අකාලයේ මියැදෙන්න ගිය ජීවිතයක් බේරාගත් පුංචි ‘සෙනුකි’ගේ වීරක්‍රියාව

අකාලයේ මියැදෙන්න ගිය ජීවිතයක් බේරාගත් පුංචි ‘සෙනුකි’ගේ වීරක්‍රියාව


අකාලයේ මියැදෙන්න ගිය ජීවිතයක් බේරාගත් පුංචි ‘සෙනුකි’ගේ වීරක්‍රියාව

(25.09.2025 – hirunews.lk)

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී සිය දිවි නසාගැනීම සඳහා ‘කැලිප්සෝ දුම්රිය’ට ගෙල තබා සිටි 42 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට 9 හැවිරිදි දැරියක් සමත්ව තිබෙනවා.

ඇයගේ තික්ෂණ නුවණ සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා මෙලෙස ජීවිතයක් බේරා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම වීරක්‍රියාව සිදුකර ඇත්තේ බණ්ඩාරවෙල පදිංචි ‘සෙනුකි හියාරා’ නම් ශිෂ්‍යාවයි.

ඇයගේ මව සහ පියා විදෙස්ගතව රැකියාවල නිරතවන අතර සෙනුකි සහ ඇගේ බාල සහෝදරයා ඔවුන්ගේ සීයා සහ මිත්තණිය සමග බණ්ඩාරවෙල නගරයේ ජීවත්වෙනවා.

සෙනුකි, ඇගේ සහෝදරයා සහ ඇගේ මිත්තණිය සමග පසුගිය 23 වනදා ‘කැලිප්සෝ දුම්රියෙන්’ දෙමෝර දක්වා ගමන් කිරීමට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ගොස් තිබුණා.

එහිදී සිය සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටි සෙනුකි, යම් පුද්ගලයෙකු කැලිප්සෝ දුම්රියේ රෝදයක් ආසන්නයේ රේල්පිල්ලට බෙල්ල තබාගෙන සිටින ආකාරය දැක තිබෙනවා.

“අනේ අන්කල් නැගිටන්න” යැයි එම පුද්ගලයාට සෙනුකි පවසා ඇතත් එම පුද්ගලයා ඒ පිළිබඳව ගණනකට ගෙන තිබුණේ නෑ.

පසුව ඇය එම පුද්ගලයා බේරාගැනීමට උදව් ඉල්ලමින් දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාමරය දිවගොස් තිබුණා.

වහාම ක්‍රියාත්මක වූ දුම්රිය නිලධාරීන් හා සේවකයන් එම පුද්ගලයා දුම්රිය මාර්ගයෙන් එළියට ගෙන සිදුවන්නට ගිය මහ විපතින් ඔහු බේරාගෙන තිබෙනවා.

සියදිවි නසාගැනීමට තැත්කළ පුද්ගලයා දුම්රිය ස්ථානාධිපති විසින් බණ්ඩාරවෙල පොලිසියට බාරදී ඇති බවද සඳහන්.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ඔහු මානසික ආතතියකින් පෙළුණු හිටපු නාවික හමුදා සාමාජිකයෙකු බවත් පවුල් ආරවුලක් නිසා මීට පෙර අවස්ථා කීපයකදී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත් විමර්ශණවලදී අනාවරණය වූ බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළා.

+


වසරක ශේෂ පත්‍රය | Aluth Parliamenthuwa | 2025.09.24

+


Hiru TV Balaya Live | Episode 611 | 2025-09-25

+


සම්බා සහල් වැඩිමිලට අලෙවි කළ ගාල්ලේ පෞද්ගලික සමාගමකට දඩ

(00.09.2025 – hirunews.lk)

ආනයනික සම්බා සහල් කිලෝවක් වැඩිමිලට අලෙවි කළ ගාල්ල – කහදූව වත්ත ප්‍රදේශයේ පෞද්ගලික සමාගමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05 ක දඩයක් නියම කර තිබෙනවා.

එම සමාගමේ හිමිකරු වරද පිලිගැනීම හේතුවෙන් මෙලෙස දඩ නියම කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළේ.

මෙහිදී ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 273 ක මිලකට අදාළ සමාගම විසින් අලෙවි කර තිබෙනවා.

මෙහි පාලන මිල වන්නේ රුපියල් 230 ක් ෴


පොලීසියටත් හොරු පනී

(25.09.2025 – hirunews.lk)

පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 06 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයට හොරු පැන එහි වූ විදුලි රැහැන් පද්ධතිය කපාගෙන ගොස් තිබෙනවා.

පැය 24 පුරාම පොලිස් නිලධාරීන් ගැවසෙන, දැඩි ආරක්ෂාවක් සහිත ගොඩනැගිල්ලක් වන මෙම ගොඩනැගිල්ලම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක්ද ක්‍රියාත්මකයි.

එසේ තිබියදීත් ගොඩනැගිල්ලේ හයවැනි (6) මහලේ ශ්‍රවණාගාරයට හොරු පැන ඇත්තේ එහි දොරක් කඩාගෙන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

සොරාගෙන ගොස් ඇත්තේ විදුලි උපකරණවලට විදුලි සම්බන්ධතාවය ලබා දී තිබූ විදුලි රැහැන් පද්ධතියේ තඹ කම්බි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මෙම සොරකම සිදුව ඇතැයි සැළකෙන්නේ පසුගිය අගෝස්තු 01 වෙනිදාත් ඊයේ (24) දිනයත් අතර කාලය තුළදීයි.

මේ කාලය තුළ එම ශ්‍රවණාගාරය කිසිවකුගේත් නිසි පරීක්ෂාවට ලක්ව නැති බව සඳහන්.

මේ ගැන ගොඩනැගිලි කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධිර විසින් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ ඊයේ (24) සවස් කාලයේදීයි ෴


රුපියල් කෝටි 30 ක වංචාවකට ඉන්දියානුවා රිමාන්ඩ්

(25.09.2025 – hirunews.lk)

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මෙරට ව්‍යාපාරිකයකු ලබාදුන් රුපියල් කෝටි 30 ක මුදලක් වංචා කළ බව කියන ඉන්දියානු ජාතිකයෙකු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරුගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට අධිකරණයෙන් නියම කරනු ලැබුවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී විමර්ශන නිලධාරීන් බාරයට ගෙන ඇති මැණික් ගල් කීපයක්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකරණයට යොමුකර වාර්තාවක් කැඳවන කරන ලෙසට ද අධිකරණයෙන් නියම කර තිබෙනවා.

එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනය පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියම කර ඇති අතර, මෙරට ව්‍යාපාරිකයකු තම දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

මෙරට තුළ ආරම්භ කිරීමට නියමිතව තිබූ බව කියන එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) ද කටයුතු කර ඇති බවද, පැමිණිලිකාර ව්‍යාපාරිකයා සැකකාර ඉන්දීය ජාතිකයාගේ ගිණුමට බැර කරන ලද රුපියල් කෝටි තිහෙන් (30) කෝටි පහළොවක (15) මුදලක් එම සැකකරු විසින් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරුන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ ගිණුමකට බැර කර ඇති බවටද විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරුන් දෙදෙනා (2) මේ වන විට ඇපමත මුදා හැර තිබෙනන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ සඳහන් කර ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා ෴


හිටපු හමුදා නිලධරයාගේ V8 ජීප් රථයක් සමඟ රු. ලක්ෂ 5 ක් ඉස්සූ පස්දෙනාගේ (5) කල්ලියේ අයෙක් කොටු

(25.09.2025 – hirunews.lk)

V8 වර්ගයේ ජීප් රථයක් සමඟ ගල්කිස්ස නගරයේ ප්‍රදර්ශනාගාරයක් ඉදිරිපිටදී විශ්‍රාමික යුද හමුදා නිලධාරියා පැහැර ගෙන රුපියල් ලක්ෂ පහකට (5) අධික මුදලක් කොල්ලකෑ පස් දෙනාගේ (5) කල්ලියේ අයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ‘සීසරයකු’ බව ද පොලිසිය කියනවා.

මහනුවර තැන්නේ කුඹුර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරියා වෙනත් පුද්ගලයකුගෙන් වාරික ගෙවාගෙන යන පොරොන්දුව මත මිලදී ගෙනතිබූ ‘වි එයිට්’ වර්ගයේ ජීප් රථයෙන් අවශ්‍යතාවයක් සඳහා මොරටුව කරා පැමිණ ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම ජීප් රථය මිලදී ගැනීමේදී කිසිඳු හිඟ වාරිකයක් නොමැති බවට එම පුද්ගලයා විශ්‍රාමික හමුදා නිලධාරියාට පවසා තිබුණද වාරික කීපයක් ගෙවීමට ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය පවසනවා.

එම අවශ්‍යතාවය සිදුකර ගැනීමෙන් අනතුරුව නැවත නුවර බලා යාමේදී ජීප් රථයේ ඇතිවූ යම් කාර්මික දෝෂයක් හේතුවෙන් විශ්‍රාමික හමුදා නිලධාරියා ගල්කිස්ස නගරයේ ප්‍රදර්ශනාගාරයක් අසල ජිප් රථය නතර කර සිට තිබෙනවා.

එහිදී එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයකු රියදුරු අසුන අසල වීදුරුවට තට්ටු කර ජීප් රථයේ පිටුපස අංක තහඩුව වැටීමට ආසන්න බවට පවසා ඇති අතර එම අවස්ථාවේදී විශ්‍රාමික හමුදා නිලධාරියා ජීප් රථයෙන් බැස තිබුණා.

ඒ සමඟම එම ස්ථානයට කඩා වැදුණු තවත් නාඳුනන පුද්ගලයන් සිව්දෙනකු (4) බලහත්කාරයෙන් ඔහුව ජීප් රථයට නන්වාගෙන කොට්ටාව අධිවේගී මාර්ගය අසලින් බස්සවා ජීප් රථය රැගෙන ගොස් තිබූ බව පොලිසිය පවසනවා.

එලෙස යන අතරතුරදී විශ්‍රාමික හමුදා නිලධාරියාට පහරවල් කිහිපයක්ද එල්ල කර තිබූ බව ඔහුගේ ප්‍රකාශයකින් අනාවරණය වු බව පොලිසිය සඳහන් කරනවා.

එම අවස්ථාවේදී තම ජීප් රථයේ රුපියල් 530,000/= ක මුදලක් තිබූ බවත් පැහැර ගැනීමට ලක් වූ යුද හමුදා විශ්‍රාමික නිලධාරියාය එදින හෝමාගම පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

ජීප් රථය පැහැර ගැනීමට පැමිණි පිරිස වෑන් රථයකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සීසරයා කළුබෝවිල ඇන්ඩෙසන් පාර පදිංචි වයසඅවුරුදු 54 ක පුද්ගලයෙක්.

පැහැරගැනීමට ලක් වූ ජීප් රථය වාහන අංගනයක තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකරගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා ෴


මාර්ග පරීක්ෂාවකදී යතුරුපැදි ජාවාරමක් අතටම මාට්ටු

(25.09.2025 – hirunews.lk)

ව්‍යාජ අංක තහඩු යොදා චැසි අංක මකා දමා නීති විරෝධී ලෙස ළඟ තබාගෙන තිබූ යතුරුපැදි 13 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට අඟුණුකොළපැලැස්ස පොලීසිය සමත් වී තිබෙනවා.

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 49 ක් වන පදලංගල, කුට්ටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු සන්තකයේ තිබී TVS, Bajaj, Honda, Suzuki, PALSOR වැනි විවිධ වර්ගවලට අයත් යතුරුපැදි පොලිස් භාරයට පත් වී තිබෙනවා.

මෙම මහා පරිමාණ ජාවාරම හෙළි වී ඇත්තේ සැප්තැම්බර් 20 වන දින අඟුණුකොළපැලැස්ස රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සාමාන්‍ය යතුරුපැදි පරීක්ෂාවකදීයි.

එහිදී ව්‍යාජ ලේඛන සහිත යතුරුපැදියක් සමඟ එක් (1) සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පිළිබඳ සිදු කළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම නීති විරෝධී යතුරුපැදි තොගය සහ අනෙක් සැකකරුවන් දෙදෙනා (2) කොටු කර ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් ඉහත යතුරුපැදිවල සැබෑ හිමිකරුවන් හෝ ප්‍රධාන සැකකරුගෙන් යතුරුපැදි මිල දී ගත් අයෙක් සිටී නම්, ඒ පිළිබඳව වහාම අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙසයි පොලීසිය නිවේදනය කර ඇත්තේ ෴


මගියකුගේ පා පහරින් බස් රියෙන් එළියට විසි වූ තවත් මගියෙක් මරුට

(25.09.2025 – hirunews.lk)

බස් මගියකුගේ පා පහර හේතුවෙන් බස් රථයෙන් එළියට විසි වී බරපතළ තුවාල ලබා මාස ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිට මිය ගිය තවත් බස් මගියකුගේ පුවතක් නාරම්මල පොලිසියෙන් වාර්තාවෙයි.

මරණකරු 52 හැවිරිදි ඩී.චන්ද්‍රසිරි සිල්වා නමැති රත්මල් පොකුණ කළුගමුව පදිංචි වෘත්තියෙන් කුලී වැඩවල නිරත වන්නකු වන අතර සැකකරු 19 හැවිරිදි රැකියා විරහිත තරුණයෙකි.

පහර දීම සිදුව ඇත්තේ 2024.11.12 දින වන අතර, එදින නාරම්මල – කුරුණෑගල පෞද්ගලික බස් රථයක ඇති වූ ආරවුලක් සිද්ධියට හේතු වී තිබේ.

පොලිසිය පවසන පරිදි මරණකරු බීමත්ව බස් රථයේ සිටි මගීන් සහ කොන්දොස්තර සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර එහි දී සැකකරු විසින් මරණකරුට පා පහරක් එල්ල කර තිබේ.

ප්‍රහාරයත් සමග බස් රථයෙන් එළියට විසි වී ගිය මරණකරු බරපතළ තුවාල ලබා ඇති අතර, කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබා නිවසට පැමිණ සිටිය දී 2025.05.18 වන දින මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මොළයට බරපතළ තුවාල සිදුවීමෙන් වූ මරණයක් බවට වාර්තාව ලබා දී ඇත.

එම වාර්තාව 2025.09.22 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

නාරම්මල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති ෴


‘කෙහෙල්බද්දර පද්මේ’ගේ යැයි සැක මයික්‍රෝ පිස්තෝලයක්, පතොරම් සහ මාංචු පෑලියගොඩින් හමුවෙයි

(26.09.2025 – hirunews.lk)

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාට අයත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමකදීයි.

පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ එම මෙහෙයුමේදී මෙම ගිනි අවිය ඇතුළුව මැගසින් 4 ක් සහ ටී-56 වර්ගයේ උණ්ඩ 500 කට අධික ප්‍රමාණයක් මෙලෙස සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *