සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා

සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා


සිංහපුර වෙල්යායෙන් හමුවූ බිලිඳියේ මව ඉදිරිපත් වුවහොත් භාර දීමට සූදානම්; ඇමති සරෝජා

(18.07.2025 – hirunews.lk)

කුරුණෑගල පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටි බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට මව ඉදිරිපත් වන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැළැසීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සූදානම් බව විෂය භාර අමාත්‍ය සරෝජා පෝල්රාජ් පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අද (18) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයේ පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ පිහිටි වෙල්යායක ගසක් පාමුල බිළිදියක් අතහැර ගොස් සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත මාවතගම පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගත්තේ ඊයේ (17) දිනයේදීයි.

අමාත්‍යවරිය සඳහන් කළේ, මෙලෙස අත්හැර දැමූ බිලිඳියගේ මව සොයා මේ වනවිට විමර්ශන සිදුකරන බවයි ෴

කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයේ පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ පිහිටි වෙල්යායක දමා ගොස් තිබු බිළිදියගේ මව සොයා ගැනීම සදහා ප්‍රදේශයේ සි.සි.ටී.වී. පරීක්ෂා කිරීම පොලිසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දිනක් වයසැති මෙම බිළිදා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ යහපත් තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම බිළිදිය සොයා ගැනුණේ, කුඹුරේ නියරක් මත ගසක් පාමුල දමා ගොස් තිබියදීයි.

+++

තම කිරිකැටි බිලිඳා කුඹුරක දමා ගිය මවට වුන දේ නිලධාරිණියක් හෙළිකරයි (19.07.2025)

+


සංචාරක වීසා රැගෙන පැමිණ සූදු ඔට්ටු ඇල්ලූ ඉන්දියානුවන් 21 දෙනෙකු කිරුළපන දී අල්ලයි

(18.07.2025 – hirunews.lk)

අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරතව සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු අද (18) පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මෙම පිරිස සංචාරක වීසා මත මෙරටට පැමිණ, වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස කිරුළපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සියලුදෙනා අවුරුදු 22-36 ත් අතර වයස්වල පසුවන්නන් බවත්, මෙම පිරිස කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සඳහා වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගත් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


පොඩි මැණිකේ එනතුරු විදේශිකයන් නැටූ නැටුම

(18.07.2025 – hirunews.lk)

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය නියමිත වේලාවට වඩා පැය 2 කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට පැමිණ සිටි විදේශිකයන් පිරිසක් සිදු කළ අපූරු ක්‍රියාවක් පිළිබඳ අප වාර්තාකරු සඳහන් කළා.

පොඩි මැණිකේ දුම්රියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය පැය 2 ක් පමණ ප්‍රමාද වී ධාවනය වන බවට නානුඔය දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම් දී‍මෙන් පසු දුම්රිය ස්ථානයේ එක් පසෙකට එක් වු සියලුම විදේශිකයන් දුම්රිය පැමිණෙන තුරු ගීත ගායනා කරමින් නර්ථනයේ යෙදෙන අයුරු අපගේ වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණා.

අද (17) පස්වරු 02:55 ට නානුඔය දුම්රිය ස්ථානයට ලඟා විය යුතු දුම්රිය පස්වරු 04:55 ට නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව එම විදේශිකයන් පිරිස සතුටින් එම දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+


හැටන් නගරයේ වෙළඳසැලක ගින්නක්

(18.07.2025 – hirunews.lk)

හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළඳසැලක අද (18) පස්වරු 01:00 ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

එම වෙළදසැල වසා තිබූ අවස්ථාවේ හටගත් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර, පැතිර ගිය ගින්න පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇතිවූ එම ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, හැටන් පොලිසිය සඳහන් කළේ, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න හට ගත් හැටන් පැති වීදියේ වාහන ධාවන කටයුතු තාවකාලිකව නතර කිරීමට හැටන් පොලීසිය පියවර ගෙන තිබෙනවා.

+


චමින්ද්‍රානි කිරිඇල්ලට දුන් හන්තානවත්ත ඉඩම ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

(18.07.2025 – hirunews.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට අයත් හන්තානවත්ත ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ ඊයේ (17) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අනාවරණය වී ඇත්තේ වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තානවත්ත ප්‍රදේශයේ ඉඩමක් ඇයට නිදහස්කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහරව බවයි.

මෙම ඉඩම ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් ඇයට ලබා දී ඇති ඉඩමක් බවත් ඇයට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවෙන් ඉඩම් ලබා දීමට කිසිදු බැඳීමක් නැති බවයි එහිදී අදහස් දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

මේ ඉඩම සම්බන්ධව අක්කර 50 ඉක්මවන ප්‍රකාශකයින් 22 ක් සිටින අතර ප්‍රකාශිත නොවන 46 දෙනෙකු සිටින බවත් ඒ අතර චමින්ද්‍රානි කිරිඇල්ල ප්‍රකාශිත නොවන 46 දෙනා අතරට අයත් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ෴


මැදපෙරදිග ගෘහ සේවිකාවන්ට අත්වන ඛේදාන්තය : සෞදියෙන් සහ ඕමානයෙන් ඇසෙන කඳුළු කතා

(18.07.2025 – hirunews.lk)

මැදපෙරදිග කලාපයේ ගෘහ සේවය සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවන විවිධ හිංසනයන් හා අතරවරයන් පිළිබඳව අවස්ථා රැසකදී ‘හිරු ප්‍රවෘත්ති’ කරුණු රැසක් අනාවරණය කළා.

එහි තවත් ඛේදනීය සිදුවීම් දෙකක් (2) සෞදියෙන් සහ ඕමානයෙන් වාර්තා වුණා.

විදෙස්ගත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වාර්ශිකව මෙරටට එවනු ලබන විදෙස් විනිමය මෙරට ආර්ථිකයේ සැළකිය යුතු කොටසකට හිමිකම් කියනවා.

කෙසේ නමුත් මැද පෙරදිග කලාපයට මෙහෙකාර සේවය සඳහා මෙරට කාන්තාවන් අලෙවි වන්නේ කුණු කොල්ලයටයි.

විවිධ ආර්ථික අපහසුතා යටතේ ජීවන අර්බුදවල සිරවී සිටින මෙරට අහිංසක කාන්තාවන් මැදපෙරදිග කලාපයේ වහලුන් බවට පත්වෙමින් මෙරටට එවන විදේශ විනිමය ගැන උදම් අනන නමුත් ඔවුන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් තවමත් සකස් වී නැහැ.

වාර්ෂිකව මැද පෙරදිග කලාපයේ විවිධ හිංසනයන්ට සහ අතවයන්ට ලක්ව රෝගී වී යළි දිවයිනට පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන්නේ මෙම ඛේදවාචකයේ තරම සිහි ගන්වමින්.

එහි ආසන්නතම සිදුවීම දිඹුලාගල වෙහෙරගමින් වාර්තා වනවා.

විවිධ ආර්ථීක දුශ්කරතා මැද ජීවන අරගලයේ නිරත 51 හැවිරිදි ජී.පී. ධම්මිකා මෙහෙකාර සේවය සඳහා සෞදිය බලා පිටත්ව ගොස් තිබුණේ 2024 වසරේ ජුලි 03 වැනිදායි.

කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයකින් විදෙස් ගතව තිබූ ඇය සෞදියේදී විවිධ හිංසනයන්ට හා අතරවයනට ලක්ව තිබෙනවා.

දියණිය විසින් තම මව ගෙන්වා ගැනීම සඳහා අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයට කිහිප වරක්ම ගොස් දැනුම් දුන්නද මව යළි මෙරටට ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ අටහමාරක (8½) මුදලක් විදේශ රැකියා නියෝජිත ආයතනයට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

නමුත් ඒ තරම් විශාල මුදලක් වැය කොට තම මව ගෙන්වා ගැනීමට වත්කමක් නොමැති බව පවසමින් කෙසේ හෝ තම මව ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට මැදිහත්වන ලෙසයි දියණිය විසින් ඉල්ලා සිටින්නේ.

මේ අතර මෙහෙකාර සේවය සඳහා ඕමාන් බලා ගිය කාන්තාවන් දෙදෙනෙකු (2) ද විවිධ හිංසනයන්ට ලක්ව මාස තුනකට (3) ආසන්න කාලයක සිට ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටිනවා.

එම කාන්තාවන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි ෴


විදේශකයින් සඳහා ගුවන්තොටුපල තුළදීම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

(18.07.2025 – hirunews.lk)

මෙරටට පැමිණෙන විදේශකයින් සඳහා ගුවන්තොටුපළ තුළදීම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල ලබන මාසය තුළදී ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සඳහන් කළේ ඒ සඳහා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ විධිමත් සැළැස්මක් ක්‍රියාත්මක කළයුතු බවයි.

මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර, අවම වශයෙන් දින 14 සිට ඉදිරියට නිකුත් කළ හැකියි.

කෙසේ වෙතත් මෙරටට වලංගු වන තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදි අදාළ විදේශිකයන්ගේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය මෙන්ම ඊට ඇතුළත් වාහන කාණ්ඩ කෙරෙහි අවධානය යොමු කරන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා ෴


පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් නිවසක රඳවා ගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට

(18.07.2025 – hirunews.lk)

පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි සැකකරුවෙකු ලිදුල පොලිසිය මගින් ඊයේ (17) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුවිය ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ දමිළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන (15) හැවිරිදි සිසුවියක්.

මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට පසුගිය 15 වැනිදා නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවයි ලිදුල පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති අතර, පියා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උ‍පදෙස් පරිදි හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු සමග පාසල් සිසුවිය මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සිසුවිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවත්, සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත්, ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා පැවසුවා ෴


හම්බන්තොට – කුරුලු උයනෙන් සොයාගත් සුඛෝපභෝගී යතුරුපැදි ගැන තවදුරටත් විමර්ශන

(18.07.2025 – hirunews.lk)

හම්බන්තොට කුරුලු උයන පරිශ්‍රය තුළ තිබී සොයාගත් සුඛෝපභෝගී යතුරුපැදි මෙරටට ගෙන්වීමට සදහා එහි හිමිකරුට සහය දුන් පුද්ගලයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම කුරුලු උයනේ හිමිකරු ඊයේ (17) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි කුරුළු උයනේ ආහාර ගබඩාවක බහාලු‍ම් තුළ සඟවා තිබූ රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුත් යතුරු පැදි 21 ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 12 වැනිදායි.

එම යතුරුපැදි අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත එංජින් ධාරිතාවය 1,000 ට වැඩි යතුරු පැදි 8 ක් සහ එන්ජින් ධාරිතාව 1,000 ට වැඩි ට්‍රයිසිකල් 4 ක් ද තිබී හමුවුණා ෴


තවත් වනඅලියෙක් දුම්රියට බිලි

(18.07.2025 – hirunews.lk)

අද (18) අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගැටී වනඅලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ගල්ලෑල්ල සුදු නෙළුම්කම ප්‍රදේශයේදී අද (18) අලුයම පහයි තිහට (05:30) පමණ මේ වනඅලියා දුම්රිය ගැටුණු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

දුම්රියේ ගැටුණු වනඅලියා පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයට පිවිසෙන මාර්ගය අසලම වැටී සිටින ආකාරය දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම අලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහර දුන් අලියෙකු වන අතර අද (18) දිනයේ වන අලියා ගම්වදින විට වනජීවී කාර්‍යාලයට ඇමතුමක් ලබා දුන්නද දුරකථන විසන්ධි කර තිබූ බවයි ගම්වාසීන් පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *