ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුත් RTI පනතට යටත් වෙයි – තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් සන්ධිස්ථානීය තීන්දුවක්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුත් RTI පනතට යටත් වෙයි – තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් සන්ධිස්ථානීය තීන්දුවක්

බලංගොඩ කස්සප හිමියන් මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශ ගැන මාලිමාවේ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශනයක් : කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වයි

කන්දේ විහාරයේ ඇතෙකු පහරදීමෙන් සංචාරක මඟපෙන්වන්නෙකු මරුට

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ සියලු පාසල් හෙට (27) වැසෙයි

කස්සප හාමුදුරුවෝ හෝටලේට ගිහිං කරපු දේවල්වල වගකීම අපිට ගන්න බෑ (26.10.2026)

අනුරාධපුරේ පොලව යට ඉදිකිරීම් කරලා රුවන්වැලි මහා සෑය ගිලා බස්සවන්න කුමන්ත්‍රණයක් (26.10.2026)


ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුත් RTI පනතට යටත් වෙයි – තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් සන්ධිස්ථානීය තීන්දුවක්

(26.10.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක්, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ “පොදු අධිකාරියක්” (Public Authority) යන අර්ථ නිරූපණයට ඇතුළත් වන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) විසින් තීන්දු කර තිබෙනවා.

සණස සංවර්ධන බැංකුවේ (SDB Bank) ගනුදෙනුකරුවකු විසින් සිය ණය සඳහා අදාළ වූ පොලී අනුපාතිකය සමාලෝචනය කළ ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලා ගොනු කරන ලද අභියාචනයක් විභාග කරමින් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන තිබෙනවා.

අදාළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් SDB බැංකුව 2025 අප්‍රේල් 9 වන දින විද්‍යුත් තැපෑල (Email) ඔස්සේ තොරතුරු ලබා දී තිබුණ ද, එම පිළිතුර පිළිබඳව සෑහීමකට පත් නොවූ ගනුදෙනුකරු තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

අභියාචන විභාගයේදී බැංකුව තර්ක කර සිටියේ තමන් අවස්ථා හතරකදී (4) විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබා දී ඇති බවයි.

එසේම, තමන් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගමක් බැවින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ “පොදු අධිකාරියක්” ලෙස නොසැලකෙන බවද බැංකුව සඳහන් කර තිබෙනවා.

2026 ඔක්තෝබර් 21 දින අභියාචනා තීන්දුව මගින් කොමිෂන් සභාව බැංකුවේ තර්කය ප්‍රතික්ෂේප කර ඇති අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිකුත් කළ බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක් යනු පනතේ දැක්වෙන ව්‍යවස්ථාපිත අර්ථ නිරූපණයට අනුව “පොදු අධිකාරියක්” බව කොමිෂන් සභාව තීන්දු කර තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනතේ 3(1) වගන්තියට අනුව 5 වන වගන්තියේ ප්‍රතිපාදනවලට යටත්ව, පොදු අධිකාරියක් සතුව පවතින තොරතුරු ලබාගැනීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති අතර, පනතේ 43 වන වගන්තිය මගින් “පොදු අධිකාරිය” යන්න අර්ථ නිරූපණය කර ඇති අතර, එහි (e) ඡේදය මගින් නියමිත කොන්දේසිවලට යටත්ව ඇතැම් පෞද්ගලික ආයතන ද ඊට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, කොමිෂන් සභාවේ මෙම තීන්දුව මගින් මහ බැංකු බලපත්‍ර ලාභී පෞද්ගලික බැංකුවලටද මෙම පනතේ බලපෑම සෘජුවම අදාළ වන බව පැහැදිලි කර තිබෙනවා ෴


බලංගොඩ කස්සප හිමියන් මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශ ගැන මාලිමාවේ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශනයක් : කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වයි

(26.10.2026 – hirunews.lk)

සිරදඬුවම් ලද ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාර මහා දේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේදී ජනතාව කුපිත කරවන, නොමග යවන සුළු සහ ජනතා විශ්වාසය කඩ කරන අසත්‍ය ප්‍රකාශ බලංගොඩ කස්සප හිමියන් විසින් මාධ්‍යයට නිකුත් කර ඇති බවට පැලවත්ත ජාතික ජන බලවේගය පක්ෂ කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කුරුඳුවත්ත පොලිසිය (26) පවසා සිටියා.

පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයේ සංවිධායක ජගත් බස්නායක කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

විහාර මහා දේවී උද්‍යානයට පිහි දෙකක් (2) රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනා (2) සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි පසුගිය 22 දා මාධ්‍යයට නිකුත් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය සහ ජනතාව නොමගය වන සුළු වැරදි සහගත එකක් බවයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ.

පිහි රැගෙන පැමිණි පුද්ගලයින් පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයෙන් ඒවා ඇති බවට කස්සප හිමියන් කරන ලද ප්‍රකාශය අසත්‍ය බවත් එමඟින් ජනතාව විශ්වාසයක් කඩවන බවත් පැමිණිලි කර ඇති බව දන්වා සිටියා.

අසත්‍ය ප්‍රකාශ ජනගත කිරීම පොලිස් ආඥා පනතේ 98 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන බැවින් , ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවද, අදාළ ප්‍රකාශයේ සංස්කරණකරණය නොකළ දර්ශන පොලිසිය වෙතට ලබාදෙන ලෙසට පුද්ගලික මාධ්‍ය ආයතනයට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට මාධ්‍ය ආයතනයට නියෝග කළ අතර විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළා ෴


කන්දේ විහාරයේ ඇතෙකු පහරදීමෙන් සංචාරක මඟපෙන්වන්නෙකු මරුට

(26.10.2026 – sinhala.adaderana.lk)

අලුත්ගම කන්දේ විහාරයේ සිටි ඇතෙකු සිදුකළ පහරදීමකින් සංචාරක මඟපෙන්වන්නෙකු අද (26) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

විදෙස් සංචාරකයින් පිරිසක් සමග වෑන් රථයකින් අලුත්ගම කන්දේ විහාරය ගිය අදාළ මගපෙන්වන්නා, විහාරස්ථානයේ සිටි ඇතාට පලතුරු වට්ටියක් ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීමට ලක්ව ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇත ෴


අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ සියලු පාසල් හෙට (27) වැසෙයි

(26.10.2026 – sinhala.adaderana.lk)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. එහෙත් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙනු ඇත ෴


කස්සප හාමුදුරුවෝ හෝටලේට ගිහිං කරපු දේවල්වල වගකීම අපිට ගන්න බෑ (26.10.2026)

+


අනුරාධපුරේ පොලව යට ඉදිකිරීම් කරලා රුවන්වැලි මහා සෑය ගිලා බස්සවන්න කුමන්ත්‍රණයක් (26.10.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤