ගංජා වැටලීමේ සිද්ධියේ වැඩ තහනම් වූ පී.සී. ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ගංජා වැටලීමේ සිද්ධියේ වැඩ තහනම් වූ පී.සී. ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්


ගංජා වැටලීමේ සිද්ධියේ වැඩ තහනම් වූ පී.සී. ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(26.12.2025 – hirunews.lk)

ගංජා පැල වැටලීමක් මුල්කරගෙන ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ශාන්ත පද්ම කුමාර’ගේ පහර කෑමට ලක්වූ බවට චෝදනා එල්ල කර පසුව වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් කොස්තාපල් අද (26) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව ‘පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි’ යළිත් සඳහන් කළේ, ‘ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර’ තමාට පහර දුන් බවයි.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ මාමණ්ඩියට අයත් බව කියන ඉඩමක ගංජා පැළ වගා කර ඇති බවට ලද තොරතුරක් මත පසුගිය දිනෙක සූරියකන්ද පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම වැටලීමට සම්බන්ධව කටයුතු කළ සූරියකන්ද පොලිසියට අනුයුක්තව සේවය කළ සුසන්ත හෙට්ටිආරච්චි නැමැති කොස්තාපල් තමාට ශාන්ත පද්ම කුමාර මන්ත්‍රීවරයා පහර දුන් බව පවසමින් කොලොන්න රෝහලට ඇතුළත් වී පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරණු ලැබූවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය, එවැනි පහරදීමක් සිදුව නොමැති බව පවසමින් පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් කර පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර, අනතුරුව නියෝග කෙරුනේ රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත කොස්තාපල්වරයා මුදා හැරීමටයි.

මේ අතර, කොස්තාපල්ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් සහ තමන්ව අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් එම කොස්තාපල් මානව හිමිකම් කොමිසමට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++

+++

මාධ්‍ය නිදහස මඬින රජයේ ක්‍රියාකලාපයට එරෙහිව සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්

(26.12.2025 – hirunews.lk)

‘හිරු මාධ්‍ය ජාලයේ’ පසුගියදා පළකරන ලද පුවත් වාර්තාකරණයක් සම්බන්ධයෙන් පොලීසිය ගනු ලැබූ පියවරට අදාලව, රාජ්‍ය ආයතන අවභාවිත කරමින් මාධ්‍ය නිදහස මර්දනය කිරීම දැඩි ලෙස හෙළාදකිමින් ‘සර්වජන බලය’ පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ‘හිරු මාධ්‍ය ජාලයේ’ පළකළ අදාල පුවතෙහි විෂය කරුණ කුමක් වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි ප්‍රතිචාරය විය යුත්තේ විනිවිදභාවයකින් යුත් නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කිරීම මිස, බියගැන්වීම හෝ නීත්‍යානුකූල මාධ්‍යකරණය අඩපණ කරන ආකාරයේ දඬුවම් සහ පීඩනයන් එල්ල කිරීම නොවන බවයි.

මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම සඳහා පොලිසිය, නියාමන බලධාරීන් සහ පරිපාලන යාන්ත්‍රණය දිගින් දිගටම භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිසේත්ම පිළිගත නොහැකි බව එමගින් අවධාරණය තිබෙනවා.

ඉදිරියේදී සිදුවන මාධ්‍ය බිය ගැන්වීමේ ඕනෑම සිදුවීමක් හිතාමතා සිදුකරන ප්‍රජාතන්ත්‍රවාදී පසුබෑමක් ලෙස සළකා, එවැනි ක්‍රියාවන්ට එරෙහිව දේශපාලනිකව, පාර්ලිමේන්තු මට්ටමින් සහ මහජනතාව සමඟ එක්ව හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ‘සර්වජන බලය’ පක්ෂය ජනාධිපතිවරයා වෙත දන්වා සිටින්නේ.

පසුගිය මාස කිහිපය තුළ මාධ්‍ය වෙත එල්ල වන බාධාවන්හි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවත්, මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණය සම්බන්ධයෙන් ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීම, විකාශන ආයතන වෙත නියාමන තර්ජන එල්ල කිරීම සහ භීතිය ඇති කිරීමට පොලිස් ක්‍රියාමාර්ග භාවිතා කිරීම ඉන් කිහිපයක් බවත් නිවේදනය තුළ කරුණු සඳහන් කර තිබෙනවා.

මේවා සාමාන්‍ය තත්ත්වයන් ලෙස සැලකිය නොහැකි අතර, ඒවා රජයක ප්‍රජාතන්ත්‍රවාදී වගකීම්වලට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත පොරොන්දුවට පටහැනි බවත් එහි සඳහන්.

පොලිසිය, නියාමන ආයතන සහ පරිපාලන යන්ත්‍රණය යොදාගනිමින් විවේචන මර්දනය කරන රජයක් කිසිලෙසකත් මහජනතාව ආරක්ෂා කරන්නේ නැති බවත් මෙහි ප්‍රතිවිපාක බරපතළ බවත් සර්වජන බලය පෙන්වා දෙනවා.

මේ අනුව ‘සර්වජන බලය’ පක්ෂය විසින් වහාම නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත කරුණු 05 ක් සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

මාධ්‍ය නිදහස ප්‍රායෝගිකව ආරක්ෂා කරන බවටත්, ස්වාධීන වාර්තාකරණයට එරෙහිව බිය ගැන්වීමට හෝ පළිගැනීමට රාජ්‍ය ආයතන යොදා නොගන්නා බවටත් ජනාධිපති කාර්යාලය විසින් පැහැදිලි ප්‍රසිද්ධ උපදෙසක් නිකුත් කළ යුතු බවටත් සර්වජන බලය කියා සිටිනවා.

මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට එරෙහි ඕනෑම චෝදනාවක් නිසි නීතිමය මාර්ග හරහා මිස අවිධිමත් පිඩනයන්, ප්‍රසිද්ධ තර්ජන හෝ තෝරාගත් බලාත්මක කිරීම් හරහා සිදු නොකළ යුතු බවයි ‘සර්වජන බලය’ මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ යටතේ පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන දේශපාලන මෙහෙයවීම්වලින් තොරව දැඩි ලෙස නීතියට අනුකුලව කටයුතු කළ යුතු අතර, වාර්තාකරණය අධෛර්යමත් කිරීමේ මෙවලමක් ලෙස කැඳවීම්, ප්‍රශ්න කිරීම් සහ පැමිණිලි භාවිතා කිරීම නැවැත්විය යුතු බවයි ඉල්ලා ඇත්තේ.

නියාමන ආයතන ස්වාධීනව සහ සාධාරණව ක්‍රියා කළ යුතු අතර, දේශපාලන බලපෑම්වලින් තොරව ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා ලිඛිත සහ විනිවිද පෙනෙන හේතු ඉදිරිපත් කරමින් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු බව ද එහි සඳහන්.

මෙම ගමන් මග වහාම වෙනස් කරන ලෙස ‘සර්වජන බලය’ පක්ෂය ජනාධිපතිවරයාගෙන් සිය ලිපිය ඔස්සේ ඉල්ලා සිටිනවා ෴

+++

මාධ්‍ය නිදහසට බලපෑම් කරන ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය දැඩිව හෙළා දකිනවා : සාක් ජනමාධ්‍යවේදී සංසදය

(26.12.2025 – hirunews.lk)

පොලිස් බියගැන්වීම් සහ නීති විරෝධී ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකා රජය විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිවීමටත්, මාධ්‍ය නිදහසට බාධා කිරීමටත් උත්සාහ දැරීම දැඩි ලෙස හෙළාදකින බව ‘SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ’ සභාපති රාජු ලාමා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ගංජා පැල වැටලීමක් සම්බන්ධයෙන් ‘හිරු මාධ්‍ය ජාලය’ විසින් පසුගියදා පළකරන ලද පුවතකට අදාළව පොලීසිය කළ ඉල්ලීම නිදහස් ජනමාධ්‍යවේදයට ඍජු ප්‍රහාරයක් එල්ල කිරීමක් බවයි.

‘SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ’ (SJF) මධ්‍යම කාරක සභාව විසින් අද (26) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පසුගිය මාස 15 ක කාලය තුළ ජාතික ජනබලවේග ආණ්ඩුව මාධ්‍ය මර්දනයේ කැළඹිලි සහගත රටාවක් පෙන්නුම් කරන බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන බවට පොරොන්දු වුවද, දැන් ඔවුන් ‘ඒකාධිපති නැඹුරුවක්’ පෙන්වන බව ද එම නිවේදනයෙන් අවධාරණය කෙරෙනවා.

‘SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදය’ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, විවේචකයන් නිහඬ කිරීම සඳහා පොලිස්-රාජ්‍ය උපක්‍රම භාවිතා කිරීම වහාම නතර කරන ලෙසත්, මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ කතුවැකි ස්වාධීනත්වය තහවුරු කරන ලෙසත්, මාධ්‍ය නිදහස සහ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගරු කරන ලෙසයි.

එමෙන්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට රාජ්‍ය මැදිහත්වීම්වලට එරෙහිව සහයෝගයෙන් පෙනී සිටින ලෙස සියලු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ නිදහස් භාෂණය වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් ‘SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදය’ අදාල නිවේදනය ඔස්සේ ඉල්ලා සිටිනවා ෴

+++

මාධ්‍යයක අන්තර්ගතය ගැන තීන්දු දීමේ බලය පොලිසිය අතට පත්වීම මාධ්‍ය නිදහසට දැඩි තර්ජනයක් : මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

(26.12.2025 – hirunews.lk)

මාධ්‍යයක අන්තර්ගතය පිළිබඳ තීන්දු දීමේ බලය පොලිසිය අතට පත්වීම මගින් මුළුමනින්ම මාධ්‍ය නිදහස අභියෝගයට ලක්ව ඇති බව ‘මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහිදී, යම් වාර්තාකරණයක් ‘නිවැරදි ද? නැද් ද?’ යන්න තීරණය කිරීමට පොලිසිය මැදිහත් වීම, ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කරන තර්ජනයක් බවයි එම සම්මේලනය අවධාරණය කරනු ලබන්නේ.

රාජ්‍ය යාන්ත්‍රණය විසින් තමන්ට රුචි නොවන මාධ්‍ය මර්දනය කිරීමට නියාමන ආයතන මෙවලමක් ලෙස භාවිත කිරීම ඉතා භයානක ප්‍රවණතාවයන් බවත්, ‘මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය’ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් තරිඳු උඩුවරගෙදරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, පොලිස් බලය යොදාගෙන මාධ්‍ය ආයතන බිය ගැන්වීමක් හෝ මර්දනය කිරීමක් නොවිය යුතු බවත්, එසේ කිරීම කොන්දේසි විරහිතව හෙළා දකින බවත් එම නිවේදනය ඔස්සේ ‘මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය’ වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා ෴

+++

පොලිසියේ මාධ්‍ය මර්දනය දැඩිව හෙළා දකිනවා – හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

(26.12.2025 – hirunews.lk)

පොලිසිය ගෙන යන මාධ්‍ය මර්දනය පිළිබඳ දැඩි අවධානයක් සමාජය තුළ ඇති බව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් පොලිස්පතිවරයා පොලිසිය තුළ ජනතා විමුක්ති පෙරමුණේ පොලිසියක් ගොඩනගමින් සිටින බවයි.

+++

+++

හිරු නාළිකාවට චෝදනා කිරීම වැරදියි (26.12.2025)

+


මාධ්‍ය මර්ධනය කරමින් ආණ්ඩුව හදන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කිරීමටයි : පොදු ජන පෙරමුණේ මහ ලේකම්

(26.12.2025 – hirunews.lk)

‘හිරු මාධ්‍යය’ට එරෙහිව ආණ්ඩුව ගෙන යන මර්දනයේ තර්ජනය අනෙකුත් සියලු රූපවාහිනී නාලිකාවලටද එකසේ බලපාන බව ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කරනවා.

මර්දනය කරමින් ආණ්ඩුව උත්සාහ ගන්නේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීමට බවත් ‘හිරු මාධ්‍ය’ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින වගකිවයුතු මාධ්‍යයක් වන අතර මේ අවස්ථාවේදී ‘හිරු මාධ්‍යය’ට ආණ්ඩුව විසින් එල්ල කරනු ලබන සියලු චෝදනා පදනම් විරහිත බවද සාගර කාරියවසම් පෙන්වා දෙනවා.

රටේ මත්ද්‍රව්‍ය උවදුර ආණ්ඩුව රාජපක්ෂවරුන් පිට පැටවිමට නිර්දය උත්සහයක යෙදුණද එම උත්සහය නැවත ඔවුන් වෙත පෙරළා පැමිණ ඇති බැවින් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනය කර තමන් වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය චෝදනා යටපත් කිරීමට උත්සහ කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ පක්ෂ මූලස්ථානයේ අද දින (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මෙසේද පැවසුවා :

“ආණ්ඩුව ගෙන යන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ‘හිරු නාලිකාව’ නැගී සිටීම රටේ පොදු ජනතාව වෙනුවෙන් අපි අගය කරනවා.

‘හිරු මාධ්‍යය’ට එරෙහිව ගෙන යනු ලබන මර්දනය සියලුම නාලිකාවලට එකසේ බලපාන බව පළමුව අවධාරණය කරනවා .

මේ ප්‍රවෘත්තිය ‘හිරු නාලිකාවේ’ විකාශය කළ විට ඊට විරුද්ධව ‘හිරු මාධ්‍යය’ට පොලිසියේ මාධ්‍ය අංශය විසින් ලිපියක් ලියනවා. අපි හිතන්නේ නැහැ මේ රටේ කවදාවත් ඉතිහාසයේ මෙවැනි තත්වයක් තිබුණා කියලා. ඉතාම වැරදි සහගත ආකාරයෙන් පොලිසිය ‘හිරු මාධ්‍යය’ට ලිපියක් යවනවා.

ඒ ලිපියේ ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න තිබෙන ආකාරයට කරුණු 02 ක් සම්බන්ධයෙන් ඔවුන් ඉස්මතු කර තිබෙනවා. එහි පළමු කාරණය වනුයේ තහවුරු කර නැති තොරතුරු මත පදනම්ව මන්ත්‍රිවරයෙකුගේ ඉඩමේ ගංජා වගාවක් තිබුණා කියන කාරණය ජනගත කළා කියලා.

හැබැයි අපි මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. හැබැයි ඒ කිසිදු තැනක මේ ආකාරයේ බොරු ප්‍රවෘත්තියක් පළ කරන්න ඒ ‘හිරු නාලිකාව’ කටයුතු කරන්නේ නැහැ.

‘හිරු නාලිකාව’ කටයුතු කරන්නේ එම අදාල විමර්ශනයට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන් විසින් ඒ අවස්ථාවේදි රූගත කරනු ලැබු විඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම.

පොලිසිය විසින් මෙම විඩියෝපටය සමාජයේ එළියට දැම්මේ නැහැ. ‘හිරු මාධ්‍යයෙන්’ කළේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වැටලීම සිදුකරන විට පොලිසිය විසින් රූගත කළ වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම පමණයි.

අපි ස්තූතිවන්ත වෙනවා ‘හිරු මාධ්‍යය’ට එය ජනතාවට දැනගන්න ලැබෙන්න සැලැස්සුවාට. ඔවුන් විසින් සිදුකළේ මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පෙනී සිටීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම.

මේ සාක්ෂි පොලිසිය විසින්ම වීඩියෝ කළ සාක්ෂි. මෙවැනි සාක්ෂි මත පදනම්ව කරපු එම ප්‍රවෘත්තියට විරුද්ධව පොලිසිය විසින් මේ සිදුකරන කටයුතුත්ත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන, ඇත්ත දැනගැනීමේ අයිතියට ගරුකරන ජනතාව හැටියට මේ රටේ සමස්ත ජනතාව මෙය ප්‍රතික්ෂේප කළ යුතුයි.

ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතියට ගරුකරන පක්ෂයක් හැටියට අපි මේ තත්වයට එක හෙළාම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා.

ඒ වගේම මෑත ඉතිහාසයේ රටට මහ වැරදි පණිවිඩයක් දෙනවා මේ ආණ්ඩුව. ‘ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ හෝ කිසිදු අයෙකුට අත තබා තිබුණොත් ඒ අවස්ථාවේම ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරනවා’ කියන ඉතාම නරක පණිවිඩය.

අපි එය දැක්කා හිටපු කතානායක රන්වල මහතාගේ සිදුවීම. මෙමගින් මේ රටට දෙන පණිවිඩය තමයි ‘ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ කවුරු හෝ මොන යම් හෝ වරදක් කළත් පොලිසිය නිශ්ශබ්දව සිටිය යුතුයි; නැතිනම් දඩුවම් කරන්නේ වැරදිකාරයින්ට නොව පොලිසියට යි’ කියන පණිවිඩය මේ සමාජයටත්, පොලිසියටත් මේ ආණ්ඩුව ලබාදෙමින් තිබෙනවා.

මේ තමයි මේ රටේ මෑත ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරපු භායානකම දරුණුම පහරදීම.”෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *