ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයට පැමිණි සැකකරුවෙකු, ගිනි අවිය සහ මෝටර් රථය සමගින් අත්අඩංගුවට
(12.08.2025 – hirunews.lk)
මීගොඩ – ආටිගල මාවතේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙකු අදාළ ගිනි අවිය සහ ඔවුන් පැමිණි මෝටර් රථයද සමඟ තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු මන්ත්‍රීවරයා යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී අද (12) දහවල් මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
වෙඩි වැදීමෙන් අනතුරුව හෝමාගම රෝහලට අතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.
46 හැවිරිදි ඔහු පාදුක්ක – වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴
+++
+++
+++
+++
+++
හෝමාගම හිටපු ප්‍රා. සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට ඝාතනය කර පළාගිය සැකකරුවෙක් කොටු – ඝාතනයට හේතුව කප්පම් සිද්ධියක් !
(12.08.2025 – hirunews.lk)
හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ ‘ශාන්ත මුදුන්කොටුව’ හෙවත් ‘බනා’ නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීම ‘ලලිත් කන්නංගර’ හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරනවා.
මීගොඩ – ආටිගල පාර ප්‍රදේශයේදී අද (12) දහවල් 01:10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුනේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්.
එම අවස්ථාවේ මියගිය ‘ශාන්ත මුදුන්කොටුව’ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියා.
යතුරුපැදිකරුට එක් (1) වෙඩි පහරක් පමණ එල්ල කර ඇති අතර ඒ සමගම ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසල වූ නිවසකට දිවගොස් තිබෙනවා.
පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රි රෝද රථයකට නැගීමත් සමග ඉන් ඇදවැටී ඇති බවයි වාර්තාවන්නේ.
එම අවස්ථාවේ ඔහු සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ගැනීමට උත්සාහ දරූවද එය අසාර්ථක වී ඇති බව සදහන්.
පසුව අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 දුරකථන අංකයට දැනුම්දීමෙන් පසුව පොලිසිය පැමිණ කඩිනමින් අදාළ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා.
ඒ අතරතුර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මගින් ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබෙනවා.
එහිදී තලංගම, පාලංතුන හංදිය ප්‍රදේශයේදී සැකසහිත සුදුපැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවයි.
ඒ අනුව මෝටර් රථයේ 30 හැවිරිදි රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැක කෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනි අවිය තලංගම පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. කෙසේවෙතත් වෙඩික්කරු අදාළ පරීක්ෂාවට පෙර තලවතුගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බැසගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
[අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත. එම තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පසුව පොලිසිය මගින් අද (12) පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. (sinhala.adaderana.lk)]
වෙඩි තැබීමෙන් මිය ගිය 46 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා 2013 වසරේ ‘පොදුජන එක්සත් පෙරමුණෙන්’ හෝමාගම ප්‍රාදේශීය සභාවට තරඟ කර ජය ලබා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී ඇති අතර පසුව 2018 වසරේදී ‘එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්’ එම ප්‍රාදේශීය සභාවට තරඟ කර ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් ව තිබෙනවා.
අවසන් වරට ඔහු පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ‘සර්ව ජන බලය’ පක්ෂයෙන් ඉදිරිපත්ව ඇතත් එම ඡන්දයෙන් පරාජයට පත්ව තිබුණා. පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් මිලදීගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බව ද පොලිසිය සඳහන් කළා.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි වාර්තාවන්නේ.
ඝාතනය වූ පුද්ගලයා ‘ගගන’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද සදහන්.
ඔහු ‘ලලිත් කන්නංගර’ හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස ‘බස් ලලිත්’ නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත් පොලිසිය සැක කරනවා.
විදේශගතව සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ‘ලලිත් කන්නන්ගර’ හංවැල්ල, හෝමාගම, මීගොඩ , අතුරුගිරිය, බත්තරමුල්ල , තලවතුගොඩ ඇතුළු ප්‍රදේශවල ඉඩම් සම්බන්ධ ව්‍යාපාරයන්ට සම්බන්ධ ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්වල සහ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම්වල නිරතව සිට තිබෙනවා.
මෙම ඝාතනයට එවැනි සිදුවීමක් මුල්වන්නට ඇතැයි සැකයක් විමර්ශන කණ්ඩායම් හමුවේ පවතිනවා.
‘ලලිත් කන්නන්ගර’ විසින් මෙහෙයවන කල්ලිය විසින් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ‘ඩේල් ගුණරත්න’ගේ පවුලට අයත් ඉඩම් කොටස් දෙකක් (2) බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට උත්සහ දැරීමක්ද මෑතකදී අනාවරණය වුණා.
එම ඉඩම් කොටස් දෙක (2) ඇතුළු එම ප්‍රදේශයේ පිහිටි ඉඩම් රැසකට ව්‍යාජ ඔප්පු සකස්කර එම ඉඩම් අත්පත්කර ගැනීමට උත්සහ දරා තිබෙනවා.
මේ වන විට පොලිස් සේවයෙන් ඉවත්ව නීතීඥ වෘත්තියේ නිරතව සිටින ‘ඩේල් ගුණරත්න’ විසින් මේ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ‘ප්‍රියන්ත වීරසූරිය’ දැනුවත්කිරීමෙන් අනතුරුව ‘කොළඹ අපරාධ කොට්ඨාශය’ විසින් විමර්ශනයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගත්තා.
‘ලලිත් කන්න්ගර’ විදේශයක සිට මෙසේ ඉඩම් අත්පත්කර ගන්නා ජාවාරමක නිරතව සිටින බව හෙළිවන්නේ එම විමර්ශනයේදීයි.
ඉඩම් කච්චේරි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරිස්ද අල්ලාගෙන ඉඩම් ලියාපදිංචි පොත්වල පත්ඉරු පවා වෙනස් කරමින් මෙම ජාවාරම සිදුවන්නේ ඒ තැන්වල සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම පොලිසියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේද සහය ඇතිව බව ද ‘කොළඹ අපරාධ කොට්ඨාශය’ විසින් හෙළිකරගෙන තිබෙනවා.
‘ලලිත් කන්නන්ගර’ විදේශයක සිට මේ වන විට මත්කුඩු ජාවාරමට අමතරව සිදු කරන මෙවැනි ජාවාරම් සහ කප්පම් ගැනීම් හේතුවෙන් ව්‍යාපාරිකයන් දැඩිව පීඩාවටත් මරණ බයටත් ලක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම ඝාතනයත් එවැනි සිදුවීමක් මුල්කරගෙන සිදුව ඇතැයි විමර්ශන නිලධාරීන් සැකකරනවා.
‘කන්නන්ගර’ විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වෙඩික්කරු මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා තිබුණු අතර පළායන්නේද එම මෝටර් රථයෙන්.
එම රථය බත්තරමුල්ල පාලම්තුන හන්දිය ආසන්නයේදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් විසින් කොටුකර ගත්තා.
ඒ වන විටත් වෙඩික්කරු තලවතුගොඩින් බැස ගොස් ඇති අතර මෝටර් රථයේ සිට ඇත්තේ එහි රියදුරු පමණයි.
රියදුරු ‘පොලොන්නරුවේ සුද්දා’ගේ ඥාතියෙකු වන ‘දමිත් ඉන්දික’ නැමැති අත්තිඩියේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබූ ගිනි අවිය ද ඔහු සතුව තිබී හමුවී ඇති අතර එම අවිය GLOCK වර්ගයේ පිස්තෝලයක්.
මෙම සැකකරුගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇති බව පොලිසිය සඳහන් කළා.
‘ලලිත් කන්නන්ගර’ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් ‘රතු නිවේදන’ නිකුත්කර ඇති බව පොලිසිය පවසනවා.
අවස්ථා දෙකදී (2) ඩුබායි හා අබුඩාබිවලදී ‘ලලිත් කන්නන්ගර’ එරට පොලිසිවලට හසුවී ඇතත් ඒ සෑම අවස්ථාවකදීම ඔහු මෙරටට භාරනොදී නිදහස් කිරීමටයි එම රටවල් පියවර ගෙන ඇත්තේ.
මේ අතර මෙම වෙඩි තැබීමත් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වසරේ මේ දක්වා වෙඩි තැබීම් 78 ක් සිදුකර ඇති අතර ඉන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ෴
උසස් පෙළ සිසුවියගේ මළ සිරුර ළිදකින් හමුවෙයි
(12.08.2025 – hirunews.lk)
වවුනියාව පෞද්ගලික උපකාර පන්තියක් ආසන්නයේ ළිඳක තිබි පාසල් සිසුවියකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස හමුවී ඇත්තේ වවුනියාව – කොමරසන්කුලම ප්‍රදේශයේ පදිංචි මෙවර වාණිජ අංශයෙන් උසස් පෙළට පෙනී සිටින සිසුවියකගේ මළ සිරුරක් බවයි පොලිසිය කියා සිටියේ.
ඇය උපකාර පන්ති නිමවී නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දෙමාපියන් සිදුකළ සොයා බැලීමකදීයි දැරියගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.
ඇගේ පොත් බෑගය උපකාර පන්තිය තුළ තිබී ඇති අතර දැරියගේ පාවහන් යුගලය ළිඳ අසළ තිබි සොයාගෙන තිබුණා.
පොලිසිය සඳහන් කළේ මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් වෙනත් කාරණයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ෴
ඇල්ලේ සිරි නරඹන්න නව දුම්රියක්
(12.08.2025 – 13:57 +0530 – sinhala.adaderana.lk)
කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දේශීය සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවූ බවය.
ඒ අනුව Ella Weekend Express නමින් නව දුම්රියක් එළැඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 05:30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් සහ 17 වැනිදා සිට සෑම ඉදිරිදා දිනකම බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ ෴
පිටකොටුව සුන්නත්දූලි කරපු චාරිකා බස් අනතුරේ CCTV දර්ශන එළියට (12.08.2025)
+
‘හරක්කටා’ ගෙන් අල්ලස් ගත් අය එලියෙ.. හිටපු ඇමතිවරු, ලේකම්වරු, ඇමති පුතෙක්, චරිතවත් කලාකරුවෙක් ඒ අතර..
(12.08.2025 – 15:00 +0530 – lankacnews.com)
‘නදුන් චින්තක’ නොහොත් ‘හරක්කටා’ ගෙන් අල්ලස් ඉල්ලු පිරිස පිළිබඳ ඉදිරියේදී විශාල අනාවරණයක් සිදුවනු ඇති බව අන්තර්ජාල නාලිකායක වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පවසයි.
ඉන් නම් කිහිපයක් මේ වන විටත් අධිකරණය හමුවේ සහ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඇති බවත් හෙතෙම කියයි.
මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු (2), ඇමති පුත්‍රයෙකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ කලාකරුවන් අතර සිටින චරිතවත් කලාකරුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර සිටින බවට වෙනත් තොරතුරු මුලාශ්‍රයක් ඔස්සේ ද තොරතුරු ලැබී ඇති බවද ඔහු මෙහිදී හෙළිකරයි.
ඉන් ඇතැම් පුද්ගලයින් හරක් කටා මරා නොදැමීම සඳහා අල්ලස් ඉල්ලා ඇති අතර තවත් පිරිසක් ඔහුට විවිධ පහසුකම් සැපයීම සඳහා මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴