මේජර් ජෙනරාල් සම්බන්ධ නිදන් සිද්ධියට කන්‍යාවියක බිලි දුන්නාදැයි සොයයි

මේජර් ජෙනරාල් සම්බන්ධ නිදන් සිද්ධියට කන්‍යාවියක බිලි දුන්නාදැයි සොයයි


මේජර් ජෙනරාල් සම්බන්ධ නිදන් සිද්ධියට කන්‍යාවියක බිලි දුන්නාදැයි සොයයි

(24.08.2025 – hirunews.lk)

නිදන් හෑරීමක් සම්බන්ධයෙන් ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ඇතුළු පස් දෙනා (5) සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදුවන බව පොලිසිය පවසනවා.

සිද්ධිය දුටු බව කියන ළමයින් පිරිසකගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණ‍යක් සිදු වන බව පොලිසිය කියනවා.

ඊයේ (23)පස්වරුවේ ළමයින් පිරිසක් එම නිදන් හෑරූ බව කියන ඉඩමේ සරුංගල් යවමින් සිට ඇති අතර එම ස්ථානයට වයස අවුරුදු 17 ක පමණ ගැහැණු ළමයෙකු රැගෙන එන දුටු බවත් එම ළමයාගේ බෙල්ලට පිහියක් තබා ගෙන සිටිනු දුටු බවත් ළමයින් පොලිසියට පවසා තිබෙනවා.

එම සාක්ෂි මත පදනම්ව නිදන් හෑරීමට බිල්ලක් ලෙස ගැහැණු ළමයකු යොදා ගත්තාද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙනවා.

නිදන් ගැනීමට සූදානම් වූ බව කියන ස්ථානයේ කුකුළකු බැඳ තබා සිටියදී සොයාගෙන තිබෙනවා. පිදේනි තටු, දුම්මල, සාම්බ්‍රානි, ජෙනරේටර් දෙකක් (2), කඩුවක්, පිහි, ගෙජ්ජි, පහන් පැළ, තැඹිලි, පුහුල් ආදී ද්‍රව්‍ය රැසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ වන විට ‘ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ සම්බන්ධ නිල සුනඛ ඇලිස්කා’ මෙම ස්ථානයට ගෙන්වා යම් අපරාධයක් සිදුවී ඇත්දැයි පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

නමුත් මේ වන තෙක් පරීක්ෂණ කළද මෙම ස්ථානයේ බිලි දීමක් කළ බවට සලකුණු හෝ ගැහැණු ළමයෙකු සොයා ගැනීමට හැකිවී නෑ.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න ගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරත් විමර්ශන සිදු කෙරෙනවා ෴

+++

බිරිඳගේ ඉඩමේ නිදන් හාරන්න ගිය මේජර් ජෙනරාල්ට මාංචු

(24.08.2025 – hirunews.lk)

නිදන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු ඇතුළු පස් දෙනකු (5) ඊයේ (23) රාත්‍රී කාලයේදී බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසනවා.

ගම්වැසියන්ගෙන් ලද ඔත්තුවට අනුව අත්ඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ දොලහේන වත්තට යන මාර්ගයේ අක්කර 12 ක ඉඩමක මෙම පිරිස රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය අතර කට්ටඩියෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරනවා.

මෙම පිරිස අත්අඩංගුවට ගත් වත්තේ යම් පූජාවක් පවත්වා ඇති බවට සලකුණුද ඇතැයි ද පොලිසිය කියනවා.

විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හෝමාගම පදිංචිකරුවකු වන අතර සෙසු සැකකරුවන් හොරණ ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මෙම විශ්‍රාමික මේජර් ජනරාල්වරයා හමුදාවේ ජනප්‍රිය චරිතයක් වන අතර ඔහු කලක් රණවිරු සේවා අධිකාරියේද ප්‍රධානියකු ලෙස කටයුතු කර තිබෙනවා.

‘රනින් නිමකර ඇති තැඹිලි ගෙඩි සහ මැණික්’ මෙම ස්ථානයේ නිදන්කර ඇති බව ජනප්‍රවාදයේ පවතින බවත් එබැවින් නිදන් හොරු අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයේ කැණීම් කරන්නට පැමිණ ඇති බවටත් ගම්වැසියන් පවසනවා

මෙම ඉඩමේ හිමිකරු මේජර් ජනරාල්වරයාගේ බිරිඳ බව ද පොලිසිය සඳහන් කරනවා. කැළෑවට ගොස් තිබුණු මෙම ඉඩම ශුද්ධ පවිත්‍රකර වරක් ඔහු කුරුදු වගාකර ඇති බවද පොලිසිය සඳහන් කරනවා. නැවතත් මෙම ඉඩම සුද්දකර ඇති බව ද පෙනී ගොස් ඇතැයි ද පොලිසිය කියනවා.

මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් නිධානයක් ගැන කිසිවක් නොදන්නා බවත් මෙම ඉඩම සිය බිරිඳයගේ පරම්පරාවට අයිති ඉඩමක් බවත් ය.

මෙම සැකකරුවන් මේ වන විට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා ෴


ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන CIDය තවත් විමර්ශනයක් අරඹයි

(24.08.2025 – hirunews.lk)

පුවත්පත් කර්තෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යළි විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අමතරව මෙම නව විමර්ශනය ක්‍රියාත්මක වන බවයි.

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘවරයෙකු වූ ලසන්ත වික්‍රමතුංග, 2009 ජනවාරි 09 වැනිදා රත්මලානේදී, සිය කාර්යාලයට මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඝාතනයට ලක් වුණා.

මේ අතර, තවත් මාධ්‍යවේදියෙකු වූ ‘කීත් නොයාර්’ව පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන ගොනුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ ෴


‘තැපැල් වැඩ වර්ජනය’ අවසන්

(24.08.2025 – hirunews.lk)

දිවයින පුරා ක්‍රියාත්මක වූ ‘තැපැල් වැඩ වර්ජනය’ අවසන් කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ තැපැල් වෘත්තීය සමිති පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴


ඇමති වසන්තට එරෙහි නඩුව ප්‍රමාද වීම සම්බන්ධයෙන් අධිකරණය පොලිසියෙන් ප්‍රශ්න කරයි

(24.08.2025 – hirunews.lk)

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ තිස්හයකට (36) බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කරන ලද්දේ ඇයිදැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් පෙරේදා (22) විමසා තිබෙනවා.

පසුගිය අගෝස්තු 14 වැනිදා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ පසුගිය නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව ලබාදුන් ප්‍රකාශ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පෙරේදා (22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මෙලෙස විමසා ඇත්තේ.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදුන් අතර ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට (36) ඉඩමක් බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබුණා.

2020 වර්ෂයේ ‘නැෂනල් වර්කර්ස් කොංග්‍රස්’ වෘත්තීය සමිතියේ පැවති මහා සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන්ව ඇති බවත් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

අදාල නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී (2) ගරු අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් (2) පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට ගරු අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවත් ‘නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්’ ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් ‘වසන්ත සමරසිංහ’ යන අයට නොමැති බවත් ගරු මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පැවසුවා.

තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා නියෝග ලබාදීමට නැවත මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 26 වන දින කැඳවීමට නියමිතයි ෴


බොරලැස්ගමුව වෙඩි තැබීමට ආධාර, අනුබල දුන් බවට දෙදෙනෙකු (2) සැකපිට අත්අඩංගුවට

(24.08.2025 – hirunews.lk)

බොරලැස්ගමුව වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගිය සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී අද (24) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක (2) සාමාජිකයන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, උදය කුමාර වුට්ලර් සඳහන් කළේ ෴

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩිත්කරුවන් පැමිණි තීරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

එම තීරෝද රථය තුළ තිබීම කළු පාටට හුරු ආරක්ෂක හිස් වැසුම් දෙකක් (2) සහ කළු පාටට හුරු ජැකට්ටුවක් තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිදුවූ එම වෙඩි තැබීමෙන් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පදිංචි 21 හැවිරිදි තරුණයකු මරුමුවට පත් වී තවත් පුද්ගලයකු තුවාල ලැබුවා.

දමා ගොස් තිබූ ත්‍රී රෝද රථය කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කරන බව පොලිසිය පවසනවා.

බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴


ගාල්ලේ මවගේ මරණ පරීක්ෂණයට විශේෂඥ අධිකරණ වෛද්‍යවරු තිදෙනෙක්‍ (3)

(25.08.2025 – hirunews.lk)

කරාපිටිය හිඹුරල පෞද්ගලික රෝහලක් තුළදී සිදුකළ සැත්කමකින් අසාධ්‍ය තත්ත්වයට පත්ව කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කළ එක්දරු මව මිය යෑම සම්බන්ධයෙන් මරණයට හේතුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනකු (3) ගෙන් යුතු වෛද්‍ය මණ්ඩලයක් මගින් අද (25) දිනයේදී මරණ පරික්ෂණය සිදුකිරිමට නියමිත බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එරංග මහතා පැවසයි.

ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රෝහල් අධ්‍යක්ෂවරයාට කළ නියමයට අනුව මෙම පරික්ෂණය සිදුවෙයි.

ගාල්ල මීපාවල පදිංචි සෙව්වන්දි (46) ඉලම්පෙරුම නැමැති එක්දරු මව මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියා.

මියගිය කාන්තාව උදරයේ වේදනාවක් මත මෙම පෞද්ගලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඩිමිබකෝෂයේ ගෙඩියක් ඇති බවත් එය සුව කිරීමට ගර්භාෂය ඉවත් කළ යුතු බවත් අදාළ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇතැයි වාර්තා වෙනවා.

පසුව ඔහු විසින් එම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව මෙම කාන්තාව නිවසට ගොස් ඇති අතර දින කීපයකින් නැවත අසනීප විම හේතුවෙන් පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබුණා.

රෝහල් භාර වෛද්‍යවරුන් ඇයට විවිධ ප්‍රතිකාර ලබා දී ඇති අතර අනතුරුව K.C.I එන්ත ලබා දීමට උපදෙස් දී තිබෙනවා.

එම රෝහලේ හෙදියක් පළමු (1) එන්නත ලබා දී දෙවන (2) එන්නත ලබාදීමේදී රෝගීයා අසාධ්‍ය තත්තවයට පත්වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර තිබුණා.

රෝගියා රෝහලට ඇතුළත් කරන විටත් හෘද ස්පන්දනය නතර වී තිබී ඇති අතර වෛද්‍යවරුන් නැවත ප්‍රතිකාර කර එය නැවත ක්‍රියාත්මක කර තිබූ බව වාර්තා වුණා.

කෙසේ නමුත් මොළයට රුධිරය ගමන් නොකිරීම හේතුවෙන් පසුගිය 23 වෙනිදා ඇය කරාපිටිය රෝහලේදී මිය ගොස් තිබුණා ෴


හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන නඩු විභාගය අවසන්

(25.08.2025 – hirunews.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම නඩුකරයට අදාල ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12:00 පෙර ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශව කරුවන්ට නියම කළා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන්කළා ෴


අල්ලස් ගත් ට්‍රැෆික් සාජන් රිමාන්ඩ්

(25.08.2025 – hirunews.lk)

වසා තිබූ දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කිරීමේ වරදට අධිකරණ ක්‍රියාමාර්ග නොගෙන සිටීමට යතුරුපැදිකරුවකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 15,000 ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන ජාඇල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු ලබන 04 වැනිදා ‍තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඒකල ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින්.

පැමිණිලිකරු ඉකුත් 06 වැනිදා සිය යතුරුපැදියෙන් නිවෙසට යමින් සිටියදී වසා තිබූ දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කර ඇති බවත් එහිදී එම වරදට අධිකරණයට ඉදිරිපත් නොකර සිටිමටත්, පෙලිස් භාරයට ගත් රියැදුරු බලපත්‍රය නැවත ලබාදීමටත් සැකකරු අල්ලස් ඉල්ලා ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කරනවා.

පසුව එම අල්ලස් මුදල ලබාදීමට යෑමේදී ඉකුත් 23 වැනිදා පස්වරුවේ ජාඇල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *