ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
(27.04.2025 – 05:53 +0530 – hirunews.lk/sinhala)
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 69 වැනි වියේ පසුවුණා.
ගායන ශිල්පී සමන් ද සිල්වා කලක් රෝගාතුරව පසුවූ අතර, අද (27) අලුයම ‘ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ’දී අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

සමන් ද සිල්වා ගායනා කළ ‘නියරේ පියනගලා, පුංචි කුරුලු කූඩුවේ, සංතෝස වෙන්න ප්‍රීතිවෙන්න සහ පුරහඳ නැගුණා’ වැනි ගීත රැසක් මෙරට රසිකයන් වඩාත් ප්‍රිය කළ හා ජනාදරයට ද පත්වූ ගීත අතර වනවා.
ගායක ගායිකා සංගමයේ හිටපු සභාපතිවරයා ද මොහු වන අතර, එක්සත් ජාතික පක්ෂයේ කලා සංසදයේ ජාතික සංවිධායක ලෙස ද කටයුතු කර තිබෙනවා.
1975 වසරේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි සමන් ද සිල්වා, දශක 04 කට අධික කාලයක් මෙරට රසිකයන් සිය ගීත ඔස්සේ අමන්දානන්දයට පත් කළා.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සමන් ද සිල්වා මෙරට වැඩිම වාර ගණනක් විදෙස් ප්‍රසංගවලට එක්වූ ගායන ශිල්පියාද වනවා ෴
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වාගේ අවසන් කටයුතු එළැඹෙන අඟහරුවාදා (29) සිදුකිරීමට සැළසුම් කර ඇති බව පවුලේ අරාංචි මාර්ග පවසනවා.
මිය යන විට හැට නව (69) වන වියේ පසුවූ ඔහුගේ දේහය හෙට (28) දිනයේදී මොරටුව – අඟුලානේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතයි ෴
+
+
2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1,465 ක්
(27.04.2025 – 08:36 +0530 – hirunews.lk/sinhala)
2025 වසරේ ජනවාරි මස සිට මේ දක්වා වූ කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1,465 දෙනෙකු වාර්තා වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.
එමෙන්ම පසුගිය දින 10 තුළ දී රත්නපුර රෝහලේ සේවකයින් 166 දෙනෙකුටද ඩෙංගු රෝගය වැළඳී ඇති බවයි ඔහු කියා සිටියේ.
එම දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ ඇලපාත, බලන්ගොඩ, පැල්මඩුල්ල, කුරුවිට සහ ඇහැලියගොඩ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළා ෴
කැලණි ගඟේ අභිරහස් මළසිරුරක්
(27.04.2025 – 10:42 +0530 – hirunews.lk/sinhala)
පෑලියගොඩ, කළුපාලම ළඟ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.
පෑලියගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (26) මෙම මළසිරුර සොයා ගත්තා.
මරණකරු වයස අවුරුදු 50 ක් පමණ පෙනුමැති උස, අඩි 05 අඟල් 06 ක් පමණ වන අයෙක්.
මරණකරුගේ උඩුකයට නිල් පැහැති ටී ෂර්ටයක් හැඳ සිටි අතර යටිකය නිරුවත්ව තිබූ බවයි පොලීසිය පවසන්නේ.
මෘත ශරීරය තරමක් විකෘති වී ඇති අතර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා ෴
ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට
(27.04.2025 – 11:18 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී ‘කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ’ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ (21) හැවිරිදි හපුගල, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මෙම තරුණයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹීමට ගොස් තිබෙනවා.
එහිදී ගාලු කොටුවේ පැරණි ප්‍රදීපාගාරය අසලදි කොටු පවුර මත ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බවයි පොලිසිය පවසන්නේ.
නමුත් ඇද වැටෙන අයුරු මිතුරන් කිසිවෙක් දැක නොමැති බවද පොලිසිය පවසනවා.
ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයා පොලිස් නිලධාරින් විසින් කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
ඒවන විටත් එම තරුණයා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ෴
කොටිකාවත්තෙන් ඇල්ලූ රුපියල් කෝටි 80 ක මත්කුඩු ‘මාලඹේ මොරින්’ගේලු
(27.04.2025 – 13:16 +0530 – hirunews.lk/sinhala)
කොටිකාවත්ත – නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකින් සොයාගත් රුපියල් මිලියන 800 ක් පමණ වටිනා ‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය තොගය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මාලඹේ මොරීන්’ට අයත් බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
ඔහු දැනට මහර බන්ධනාගාරයේ සිටින බවයි පැවසෙන්නේ.
ඊයේ (26) සිදුකළ එම වැටලීමේදී හෙරොයින් කිලෝ 13 යි ග්‍රෑම් 372 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 යි ග්‍රෑම් 580 ක් සොයාගත්තා.
එලෙස අත්අඩංගුවට ගත් ‘හෙරෝයින් මත්කුඩු’ තොගය පාර්සල් 13 ක් වශයෙන් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය පාර්සල් 02 ක් වශයෙන් සඟවා තිබියදී හමුව තිබෙනවා.
ඒවා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු 27 හැවිරිදි කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අලුත්කඩේ අංක එක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
+
කොටිකාවත්තෙන් ඊයේ (26) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ සැකකරු දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබෙනවා ෴
+
+
දළදා වන්දනාවේ අවසන් දිනයේත් 88,000 ක් පෝලිමේ
(27.04.2025 – 13:54 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 18 වැනිදා ආරම්භ කළ සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි (27).
අද (27) පස්වරු 05:30 ට සිරි දළදා වන්දනාව නිල වශයෙන් අවසන් කිරීමට නියමිතයි.
ගතවූ දින 9 තුළ උතුම් වූ දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා 550,000 කට අධික සැදැහැවතුන් පිරිසකට අවස්ථාව උදා වුණා.
දළදා වන්දනාව සඳහා අති විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ජනතාව සීමා කිරීමට සංවිධායකයින් පියවර ගත් අතර අද (27) දිනයේ වෙනදා මෙන් තිබූ දිගු පෝලිම්වල යම් අඩුවක් දක්නට ලැබුණා.
ඒ අනුව අද (27) පෙරවරුවේ කිලෝමීටර් දෙකක (2) පමණ පෝලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.
එම පෝලිම්වල 88,000 කට ආසන්න සැදැහැවතුන් පිරිසක් තවදුරටත් රැඳී සිටිනවා.
අද (27) පෙරවරු 11 ට එම සැදැහැවතුන් වෙනුවෙන් දළදා වන්දනාව ආරම්භ කෙරුණා.
මේ වනවිට අම්පිටිය මාර්ගයේ පැවති පෝලිම වැව රවුම දක්වා පැමිණ ඇති අතර අම්පිටිය මාර්ගයේ කිසිදු පෝලිමක් දක්නට ලැබෙන්නේ නැහැ.
ඩී.එස්. සේනානායක වීදියේ සහ වැව රවුම දක්වා පමණක් මේ වනවිට සැදැහැවතුන්ගේ පෝලිම් පවතින අතර අප වාර්තාකරුවන් පැවසුවේ, එම පෝලිම් ද කිලෝමීටර් 2 ක් පමණ වන දුරක පමණක් පවතින බවයි.
එම පෝලිම්වලට අද (27) දිනයේ සැදැහැවතුන්ට එක්වීමට අවස්ථාවක් නොමැති අතර පෝලිම් අවසානයේ ආරක්ෂක අංශ යොදවා තිබෙනවා.
මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද (27) පෙරවරුවේ ආරම්භ කෙරුණා.
එමෙන්ම මහනුවර නගරයට පැමිණි අතිවිශාල පිරිස හේතුවෙන් කැලිකසලවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය පිරිසිදු කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන එක්ව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය අද (27) පස්වරු 4 ට ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර දින ගණනාවක් පුරා ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි රජයේ නිලධාරින් සහ සියලුම කම්කරුවන් ඇතුළු පාර්ශ්වවලට පස්වරු 2 ට ‘සිරි දළදා වන්දනාව’ සදහා විශේෂ අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ පවසනවා.
දළදා දැක්ම නිමාවූ පසුව නිවෙස් බලා නොගොස් මහනුවර රැදී සිටින සියලුම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබෙනවා.
මේ අතර තේවාවභාර නායක හිමි පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් දළදා දැක්මට දායකවූ කාර්යය මණ්ඩලයට කෘතවේදීත්වය පළ කර සිටියා ෴
සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමුණු පාසල් 24 ක් හෙට (28) යළි විවෘතයි
(27.04.2025 – 18:56 +0530 – hirunews.lk/sinhala)
සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමුණූ මහනුවර හා ඒ අවට පාසල් 24 ක් හෙට (28) යළි විවෘත කිරීමට නියමිතයි.
ඊට අමතරව, ආරක්ෂක අංශ සාමාජිකයින්ට පහසුකම් සැපයිම සදහා වසා දැමූ පාසල් 37 ක්ද අනිද්දා (29) යළි විවෘත කෙරෙනු ඇති.
පසුගිය 18 වනදා ‘සිරි දළදා වන්දනාව’ ආරම්භ කෙරුණු අතර එය අද (27) පස්වරු 05:30 ට අවසන් කිරීමට නියමිතයි ෴
සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන් මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ අතර, ඇතැම් ගමන්මළු නැවත භාර නොගැනීම හේතුවෙන් භාරදුන් ස්ථානවලම ඒවා සුරක්ෂිතව පවතිනවා.
එම ගමන්මළු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන ස්ථානය ඉදිරිපිටදී නැවත ලබාදීමේ වැඩපිළිවෙලක් හෙට (28) සහ අනිද්දා (29) දෙදින (2) තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා ලෙසයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴
නාට්‍යයක් අතරතුර අඩි 60 ක කණුවක් මතට නැගි අයෙකු මරුට
(27.04.2025 – 14:47 +0530 – hirunews.lk/sinhala)
නානුඔය – ග්ලාස්කෝ වතුයායේ පැවති සංස්කෘතික උත්සවයක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එම උත්සවයේ පැවති සංස්කෘතික අංගයකදී අඩි 60 ක් පමණ උස කණුවක නැඟ සිටි පුද්ගලයෙකු ඉන් ඇඳ වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
63 හැවිරිදි තිදරු පියෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
කණුවේ මුදුනේ රඳවනයක තිබූ මල් ගෙන උත්සවයට සහභාගි වූ පිරිසට ලබා දීම සදහා ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴
+
+
උසස් පෙළ සමතුන්ගේ වර්ධනයක්
(27.04.2025 – 15:03 +0530 – hirunews.lk/sinhala)
2024 උසස් පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය පසුගිය වසරවලට වඩා ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අද (27) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ උසස් පෙළ විභාගයේ විෂයන් තුනම (3) අසමත් අපේක්ෂකයින් 29,244 දෙනෙකු ද සිටින බවයි.
2024 උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 274,361 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලබා තිබෙනවා.
එය සමස්ත අයැදුම්කරුවන්ගෙන් 64.73% ක ප්‍රතිශතයක්.
මෙවර විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මැයි 02 වැනිදා සිට 16 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.
2024 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම (1) ස්ථානය දිනාගනු ලැබුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිති නිම්හාරායි.
දෙවන (2) ස්ථානය දිනාගනු ලැබුවේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කල්පා විදුසරනි සිසුවිය වන අතර යාපනය හින්දු විද්‍යාලයේ ජමුනානන්දා ප්‍රනවන් තුන්වන (3) ස්ථානය දිනාගනු ලැබුවා.
ඔහුගේ නිවුන් සහෝදරයා වන ජමුනානන්දා සරවනන් ජීව විද්‍යා අංශයේ යාපනය දෙවැනියා (2) වීමද විශේෂත්වයක්.
ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථමයා (1) බවට පත්වූයේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රන්සර කුමාරගේ සිසුවායි.
ගණිත අංශයේ දෙවන (2) ස්ථානය පේදුරු තුඩුව කාඩ්ලි විද්‍යාලයේ කන්තදාසන් ත්‍රාසරාජ් දිනාගනු ලැබුවා.
තුන්වන (3) ස්ථානය ද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තෙවිදු දිල්මිත් දහනායක හිමිකරගෙන තිබෙනවා.
වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම (1) ස්ථානය හිමි කරගෙන ඇත්තේ කොළඹ විසාකා විද්‍යාලයේ අමාෂා දුලාරි පෙරේරා සිසුවියයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ඉඳුවර සංහිත කුමාරපේළි දෙවන (2) ස්ථානය දිනාගත් අතර නුගේගොඩ සුජාතා විද්‍යාලයේ උතාරා පෙරේරා වාණිජ අංශයෙන් දිවයිනේ තුන්වන (3) ස්ථානය දිනාගනු ලැබුවා.
මේ අතර ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා සිසුවිය කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම (1) ස්ථානය හිමිකර ගනු ලැබුවා.
රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ දිනෙත්මි ජනකාත්න දෙවන (2) ස්ථානය ද තුන්වන (3) ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ ඉසුරි අංජලිකා පීරිස් දිනාගත්තා.
මේ අතර කලා අංශයේ පස්වන (5) ස්ථානය දිනාගෙන ඇත්තේ ආබාධිත තත්ත්වයේ පසුවෙමින් උසස් පෙළ විභාගයට මුහුණ දුන් රක්වාන දෙමුවාවත මහා විද්‍යාලයේ කාවින්දි ගීතාංජලී සිසුවිය වීම විශේෂත්වයක්.
එමෙන්ම කුරුණෑගල සඳලංකා මධ්‍ය විද්‍යාලයේ නෙත්මි නවෝද්‍යා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා (1) බවට පත් වූ අතර මහනුවර පුෂ්පදාන විද්‍යායලයේ මහේෂා පාරමි දෙවන (2) ස්ථානයද ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ චමෝදි හංසිකා තුන්වන (3) ස්ථානය දිනාගනු ලැබුවා.
ඉංජිනේරු තාක්ෂණය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා (1) බවට පත්ව ඇත්තේ, නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කාව්‍ය රවිහංසයි.
රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ උෂාන් මලිත් දෙවන (2) ස්ථානයද හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ පසිදු මධුසංඛ කුසුම්සිරි තුන්වන (3) ස්ථානයද හිමිකරගනු ලැබුවා ෴
+
+
ටයරයක් ගැලවී ටයර් ලොරියක් වෙලේ
(27.04.2025 – 17:05 +0530 – hirunews.lk/sinhala)
භාවිතා කළ ටයර් තොගයක් පටවාගෙන යමින් තිබු ලොරි රථයක පිටුපස ටයරයක් ගැලවි යාමේන් එම ලොරි රථය පෙරලී අනතුරට ලක්ව තිබෙනවා.
ආණමඩුව, කොට්ටුකච්චිය ප්‍රදේශයේදී වූ අනතුරෙන් ටයර් තොගය අසල කුඹුරකට විසිවී තිබු බවයි ආණමඩුව පැවසුවේ.
ලොරි රථයෙන් ගැලවී ගිය ටයරය මාර්ගයේ අනෙක් දිසාවෙන් ගමන් කළ යතුරු පැදියක ගැටී ඇති අතර එහිදී යතුරුපැදිකරුගේ පාදයේ දරුණු අස්ථි බිදිමකට ලක්ව තිබෙනවා.
එම තැනැත්තා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ශල්‍ය කර්මයකට භාජනය කර තිබෙනවා.
පෙරළි ගිය ලොරි රථය කුරුණෑගල දෙස සිට පුත්තලමට ගමන් කරමින් සිට තිබෙනවා.
ලොරි රථයේ ගැලවී ගිය පිටුපස රෝදයට අමතරව අනෙක් රෝදය ඇඹරි විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴