ලබන වෙසක් පෝය මැයි මස 30 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කරන්න – මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

ලබන වෙසක් පෝය මැයි මස 30 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කරන්න – මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති


ලබන වෙසක් පෝය මැයි මස 30 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කරන්න – මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

(29.12.2025 – hirunews.lk)

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසන් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන දිනයේදී විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය මැයි මස 30 වැනිදාට යොදා ගැනීම සුදුසු යැයි තීරණය කළ බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව 2026 මැයි 30 දිනට යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද එදිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා ජනපතිවරායට දැනුම් දී තිබෙනවා.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේ ද සඳහන් වෙනවා :

“ලබන වසරේ මැයි මස 01 වන දින හා 30 යන දෙදිනම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ද 2026 මැයි 30 දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ද යොදා ඇත. එහෙත් 2026 මැයි 01 දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් නක්ෂත්‍ර ප්‍රවීණයන්ගේ ද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව ද විසා නැකත යෙදෙන 2026 මැයි 30 දිනට උදාවන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස යොදා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී. සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාව සම්බුදු තෙමඟුල නිමිති කොටගෙන ධර්මාර්ථ චර්යාවෙන් පෝෂිතව වෙසක් පුන් පොහෝ දිනය ඉමහත් ශ්‍රද්ධාවෙන් අනුස්මරණය කරන අතර ම වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත බෞද්ධ ආගමික චාරිත්‍රයෝ ද බොහෝ පවතින හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවාණු පිළිබඳ අතිශය සාවධානව කටයුතු කිරීමට යුහුසුළු වෙති.

‘වෙසඛනක්ඛත්තෙන ජාතො ච අභිසම්බුද්ධො ච පරිනිබ්බුතො ච’ යන බුද්ධ වංස අට්ඨ කථා පාඨයට අනුව සිද්ධාර්ථ කුමාරොත්පත්තියත්, සම්බුද්ධත්වයට පත් වීමත්, සම්බුද්ධ පරිනිර්වාණයත් විසා නැකතෙන් ම සිදු වී බව පැහැදිලි වේ. ඒ අනුව නක්ෂත්‍රානුකූලව ද වෙසක් පුන් පොහෝ දිනය විසා නැකතට යෙදෙන පසළොස්වක දිනක ම යොදා ගැනීම චිරාගත චාරිත්‍රයයි.

ඒ අනුව 2026 මැයි 30 යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද 2026 මැයි 30 දිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුක්තව සිහිපත් කර සිටිම්හ” ෴


පරිවාස භාරයේ සිටින ළමුන් 3000 කට උප්පැන්න සහතික නෑ

(29.12.2025 – hirunews.lk)

අධිකරණ ක්‍රියාවලිය හරහා පරිවාස භාරයට පත්ව සිටින වයස අවුරුදු 16 ට අඩු ළමුන් 3000 කට ආසන්න පිරිසකට උප්පැන්න සහතික නොමැති බව හඳුනාගෙන ඇතැයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඇතැම් ළමුන්ට දෙමාපිය හා භාරකරු රැකවරණය නොමැති වීම මෙන්ම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා මෙම ගැටළුවට මුහුණපා ඇති බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සඳහන් කළා.

මේ වන විට පැන නැගී ඇති ගැටළුව වන්නේ එම ළමුන් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීමේදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය උප්පැන්න සහතිකයක් නොමැති වීමයි.

මෙහිදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම්, සොරකම්, මිනිමැරුම්, පාතාල ක්‍රියාකාරකම්, විවිධ අපරාධමය වැරදිවලට සම්බන්ධ, කිසිදු දෙමාපිය රැකවරණයක් නොමැති වීම, මඟ තොටදී අතහැරදමා ගිය ළමුන් මෙන්ම විවිධ ලිංගික හිංසනයන්ට හා අතවරයන්ට ලක්ව අධිකරණ ක්‍රියාවලිය මගින් පරිවාස භාරයට පත් කෙරුණු ළමුන් මේ අතර ඇති බව අමාත්‍යවරිය අවධාරණය කළා.

මෙම ළමුන්ගේ භාරකාරීත්වය හා මවුපිය රැකවරණය නොමැති වීම නිසා අනුමාන වයස් සීමාව යටතේ උප්පැන්න සහතික ලබාදීමට සැලසුම් සකස් කර ඇතැයි ද අමාත්‍යවරිය සඳහන් කරනවා.

මෙහිදී ඇතැම් අවස්ථාවලදී මව හෝ පියා වෙනුවට අදාල පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය පිහිටි පළාත් කොමසාරිස්වරයාගේ නාමය යොදා ගැනීම පිළිබඳවත් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා අනුමාන වයස් සීමාව යටතේ උප්පැන්න සහතිකයන් ලබාදීමට රජය කටයුතු කරමින් පවතිනවා.

මෙම පිරිස් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත කිරීමේදී ඔවුන්ට පිළිගත් ආයතනවල රැකියාවක් ලබා ගැනීම ද ගැටළුවක් සේ පවතින්නේ එම ළමුන් පාසල් අධ්‍යාපනය නිමා කර ඇත්තේ පරිවාස ළමා රැඳවුම් මධ්‍යස්ථයානයන්හි පිහිටි පාසල් තුළ වීමයි.

මේ වන විට රජයේ පරිවාස රැඳවුම් මධ්‍යස්ථාන 46 කත් රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන යන පරිවාස ළමා රැඳුම් මධ්‍යස්ථාන 308 කත් තරුණ තරුණියන් හා ළමුන් 9191 ක් රඳවා සිටි.

ඒ අතරින් වයස අවුරුදු 16 ට අඩු ළමුන් 3000 කට ආසන්න පිරිසකට අනුමාන උප්පැන්න සහතික ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම අමාත්‍යාංශය දැනටමත් කටයුතු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කරනවා ෴


හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

(29.12.2025 – hirunews.lk)

හොරණ, වවුලගල ප්‍රදේශයේ පවත්වාගෙන යන ටයර් කර්මාන්ත ශාලාවක අද (29) උදෑසන ගින්නක් හටගෙන ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

අද (29) පෙරවරු 07:30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර හොරණ නගර සභාවට අයත් ගිනි නිවන රථ, ජල බවුසර් සහ ගිලන් රථ දෙකක් එම ස්ථානයට ගොස් ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ කිසිවකුත් සිට නොමැති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටත් වාර්තා වුණා.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

+++

+


අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය, කලාසූරී ලතා වල්පොලගේ දේහය මහජන ගෞරවය සදහා අද (29) සහ හෙට (30) බොරැල්ලේ

(29.12.2025 – hirunews.lk)

හෙළයේ ගීත කෝකිලාවිය, අභාවප්‍රාප්තකලාසූරි ලතා වල්පොලගේ දේහය මහජන ගෞරවය සදහා අද සහ හෙට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව, එම දින දෙකෙහි පෙරවරු 9 සිට රාත්‍රි 10 දක්වා දේහයට අවසන් ගෞරවය දැක්වීමේ හැකියාව පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම, අනිද්දා (31) පෙරවරු 10 සිට පස්වරු 1 දක්වා ඇයගේ දේහය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇති.

අනතුරුව පස්වරු 2 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවසන් කටයුතු සිදු කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පෙරේදා (27) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ කලාසූරි ලතා වල්පොලගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයින්, කලාකරුවන් සහ ඇයගේ රසික රසිකාවියන් විශාල පිරිසක් එක්ව සිටියා ෴

+++

+++

+++

+++

+


තුන්වෙනිදා (03) උතුරේ ලොකු කලබලයක්? | තිස්ස විහාරය කෑලි වෙන්න නියමිතයි? | අර්චුනා තකහනියේම මාධ්‍යට (29.12.2025)

+++

අර්චුනාට තර්ජන | දැක්ක තැන මරණවලු | කෝල් රෙකෝඩ් පවා ලීක් | ජාතිවාදය අවුස්සලා ගහන්න යන ගේම (29.12.2025)

+


පාවෙමින් ආ ගුවන් යානයක කොටස් සාම්පූර් මුහුදේ

(29.12.2025 – hirunews.lk)

සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කඳවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කෙ‍ෙරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

ගුවන් යානයක හෝ රොකට්ටුවක බඳේ ඉන්දීය ජාතික කොඩිය හා ඉන්දීය ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය වන අතර මෙය ඉන්දියාව සතු එකක් බව සැක කෙරෙයි.

හමු වූ මෙම සුන්බුන් කොටස් තුළ විදුලි පරිපථ සවිකර ඇති අතර මෙය කුමන් නිසා සිදුවූ කුමන අයුරක එකක්ද යන්න පිළිබඳව මෙතෙක් සොයාගෙන නැත.

පාවෙමින් තිබූ මෙම කොටස් ධීවර පිරිස් විසින් වෙරළට රැගෙන විත් තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *