මත්ද්‍රව්‍ය කියලා දාපු නඩුවේ සාක්ෂිවල කිසිම මත්ද්‍රව්‍යක් නෑ; නීතිඥ ගීත්ම ප්‍රනාන්දු

මත්ද්‍රව්‍ය කියලා දාපු නඩුවේ සාක්ෂිවල කිසිම මත්ද්‍රව්‍යක් නෑ; නීතිඥ ගීත්ම ප්‍රනාන්දු


මත්ද්‍රව්‍ය කියලා දාපු නඩුවේ සාක්ෂිවල කිසිම මත්ද්‍රව්‍යක් නෑ; නීතිඥ ගීත්ම ප්‍රනාන්දු

(30.07.2025 – hirunews.lk)

ගල්කිස්ස අධිකරණය වෙත දෛනිකව මත්ද්‍රව්‍ය සඳහා ඉදිරිපත් කරන සැකකරුවන් සමස්ථයක් වශයෙන් වැඩිවී ඇති බව නීතීඥ සංගමයේ ලේකම් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු සඳහන් කරනවා.

එමෙන්ම එසේ ඉදිරිපත් කරන සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ රස පරීක්ෂක වාර්තා මගින් මත්ද්‍රව්‍ය අඩංගු නොමැති බවට හිස් වාර්තා ලැබීම හේතුවෙන් බොහොමයක් නඩු අධිකරණය මගීන් කපා හරින බවත්, එසේ කපා හැරිය ද මෙම සැකකරුවන්ගේ පවුල්වලට මෙසේ අසත්‍ය නඩු යොමුකිරීමෙන් මහත් බලපෑමක් ඇති වී ඇති බවත්, ඔහු පවසනවා.

වැරදිකරුවන් සියයක් (100) හිරයට යනවට වඩා නිවැරදි පුද්ගලයෙක් (1) හිරයට යාම අපරාධයක් බවයි නීතිඥවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ.

මෙම සිරකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා එන තෙක් සිර භාරයේ රඳවාගෙන තබා සිටීමෙන් සිරකරුවන්ට අවශ්‍ය ආහාර පාන ඖෂධ ලබාදීමට රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී ඔහු මෙසේද පැවසුවා :

“අද (30) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දෙහිවල පොලිසිය මගින් කැඳවූ නඩු වල හෙරොයින් ලග තබා ගැනීම සම්බන්ධයෙන් තිබිච්ච නඩු කීපයක්ම කැඳවීමක් කළා. ඒ නඩුවලින් නඩු හයක් කිසිම විෂ මත්ද්‍රව්‍යක් අඩංගු වෙන්නේ නෑ කියලා. ඒ නඩු හයේම චූදිතයන් අද දින මුදාහැරීමක් සිද්ධ කළා.

එහි විශේෂිතම කාරණාව වුණේ එක නඩුවක් තිබුණා මේක ඉතාමත් සංවේදී කාරණාවක්. මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ 2024 මැයි මාසේ 28 වෙනිදා. 29 වෙනිදා තමයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ. එහෙම ඉදිරිපත් කරන්නේ හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්. එහෙම ඉදිරිපත් කරාම මේ ප්‍රමාණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදීමේ හැකියාවක් නැහැ. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්තුමිය විසින් ඔහුව රිමාන්ඩ් භාරයට පත් කරනවා. රිමාන්ඩ් භාරයට පත් කරලා මාස තුනකට (3) ආසන්න කාලයක් ඔහු රිමාන්ඩ් භාරයේ සිටිනවා.

අවසානයේදී මහාධිකරණයෙන් ඇප ලබා දීමක් කරනවා. ඒ ලබා දීම රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය (10) බැගින් ශරීර ඇප දෙකක් (2). ඒ අවස්ථාවේදී ඒ රුපියල් 25,000 ක මුදල් ඇපය හොයා ගන්නත් ඔවුන්ට ඉතාමත් අපහසුතාවයක් තියෙනවා. මොකද ඔවුන් ඉතාමත් දුගී පුද්ගලයෝ. ඒ රුපියල් 25,000 ක මුදල හොයාගෙන තිබුණෙත් පොළියට අරගෙන. එහෙම බොහොම අමාරුවෙන් ඔහු එළියට ඇවිල්ලා. ඉන් අනතුරුව ඔහුගේ සහෝදරිය මට ප්‍රකාශ කිරීමක් කළා. ඔහු යම් සිත්තැවුලකින් හිටියා කියලා. ඉන් අනතුරුව තව මාසෙකට, දෙකකට විතර පස්සේ ඔහු සියදිවි නසා ගන්නවා. අද (30) දින නඩුව කැඳවපු අවස්ථාවේදී සහෝදරිය අධිකරණයට පැමිණ සිටියා. ඇපකාරිය වුණේ ඇය. ඇය නඩුවට ඉදිරිපත් වෙලා මේ අදාළ තැනැත්තා මිය ගිහිල්ලා නඩුවෙන් මුදා හරින්න කියලා කියන්න තමයි අධිකරණයට ආවේ.

නමුත් අවාසනාවන්ත තත්ත්වය නම් අධිකරණයට ඔහුගේ මරණ සහතිකය ඉදිරිපත් කරනකොට ඒ රස පරීක්ෂක වාර්තාවේ කිසිම විෂ මත්ද්‍රව්‍යක් ගැන සඳහන් වෙන්නේ නෑ. ඒ අනුව ඔහුව මුදාහරින බවට මහේස්ත්‍රාත්තුමා විසින් ප්‍රකාශකිරීමක් කළා. ඒ අනුව ඔහුව නඩුවෙන් මුදා හැරෙනවා. ඇත්තටම මම තමයි ඔහුට පෙනී සිටියේ. ඒ අවස්ථාවේදී මම අධිකරණයට ප්‍රකාශ කිරීමක් කළා ‘ඇත්තටම මේ තැනැත්තා අද ජීවතුන් අතර හිටියා නම්, සන්තෝස වෙයි මේ දාපු බොරු නඩුවෙන් ඔහු නිදහස් වීම සම්බන්ධයෙන්’ කියලා.

නමුත් අවාසනාවට ඒ නිදහස් වීමේ සතුට භුක්ති විඳින්නවත් ඔහු ජීවතුන් අතර නෑ. ඇත්තටම ඒ අවස්ථාවේදී සහෝදරිය අධිකරණයේ හඬා වැලපුනා. හැබැයි ඇත්තටම මේ නඩුව සමග කැඳවපු තවත් නඩු පහක් (5) මේ ආකාරයේම කිසිදු විෂ මත්ද්‍රව්‍යක් අඩංගු වන්නේ නෑ කියලා මුදා හැරීම් කරලා තිබුණා සැකකරුවෝ හය (6) දෙනෙකුව. එක් (1) නඩුවක සැකකරුවෙක් ප්‍රකාශ කිරීමක් කළා ඔහුගේ රස්සාව නැති වුනා මේ රිමාන්ඩ් භාරයට පත් වෙලා හිටපු කාලය තුල කියලා. ඊට අමතරව බිරිඳත් වෙනත් පුද්ගලයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වලා ගෙදරින් ගිහිල්ලා කියලා.

ඇත්තටම දැන් මේ වගේ අවස්ථාවකදී මනුස්සයෙකුට වෙන හානිය අපිට පිරිමහන්න පුලුවන්ද? පුද්ගලයෙක්ව රිමාන්ඩ් භාරයට පත් කරනවයි කියන එක බොහොම සරල කාරණාවක් නෙමෙයි. පුද්ගලික නිදහස අහිමි කරනවා කියලා කියන්නේ ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් බවට පත්කිරීමක්. ඔහුගේ දරුවන් පෝෂණය කරන්න විදිහක් නෑ. එතකොට බිරිඳ අන්ත අසරණ තත්ත්වයට පත්වෙනවා. ඒ තැනැත්තාගේ රස්සාව නැති වෙනවා. සමාජයෙන් ඔහු අපවාදයට පත් වෙනවා”.

+


වැසිකිළි යන්න ගිය සැකකරු පොලිස් කූඩුවෙන් පැනලා

(30.07.2025 – hirunews.lk)

පානදුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකට (2) වෙඩික්කරුවන් රැගෙන ආ පැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරු රත්නපුර ප්‍රදේශයේදී ඊයේ (29) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

එම සැකකරු රත්නපුර පොලිසිය වෙත භාර දී තිබූ අතර අද (30) උදෑසන 6 ත් 7 ත් අතර කාලය තුළ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා සැකකරු පොලිස් සිර මැදිරියෙන් ඉවතට පැමිණ තිබෙනවා.

අනතුරුව අදාළ සැකකරු පොලිස් ස්ථානයෙන් පැනගොස් ඇති අතර පලාගිය සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැති බවද පොලිසිය පවසනවා.

රත්නපුර අංගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම සැකකාර පුද්ගලයා අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ.

+++

+


හයිවේ බස්වල ෂීට් බෙල්ට් නීතිය දැඩිව ක්‍රියාත්මකයි – අමාත්‍ය බිමල් රත්නායක

(30.07.2025 – hirunews.lk)

අධිවේගී මාර්ගවල ආරක්ෂිත ආසන පටි පැළඳ ධාවනය නොකරන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, ප්‍රවාහන බලපත්‍රය අවලංගු කරන බවයි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

මේ අතර ආරක්ෂිත සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ නව වැඩපිලිවෙළක් අද (30) කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුමපලෙන් ආරම්භ වුණා.

එහිදි පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා 071 259 5555 යන වට්ස්ඇප් අංකය හඳුන්වා දුන් අතර, ආනරක්ෂිත රිය ධාවනය ඇතුළු පොදු ප්‍රවාහන ගැටලු‍ සම්බන්ධයෙන් ඒ ඔස්සේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුවත් කිරීමට මගීන්ට අවස්ථාව හිමිවනවා.

+++

+


විදුලි වැට අධීක්ෂණයට ගිය සිවිල් ආරක්ෂකයා වනඅලි පහරින් මරුට

(30.07.2025 – hirunews.lk)

විදුලි වැටක අධීක්ෂණ රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂ භටයකු වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් සිටියදී අද (30) සවස සොයාගත් බව පොලිසිය පවසනවා.

ඒ දකුණු සියඹලංගමුව ප්‍රදේශයේදී බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණීල්ලක් මත ගල්නෑව පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැකිරාව අනුකලාපයට අනියුක්තව රාජකාරී කළ සිවිල් ආරක්ෂක භටයෙක්.

මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා මීගලෑව වනසත්ව අඩිවියට අයත් හබරවත්ත විදුලි වැට අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කළ බවයි සඳහන්.

ගල්නෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+++

+


2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 122,913 ක් අත්අඩංගුවට

(30.07.2025 – hirunews.lk)

2025 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2025 ජුලි මස 29 දිනය දක්වා පමණක්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 122,913 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

රටතුළ නීතියෙහි ආධිපත්‍යය ස්ථාපනය කිරීම වෙනුවෙන් සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පොලීසියෙහි හා ත්‍රිවිධ හමුදාවේ විශේෂ මැදිහත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවෙනවා.

ඒ අනුව ඊයේ (29) දින පමණක් ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ මෙහෙයුම් කිහිපයක් මුළු රටම ආවරණය වන පරිද්දෙන් සිදු කළ වැටලීම්වලදී පුද්ගලයන් 25,111 ක ප්‍රමාණයක් සහ වාහන10,128 ක ප්‍රමාණයක් ද යතුරු පැදි 7,734 ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් සහ ත්‍රිවිධ හමුදාවේත් සාමාජිකයන් 6,695 ක ප්‍රමාණයක් සහභාගී වී ඇති බව සඳහන්.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 948 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ද පුද්ගලයන් 13 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඇති අතර එකී මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 03 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025 ජනවාරි මස 01 වන දින සිට 2025 ජුලි මස 29 දිනය දක්වා පමණක්,

  • හෙරොයින් කිලෝ 928.787 ක් ද,
  • අයිස් කිලෝ 1396.709 ක් ද,
  • ගංජා කිලෝ 11,192.823 ක් ද,
  • කොකේන් කිලෝ 27.836 ක් ද,
  • හෂිස් කිලෝ 381.428 ක්ද

අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමත් මෙරට තුළදී බෙදා හැරීමටත් අදාල ජාලය හදුනාගනිමින් මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතී.

එමෙන්ම ඊට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ප්‍රමුඛත්වය ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීම සදහාත් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු විධිමත් කිරීම සදහාත් පියවර ගැනීම තුළින් මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලුම අඩාල කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ විශේෂ මැදිහත්වීම මත මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වශයෙන් පියවර ගනිමින් සිටියි ෴


ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුමට එරෙහිව පෙත්සමක්

(30.07.2025 – hirunews.lk)

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිනියක වන අමානි රිෂාඩ් හමිඩ් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය මණ්ඩලය ඇතුළු 27 දෙනෙකුයි.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන ඇති බවත් මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන ඇති බවත් පෙත්සමේ සඳහන් වනවා.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන අතර ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවයි පෙත්සමෙන් සදහන් කර ඇත්තේ.

එසේම, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමේ වැඩිදුරටත් සදහන් ෴


ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90 ක On-Arrival සංචාරක වීසා

(30.07.2025 – hirunews.lk)

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාල දිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90 ක් සඳහා On-Arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

මෙම විසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍යයයි.

මාලදිවයින් ජන රජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධි විධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම විසා පහසුකම සපයන බවයි මාලදිවයින් රජය සඳහන් කරන්නේ.

තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බවයි මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


සුදත්ත තිලක්සිරිට එරෙහිව වාරණ නියෝගයක්

(30.07.2025 – hirunews.lk)

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට අපහාසාත්මකවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් යූටියුබ්කරුවකුවන සුදත්ත තිලක්සිරිට එරෙහිව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් අද (30) වාරණ නියෝගයක් නිකුත් කළා.

එම වාරණ නියෝගය අගෝස්තු මස 07 වැනිදා දක්වා බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා.

එදින මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස විත්තිකාර සුදත්ත තිලක්සිරි වෙත නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියම කළා.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් සිය සේවා දායකයාට එරෙහිව අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කර තිබෙන බවත්, එවැනි අනීතික කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා ෴


ත්‍රීවිලරය අඩි සීයක (100) ප්‍රපාතයකට පෙරලෙයි – සිව්දෙනෙකුට (4) බරපතලයි

(30.07.2025 – hirunews.lk)

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊයේ (29) මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයන් තිදෙනෙකු (3) බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ඒ ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඌවකැලේ වත්තේ ඉහල කොටස ප්‍රදේශයේදීය.

එක් (1) තුවාලකරුවෙකුගේ සුසුම්නාවට හානි සිදු වීම නිසා එම තුවාලකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ලිදුල පොලීසිය පවසනවා.

අධික ලෙස බීමත්ව සිටි රියදුරා ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනා (3) එම වතුයායේ සිට ලිදුල මෙරායා නගරය දක්වා ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කරවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිදුල පොලිසිය සඳහන් කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *