තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට

තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට


තණමල්විල වන සංහාරය; ‘රොට්ටි චමින්ද’ ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට

(18.07.2025 – hirunews.lk)

‘හිරු ප්‍රවෘත්ති’ විසින් කළ අනාවරණයෙන් පසු තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ වන විනාශයන් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු (3) පොලිසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ වන විනාශයන් සිදුකිරීම සඳහා කුළීකරුවන් යෙදවු ‘රොට්ටි චමින්ද’ නම් ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තණමල්විල – කිවුල්ආර ප්‍රදේශයේ වන අලි ගම්වැදීම සදහා යොදා තිබු අලි වැට ගලවා ඉවත් කර උඩවලව රක්ෂිත මායිමේ, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් සිටින බව ‘හිරු ප්‍රවෘත්ති’ හරහා අප පසුගිය 15 වනදා හෙළි කළා.

ගම්වාසීන් ප්‍රකාශ කලේ කැලෑ ඉඩම් අක්කර 150 කට ආසන්න ප්‍රමාණයක් හෙළි පෙහෙළි කර ඇතත් වන සංරක්ෂණ නිලධාරීන් වන සංහාරය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

එවන් පසුබිමක් තුල ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක්’ අදාල ප්‍රදේශයට ලගා වු අතර ඒ වනවිටත් ඉඩම් හෙළි පෙහෙළි කරමින් සිටි පිරිසක් පළා ගියා.

ඔවුන් අතර සිටි වයෝවෘද පුද්ගලයෙක් වන විනාශය සිදුකරන්නේ ‘රොට්ටි චමින්ද’ නැමැති පුද්ගලයාගේ උපදෙස් මත බව ප්‍රකාශ කර සිටියා.

‘හිරු ප්‍රවෘත්ති’ හරහා කළ මෙම අනාවරණයෙන් පසු වන නිලධාරීන් හා තණමල්විල පොලිසිය වන සංහාරයට චෝදනා එල්ලවන ‘රොට්ටි චමින්ද’ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත්තා.

වන සංහාරය සිදුකළ ප්‍රදේශය නිරීක්ෂණයට තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණියා.

+


මහ බැංකුව විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

(18.07.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙම නව නීති මඟින් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් වාහන සඳහා ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන රෙගුලාසි යාවත්කාලීන කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

2018 පෙබරවාරි 08 වන දින නිකුත් කරන ලද පෙර මාර්ගෝපදේශ සංග්‍රහය වෙනුවට මෙම නව මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක අතර, ඒ අනුව, වාහන වර්ගීකරණයේදී බලශක්ති ප්‍රභවය (විදුලි, දෙමුහුන්, ආදී) පදනම් කරගත් වර්ගීකරණය ඉවත් කර තිබෙනවා.

මෙම යාවත්කාලීන කිරීම් මඟින් වාහන වර්ගය අනුව ලබා දිය හැකි උපරිම මූල්‍ය පහසුකම් ප්‍රතිශතයන් වෙනස් වී ඇති අතර, ඒ අනුව,

වාණිජ වාහන : කලින් තිබූ 90% ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 80% දක්වා අඩු කර ඇත. (මෙය විදුලි සහ විදුලි නොවන යන කාණ්ඩ 02 සඳහාම අදාල වේ)

මෝටර් කාර්, SUV සහ වෑන් රථ : මීට පෙර විදුලි වාහන සඳහා 90% ක් දක්වා ලබා දුන් මූල්‍ය පහසුකම් 60% දක්වා අඩු කර ඇත.

විදුලි නොවන වාහන : මීට පෙර පැවති 50% ක ණය සීමාව 60% දක්වා ඉහළ දමා ඇත.

විදුලි ත්‍රිරෝද රථ : මීට පෙර 90% ක් දක්වා ලබා දුන් මූල්‍ය පහසුකම් 50% දක්වා අඩු කර ඇත.

විදුලි නොවන ත්‍රිරෝද රථ : මීට පෙර තිබූ 25% ක ණය සීමාව 50% දක්වා පුළුල් කර ඇත.

වෙනත් වාහන : 70% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකිය.

මෙම නව නියමයන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට (1) වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලුම වාහන සඳහා බලපැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, මහ බැංකුව සඳහන් කරන්නේ අද (18) දිනට පෙර ණයවර ලිපි (Letter of Credit – LC) විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන සඳහා සංක්‍රාන්ති විධිවිධාන බලපැවැත්වෙනු ඇති බවයි.

ඒ අනුව, දැනටමත් ඇණවුම් කර ඇති වාහන සඳහා යම් සහනයක් ලැබෙනු ඇති.

මෙහිදී විදුලි සහ දෙමුහුන් වාහන සඳහා ලබා දිය හැකි ණය ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, විදුලි නොවන මෝටර් කාර්, SUV, වෑන් සහ ත්‍රිරෝද රථ සඳහා ණය සීමාවන් ලිහිල් වී තිබෙනවා.

+++

+


දෙහිවල වෙඩි තැබීමේ වෙඩික්කරුවන් පලාගිය යතුරුපැදිය හමුවෙයි

(18.07.2025 – hirunews.lk)

දෙහිවල දුම්රියපොළ අසළදී අද (18) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් අසල දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.

අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම යතුරුපැදියට සවිකර තිබූ අංක තහඩුව ව්‍යාජ අංක තහඩුවක් බවයි.

මෙම යතුරුපැදිය සමග ආරක්ෂිත හිස්වැස්මක්ද සැකකරුවන් විසින් දමාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා,

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘ශාන්ත කුමාර’ හෙවත් ‘කොස් මල්ලි’ගේ පාර්ශවයෙන් සිදුකළ බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ‘බස් අසිත’ නැමැත්තා ප්‍රදේශයේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘බඩෝවිට අසංක’ගේ ළඟම ඥාතියෙකු බවටයි වාර්තා වන්නේ.

මෙම දෙපාර්ශ්වය අතර දිගු කලක පටන් පවතින ගැටුම්වල තවත් ප්‍රතිඵලයක් ලෙස අද සිදුවූ වෙඩි තැබීම සැලකෙනවා.

‘සුදත් කුමාර’ හෙවත් ‘බස් අසිත’ නැමැති වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයා මේ වනවිට කලුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දැනට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මුල් පදිංචිය හොරණ කෝරළඉම ප්‍රදේශය වන අතර ඔහු ‘බඩෝවිට අසංක’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ බෙදා හරින්නෙකු ලෙස කටයුතු කර ඇතැයිද අනාවරණ වී තිබෙනවා.

බස් රථ හිමිකරුවෙකු ද වන ඔහු මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

බස් අසිත දෙහිවල දුම්රිය ස්ථානය අසල මෝටර් රථයක රැඳී සිටි අවස්ථාවේ දී කලු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) පිස්තෝල අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා ඉන් බැස පාගමනින් මෝටර් රථය අසලට පැමිණ වෙඩි තබා පලා යන අකාරය අසල තිබූ සී සී ටී වී කැමරාවලද සටහන්ව තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා (2) වැල්ලවත්ත දෙසට පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 71 ක් සිදුව ඇති අතර එහිදී පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

+


පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක්

(18.07.2025 – hirunews.lk)

පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් අද (18) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එහිදී ඇය පැවසුවේ, පාසල් දැරිවියන් ගැබ් ගැනීම් ඉහළයාම මෙන්ම පාසල් වයසේ පසුවන මව්වරුන්ගේ ප්‍රමාණයද වැඩි වී ඇති බවයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර නව යොවුන් දැරිවියන්ට සහ නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්ධයෙන් වඩා හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දීමට අවධානය යොමු වී ඇති බවත් ඇය සඳහන් කළා.

එමෙන්ම, ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් දරුවන් බිහිකිරීමෙන් අනතුරුව අනාත හෝ අත්හලභාවයට පත් කර වින්දිත දරුවන් හැටියට සමාජ ගත කිරීමෙන් වලකින ලෙසයි.

+


සීතාඑළිය රක්ෂිතයේදී ගෝණෙකු දඩයම් කළ තිදෙනෙකු (3) රිමාන්ඩ්

(18.07.2025 – hirunews.lk)

නුවරඑළිය, සීතාඑළිය රක්ෂිතයේ සැරිසැරූ ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු (3) ජූලි මස 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය ඊයේ (17) නියෝග කර තිබෙනවා.

කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශවල පදිංචි 40-50 ත් වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් තිදෙනා (3), ඔවුන්ගේ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් නුවරඑළියට පැමිණ තිබෙනවා.

එහිදී, සැකකරුවන් විසින් සීතාඑළිය අම්මන් කෝවිල අසල රක්ෂිතයේදී බලපත්‍රයක් නොමැති 12 බෝර ගිනි අවියකින් රක්ෂිතයේ සැරිසරමින් සිටි හොඳින් වැඩුණු ගෝණෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනය කරන ලද ගෝණා ජීප් රථයේ සඟවාගෙන දංකොටුව බලා ආපසු යමින් සිටියදී, ජීප් රථය පිළිබඳ සැක සිතූ නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී වෙඩි තබා ඝාතනය කරන ලද ගෝණා සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.

සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී බලපත්‍රයක් නොමැති 12 බෝර ගිනි අවියක්, උණ්ඩ 09 ක්, කුඩා ඊයම් බෝල 165 ක්, තරමක් විශාල ඊයම් බෝල 09 ක්,ද තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නුවරඑළිය පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි සඳහන් කළේ, සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ගෝණුන් දඩයම් කර ඝාතනය කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ෴


සා/පෙළට ඉතිහාසයයි සෞන්දර්යයි අනිවාර්ය කර නෑ – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

(18.07.2025 – hirunews.lk)

ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ධාරාවන් අනිවාර්ය විෂයන් බවට පත් කර ඇත්තේ 09 ශ්‍රේණිය දක්වා පමණක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

සමාන්‍ය පෙළ විභාගයේදී සෞන්දර්ය වැනි විෂයන් අනිවාර්ය විෂයන් ලෙස නම් කර නොමැති බවයි ඔවුන් පවසන්නේ.

මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති අතර පාර්ශ්ව රැසක් චෝදනා කළේ නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ධාරාවන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ඉතිහාසය හා සෞන්දර්ය විශයන් ඉවත් කිරීමට කිසිසේත් කටයුතු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ෴

+++

+++

+++

+++

+


ත්‍රිකුණාමලේ භූමි කොටසක් ඉන්දියාවට දෙන්න ආණ්ඩුවේ සූදානමක් ගැන මුදලිගේ හෙළි කරයි (18.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *