හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට


හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

(04.07.2025 – 10:25 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25 ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ව අත්අඩංගුවට ගෙන තිබේ ෴

+++

+++

+


අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

(04.07.2025 – 09:31 +0530 – sinhala.adaderana.lk)

තඹුත්තේගම පොලිස් වසමේ මලියදේවපුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වී ඊයේ (03) පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 68 ක් වන මලියදේවපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා තම ඉඩමේ ඉදිකර තිබූ විදුලි අලිවැටේ විදුලිය විසන්ධි කිරීමට යාමේදී මෙසේ වන අලි ප්‍රහරයට ලක්වී ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘතශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත ෴


බදු ගැන ශ‍්‍රී ලංකා-ඇමරිකා ඒකාබද්ද ප‍්‍රකාශනයක් නෑ..

(04.07.2025 – 15:00 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර තීරුබදු සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවට ආණ්ඩුව මීට පෙර පැවසුවද, එය ආණ්ඩුවේ බොහෝ කථා මෙන්ම තවත් “බොරුවක්” බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු X (ට්විටර්) හි පළ කළ සටහනක සඳහන් කර ඇත්තේ, මෙම කාරණය සම්බන්ධයෙන් උදව් කිරීමට විපක්ෂය ඉදිරිපත් වූ විට ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර සිනාසුණු බවයි.

“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණා ඔවුන් කරන්නේ මොනවද කියලා දන්නවා කියලා. ඒ වගේම ආර්ථිකයේ ස්ථාවරත්වය සහ ශක්තිමත් වර්ධනයක් ඇති කරන බවත් කිව්වා. ඒ වගේම දෙරට අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා කිව්වා. නමුත් ඒකත් ඔවුන්ගේ බොහෝ කථා වගේම තවත් බොරුවක් බවට පත් වුණා. ඔව්, තව දින කිහිපයක් තියෙනවා, අපි ඔවුන්ට අවස්ථාව දෙමු. නමුත් ඔවුන් එය ඉටු නොකළොත් මොකද වෙන්නේ? සැලසුම් B සහ C මොකක්ද? මේ සඳහා උපාය මාර්ගය මෙහෙයවන්නේ කවුද? මේ වතාවේ බොරු වලින් වැඩක් වෙන්නේ නැහැ” ඔහු පැවසීය.

“වියට්නාමයට වඩා හොඳ අමෙරිකානු තීරුබදු ගිවිසුමක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වේවිද? අමෙරිකාව සමඟ තීරුබදු සාකච්ඡාවල වත්මන් තත්ත්වය පිළිබඳව මා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට, ඇමති අනිල් ජයන්ත පුරසාරම් දෙඩුවේ ජූලි 9 වැනිදා නියමිත දිනට පෙර අමෙරිකාව සමඟ ගනුදෙනුවක් සාකච්ඡා කරන එකම ආසියානු රට ශ්‍රී ලංකාව බවත්, ප්‍රධාන ප්‍රගතියක් සහ ධනාත්මක ප්‍රතිඵල අපේක්ෂා කරන බවත්ය. කෙසේ වෙතත්, වියට්නාමය දැනටමත් මේ සතියේ ඔවුන්ගේ 46% ක තීරුබදු 20% දක්වා අඩු කර ගැනීමට ගනුදෙනුවක් සිදු කර ඇති අතර, ඉන්දියාව සමහර HS කේත ශුන්‍ය දක්වා අඩු කිරීම ඇතුළුව ගනුදෙනුවක් අවසන් කිරීමට දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කරයි. ඉන්පසුව, ඔවුන් මේ වසර අගදී පුළුල් වෙළඳ ගිවිසුමක් සැලසුම් කරමින් සිටිනවා” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය ෴


Plug Base එකක් රුපියල් 72,000 ට සියළු ප‍්‍රා.ලේ. කාර්යාලවලට .. රුපියල් කෝටි පහක (5) කොන්ත‍්‍රාත්තුවක් ඉෂාරට ..

(04.07.2025 – 14:10 +0530 – lankacnews.com)

රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ‘ප්ලග් බේස්’ එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72,000 ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාගේ සමාගමකට රුපියල් කෝටි පහ (5) ඉක්මවූ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

ඒ සඳහා ඉදිරිපත් වූ අනෙක් අඩු මිල ඉදිරිපත් කිරීම් සියල්ල අතහරිමින් මෙම මිලට ලබා දී ඇති බව එම සංවිධානයේ වසන්ත මුදලිගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

“ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධ ප්‍රශ්නය පහුගිය කාලේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු සිද්ධියක්. අපි ජන අරගල ව්‍යාපාරය විදිහට කරුණු කිහිපයක් නිසා මේ ඩිජිටල් හැදුනුම්පතට විරුද්ධයි. එකක් තමයි ඩිජිටල් හැදුනුම්පත සඳහා ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියම ගැටලු සහගතයි. අනිත් කරුණ තමයි ආණ්ඩුව තවමත් මේ හැදුනුම්පත සඳහා ලබාගන්න ජෛවමිතික දත්ත මොනවද සහ ඒ දත්තවල ආරාක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට දෙන සහතිකය මොකක්ද කියලා හෙළිදරව් නොකිරීම. ඊලඟට මෙතන තියෙන බරපතළම කාරණය තමයි ඉන්දියාවෙන් ලැබෙන රුපියල් මිලියන 10 ක ආධාර මුදලක් වෙනුවෙන් ආණ්ඩුව මුළු රටේම ජනතාවගේ සංවේදී ජෛවමිතික තොරතුරු සියල්ල ඉන්දියානු සමාගමක් සතු කිරීමට දරණ උත්සාහය. අපි දන්නවා දැන් ජනතා විරෝධය පවා නොසලකමින් ඩිජිටල් හැදුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳවීමක් කරන්න ආණ්ඩුව සූදානමින් ඉන්නවා. ඊයේ (03) දවසේ ඩිජිටල් කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයා විසින්ම මේ අදහස තහවරු කළා. ආණ්ඩුවේ තීරණය අනුව මේ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ ඉන්දියානු සමාගම්වලට විතරයි.

මේක ඉතාම බරපතළ තත්වයක්. ටෙන්ඩර් කැඳවීමේ සාමාන්‍ය ක්‍රියාවලිය පවා නොසලකමින් තමයි ආණ්ඩුව ලංකාවෙ සමස්ථ ජනතාවගේම ජෛවමිතික දත්ත ටික ඉන්දියාවට ලබාදෙන්න සූදානම් වෙන්නේ. අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වුණේ පොරොන්දු ගොඩක් එක්ක. හොරකම නැති කරනවා. දූෂණය නාස්තිය නැති කරනවා. යහපත් දේශපාන සංස්කෘතියක් ඇති කරනවා වගේ පොරොන්දු ගොඩක් මැතිවරණ වේදිකාවලදි ආණ්ඩුව ලබා දුන්නා. නමුත් බලයට පත්වෙලා මාස 8 ක් යන්නත් කලින් ආණ්ඩුවට ඒ පොරොන්දු අමතක වෙලා. දැන් වර්තමාන ආණ්ඩුවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී යන්නෙ පරණ පාරෙමද කියන සැකය අපිට මතු වෙනවා. ඒකට හේතුව තමයි ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධ කටයුත්තකදී ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් බරපතළ අක්‍රමිකතාවක් සිදුව තිබීම.

2025.04.29 දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකරලා තියනවා. E හැදුනුම්පත එහෙම නැත්තං ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල මේ හැදුනුම්පත හඳුනාගැනිම සඳහා ඉඳිකරන යුනිට් එකක් සඳහා විදුලිය ලබාගනීමට අවශ්‍ය ‘ප්ල්ග් බේස්’ එකක් ඉඳිකර ගැනීමට තමයි මේ ටෙන්ඩර් කැඳවීම කරලා තියෙන්නේ . ඒ සඳහා ඔවුන් ‘ප්ලග් අටක් (8) තියෙන වයර් කෝඩ් එකක්’ එය බිත්තියට සවි කිරීම සඳහා ‘ප්ලග් ටොප්’ එකක් සහ ආවරණය කිරීම සඳහා ප්ලාස්ටික් බොක්ස් එකක් සහිත සම්පූර්ණ කට්ටළයක් තමයි ඇණවුම් කරලා තියෙන්නේ. ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සඳහා මෙවැනි බොක්ස් 700 ක් මේ ඕඩරයට ඇතුලත්. අපිට තියන තොරතුරු අනුව මේ සඳහා ආයතන 8 ක් ලංසු ඉදිරිපත් වුණා. මේ ආයතන රුපියල් 5890, රුපියල් 25,000, රුපියල් 83,000, රුපියල් 18,300 රුපියල් 72,517 වගේ විවිධ මිළගණන් මේ සඳහා ඉදිරිපත් කරලා තියනවා. සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මෙවැනි ටෙන්ඩර් කැඳවීමකදී අඩුම ලංසුව ඉදිරිපත් කරන හොඳම තැනට තමයි අදාළ ටෙන්ඩරය ලබා දෙන්නේ.

නමුත් දැන් ආණ්ඩුව මේ ටෙන්ඩරය ලබාදීලා තියෙන්නේ රුපියල් 72,517 ක ලංසුව ඉදිරිපත් කරපු ‘බ්‍රවුන්ස් එනිජිනියරින්’ කියන සමාගමට. මේ ‘බ්‍රවුන්ස් එනිජිනියරින් සමාගම’ අයිති පුද්ගලයා තමයි ඉෂාර නානායක්කාර. අපි දන්නවා ඔහු පහුගිය කාලේ මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින් සමග බොහොම කිට්ටු සම්බන්ධතා පැවත්වුවා.

අදාළ ටෙන්ඩරය අනුව රුපියල් 72,517 ගණනේ ‘ප්ලග් බොක්ස්’ 700 ක් සඳහා රුපියල් ලක්ෂ 507 ක් ඉෂාර නානායක්කාරගේ සමාගමට ගෙවන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. අපි සාමාන්‍යෙන් විදුලි උපකරණ විකුණන තැනකට ගිහිල්ලා බැලුවා මෙවැනි ‘ප්ලග් බොක්ස්’ එකක් හදාගන්න කොච්චර විතර මුදලක් වැය වෙයි ද කියලා. ප්ලග් බේස් 8 ට රුපියල් 5600 යි. වයර් මීටර් 5 ට රුපියල් 1000 යි. ‘ප්ලග් ටොප්’ එකක් රුපියල් 400 යි ප්ලාස්ටික් පෙට්ටියක් රුපියල් 4000 යි. මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ කට්ටලයම රුපියල් 11,000 කට හදාගන්න පුලුවන්. දැන් මේගොල්ලෝ කියන විදිහට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මේ කට්ටළය ප්‍රවාහනය කරන්න යන වියදමත් මේකට ඇතුළත් එතකොට ලංකාවේ දුරම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විදිහට යාපනය ගත්තත් රුපියල් 20,000 කින් ප්‍රවාහණ කටයුතු කරන්න පුලුවන්. එතකොට අවම රුපියල් 31,000 කින් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක් දක්වා වුණත් මේ ‘ප්ලග් බොක්ස්’ එකක් ප්‍රවාහණය කරන්න පුලුවන්.

ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකම ඉන්නවා තාක්ෂණික නිළධාරියෙක්. තමන්ගේ ආයතනයේ බලබ් එකක් පිච්චෙන තැන ඉඳලා සියලු තාක්ෂණික කටයුතු පැවරෙන්නේ මේ නිළධාරියාට. එතකොට ආණ්ඩුව යම් දැනුම් දීමක් කළොත් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පුලුවන් තමනගේ තාක්ෂණික නිලධාරියා ලවා මේ ‘ප්ලග් බොක්ස්’ එක ඉඳිකරවාගන්න. එතකොට මේකට එතරම් මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපි හිතුවොත් මේ එක කට්ටළයක් රුපියල් 11,000 ක් වෙනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 700 ට මේ සඳහා වැය වෙන්නේ රුපියල් ලක්ෂ 77 යි. එහෙම නැත්තං ආණ්ඩුවට පුලුවන් අඩුම තරමින් අඩු මුදලකට ලංසු ඉදිරිපත් කළ ආයතනයකට අදාළ ටෙන්ඩරය ලබාදෙන්න. ඒ කිසිවක් නැතුව රුපියල් ලක්ෂ 507 ක් ‘බ්‍රවුන්ස් එනිජිනියරින් ආයතනය’ට පුදන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ.

ඉතිහාසයේ ලංකාව පාලනය කල දූෂිත දේශපාලන කල්ලි සියල්ල ප්‍රතික්ෂේප කරළා ‘ජාතික ජන බලවේග’ ආණ්ඩුවට ජනතාව රටේ පාලන බලය ලබා දුන්නේ හොරකම වංචාව නාස්තිය නැති යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ජනතාව ඒ තියපු විශ්වාසයට පස්ස හරවන්න එපා කියලා. මේ ටෙන්ඩර් කැඳවීමේදී වංචාවක් දූෂණයක් වෙලා තියනවනං වහාම ටෙන්ඩරය අහෝසි කරන්න. මෙතරම් විශාල මුදලකට මේ ටෙන්ඩරය අදාළ සමාගමට ලබාදුන්නෙ කොහොමද ඒකට උදව් කලේ කවුද කියන කරුණ වහාම සොයා බලලා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්න. ඒ වගේම තමයි අදාළ කටයුත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ඉන්න තාක්ෂණික නිලධාරියා ලවා හෝ අවම ලංසුවක් ඉදිරිපත් කරපු ආයතනය ලවා එම කටයුත්ත කරවන්න කටයුතු කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා” ෴


කතානායකට පොදු දේපල අවභාවිත චෝදනා .. නිල නිවාස දෙකක්, නිල රථ තුනක් අරන්ලු .. – අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ..

(04.07.2025 – 13:20 +0530 – lankacnews.com)

නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා, මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාස සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා මහතා ඇතුළු පිරිසක් අද (04) දින අල්ලස් හා දුෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරනු ලබන රාජ්‍ය දේපල අවභාවිතාව හා දූෂණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් බාර දෙන ලදී.

එහිදි නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට නිල වශයෙන් නිල නිවසක් ලබා දී ඇති බවය . නමුත් ඔහු කොළඹ 04,ලොරිස් පටුමග, අංක 02 ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරණ නිවස 2025 ජනවාරි මස සිට බාවිතා කරනු ලබන බවත් එලෙස කිසිම රාජ්‍ය නිළධාරියකුට හෝ දේශපාලඥයකුට නිවාස දෙකක් භාවිතා කල නොහැකි බවත් එය නීති විරෝධි කරුණක් බවත්ය.

මෙය රාජ්‍ය දේපල අවභාවිතාවක් මෙන්ම අපහරනයක් වන අතර පොදු දේපල පනත යටතේ ද 2023 දූෂණ විරෝධි පනත යටතේ ද ගැනෙන වරදක් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

පාර්ලිමේන්තු මහ ලේකම්තුමියගේ අත්සනින් නිකුත් කර ඇති පරිපාලන චක්‍රලේඛ 14/2025 අංක දරණ චක්‍රලේඛනය අනුව කතානායකතුමන්ට නිල වාහන දෙකක් පමණක් භාවිතා කල හැකි බවත් එම වාහන සඳහා ඉන්දන ලීටර් 900 පමණක් ලබා දේ. නමුත් වත්මන් කතානායක ජගත් වික්‍රමරත්න රජයේ වාහන තුනක් භාවිතා කරනු ලබන බවටද තොරතුරු ලැබී ඇත.

වෑන් රථය – NC 4923
කාර් රථය – CAN 8753
කාර් රථය – CBI 5198

මෙයද පොදු දේපල පනත යටතේ ද 2023 දූෂණ විරෝධි පනත යටතේ ද ගැනෙන වරදකි.

එමෙන්ම කතානායකතුමන්ගේ පෞද්ගලික ලේකම්ට ද ඔහු භාවිතා කරන ලොරිස් පටුමග නිල නිවසේම නවාතැන් ලබා දී ඇති අතර පෞද්ගලික ලේකම්තුමන්ට දිවා අහාර සැපයීම සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තු වියදමින් බවටද අපට තොරතුරු ලැබී ඇත. මෙයද නීති විරෝධි ක්‍රියාවකි.

තවද පෞද්ගලික ලේකම්ට නිල වාහන ඉන්දන ලබා දී තිබියද ඔහු භාවිතා කරනු ලබන්නේ කතානායකතුමන් භාවිතා කරන නිල වාහනම වේ.

මෙලෙස වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ කතානායකතුමන් විසින් සිදුකරන දූෂණ විරෝධි ක්‍රියාපිළිබඳව හා අවභාවිතා කරන මහජන මුදල් පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් සිදු කර මේ කරුණු පිළිබඳව සත්‍ය රටට හෙළි කරන ලෙස ඉල්ලා අද දින අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට පැමිණිල්ලක් නව ජනතා පෙරමුණ විසින් බාර දුන් බව ප්‍රකාශ කරන ලදී ෴


+


මහ රෑ තිස්සට ඔත්තුවක් ලැබෙයි – ඉක්මණට හැම මාධ්‍යක්ම ගෙදරට ගෙන්නයි (04.07.2025)

+


“මම එයාව තුරුළු කරගෙන කැලෑවට තල්ලු කරගත්තා සර්…” | කුරුවිට තරුණිය ඝාතනය කළ 17 කොල්ලගේ පාපොච්චාරණය (04.07.2025)

+


‘මම තමුසෙලාව ඉවරයක් කරනවා’, ඩොක්ටර් මහේෂිගේ දියණිය උසාවි බිමේදී ම කළ මරණ තර්ජනය, | ඇතුළේ වෙච්ච දේ (04.07.2025)

+


මහේලගෙන් හා සංගාගෙන් මෙවන් විනාශයක් බලාපොරොත්තු විය හැකිද…? (05.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *