2026 වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2026 වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ


2026 වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

(21.11.2025 – hirunews.lk)

2025 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට සහ දෙමව්පියන්ට අදාළ පාසල්වල කඩඉම් ලකුණු දැනගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන https://moe.gov.lk/ වෙත පිවිසිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනු ලබන්නේ.

තවද, ශිෂ්‍යයාට 6 ශ්‍රේණිය සඳහා ඇතුළත් වීමට ලැබී ඇති පාසල පිළිබඳ තොරතුරු පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

https://g6application.moe.gov.lk

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා ප්‍රමුඛතම ජාතික පාසල් කිහිපයක නවතම කඩඉම් ලකුණු පහත සඳහන් පරිදි වේ :

බාලක පාසල් :

කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) – 175
ධර්මරාජ විද්‍යාලය (Dharmaraja College) – 174
ආනන්ද විද්‍යාලය (Ananda College) – 170
කිංග්ස්වුඩ් විද්‍යාලය (Kingswood College) – 170
මලියදේව විද්‍යාලය (Maliyadeva College) – 169
රිච්මන්ඩ් විද්‍යාලය (Richmond College) – 168
නාලන්දා විද්‍යාලය (Nalanda College) – 167

බාලිකා පාසල් :

විශාඛා විද්‍යාලය (Vishaka Vidyalaya) – 176
දේවි බාලිකා විද්‍යාලය (Devi Balika Vidyalaya) – 171
මලියදේව බාලිකා විද්‍යාලය (Maliyadeva Balika Vidyalaya) – 170
මහමායා විද්‍යාලය (Mahamaya College) – 168
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය (Sirimavo Bandaranaike Vidyalaya) – 168
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල (Holy Family Convent, Kurunegala) – 167
සවුත්ලන්ඩ්ස් විද්‍යාලය (Southlands College) – 167


රුපියල් 10,000 ක අල්ලසක් ගත් බිට්ටුවා රිමාන්ඩ්

(21.11.2025 – hirunews.lk)

දැව කඳන් ඉරීම සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පතට අදාල කුට්ටි වාර්තාව ඇතුලත් බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් දහදහසක (10,000) අල්ලසක් ලබාගත් බව කියන බිට්ටු නිලධාරියෙක් ලබන දෙසැම්බර් 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (21) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දෙහිඅත්තකණ්ඩිය වනජීවී කාර්යාලයේ සේවය කරනු ලැබූ බීට්ටු නිලධාරියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, පැමිණිලිකරුට දැව කඳන් ඉරීමට බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පතට අදාල කුට්ටි වාර්තාව ලබාදී, එම දැව කඳන් ඉරීම සඳහා බලපත්‍රය ලබාදීමට කටයුතු කිරීමට එක් බලපත්‍රයකට රුපියල් 5,000 ක් බැගින් බලපත්‍ර දෙකට (2) රුපියල් 10,000 ක් වශයෙන් අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරු ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


ටිකට් නොදෙන බස්නාහිර කොන්දොස්තරලා සතියක් ගෙදර

(21.11.2025 – hirunews.lk)

බස් රථයේ ගමන් වාරත් දවස් දෙකකට (2) අත්හිටුවයි

බස්නාහිර පළාතේ බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ගේ සේවය දෙසැම්බර් 01 වැනිදා සිට දින හතකට (7) අත්හිටුවීමටත්, අදාළ බස් රථවල ගමන් වාර දින දෙකක (2) කාලයක් සඳහා තහනම් කිරීමටත් නියමිත බව බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසනවා.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ළඟදීම නිකුත් කිරීමට නියමිත බව ද පරිපාලන නිලධාරී (ධාවන), තේජා ජයසුන්දර සඳහන් කරනවා.

පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට අනිවාර්ය කෙරුණු අතර, නීතිය ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අඛණ්ඩව සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට දින 45 ක කාලයක් තුළ ප්‍රවේශපත්‍ර නොදුන් කොන්දොස්තරවරු 332 දෙනකුගේ සේවය දැනටමත් දින තුනක (3) කාලයක් සඳහා අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙම කාලය තුළ බස් රථ 5,198 ක් පරීක්ෂා කර ඇති අතර, ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ බස් රථ 446 කට දඩ නියම කර ඇත. එසේම, ප්‍රවේශපත්‍ර ලබා නොගත් මගීන් 21 දෙනෙකුට ද දඩ නියම කර තිබෙනවා.

පරීක්ෂා කළ මුළු බස් රථ සංඛ්‍යාවෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් දඩ නියම කර ඇති සංඛ්‍යාව 1,370 ක් වන අතර, බස්නාහිර පළාත තුළ වලංගු බලපත්‍ර සහිත ලියාපදිංචි බස් රථ සංඛ්‍යාව 5,500 ක් ෴


විදේශිකයන්ට ත්‍රිරෝද රථ ලයිසන් තාවකාලිකව අත්හිටුවයි

(21.11.2025 – hirunews.lk)

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය සඳහන් කරනවා.

විදේශිකයන්ට ත්‍රිරෝද රථ ධාවනය කිරීම සඳහා විශේෂ තාවකාලික බලපත්‍රයක් හඳුන්වා දීමට දැනට සැලසුම් කර නොමැති බවද නිළධාරීන් වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.

කෙසේ වෙතත්, වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් (IDP) ඇති විදේශිකයන්ට මෙරට රිය පැදවීමට නීත්‍යානුකූලව අවසර ඇති බව පොලිසිය පවසන්නේ.

තම මව් රටවලින් ලබාගත් දේශීය රියදුරු බලපත්‍ර ඇති අයට අවශ්‍ය සහතිකය හෝ අනුමැතිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමෙන් පසු රිය පැදවිය හැකියි ෴


2026 සිට රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක්

(21.11.2025 – hirunews.lk)

විනයගරුක රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ ලබන 2026 වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය (Demerit Points system) හඳුන්වා දෙන බවයි.

මෙකී නව යාන්ත්‍රණය මගින් මෙරට මාර්ගවල මාර්ග නීති නැවත නැවතත් උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීම සිදුවනවා.

ඒ අතර ආරක්ෂිත රිය පැදවීම සම්බන්ධයෙන් දිරිමත් කිරීම අරමුණු කරන බවයි සඳහන් ෴


ඇසිඩ් ප්‍රහාරයකින් කතක් මරුට

(21.11.2025 – hirunews.lk)

ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අයගම පොලිසිය පවසනවා.

එම කාන්තාවට හා ඇගේ 16 හැවිරිදි දියණියට මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකාරිය අවුරුදු 40 ක් වූ කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇති කාන්තාව සහ දරුවා අයගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මෙම කාන්තාව මියගොස් තිබෙනවා.

අසල්වැසි පිරිසක් සමග ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


දකුණු මුහුදෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 376 ක්

(21.11.2025 – hirunews.lk)

දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 376 ක් බව පොලිසිය පවසනවා.

එහි හෙරොයින් කිලෝග්‍රෑම් 115 ක් සහ (ගෝනි 5, පැකට් 100) අයිස් කිලෝග්‍රෑම් 261 ක් (ගෝනි 13, පැකට් 200) තිබූ බවයි සඳහන්.

මේ අතර පිස්තෝල 01 ක් මැගසින් 02 ක් රිවෝල්වර 01 ක් සමග ඉරිඩියම් චන්ද්‍රිකා 01 ක් (Iridium satellite ph) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6 දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරායට රැගෙන ආවා ෴


පූර්ව ළමාවියට නව විෂය මාලාවක්

(21.11.2025 – 22:52 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (21) ප්‍රකාශ කළේය.

මේ සඳහා වන ගුරු පුහුණුකිරීමේ වැඩසටහන ලබන 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (21) පස්වරුවේ පැවති මෙම වැඩසටහනට යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.

මෙහිදී ක්‍රියාකාරකම් පොත ගුරු මාර්ගෝපදේශ මාලාව සහ ඉගෙනුම් ආධාරක කට්ටල නිල වශයෙන් ලබාදීමද සංකේතවත් කෙරුණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියේ, ‘විෂය මාලා රාමුව’ ජාතික අධ්‍යාපන ආයතනයේ https://channelnie.nie.ac.lk/ වෙබ් පිටුවේ එළිදැක්වීමද මෙහිදී සිදුකළ බවය.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන ලංකාව තුළ විසිරී පවතින විවිධ මට්ටමේ මුල් ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථානවල එකම ආකාරයේ විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සහ ගෝලීය න්‍යාය පත්‍ර සඳහා මෙන්ම ශ්‍රී ලාංකික දරුවාගේ මුල් ළමාවිය යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අධ්‍යාපන විෂයමාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කොට ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමත් එහි වලංගුභාවය පරීක්ෂා කිරීමත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, යුනිසෙෆ් ශ්‍රී ලංකා යන සියලු ආයතනවල සහයෝගයෙන් සිදුකළ බව අදාළ නිවේදනයේ දැක්වේ.

යෝජිත මෙම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, යුනිසෙෆ් ආයතනයේ මූල්‍යමය හා තාක්ෂණික දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත.

+


වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට GMOA සැරසෙයි

(21.11.2025 – 17:53 +0530 – sinhala.adaderana.lk)

සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් සිය සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරනුයේ පසුගිය සඳුදා (17) දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී සිය සංගමයේ යෝජනා සමග ජනාධිපතිවරයා එකඟ වූ බවත් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීම සිය සංගමයේ ඉල්ලීම වූ බවත්ය.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ නමුත් මේ වන තෙක් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්වාස කළ හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය සිය චෝදනා කර තිබේ.

ඒ අනුව හෙට (22) දිනයේදී අයවැය තුන්වෙනි වර (3) කියවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ කාරක සභා විවාදය පැවැත්වෙන බැවින් මෙම ගැටලු විසඳීම සම්බන්ධයෙන් පැහැදිලි විසඳුම් මාලාවක් කාල රාමුවක්ද සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම සංගමය සඳහන් කර ඇත.

එමෙන්ම මේ වන විට පවතින ප්‍රවණතාවයන් විධායක සභාව විසින් සමීපව නිරීක්ෂණය කරමින් පවතින බවත් ඉදිරි ප්‍රවණතාවයන් විශ්ලේෂණය කරමින් සහ තත්ත්වය සමාලෝචනය කරමින් සිය සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම සම්බන්ධයෙන් එළැඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනු ඇති බවත් එම සංගමය සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට වෛද්‍යවරුන්ට සහ නිදහස් සෞඛ්‍ය සේවාවට සාධාරණය ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් ඉදිරියේදී වඩා තීව්‍ර සහ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවනු ඇති බවත් එම සංගමය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත ෴


විදෙස් රැකියා ලබාදෙන ආයතනයක් වටලා 4 ක් අත්අඩංගුවට

(21.11.2025 – 17:08 +0530 – sinhala.adaderana.lk)

විදේශ රැකියා වංචාවන්හි යෙදීම හේතුවෙන් තාවකාලිකව බලපත්‍රය අත්හිටුවා තිබියදීත්, විදේශ රැකියා ලබාදීම සඳහා බඳවාගැනීම් සිදුකළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වටලා තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මරදාන ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් කරන බවට ලද තොරතුරක් අනුව අදාළ ස්ථානය ඊයේ (20) වටලන ලදී.

එහිදී හෙළිවී ඇත්තේ විදේශ රැකියා වංචාවන්ට අදාළව පැමිණිලි 85 ක් ලැබීම හේතුවෙන් එම ආයතනයේ බලපත්‍රය මෙලෙස අත්හිටුවීමට පියවරගෙන ඇති බවය.

ඒ අනුව එම ආයතනයේ බලපත්‍රලාභියා (1) හා එහි සේවය කළ නිලධාරීන් තිදෙනෙකු (3) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එහි තිබී විදේශ ගමන්බලපත්‍ර 256 ක් ඇතුළු ලේඛන රැසක්ද භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර, එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි සොයා බලන ලෙස එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඒ සඳහා කාර්යාංශයේ https://www.slbfe.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසද විදේශ රැකියා අපේක්ෂිතයින්ට පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *