සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති

සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති


සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති

(30.09.2025 – hirunews.lk)

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශි නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

රටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පරිපාලනයෙහිලා යමෙක් උත්සාහ දරන්නේ නම් එය රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජය බිඳ වැටීමට හේතුවන්නක් බවද උන්වහන්සේලා පවසති.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

වර්තමාන රජය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරීරික දඬුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම එවන් බරපතල සාරධර්මමය ආරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිමු.

සමාජ සංස්ථාවන්ගේ කාර්යභාරය මෙන්ම මෙරට සාරධර්මමය අනන්‍යතාව පිළිබඳව නොසලකා හරිමින් ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතා පූර්ණය කර ගැනීමේ පටු පරමාර්ථ පෙරදැරිව නීති හා චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කිරීම පිළිබඳව මහා සංඝරත්නය ලෙස අපගේ බරපතල අප්‍රසාදය පලකර සිටිමු.

හිංසනය පිටුදැක ශික්ෂණයට මුල්තැනක් දීමේ පරමාර්ථයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා යෝජිත සංශෝධන හඳුන්වා දෙන බවට සඳහන් කළද මෙවැනි අදූරදර්ශි නීති මගින් සිදුවනුයේ ශික්ෂණයෙන් තොර ආචාරධර්ම පද්ධතියකට යටත් නොවන සමාජ සංස්ථා හා සමාජ වටිනාකම් වලට ගරු නොකරන නොහික්මුණු තරුණ පරපුරක් බිහි කිරීමය. සමාජ යහපැවැත්ම මෙන්ම පුද්ගල ආරක්ෂාව මත පදනම්ව නීති සකස් කිරීම හා ක්‍රියාත්මක වීම සිදුකළ යුතුය.

එසේම යම් ක්‍රියාවක් සිදු කිරීමේ චේතනාව එම ක්‍රියාවේ සද්භාවය තීරණය කිරීමෙහිලා මූලික වන බව බුදු දහමේ මෙන්ම නීතියේ ද මූලික සංකල්පයකි. ස්වකීය දරුවා ශික්ෂණය කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන දෙමාපියන් මෙන්ම ගුණධර්මයන්ගෙන් පෝෂිත නිසි විනයක් සහිත දරු පරපුරක් බිහි කිරීමට කටයුතු කරන ගුරුවරුන්ගේ භූමිකාව ද මේ තුළින් දැඩි අවමානයකට ලක්කර ඇත.

ළමා හිංසනය මෙන්ම අත්තනෝමතික ලෙස ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහය තුළ අඩංගු වන පසුබිමක අත්තනෝමතික ලෙස සිදු කරන මෙම නීති සංශෝධන මෙරට පවතින ඓතිහාසික සභ්‍යත්වයේ හා ඓතිහාසික අධ්‍යාපන සංස්කෘතියේ න්‍යෂ්ඨිය බිඳ දමමින් දෙමව්පියන් හා දරුවන් අතර මෙන්ම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පවතින අන්‍යෙයෝන්‍ය සම්බන්ධය, අවබෝධය හා සුහදතාව විනාශ කිරීමේ ආරම්භය බව අප සැවොම අවබෝධ කරගත යුතු කරුණකි.

එහෙත් සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතතාවක් නිර්මාණය වීමට මෙන්ම සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වීමට හේතුවන මව, පියා, ගුරුවරයා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩු දෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහානියට හේතුවන බව මහජන නියෝජිතයින් අවබෝධ කර නොගැනීම වර්තමාන ශ්‍රීලංකේය දේශපාලන ප්‍රවාහයන්ගේ අන්ධානුකරණ ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ පවතින අනවබෝධය මනාව ප්‍රදර්ශනය කරයි.

එසේම අධම්මරාගය හෙවත් මව, පියා, සහෝදරයා, සහෝදරිය ආදි බැඳීම් හා ඥාති සම්බන්ධතාවන් නොසලකා තිරිසන් සතුන් මෙන් ලිංගික ප්‍රීණනය සඳහා පුද්ගලයා යොමු කරවීමත් මිච්ඡාධම්ම හෙවත් සමලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම මගින් පුද්ගලයාගේ ආයුෂය හා වර්ණය පරිහානියට පත්වන ආකාරය මෙන්ම එය සමාජ බිඳ වැටීමට හේතුවන ආකාරයත් චක්කවත්තී සීහනාද සූත්‍රය තුළ තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කොට ඇත.

ආර්ථික සංවර්ධනයට මුවාවෙමින් සදාචාර විරෝධී ක්‍රමෝපායන් ප්‍රවර්ධනය කිරීම රටක අරාජිකත්වය උදෙසා හේතුවන අදූරදර්ශි ක්‍රියාවක් බවත් එවැනි ක්‍රියාවන්ගෙන් වැලකී මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් මත පිහිටා සදාචාර හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් තිරසර සංවර්ධනයකට යොමු වීමට රජය අවධානය යොමුකළ යුතු බවත් එසේ නොවන්නේම නම් මෙම අප්‍රතිකාරි සංශෝධනයන් සම්බන්ධ මහජන විරෝධයේ දැඩි ප්‍රතිවිපාක විඳීමට රජයට සිදුවන බවත් අවධාරණය කරමු.

බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතුවන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්‍රකාශ කරන ගරු ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර මෙම අප්‍රතිකාරී සදාචාර විරෝධී ක්‍රියා වැලැක්වීමට අවශ්‍යය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

+++

මේ ආණ්ඩුව කරන්නේ බක පණ්ඩිතයෝ – ආණ්ඩුවට හිමිවරු ‘බිග් කුච්චන්’ එකක් දායි (30.09.2025)

+


රේගුව රඳවාගත් වාහන ගැන අධිකරණයෙන් නියමයක්

(30.09.2025 – 14:18 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන, සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයාබලා ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා රේගුවට නියම කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 15 ක් පමණ අද සලකාබැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම් අද (30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පොදුවේ අධිකරණය හමුවේ අවධාරණය කළේ, තම සේවාදායකයින් විසින් ආනයනය කළ මෙම වාහන රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

මෙම වාහන සියයට 35 ක අධිභාරයකට යටත්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට පෙත්සම්කරුවන් සියලුදෙනා තරයේ විරුද්ධ වන බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙම වාහන ආනයනය කිරීම සිදුකර තිබෙන්නේ රේගුව විසින් අනුමත රෙගුලාසි හා ගැසට් නිවේදනවලට අනුකූලව බවත් ඒවා රඳවාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එම නීතිඥවරුන් තර්ක කළේය.

මෙහිදී පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන දිගින් දිගටම රේගුව විසින් රඳවා ගැනීම නිසා තම සේවාදායකයින්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි සඳහන් කළේය.

මෙම වාහන අනාරක්ෂිත ආකාරයෙන් රේගුව තුළ රඳවා තිබෙන බවත් මේ හේතුවෙන් ඒවාට අව් රශ්මියෙන් මෙන්ම වෙනත් බාහිර සාධකවලින් හානි සිදුවීමට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වාදුනි.

මෙසේ සිදුවන හානිවලට රක්ෂණ වන්දි අය කරගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම වාහන පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් සඳහන් කර සිටියේය.

මෙහිදී විනිසුරු මඩුල්ල, ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට පෙන්වා දුන්නේ මෙම වාහන මුදාහැරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සියයට 35 ක අධිභාරය පැනවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමථයක් ඇති කරගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසය.

ඒ අනුව මෙම නඩුකරවල පෙත්සම්කරුවන් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් සංවිධානය කර මෙම ගැටළුව සමථයට පත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුනි.

එමෙන්ම මේ වනවිට රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පෞද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන් විමසා ඒ පිළිබඳව ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් සියල්ල සලකාබැලීම සඳහා ඔක්තෝබර් මස 22 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය දින නියම කළේය ෴


බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (01) සිට අනිවාර්ය කෙරේ

(30.09.2025 – hirunews.lk)

හෙට (01) සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම ප්‍රවේශ පත්‍රය ලබා නොගන්නා මගීන්ට ද දඩයක් පැනවීමටයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත්තේ.

මේ අතර හෙට (01) සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු‍ම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද අනිවාර්ය කර තිබෙනවා.‍

බොහෝ අවස්ථාවල මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන අතර ගමන් ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් ලබා ගැනීම හමුවේ මගීන් අපහසුතාවයට ද පත්ව තිබුණා.

කෙසේවෙතත් හෙට (01) සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇති පසුබිමක ඇතැම් ප්‍රදේශවල අද (30) සිටම ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරයක් දක්නට ලැබුණා.

එමෙන්ම හෙට (01) සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු‍ම ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද ආරම්භ කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ත්‍රී රෝද රථ වෘත්තිය සමිති පෙන්වා දුන්නේ ත්‍රී රෝද රථ සේවාවේ ගුණාත්මකභාවය සඳහා මෙම ක්‍රියාවලිය වඩාත් සුදුසු බවයි.

මේ අතර රියැදුරු බලපත්‍රය අලු‍ත් කිරීමේදී නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය සහතිකය ලබා ගන්නා අවස්ථාවේ තාවකාලිකව රියැදුරු බලපත්‍රය එම ස්ථානයෙන් නිකුත් කිරීම ද අද (30) සිට ආරම්භ වූණා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

මීට පෙර යම් රියදුරු බලපත්‍රයක සංශෝධන ඇත්නම් ඒවා සකස් කරගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට යාම අත්‍යවශ්‍ය වී තිබූ නමුත්, මෙම ක්‍රමවේදය හරහා ජනතාවට සිය රියැදුරු බලපත්‍රය අලු‍ත් කිරීමේදී නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ම සිය තාවකාලිකව රියැදුරු බලපත්‍රය එම ස්ථානයෙන්ම ලබාගත හැකියි ෴

+++

+


ජපන් ජෙප්පෝ, මේක බලලා වයින් ගැලුමක් බීපන්… මේ වගේ ගොබ්බ ඇමතිලා දැක්කමයි (30.09.2025)

+

නොබෙල් තෑග්ගක් තියෙනෝ, ඔහේට ඕනෙයි ? ලංකාව ඉවරෙටම ඉවරයි (30.09.2025)

+

මේ ආණ්ඩුව හදන්නේ, වෙනස් ලිංගිකයන්වත් විකුණන්නයි… නැතුව ඒ අයට ඇති ආදරේකට නෙවෙයි (30.09.2025)

+


නොබෙල් දිනූ ජනපති ලංකාවට – රටම කටුනායකට යයිද ? (30.09.2025)

+


හිතාගන්නටත් බැරි බලවේගයක් සහිත මොහු කවුද? දීගොඩ කුමාර ! (30.09.2025)

දීගොඩ කුමාර මහතා ශ්‍රී ලංකාවේ සිටිමින්, කිලෝමීටර දහස් ගනනක් ඈත සිටින රෝගීන් සමග සූම් තාක්ෂණයෙන් සම්බන්ධවී ඔවුන්ගේ රෝග ක්ෂණිකව සුවපත් කරන හැටි ! හෙට ලොව ‍‍‍‍‍‍‍‍වෛද්‍ය විද්‍යාව අද !

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *