කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්


කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(26.04.2025 – 07:13 +0530 – hirunews.lk/sinhala)

කටුනායක, හීනටියන, ඉහළ මැණ්ඩිය ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

මොහු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, නිවසේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක්.

+++

නිදන කාමරයටම ඇවිත් තැබූ වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට

(26.04.2025 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කටුනායක – හීනටියන ප්‍රදේශයේදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

කටුනායක – හීනටියන – ඉහළ මැණ්ඩිය ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 29 හැවිරිදි ‘කාලිංග උදාර චතුරංග’ නැමැති අයෙක්.

පොලිසිය සඳහන් කළේ අදාළ තරුණයා සිය නිවසේ සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

අද (26) උදෑසන 6 ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු (2) නිවසට පැමිණ ඇති අතර වෙඩික්කරු එම තරුණයාගේ නිදන කාමරයටම ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

වෙඩි වැදුණු තරුණයා එම නිවසේ පියා සමග පමණක් වාසය කර තිබු අතර ඔහුගේ මව කලකට ඉහතදී මියගොස් ඇති බවත් සඳහන්.

පොලිසිය සැක පළ කරන්නේ ටී-56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි.

මුහුණු ප්‍රදේශයට සහ වම් උරහිසට වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල වී තුවාල ලැබූ ‘කාලිංග’ මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම තරුණයා මීට පෙර පොලියට මුදල් ලබා දුන් අයෙක් බවත් සඳහන්.

සිද්ධිය වූ ස්ථානයට ‘විශේෂ කාර්ය බලකාය’ ද කැඳවා තිබුණා.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් මිනුවන්ගොඩ දෙසට පලා ගිය බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් සොයා මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශන ක්‍රියාත්මක බවයි.

+


‘සිරි දළඳා වන්දනාව’ට තවමත් ලක්ෂ දෙකක් (2) පෝලිම්වල; හෙටින් (27) වන්දනාව අවසන්

(26.04.2025 – 08:24 +0530 – hirunews.lk/sinhala)

පුරා දින 10 ක් පුරා පැවති ‘සිරි දළදා වන්දනාව’ කලින් නියම කරගත් පරිදි හෙට (27) අවසන් වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා මේ වන විටත් ලක්ෂ 2 කට අධික පිරිසක් පෝලිම්වල රැදී සිටින බැවින් ඊට අලු‍තින් එක් නොවන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සැදැහැවතුන්ගෙන් යළි යළිත් ඉල්ලීම් කරනවා.

සිරි දළදා වන්දනාවේ 9 වැනි දිනය අද (26) ක්‍රියාත්මක අතර සැදැහැවතුන් අනූ දහසකට (90,000) ආසන්න සංඛ්‍යාවකට ඊයේ (25) දළඳා සමිඳුන් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවුණා.

මේ අතර ‘සිරි දළදා වන්දනාව’ අතරතුර විවිධ රෝගාබාධයන්ට ලක්වූ 4 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් අතරින් දෙදෙනෙකු (2) පොලිස් නිලධාරීන්.

ඔවුන් කඩුගන්නාව සහ මාතලේ – නාවුල පොලිසිවලට අනියුක්තව සේවය කරන සැරයන්වරුන් වනවා.

මහනුවර නගරයට ඊයේ (25) පස්වරුවේ මහ වැසි ඇදහැලු‍ණත් එය නොතකා සැදැහැවතුන් පෝලිම්වල රැදී සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ ෴

‘සිරි දළදා වන්දනාව’ හේතුවෙන් වසා දැමූ මහනුවර පාසල් නැවත විවෘත කෙරෙනවා.

ඒ අනුව ඇතිවිය හැකිව තිබූ තදබදය අවම කර ගැනීම සඳහා වසා දැමූ මහනුවර පාසල් 24 ක් අප්‍රේල් 28 වැනිදා විවෘත කිරීමට නියමිතයි.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳී සිටි පාසල් 37 ක් 29 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ ෴


පුංචි මල් කැකුළකට වදහිංසා කළ විද්‍යා ගුරුවරිය (23.04.2025)

+


ජනපතිතුමණි… මහා විපතක් අත ලඟයි – වෙන කාට කියන්නද? මේ කතාව ඔබතුමාට නැතුව (25.04.2025)

+++

කලා වැවේ ජල කාන්දුව ගැන සොයන්න ඉඩම් නියෝජ්‍ය ඇමති අනුරාධපුරයට

(26.04.2025 – 12:20 +0530 – hirunews.lk/sinhala)

කලාවැවෙහි පවතින ජල කාන්දුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීමට ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍ය සුසිල් රණසිංහ සහ කලාවැව භාර වාරි ඉංජිනේරු බුද්ධික නවරත්න අද (26) පෙරවරවේ එහි ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් උපදෙස් දී ඇත්තේ, දීර්ඝ කාලයක පටන් මෙම ජල කාන්දුව සිදු වන අතර ඉන් කලා වැවට අවධානමක් නොමැති බවයි.

කෙසේ වෙතත් එම ජල කාන්දුව කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට කරුණු ඉදිරිපත් වුණා.

ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ජලාශවලින් එකක් වන කලාවැවෙහි පිට වාන අසල වේල්ලෙහි ජල කාන්දුවක් සිදු වන බවට පසුගිය දිනවල පරිසරවේදීන්, මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් විසින් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා ෴


‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය ගැන ‘දුලා’ සියල්ල වමාරයි ! (25.04.2025)

+


ඇමති නලින්ද ජයතිස්සට එරෙහිව CID පැමිණිලි කෙරේ..

(26.04.2025 – 03:22 +0530 – lankacnews.com)

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ සහ ‘සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත තරග විභාගයට අනිවාර්යයෙන් පෙනී සිටින ලෙස සම සෞඛ්‍ය උපාධිධාරී සිසුන්ගේ නිවෙස්වලට ‘ජාතික ජන බලවේගයේ’ නියෝජිතයින් විසින් දුරකතන ඇමතුම් ලබාදීමේ සිදුවීමක් මත මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

මෙම බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට රජය තීරණය කර තිබූ අතර ඊට ‘සම සෞඛ්‍ය වෘත්තිකයන්’ගෙන් සහ ‘සම සෞඛ්‍ය උපාධිධාරීන්’ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙයි.

27 වැනිදා තරග විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති එම විභාගයට පෙනී සිටින ලෙස දන්වමින් අදාළ ශිෂ්‍යයින්ගේ නිවෙස් වෙත ‘ජාතික ජනබලවේගයෙන්’ ඉදිරි පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින් ඇතුළු නියෝජිතයින් විසින් දුරකතන ඇමතුම් ලබාදී ඇති බව ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ හඬ පට සාක්‍ෂි ඉදිරිපත් කරමින් පවසයි.

සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින් මෙම දැනුම් දීම කරන ලෙස දැනුම් දුන් බවට එම අපේක්‍ෂකයන් විසින් රැකියා අපේක්‍ෂකයන්ට දන්වා ඇති බවට එම හඬ පටවල කියැවෙයි.

+


මෝදි සහ අනුර අත්සන් කරපු හොර ගිවිසුම ගැන ඇමති නලින්දට කටඋත්තර නැතිවෙයි (23.04.2025)

+


හෙට (27) පුංචි ඡන්දයට ඡන්ද කාඩ් බෙදන විශේෂ දිනයක්

(26.04.2025 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (27) නම් කර තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ලබන 29 වනදා දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගතහැකියි ෴


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තක තිබී හමුවෙයි

(26.04.2025 – 17:08 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල්වල හාවිතා කරන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තේ තිබියදී සොයාගෙන තිබෙනවා.

අදාල බෙහෙත් තොගය එම වතු යායට පිටින් හෙනැවිත් බැහැර කර ඇති බව දකින්නට ලැබෙන බවයි වතු අධිකාරිවරයා හැටන් පොලීසිය වෙත දැනුමි දී ඇත්තේ.

ඒ අනූව හැටන්, නුවරඑළිය පුධාන මාර්ගය ආසන්නයේ පිහිටි වත්තට මෙම බෙහෙත් තොගය වාහනයකින් රැගෙන විත් බැහැර කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම බෙහෙත් තොගය කල් ඉකුත් වු බවක් පෙනෙන්නට ඇති බවත් බෙහෙත් තොගයේ කවරයක නුවරඑළිය නියෝජ්‍ය සෞඛ්‍යය අධිකාරි කාර්යාලයේ ලිපිනය සඳහන්ව ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

+

+


බන්ධනාගාරගත ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ළඟ තිබූ දුරකතනයක් අත්අඩංගුවට

(26.04.2025 – 19:32 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ සන්තකයේ තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබෙනවා.

අධිආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී එවැනි ජංගම දුරකතනයක් ඔහුට ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් සැකකරු සම්බන්ධයෙන් පවතින නඩු සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින පිරිස් හා ඔහුගේ ප්‍රතිවාදීන් බියෙන් පසුවන බව වාර්තා වනවා.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ මොහු බන්ධනාගාරයේ රඳවා සිටියේ.

සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *