සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් හා නිලංග ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් හා නිලංග ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් හා නිලංග ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට

(28.08.2025 – hirunews.lk)

‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සාලින්ත’, ‘බැකෝ සමන්’ සහ ‘නිලංග’ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් යැයි කියන කණ්ඩායමක් ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++

+++

+++

+++

+++

ඉන්දුනීසියාවෙන් පනින්න යද්දී ‘පද්මේ’ ඇතුලු පිරිස ඇල්ලුවේ තාක්ෂණික මෙහෙයුමකින්

(28.08.2025 – hirunews.lk)

‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධකරුවන් කොටුකර ගැනීමට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වූ මෙහෙයුම අතරතුර මෙම කල්ලියට ඒ බවට තොරතුරු ලැබී ඉන්දුනීසියාවෙන් පළායාමට සූදානම් වී සිට ඇතැයි වාර්තා වෙනවා.

ස්ථාන තුනක (3) රැඳී සිටි ඔවුන් ඉන්දුනීසියාවෙන් පළායාමට සූදානම් වී ඇත්තේ බෝට්ටුවක නැගී බවද කියැවෙනවා. ඔවුන් ඊයේ (27) දහවල් 01:00 ට පමණ නවාතැන් ගෙන සිටි ස්ථානවලින් පිටත්ව එක් ස්ථානයකට එකතුවී තිබෙනවා. ‘කමාන්ඩෝ සලින්ද’, ‘පානදුරේ නිලංග’ සහ ‘තැඹිලි ලහිරු’ සිය ඇත්තේ එක ස්ථානයකයි. ඔවුන් සිය නවාතැනේ සිට වෑන් රථයක නැගී ජාකර්තා නුවර යම් ස්ථානයකට ගොස් තිබෙනවා. ‘බැකෝ සමන්’ සිය බිරිඳ හා දරුවාද රැගෙන එම ස්ථානයට ගොස් තිබෙන බව කියැවෙනවා. ‘කෙහෙල්බද්දර පද්මේ’ ද එතැනට එක්ව තිබෙනවා.

මෙසේ ඔවුන් සිය නවාතැන් වෙනස් කිරීමත් සමඟ පොලිස් උපායදූතයන්ට ආරක්ෂිත කැමරා සහ දුරකථන ජාල විශ්ලේෂණයක් සිදුකරමින් කණ්ඩායම කොටුකර ගැනීමට පැය දෙකක (2) පමණ කාලයක් ගතව ඇතැයි පැවසෙනවා.

‘කෙහෙල්බද්දර පද්මේ’ වැඩි කාලයක් ඉන්දුනීසියාවේ රැඳී සිට ඇති බවත් සෙසු සැකකරුවන් මෑතකදී ඉන්දුනීසියාවට පැමිණ ඇති බවත් සඳහන් වෙනවා.

ඉන්දුනීසියාව කේන්ද්‍රකරගනිමින් ගොඩබිම් සහ ජල මාර්ග ඔස්සේ ඔවුන් තායිලන්තය, මලයාසියාව, ඩුබායි, අබුඩාබි සාජි යන රටවල් අතර සංචාරය කරමින් සිට ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි කියවෙනවා.

ජාත්‍යන්තර පොලිසිය මගින් මේ අයට රතු නිවේදන නිකුත්තර ඇති බැවින් ගුවන් මගින් කෙරන ගමන් නොකර සිටීමට ඔවුන් පරිස්සම් වී ඇති බව ද අනාවරනය වී තිබෙනවා.

මේ කණ්ඩායම දේශ සීමා ආරක්ෂකයින් මඟ හැර රටවල් අතර සංචාරය කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මෙම කණ්ඩායම කොටුකර ගැනීම මුළුමනින්ම ක්‍රියාත්මක වී ඇත්තේ තාක්ෂණික මෙහෙයුමක් ලෙසින්. බොහෝ විට මෙම අපරාධකරුවන් ඉන්දුනීසියානු පොලිසියේ ද සහය ඇතිව හෙට (29) දිනයේ මෙරටට ගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ ෴

+++

පද්මේ ඇතුළු පාතාල චණ්ඩි ඉන්දුනීසියාවේ දී කොටු වූ හැටි

(28.08.2025 – 21:35 +0530 – sinhala.adaderana.lk)

‘ගණේමුල්ල සංජීව’ ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ආකාරය ගැන තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම පිරිස කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතය.

මෙම අපරාධකරුවන් අතරින් ‘මන්දිනු පද්මසිරි’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’ හා ‘කුඩු නිලංග’ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සැඟවී සිටින බවට පොලීසියට විශ්වාසදායි තොරතුරක් පසුගියදා ලැබී තිබේ.

ඒ අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ උපදෙස් මත ඒ සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා මීට දින 7 කට පමණ පෙර ඉන්දුනීසියාව බලා පිටත්කර තිබේ.

ඔවුන් දෙදෙනා (2) රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉන්දුනීසියානු පොලිසියේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් හා එක්ව අපරාධකරුවන් පිළිබඳ ආවේක්ෂණ රාජකාරී සිදුකර ඇත.

විමර්ශන සිදුකළ මෙරට පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම දින 7 තුළ බොහෝ අවස්ථාවල එක්වේලක් පමණක් ආහාර ගෙන ඇති අතර, පදික වේදිකාවල පවා නිදාගනිමින් අපරාධකරුවන් පිළිබඳ සෝදිසියේ නිරතව සිටි බව සඳහන්.

කෙසේ වෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවට ඔවුන් ලද තොරතුරකට අනුව ජකර්තා නුවර පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සිටි ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’ හා ‘කුඩු නිලංග’ එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා (2) එරට ආරක්ෂක පොලිස් කණ්ඩායම සමග ඔවුන් පසුපස ඉතා සූක්ෂ්ම අයුරින් හඹාගොස් තිබේ.

එලෙස පලායන පිරිස තමන් රැඳී සිටි නිවාස සංකීර්ණයේ සිට කිලෝමීටර 7 ක් පමණ දුරින් වූ තවත් අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකට ගොස් ඇත.

එම ස්ථානයට යෑම සඳහා ඔවුන් විවිධ මාර්ග භාවිත කර ඇති අතර, ඔවුන් එතැනට ළඟා වී ඇත්තේ කිලෝමීටර 60 ක පමණ දුරකින් යුත් මාර්ගවල ගමන්කිරීමෙන් පසුව බව සඳහන්.

කෙසේ වෙතත් ඒකාබද්ධ පොලිස් කණ්ඩායම අපරාධකරුවන් පිරිස රැඳී සිටි නිවාස සංකීර්ණය අද (28) අලුයම වටලා තිබේ.

එහිදී ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’ හා ‘කුඩු නිලංග’ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සමග සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) හා තුන්හැවිරිදි කුඩා දරුවකු සමග සිටි කාන්තාවක් ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඔවුන් ‘කජ්ජා’ හා දරු දෙදෙනා (2) ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ‘බැකෝ සමන්’ හා ‘තැඹිලි ළහිරු’ යන දෙදෙනා (2) බවය.

අදාළ කාන්තාව හා දරුවා ‘බැකෝ සමන්’ගේ බිරිය හා දරුවා බවද එහිදී අනාවරණ වී තිබේ.

පසුව පිරිස ඉන්දුනීසියා පොලිසියට එරට මුදලින් මිලියන 10 ක් එම ස්ථානයේදීම ලබාදී බේරී යාමට උත්සහා දරා ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් එය නොතැකූ පොලිස් කණ්ඩායම අදාළ අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

+++

රටින් පැන්න පාතාලයන් හතරක් (4) ගේන්න රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්

(28.08.2025 – hirunews.lk)

ඉන්දියාව, රුසියාව, ඩුබායි සහ ඕමාන්වල මේ වන විට අත්අඩංගුවේ සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් සිව් දෙනෙකු (4) මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම පාතාල ක්‍රියාකාරිකයන් අතර, ‘පොඩිලැසී, රොටුඹ අමිල, වැලිඔය ප්‍රියන්ත, මිදිගම චූටි’ යන අය සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

‘පොඩි ලැසී’ ඉන්දියාවේ මුම්බායි හීදී අත්අඩංගුවට ගන්නේ පසුගිය ජනවාරි මාසයේදීයි.

එරට ආගමන විගමන නීතිය යටතේ මේ වන විට ඔහුට එරෙහිව නඩුවක් පවතින බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට තවමත් නොහැකි වී ඇතැයි පැවසෙනවා.

එම නඩු කටයුත්ත ලබන ඔක්තෝබර් වන විට අවසන් වනු ඇති බව සඳහන්.

රුසියානු අත්අඩංගුවේ සිටින්නේ ‘රොටුඹ අමිල’යි. ඔහු සම්බන්ධයෙන්ද එරට අධිකරණයේ නඩුවක් පවතින බව සඳහන්. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් මාර්තු මාසයේදීය.

‘මිදිගම රුවන්’ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමානයේ දීයි.

‘වැලිඔය ප්‍රියන්ත’ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි හීදීයි.

මේ වන විට ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම් රාජ්‍ය තාන්ත්‍රිකව සිදුවෙමින් පවතින බව පැවසෙනවා.

මෙයට පෙර අවස්ථා ගණනාවකදීම ඩුබායි හා මැදපෙරදිග කලාපයේ රටවලදී අත්අඩංගුවට ගත් මෙරට පාතාලයේ අපරාධකරුවන් එම රටවලින් නිදහස ලබා ඇතැයි සඳහන් වෙනවා.

‘ඇල්ටෝ ධර්මේ’, ‘ලලිත් කන්නන්ගර’ ද ඒ අය අතර සිටියි.

ප්‍රංශයේදී ‘රත්මලානේ කුඩු අංජු’ අත්අඩංගුවට ගත්තද ඔහුව මෙරටට භාරදුන්නේ නැත. මේ වන විට ඔහු එරට දේශපාලන රැකවරණය ලබා සිටිනවා.

‘කංජිපානි ඉම්රාන්’ සහ ‘රූබන්’ සිටින්නේ යැයි සඳහන් වන්නේ ප්‍රංශයේය.

ඩුබායි හී කාලයක් රැදී සිටි ප්‍රබල පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් මේ වන විට එංගලන්තය, ප්‍රංශය , රුසියාව, ඉතාලිය, ඔස්ට්‍රියාව ආදී යුරෝපීය රටවලට සංක්‍රමණය වී ඇති බව සඳහන්.

‘රත්ගම විදුර , කොස්ගොඩ සුජී , කුඩු ලාල් , අන්නාසි මොරිල්, මොහොමඩ් සිද්ධික්’ වැනි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක්ම මේ වන විට සිටින්නේ යුරෝපීය රටවලයි ෴

+++


අතිශයින් සංචාරක ආකර්ෂණය දිනූ ලෝකප්‍රසිද්ධ දෙමෝදර රේල් ගැට කන්දේ ගින්න (27.08.2025)

+


රුපියග් බිලියන 55 කට අධික මුදල් අවභාවිතාවක් තොරතුරු රැසක් අනාවරණය වෙයි (27.08.2025)

+


පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට (2) දිවි අහිමි කළ මාරක අනතුර

(28.08.2025 – 20:11 +0530 – sinhala.adaderana.lk)

හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (28) දහවල් මෙම මාරක රිය අනතුර සිදුවූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

වව්නියාව සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අදාළ අනතුරින් පාසල් අවසන් වී නිවස බලා යමින් 10 හැවිරිදි හැවිරිදි පාසල් සිසුවියක් සහ 27 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

27 හැවිරිදි පුද්ගලයා ලොරි රථයේ රිය සහායක ලෙස කටයුතු කල පුද්ගලයා බව වාර්තා වෙයි.

ලොරි රථයේ ගමන්කළ රියදුරු හා තවත් පුද්ගලයෙකු (1) බරපතළ තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

මියගිය සිසුවියගේ හා රියදුරු සහායකගේ මෘත ශරීර හොරොව්පතාන රෝහලේ තැන්පත් කර ඇති අතර හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


බණ්ඩාරවෙලදී දුම්රියෙන් වැටී පුද්ගලයෙකු (1) මරුට

(28.08.2025 – hirunews.lk)

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගමන් ගත් පුද්ගලයකු (1) අද (28) පස්වරු 03:30 ට පමණ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇද වැටී එම දුම්රියටම යට වීමෙන් මියගොස් ඇතැයි අප වාර්තාකරු පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

එම පුද්ගලයා අද (28) කිසියම් අවශ්‍යතාවයක් සඳහා බණ්ඩාරවෙල නගරයට යාම සඳහා මහනුවර දුම්රිය ස්ථානයෙන් ‘පොඩි මැණිකේ’ දුම්රියට ගොඩවී ඇති අතර දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලට පැමිණෙනවාත් සමගම දුම්රිය නතර කිරීමට පෙර ඉන් බැසීමට තැත් කිරීමේ දී ඇද වැටී ධාවනය වෙමින් පැවතී එම දුම්රියටම යට වීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දේහය මේවන විට බණ්ඩාරවෙල මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *