ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි

ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි


ගසක් කඩා වැටීම නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්; වාහන 07 කට හානි

(23.04.2025 – 08:28 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – ඩී.එස්. වටරවුම ආසන්නයේදි මාර්ගයට ගස් කඩා වැටීමෙන් වාහන 07 කට හානි සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඒ ආශ්‍රිත ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මේ අතර, පෑලියගොඩ අධිවේගි පිවිසුම සහ ඔරුගොඩවත්ත ප්‍රදේශය අවටද දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

+

+

+


කටාන වෙඩි තැබීමට පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට

(23.04.2025 – 09:59 +0530 – hirunews.lk/sinhala)

කටාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර පළාත් පාලන ඡන්දයට තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඊයේ (22) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර, පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් අදාළ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් පහර දී තිබූ අතර, එහිදී හිටපු මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් ඔහුට වෙඩි තබා තිබුණා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ෴


මාතර බන්ධනාගාරයේ රැඳවියන් 200 දෙනෙකු පමණ අඟුණුකොළපැලැස්සට

(23.04.2025 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මාතර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු රැඳවියන් දෙසීය දෙනෙකු (200) පමණ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මේ වන විට මාරු කර යවා තිබෙනවා.

ඊට කාන්තා රැඳවියන් 26 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මාතර බන්ධනාගාරයේ රැදවියන් 506 දෙනෙකු සිටින අතර තවත් පිරිසක් අද (23) දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිතයි.

පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීමට විරෝධය පළ කරමින් රැදවියන් පිරිසක් ඊයේ (22) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තැබීමට කටයුතු කළ අතර පසුව බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සදහා පොලිසිය මෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමටයි පියවර ගත්තේ.

රැඳවියන් පාලනය කිරීම සඳහා මැදිහත් වූ බන්ධනගාර නිලධාරීන් තුන්දෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම, තත්ත්වය පාලනය කිරීම සදහා අද (23) අලුයම කඳුලු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.

+

+

+


මිතුරාව හෙල්මට්වලින් පහර දී ඝාතනය කළ 11 ක් අත් අඩංගුවට

(23.04.2025 – 11:32 +0530 – hirunews.lk/sinhala)

මිතුරන් කිහිප දෙනෙකු විසින් පෞද්ගලික ආරවුලක් මත හෙල්මට්වලින් පහර දී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා ඊයේ (22) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවක්.

මේ සම්බන්ධව වෙලගෙදර හා මාවතගම පොලිස් ස්ථාන මගින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු ඊයේ (22) රාත්‍රී කාලයේ වෙලගෙදර පොලිස් වසමේ ඇරෑපොල කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොල කන්ද හා අඹ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

+


‘TIN අංකය’ ගැන විශේෂ දැනුම්වත් කිරීමක්

(23.04.2025 – 20:20 +0530 – sinhala.adaderana.lk)

‘තැන්පතු මුදල් මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන්’ සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ‘ටින් අංකයක්’ නොමැති වුවද බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මේ බව පැහැදිලි කෙරුණේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එමෙන්ම එසේ භාරගන්නා ස්වයං ප්‍රකාශනවල හිමිකරුවන්ට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ටින් අංකය ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන බව ද එහිදී සඳහන් කෙරුණි.

මහජනතාවගේ මුදල් තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5% ක රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දැමීමට මෙවර අය වැයෙන් තීරණය කෙරුණි.

නමුත් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ට වඩා අඩු වන්නේ නම් එම පුද්ගලයාගෙන් මෙම රැඳවුම් බද්ද අයකර ගැනෙන්නේ නැත.

ඒ අනුව එවැනි පිරිසට එම සහනය ඉල්ලා සිටිමින් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකි බව රජය නිවේදනය කළේය.

එම ස්වයං ප්‍රකාශනයට ‘TIN අංකය’ අනිවාර්ය බැවින් එය ලබාගැනීම සඳහා මේ දිනවල විශාල ජනකායක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණමෙින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කේ.එස් ශාන්ත මහතා :

“වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශයක් සිදුකරන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ එම ප්‍රකාශය තිබෙනවා. ප්‍රකාශය කරන පුද්ගලයාට TIN අංකයක් තිබිය යුතුයි. TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණෙනවා. TIN අංකය නැතුව ප්‍රකාශය භාරගන්න කියලා බැංකුවලින් ඉල්ලීම් කළා. මේ මාසයේ TIN අංක නොමැතිව ප්‍රකාශ ලබාදෙන අයගේ විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට TIN අංකය ලබාදෙන්න පුළුවන්. වැරදි ප්‍රකාශන ලබාදෙන අයට එරෙහිව දඬුවම් දීමේ විධි විධාන තිබෙනවා.”

+++

වයස අවුරුදු 18 වැඩි මෙරට ජනගහනයෙන් මිලියන 10ක් පමණ මේ වන විට බදුගෙවන්නන් හදුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත අද කොළඹ දී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ. (hirunews.lk/sinhala)


රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ලංගමේ නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(23.04.2025 – 12:23 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ලංකා ගමනාගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු අල්ලස් චෝදනා මත ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ත්‍රිකුණාමලය වව්නියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කර, මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධව එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා වැඩ තහනම් කර එම විනය පරීක්ෂණයෙන් පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර, නැවත සේවය පිහිටුවීමට අදාළ කටයුතු කර දීම සඳහායි අල්ලස් ලෙස රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ඉල්ලා ඇත්තේ.

එකී මුදල එම කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා මගින් ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනා මතයි ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්’ විසින් මෙසේ ඔවුන්ව අත්අඩංගුවට ගනුලැබ තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

(23.04.2025 – 15:37 +0530 – hirunews.lk/sinhala)

රුපියල් පහළොස් කෝටි හතලිස් පන්ලක්ෂ පනස් දහසක් (15,45,50,000) වටිනා ‘කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය’ තොගයක්, ‘ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය’ ඔස්සේ, ‘කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව’ වෙත ලැබී තිබියදී ‘රේගුව’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට අදාළ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් එවා තිබූ බවයි රේගුව සදහන් කළේ.

මීගමුව, කදාන, කතරගම, ගනේමුල්ල, මාළඹේ සහ කොළඹ ප්‍රදේශ කිහිපයකට එම පාර්සල් එවා තිබෙනවා.

එහිදී ‘කුෂ්’ කිලෝ 12 යි ග්‍රෑම් 677ක් සහ ‘හෂීෂ්‍’ කිලෝ 01 යි ග්‍රෑම් 852 ක් සොයා ගෙන තිබුණා.

මීට අමතරව ‘කුෂ්‍ මත්ද්‍රව්‍ය’ ඇසුරෙන් නිෂ්පාදනය කළ ‘විද්‍යුත් දුම්වැටි’ තොගයක් සහ ‘චුයින්ගම්’ තොගයක් ද සොයාගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *