සමාජ මාධ්‍යයේ සිදුවන වංචාමය කටයුත්තක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍යයේ සිදුවන වංචාමය කටයුත්තක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්


සමාජ මාධ්‍යයේ සිදුවන වංචාමය කටයුත්තක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

(13.05.2025 – 16:17 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් ජංගම දුරකතනවලට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සදහා නොමිලේ ඩේටා ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍යයේ වංචාවක් සිදුවන බවට පොලිසිය පවසනවා.

ඒ සදහා විවිධ දුරකතන සමාගම්වල නාමයන් භාවිත කර ඇති අතර, පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනතාවට දැනුම් දෙන්නේ, තම පෞද්ගලික දත්ත මෙම යෙදවුම් සදහා ඇතුළත් නොකරන ලෙසයි.

+

මේ අතර ඊයේ (12) දිනයේදී වෙසක් සිරි නැරඹීමට පැමිණි ජනතාව පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය කොළඹ ගාලු‍ මුවදොර පිටියේ දමා ගොස් තිබෙනවා.

එමෙන්ම ආහාර ගැනීමෙන් පසු ඉතිරි ආහාර ද්‍රව්‍ය නිසිලෙස බැහැර නොකිරීම හේතුවෙන් එම ස්ථානයේ විශාල දුගඳක් ද පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

+

+


අධි රුධිර පීඩනය රෝගාබාධ ගණනාවකට හේතුවක්

(13.05.2025 – 16:07 +0530 – hirunews.lk/sinhala)

‘ලෝක අධි රුධිර පීඩන දිනය’ මැයි 17 වැනිදාට යෙදී තිබෙනවා.

‘රුධිර පීඩනය මැන පාලනය කර සලසමු නීරෝගී දිගු දිවියකට මඟ’ යන්න මෙවර තේමාවයි.

අධි රුධිර පීඩනය, ලොව පුරා අකල් මරණ හා රෝගාබාධ ගණනාවකට හේතුවක් වන නමුත් එය වලක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

බොහෝවිට ‘නිහඬ මාරයා’ ලෙස හඳුන්වන අධි රුධිර පීඩනය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන අතර පුද්ගලයකුගේ ආඝාතය, හෘදයාබාධ, නිදන්ගත වකුගඩු රෝග සහ අකල් මරණ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බව සඳහන්.

අධි රුධිර පීඩනය එලදායි ලෙස කළමණාකරණය කර ගැනීම මගින් ඉහත රෝග හේතුවෙන අවයවවලට සිදුවන හානි අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා ෴


ගල්ගමුව – පාළුකඩවල වැවේ ගිලී සිසුවියන් දෙදෙනෙකුට (2) දිවි අහිමිවෙයි

(13.05.2025 – 15:48 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව – පාලුකඩවල වැවේ දිය නෑමට ගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂට පත්වී තිබෙනවා.

ගල්ගමුව රෝහලේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ, ඔවුන් වයස අවුරුදු 12 සහ 17 යන වයස්වල පසුවන්නන් බවයි.

එම ගැහැණු ළමුන් දෙදෙනා (2) අදාළ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

මෘත ශරීර මේ වනවිට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා ෴

+

+


වෙන්නප්පුව මුහුදේ දියනෑ 04 ක් අතුරුදන්; අයෙකුගේ දේහය හමුවෙයි

(13.05.2025 – 19:45 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි 04 දෙනෙකු දියේ ගිලී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් (01) අයෙකුගේ සිරුරක් සොයා ගෙන ඇති අතර, තවත් 03 දෙනෙකු අතුරුදන් බවයි.

එමෙන්ම මෙම පිරිස බගවන්තලාව ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් බවත් පොලිසිය සඳහන් කළා ෴


ගැරඬිඇල්ල බස් අනතුරෙන් පසු සොයාගත් ගමන්මලු ඇතුළු ජංගම දුරකථන 35 ක් පොලීසියේ

(13.05.2025 – 16:37 +0530 – sinhala.adaderana.lk)

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථයේ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකථන සහ අනෙකුත් දෑ කොත්මලේ පොලීසිය තුළ සුරක්ෂිතව තබා ඇතැයි පොලීසිය පවසයි.

කොත්මලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා පැවසුවේ තම අනන්‍යතාවය තහවුරු කර ඒවා ලබාගත හැකි බවය.

කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ අදාළ අනතුර සිදුවූ ස්ථානයේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව තමා වෙත ලැබුණු ජංගම දුරකථන 35 ක්, ගමන්මලු හා අනෙකුත් දෑ පොලීසිය තුළ මෙසේ තබා ඇති බවය.

මේ අතර බස් රථයේ කොන්දොස්තරවරයාගේ ටිකට් පොත හා එකතුව තිබූ මුදල් සොයා ගැනීමට නොහැකිව ඇති බවද ඔහු පැවසීය.

බස් රථයේ රියදුරු මියයෑම සහ කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලැබීම නිසා අනතුර සිදුවෙන මොහොතේ ගමන් ගත් නිශ්චිත මගීන් සංඛ්‍යාව අනාවරණය කරගැනීමට නොහැකි බවය.

ඒ අනුව මෙම ටිකට් පොත සොයා පොලීසිය, යුද හමුදාව හා ගම්වාසින් බොහෝ ස්ථාන පරික්ෂා කළද එය මේ වනතුරුත් හමුවී නොමැත.

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඉකුත් ඉරිදා (11) බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 22 කට ජීවිත අහිමි විය ෴

+++

+


බස්වල නීති කැඩෙනවා වැඩියි – ආචාර්ය සංජේ පෙරේරා

(13.05.2025 – 20:52 +0530 – hirunews.lk/sinhala)

බස් රථවල ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණ නීතිවිරෝධී බවත්, ලංකා ගමනාගමන මණ්ඩලය පවා එම නීතිය කඩ කරන බවත් මාර්ග ආරක්ෂක අභියෝග පිළිබඳ උපදෙස් දීමේ බස්නාහිර පළාත් කාර්ය සාධක බළකායේ කැඳවුම්කරු, ආචාර්ය සංජේ පෙරේරා ප්‍රකාශ කළා.

විසි දෙදෙනෙකුට (22) මරු කැඳවමින් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරන්නේ ද ප්‍රමිතියෙන් තොර බස් රථ බවයි.

එම වැඩසටහන පහතින් :

+


ජනතාව බය කරමින් වෙසක් සිරි නැරඹූ තවත් යතුරුපැදිකරුවන් පිරිසක් අත්අඩංගුවට

(13.05.2025 – 16:07 +0530 – sinhala.adaderana.lk)

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12) වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36 ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවිකරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36 ක් ද මෙහිදි පොලිස් භාරයට ගෙන ඇත.

රථවාහන අනතුරු වළක්වා ගැනීම සඳහා මාතර මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (12) දිනයේදී මාතර නගරයේදී සිදුකළ රථවාහන පරීක්ෂාවකදි මෙම යතුරුපැදි 36 පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ යතුරුපැදිකරුවන් විවිධ නාද රටා සහිත අමතර උපාංග සවි කර නීති රැසක් උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් යතුරැපැදිකරුවන් බහුතරයක් පුහුණු වීමේ රියදුරු බලපත්‍රය සහිත වයස අවුරුදු 18-20 අතර පිරිස් වන අතර මෙම පිරිස ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය පැවසීය.

පොලිස් භාරයට ගත් යතුරුපැදි මෝටර් රථ කොමසාරිස්වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය ෴


‘දෙරණ 24 පැයේ මහා බත් දන්සල’ අවසන් කෙරේ

(13.05.2025 – 19:24 +0530 – sinhala.adaderana.lk)

‘ටීවී දෙරණ’ සංවිධායකත්වයෙන් අඛණ්ඩව පැය 24 ක් පුරා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල අද (13) පස්වරු 7ට අවසන් කෙරුණි.

දන්සල ආරම්භ වූ මොහොතේ සිට දිවයිනේ නන් දෙසින් ආ 35,000 කට අධික පිරිසකට ගෙවුණු පැය 24 තුළ දන්සලෙන් රසවත් හා පිරිසිඳු ආහාර ලබාගැනීමට අවස්ථාව උදාවුණි.

වෙසක් පොහොය නිමිති කරගනිමින් ‘TV දෙරණ’ දෙවැනි (2) වරටත් සංවිධාන කළ ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී ඊයේ (12) පස්වරු 07:00 ට ආරම්භ විය.

පැය 24 ක් පුරා අඛණ්ඩව පැවති මහා බත් දන්සල විවෘත කෙරුණේ ‘දෙරණ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා’ගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු ආරාධිතයින් රැසක්ද එක්විය.

දන්සැලට එක්වීමේ බලාපොරොත්තුවෙන් ඊයේ (12) පස්වරු එකේ (01:00) සිට ජනතාව පෝලිම්වලට එක්ව සිටි අතර රාත්‍රිය පුරා අතිවිශාල ජනකායක් ඊට පැමිණියේය.

ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය , කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ගුවන් හමුදාව සහ රාජ්‍ය ආයතන මේ සඳහා ‘දෙරණ’ සමඟ අත්වැල් බැඳගත්තේය.

දන්සැලට සමගාමීව තේ දන්සැලක් සහ අයිස් ක්‍රීම් දන්සලක්ද පැවැත්වුණි.

අද (13) උදෑසන අධික වර්ෂාව මධ්‍යයේ පවා දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව දන්සැලට පැමිණියේය.

දන්සලට අති විශාල ජනකායක් පැමිණීම නිසා අද (13) දහවල් වනවිටත් කොළඹ නිදහස් මාවත ඔස්සේ දිගු පෝලිම් නිර්මාණය වී තිබුණි.

අද (13) පස්වරුව වන විටත් අති විශාල ජනකායක් දිගු පෝලිම්වල රැඳීසිටියේ ‘දෙරණ දන්සල’ට පැමිණ ආහාර වේලක් රසවිඳීමේ අපේක්ෂාවෙනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *