටපත් කොටගෙන 2015 වර්ෂයේ සිටම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි පරිවාර වන රක්ෂිතයේ අක්කර 2000කට අධික ඝන වනාන්තරය විශාල යන්ත්‍ර සූත්‍ර යොදා හෙළි පෙහෙළි කොට තම ඥාතීන් හා හිත මිත්‍රාදීන් ඇතුළු සිය අනුගාමිකයන් දහස් ගණනින් එම භූමියේ පදිංචි කරවීමේ බරපතළ විනාශකාරී වූ කුමන්ත්‍රණකාරී කටයුත්තක යෙදී සිටින බැවින් වහා එය අත්හිටුවීම සඳහා මැන්ඩාමුස් රිට් ආඥාවක් මඟින් අදාළ බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් 2015 දී මෙම ‘රිට්’ පෙත්සම ගොනුකරනු ලැබීය.

නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මඟින් ගොනුකරන ලද මෙම පෙත්සම පිළිබඳ විභාගය ඩී. සමයවර්ධන අභියාචනාධිකරණ විනිසුරුවරයා හමුවේ පැවැත්වුණු අතර නීතිඥ දාබරේ මහතා විසින්ම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබීය.

පෙත්සම් විභාගය නිමා කළ විනිසුරුවරයා එහි තීන්දුව අගෝස්තු මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට දින නියම කරන ලද අතර පසුව තමා පෞද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයට අදාළ කටයුතුවලින් ඉවත් වන බව අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව ලේඛකාධිකාරිවරයා විසින් ඒ බැව් සභාපති විනිසුරුවරයා වෙත දැනුම්දී තිබූ අතර නව සභාපති විනිසුරුවරයා ලෙස ඉකුත්දා පත්වූ යසන්ත කෝදාගොඩ මහතා පෙත්සමට අදාළ නඩුගොනුව ගෙන්වා පරීක්ෂා කිරීමෙන් පසුව නව විනිසුරු මඬුල්ලක් නම් කොට අලුතින්ම නඩුව විභාග කිරීමට නියම කරනු ලැබීය.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් ගොනු කරන ලද මෙම පෙත්සමෙහි අන්තර්ගත කොට ඇති කරුණු තහවුරු කිරීම සඳහා නඩු විභාගයේදී වන සංරක්ෂණ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය හා වන සත්වාරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයාද කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් ඔවුන්ද සෙසු වග උත්තරකරුවන් ලෙස නම් කොට ඇත.

නීතිඥ ගයාත්‍රි තිලකරත්න හා සවන්ති පොන්නම්පෙරුම යන නීතිඥවරුන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මෙහිදී කරුණු දැක්වූ අතර නීතිපතිවරයා නියෝජනය කරමින් සෙසු වග උත්තකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

අනාථ කඳවුරක හැදුණු රිෂාඩ් අක්කර තුන්දහසක හිමිකරු වුණේ කොහොමද?

(29.05.2019 – mawbima.lk)

රජයේ අනාථ කඳවුරක හැදී වැඩී පසු කලෙක ව්‍යාජ ලියැකියැවිලි සකස් කර මන්නාරම් ප්‍රදේශයේ අක්කර තුන්දහසක හිමිකරුවකු වී සිටින ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව වහා පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය තිනියාවල පාලිත හිමි ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇති තිනියාවල පාලිත හිමියන් කියා ඇත්තේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසයක් ගොඩනැඟීමට රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සහ නැඟෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ද කටයුතු කර ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ශරියා විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කරන්න

(29.05.2019 – mawbima.lk)

මඩකළපුව ශරියා විද්‍යාලය (Batticaloa Campus Pvt. Ltd) රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම් වෙත පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වෙත යවමින් එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත යොමුකරන ලෙසද ඉල්ලා ඇත. මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාරදී ඇති යෝජනාව මෙසේය :

‘‘මේ වනවිට රටේ මහත් ආන්දෝලනයකට හේතු වී ඇති මඩකළපුව ශරියා විද්‍යාලය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සඳහා යම් විසඳුමක් ලබාදීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කිරීම අප සැමගේ වගකීමයි.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කරන අතර රටේ ජාතික ආරක්ෂාව සහ ජාතික සමඟිය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ශරියා විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මඟින් දැනට ශ්‍රී ලංකාවේ පවතින ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැනනැඟී ඇති බැරෑරුම් තත්ත්වය හමුවේ විශේෂයෙන් අති බහුතර මුස්ලිම් නොවන ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකාවට ඉදිරියේදී මෙවැනි අවස්ථාවන් ඇති නොවීමටත්, විශේෂයෙන් අන්තවාදී මත දරන උතුරු නැඟෙනහිර ජීවත් වන සුළු ජන කොටසකගෙන් එම ප්‍රදේශ මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවම ආරක්ෂා කර ගැනීමටත් මඩකළපුව ශරියා විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගෙන රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුවට යෝජනා කරමි.’’

+++++++++++++++++++++++++++++++++++

රිෂාඩ් සහ හිස්බුල්ලා ගැන පැමිණිල්ලක් ජනපති කොමිසමට

(29.05.2019 – 07:22 +0530 – hirunews.lk/sinhala)

2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාර්යාලය, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීමට එහි සභාපතිවරයාට සහ කොමසාරිස්වරුන්ට භාරදී තිබෙනවා.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසිනුයි ඔවුන්ට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ.

එහි දැක්වෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විදේශීය පුරවැසියන්ට ග්‍රාම නිලධාරීන් ලවා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඔවුන් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති බවටයි. එමෙන්ම ඔහුට මන්නාරමෙන් ඉඩම් අක්කර 3,000 ක් පමණ ඇති බවද එම පෙත්සම මගින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ජනවර්ගයන් අතර අවිශ්වාසය ගොඩනැගීමට රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා කටයුතු කර ඇති බවයි පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් එම පෙත්සමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ටැබ් පරිගණක ලබාගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාව පිළිබඳ පැමිණිල්ල ඊයේ විභාගයට ගැනුනා.

එමෙන්ම අද දිනයේදී පාසල් නිල ඇඳුම් ලබාදීමේදී සිදුවූ වංචා සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට ගන්නා බවයි එම කොමිසම නිවේදනය කළේ.

එහිදී තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටීමට අවශ්‍ය නම් ඊට පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට දැනුම්දීමක්ද කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

බණ්ඩාරගම පාසලක් පසුපස සඟවා තිබූ සිවුරු 7 ක් සහ කඩු 3 ක් පොලිසිය සොයාගනී

(28.05.2019 – 22:02 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පාසලක් පසුපස සඟවා තිබූ සිවුරු 7 ක් සහ කඩු 3 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනවලට අදාළව අදත් දිවයිනේ ස්ථාන කිහිපයක සෝදිසි මෙහෙයුම් සිදුකෙරුණා.

ඒ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන්.

යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව වත්තල, මාබෝල ප්‍රදේශයේ අද සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

එහිදී මාබෝල ජෙෆ්රි බාවා මාවතේ පිහිටි දෙමහල් නිවසක තිබී අන්තවාදී දේශන ඇතුළත් සී.ඩී. පට පරිගණක දෙකක්, ජංගම දුරකථන 5 ක්, පරිගණක දෘඪ තැටියක් සහ ව්‍යාජ ගමන් බලපත්‍ර තුනක් ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් සමඟ එක් සැකකරුවෙක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සමස්ථ ජාතියම නැගී සිටිය යුතුයි – අතුරලියේ රතන හිමි

(28.05.2019 – 21:17 +0530 – lankadeepa.lk)

වාද භේද පසෙක ලා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සමස්ත ජාතියම අවදිව තමන්ට කළ හැකි කාර්යය රට වෙනුවෙන් ඉටුකළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ.

ඕනෑම විනාශයක් කළ හැකි ආකාරයට මෙම අන්තවාදී ක‍්‍රියා අධිකරණ, නීති, වෛද්‍ය සහ බැංකු ආදී සියලුම ක්ෂේත්‍රවල පිළිකාවක් සේ පැතිර ගොස් ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සඳහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේද කීහ :

‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මුලු මහත් සමාජයම විශාල තැතිගැනීමකට ලක්වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමත් එක්ක දිගුකාලින ආර්ථික අර්බුදයකට අපේ රට පත්වෙලා තියෙනවා.

ඒ අනුව මේ ප‍්‍රහාරයත් එක්ක ආර්ථික, සමාජිය, සංස්කෘතික වශයෙන් අති දැවැන්ත සමාජ අර්බුදයකට අපි ලක්ව තිබෙනවා. මෙහිදී රාජ්‍ය නායකයා විදියට ජනාධිපතිවරයාට විශාල වගකීමක් තියෙනවා.

පළාත් සභා මැතිවරණය පවත්වන එක මැතිවරණ කොමසාරිස්ගේ වැඩක් නෙමෙයි. ජනාධිපතිවරයාටත් ඒ ගැන වගකීමක් තියෙනවා. පළාත් සභා මැතිවරණය ප‍්‍රමාද වීම හේතුවෙන් ඒවායේ බලතල ආණ්ඩුකාරවරුන්ට හිමිවෙලා තියෙනවා.

නැගෙනහිර සහ බස්නාහිර පළෘත්වල සම්පූර්ණ බලය තියෙන්නේ ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි සහ හිස්බුල්ලා යන මහත්වරුන් සතුවයි.

මේ අයට ජනතාව තුළ මුස්ලිම් සමාජය තුළ මහා බලයක් තිබූ නායකයන් නෙමෙයි. මේ වගේ අය තමයි අද ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන්නේ.

හිස්බුල්ලා මහතාට එරෙහිව අද එම පළාතේ ජනතාවගේ විශාල විරෝධයක් මතුවෙලා තියෙනවා. එම පළාතේ සංවේදී තැන් වල විශාල වශයෙන් ඉඩම් අත්පත් කරගනිමින් සිටිනවා.

ඒ වගේම මේ බෝම්බ පිපිරිම් වලින් විශාල ඛේදවාචකයට ලක්වූ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා තමයි අසාත් සාලි මහතා. නිලධාරීන් පත්කිරීමේදී ඉවත් කිරීමේදීත් ඒ අමාත්‍යාංශවල බලතල ආණ්ඩුකාරවරයා සතුවයි තියෙන්නේ. ඔහු මෙය ඉතාම අනිසි විදියට පාවිච්චි කරනවා.

මොහොමඞ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව තිබූ සාක්ෂි විමර්ශනය කිරීමේ කටයුතුවලට අසාත් සාලි මහතා තදබල ලෙස බලපෑම් කළා. මෙම වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගත්තයින් පසුවත් එය ප‍්‍රශ්න කරමින් ඔහු එයට තදබල ලෙස බලපෑම් කළා. ඒ වගේම පොලිස් නිලධාරීන් මාරු කිරීමටත් ඔහු උත්සාහ කළා.

අද බස්නාහිර පළාතේ රාජ්‍ය යාන්ත‍්‍රනය සම්පූර්ණයෙන්ම හසුරුවන්නේ අසාත් සාලි මහතායි. ඒ නිසා වහාම ඔහු මෙම ධූරයෙන් ඉවත් කළ යුතුයි. අසාත් සාලි මහතාට තිබෙන ඒ අනිසි බලය වහාම ඉවත්කිරීමෙන් තොරව ඔහු පිලිබඳ නිවැරදි පරීක්ෂණයක් කිරීමට හැකියාවක් නැහැ. අසාත් සාලි ආණ්ඩුකාරවරයා අන්තවාදීන්ගේ අවශ්‍යතාවය මත මේ ආණ්ඩුවට බලපෑම් කරන බව අද අපිට පේන්න තියෙනවා.

මේ ආණ්ඩුකාරවරුන් පත්කළේ ජනතාව නෙමෙයි ජනාධිපතිවරයා විසිනුයි. ඔවුන් ඉවත්කිරිමේ බලය ඇත්තේත් ජනාධිපතිවරයාටම පමණයි. ඒ නිසා ඉදිරි පැය 24 තුළ මේ අය ගැන කඩිනම් තීන්දුවක් ගත යුතුයි.

රටක් විදියට අපි ලොකු අනතුරකට පත්ව තිබෙනවා. මේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය කියන්නේ සහරාන් වගේ බෝම්බකරුවන් අට දෙනාගේ ප‍්‍රශ්නය නෙමෙයි. අද අධිකරණ ක්ෂේත‍්‍රයේ, වෛද්‍ය ක්ෂේත‍්‍රයේ, බැංකු ක්ෂේත‍්‍රයේ මේ අන්තවාදීන් විනිවිද ගිහින් තියෙනවා. ඕනෑම විනාශයක් කරන්න පුලුවන් විදියට පිළිකාවක් වගේ සෑම තැනම පැතිරිලා තියෙනවා.

ලංකාව පුරා විසිරි තිබෙන නීතිවිරෝධී මද්‍රසා පාසැල් මගින් අපේ දරුවන්ගේ මොළ හේදිමක් කරලා තවත් බෝම්බකරුවන් සිය දහස් ගණනක් නිර්මාණය කරන්න අවශ්‍ය මතවාදී පදනම ඒ අය හදලා තියෙනවා.

දෙවනුව රෝහල්, වෛද්‍ය ආයතන, ආර්ථික මර්මස්තාන, යුදමය ආයතන ආදි සියල්ලක්ම මේ ත‍්‍රස්තවාදීන් විනිවිද ගිහින් තියෙනවා.

මට දැනට දැනෙන විදියට පහුගිය අවුරුදු දහය පහළොව තුළ අපේ රටේ ඉපදීමට සිටි පනස් දහසකට අධික දරුවන් ප‍්‍රමාණයක් නවත්වලා තියෙනවා.

මේක මට දැනෙන අනුමානය. මේක සමහර වෙලාවට ලක්ෂ පහක් දක්වා වර්ධනය වෙන්නත් පුලුවන්. සෑම රෝහලකම මේ කාර්යය කරන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

අපේ සිංහලයෝ සමගි වෙන්නේ නැතිව මේකට උත්තරයක් හොයන්න බැහැ. ඒ නිසා මුළු ජාතියම වාද භේද පසෙකලා අවදිවෙලා මේ බිම වෙනුවෙන් තමන්ට පුලුවන් කාර්යය කරන්න වෙනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ ෴

+++++++++++++++++++++

හිස්බුල්ලා එලවන්න රතන හිමි දින දෙයි… ජනපති තවත් තනතුරු දී හිස්බුල්ලා දෙගුණයකින් බලගන්වයි….

(29.05.2019 – colombotoday.com)

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන අය එම ධූරයන්ගෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැය 24 ක කාලයක් ලබා දෙන බවත් එසේ නොමැතිනම් තමන්ට ගත හැකි ඉහළම තීන්දුව ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (28) පැවැසූහ.

මෙම පිරිස එම ධුරවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් ලංකාව පුරා විසිරී සිටින ශාසනාරක්ෂක බල මණ්ඩල ලේකම් ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතු ලේඛනය පසුගිය 22 වනදා ජනාධිපතිවරයා වෙත භාරදුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වුවහොත් රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී අනිද්දා (30) පස්වරු 2.00 ට ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, රණවිරුවන් සමග සාකචඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කරන බවත් රතන හිමියෝ පැවසූහ.

අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ විවෘත සාකච්ඡාවට සහභාගී වන ලෙස තම ශ්‍රාවකයන්ටත්, තරුණ තරුණියන්ටත්, විශ‍්‍රාමික රණවිරුවන්ටත්, ත‍්‍රස්තවාදයට එරෙහි සියලූම පිරිස්වලටත් ආරාධනා කර සිටින බව කී උන්වහන්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 833 6556 දුරකතනයෙන් ලබා ගත හැකි බවද පැවසූහ.

කෙසේ වෙතත් රතන හිමියන් මෙම ප්‍රකාශය කර පැය 24 ක් යන්නටත් මත්තෙන් ජනාධිපතිවරයා ආණ්ඩුකාර හිස්බුල්ලා වෙත තවත් තනතුරක් ලබී දීමට ඊයේ කටයුතු කළේය. ඒ නැගෙනහිර පළාත් සංවර්ධන කමිටුවේ සම සභාපති තනතුරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *