කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට


කටුනායකදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත්කළ සැකකරුවෙක් අත්අඩංගුවට

(22.04.2025 – 12:07 +0530 – hirunews.lk/sinhala)

කටුනායක – ආඬිඅම්බලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමකට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට උත්සහ කළද එය ව්‍යර්ථ වුණේ ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

එහිදී ප්‍රදේශවාසින් විසින් පළා යාමට උත්සාහ කළ එක් (1) සැකකරුවෙකු ගිනිඅවියක් ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++

කටුනායක වෙඩිතැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

(22.04.2025 – 17:34 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු කරන ‘අංජන’ නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන ‘හීනටියන මහේෂ්’ නැමැත්තාගෙන් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කටුනායක පොලිසිය පවසනවා.

අද (22) පෙරවරුවේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණියත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඝාතනය වැළකී තිබෙනවා.

ඒ සමගම වෙඩික්කරු අල්ලා ගැනීමට කටයුතු කර ඇත්තේ ඝාතකයාගේ ඉලක්කය වූ ‘අංජන’ සමග ගම්වාසීන් පිරිසක්.

මේ අතර වෙඩි තැබීමට ආ අනෙක් පුද්ගලයා පැන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අල්ලා ගත් ඝාතකයා සන්තකයේ තිබී රිවෝල්වරයක් තිබී පොලිස් බාරයට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ වැටී තිබී මි.මී 9 වර්ගයේ උණ්ඩ 10 ක් අඩංගු මැගසිනියක් සහ ඒ අසල වැටී තිබූ බෑගයක තවත් එවැනිම මැගසිනයක්ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

අදාල බෑගය තුළ තිබී පලා ගිය සැකකරුගේ ජාතික හැඳුනුම්පත හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘සංඛ’ නැමැත්තාගේ ගෝලයකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසනවා.

කටුනායක, ආඩි අම්බලම, දැව මොට්ටාව ප්‍රදේශයේ නිවසකට අද (22) පෙරවරුවේ යතුරු පැදියකින් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් රැගෙන ආ දෙදෙනකු (2) මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වෙඩික්කරුගේ ඉලක්කය වූ ‘අංජන’ නැමැත්තා වෙඩික්කරුවන් දෙසට එකවරම කඩා වැදීමත් සමගම එක් (1) පුද්ගලයකු තාප්පෙන් පැන පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර අනෙක් පුද්ගලයා ‘අංජන’ ඇතුළු ගම්වාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

එහිදී ඔහුගේ පාදයක් බිඳීමට ලක්ව ඇතැයිද පොලිසිය පවසනවා.

රැස් වූ පිරිස සැකකාර වෙඩික්කරුට පහරදී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

+

+

+


පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සොයා බැලීම සඳහා කමිටුවක්

(22.04.2025 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

එහි ප්‍රධානත්වය දරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක එම කමිටුවේ ඉතිරි සාමාජිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ ෴


කතරගම නිවාඩු නිකේතනයක තිබි පිරිමි මළ සිරුරක් හමුවෙයි

(22.04.2025 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කතරගම, සිතුල්පව්ව පාරේ කොච්චිපතාන පිහිටි නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගෙන් තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා අදාළ නිකේතනයේ සේවය කර ඇති අයෙකු බවයි කතරගම පොලිසිය පවසන්නේ.

ඔහු ‘කොණ්ඩ උපුල්’ යනුවෙන් හඳුන්වන අයෙකු බවද පොලිසිය පවසනවා.

එම නිකේතනයේ වෙනත් කිසිවෙකු නොමැති අතර එහි හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි බවයි පැවසෙන්නේ.

මරණකරුගේ හිස පිටුපස සහ වම් අතේ කිහිල්ල අසල කැපුම් තුවාල සහ දකුණු වැලමිට සීමාවේ තැලීම් තුවාල දක්නට ලැබෙනවා.

මේ නිසා මරණය ඝාතනයක් විය හැකි බවට සැක කෙරෙන අතර මීට දින දෙකකට (2) පමණ ඉහතදී ඝාතනය සිදුව ඇති බවටත් පොලිසිය සැක කරනවා ෴


‘සිරි දළදා වන්දනාව’ අද (22) පස්වැනි (5) දිනටත් ක්‍රියාත්මකයි

(22.04.2025 – 15:18 +0530 – hirunews.lk/sinhala)

‘සිරි දළදා වන්දනාව’ අද (22) පස්වැනි (5) දිනටත් ක්‍රියාත්මක වනවා.

ඊයේ (21) දිනය තුළ පමණක් සැදැහැවතුන් 170,000 ක පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කර තිබූ අතර තවත් සැහැදැවතුන් විශාල පිරිසක් අදත් (22) පෝලිම්වල රැදී සිටිනවා.

දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව ලංකාවාසී සහ ලෝවාසී සැදැහැවතුන්ට හිමිවන ‘සිරි දළදා වන්දනාව’ පස්වැනි (5) දිනය අදයි (22).

ගෙවුණු දින 4 තුළ දළදා වහන්සේ වන්දනාමාන කිරීමට නොහැකි වූ සැදැහැවතුන් අද (22) දිනයේ දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් ඊයේ (21) රාත්‍රියේ මග දෙපස රැය පහන් කළා.

එම සැදැහැවතුන් වෙනුවෙන් ආහාර පාන ඇතුළු සත්කාර කටයුතු සඳහා ස්වාමීන්වහන්සේලා මෙන්ම මුස්ලිම් ජනතාව ද ඊයේ (21) රාත්‍රිය පුරා කටයුතු කළ අයුරුද දක්නට ලැබුණා.

සිරි දළදා වන්දනාවට පැමි‍ණෙන සැහැදැවතුන් වෙනුවෙන් වෙන්කර ඇති ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ඇති ප්‍රවේශ මාර්ගය, සංඝරාජ මාවත හරහා ඇති ප්‍රවේශ මාර්ගය හා මහනුවර වැව රවුම හරහා ඇති ප්‍රවේශ මාර්ගය අදත් (22) සැහැදැවතුන්ගෙන් පිරී තිබෙනවා.

දළදා වන්දනාව සඳහා පැමිණෙන සැහැදැවතුන් වෙනුවෙන් බෞද්ධ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ වැඩිහිටියන් ද අද (22) පෙරවරුවේ දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් ඔවුන්ට වෙන් වූ ප්‍රවේශ මාර්ගය අසළ රැඳී සිටියා.

දළදා වන්දානට පැමිණි සැදැහැවතුන්ගේ ගමන් මලු දළදා මාලිගය තුළට රැගෙන යාමට නොහැකි නිසා එම ගමන් මලු සහ පාවහන් පෝලිම් අසළ හා මාර්ගය අසළ ගොඩගසා ඇති ආකාරයද දක්නට ලැබුණා.

මේ අතර දළදා වහන්සේ වන්දනා කිරීමෙන් පසු බැතිමතුන්ගේ තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ පිටවීමේ මාර්ගයක් දළදා මාලිගා පරිශ්‍රය තුළ ස්ථාපනය කර තිබෙනවා.

පැය 24 ක් ඇතුළ මෙම පිටවීමේ මාර්ගය සකස් කර ඇති අතර වයෝවෘධ සැදැහැවතුන් සඳහා එම පිටවීමේ මාර්ගයෙන් පහසුකම් සපයා දී තිබීමත් විශේෂත්වයක්.

අදත් (22) පෙරවරු 11:00 ට ‘සිරි දළදා වන්දනාව’ ආරම්භ වීමත් සමග සැදැහැවතුන් දළදා වහන්සේ වන්දනාමාන කිරීම වෙනුවෙන් දළදා මාලිගා පරිශ්‍රය වෙත පිවිසියා.

අද (22) පස්වැනි (5) දිනයේත් පස්වරු 05:30 දක්වා සිරි දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා ෴

දළදා සමිදුන් දැක වැඳ නමස්කාර කිරීමට අවස්ථාව සලසා දුන් සිරි දළදා වන්දනාවේ පස්වැනි (5) දිනය අද (22) සාර්ථකව අවසන් වුණා.

‘සිරි දළදා වන්දනාව’ට පැමි‍ණෙන සැහැදැවතුන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රවේශ මාර්ග තුනම (3) අදත් (22) මීට පෙර පැවති ආකාරයෙන්ම සැදැහැවතුන්ගෙන් පිරී පැවතියා.

කටුගස්තොට මාර්ගයේද විශාල සැදැහැවතුන් පිරිසක් රැස්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ, සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ඒ සඳහා හෙට (23) දිනය මගහැර වෙනත් ඉදිරි දිනයක් යොදා ගන්නා ලෙසයි.

මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රයට පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුලු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කළා ෴

+++

හෙට (23) දළදා වන්දනාව ගැන පොලිසියෙන් දැනුම්දීමක්

(22.04.2025 – 19:36 +0530 – hirunews.lk/sinhala)

මහනුවරට දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ හෙට (23) දිනයේදී ද ලක්ෂය ඉක්මවා බැතිමතුන් පිරිසක් සහභාගී වේ යැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව හෙට (23) නොපැමිණීම සහ වෙනත් දිනයක පැමිණීමෙන් බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකි වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.


කාටත් නොකියා වන්දනාවේ ගිහින් උසාවියෙන් ගෙදර යැවූ 16 ජෝඩුව

(22.04.2025 – 15:44 +0530 – hirunews.lk/sinhala)

නිවසට නොදන්වා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි අවුරුදු 16 ක පාසල් සිසුවියක සහ සිසුවෙක් අද (22) හැටන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා.

එම දෙදෙනා (2) හැටන් නගරයේ සැරිසරමින් සිටියදි හැටන් පොලිසිය විසින් භාරයට ගෙන ප්‍රශ්න කිරිමේදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා (2) නිවසට නොදන්වා ශ්‍රීපාද වන්දනාවේ පැමිණි බව පවසා තිබෙනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ සිට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ යාමට පැමිණ සිටි මොවුන් පෙම්වතුන් බවයි වාර්තා වන්නේ.

අනතුරුව හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස්. කරුණාකරන් වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව එම පාසල් සිසුවිය සහ සිසුවා ඔවුන්ගේ මව්පියන් වෙත භාර දෙන ලෙස නියෝග කර තිබෙනවා.

හැටන් පොලිසියේ නිළධාරිනි විසින් මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියෙන් කරුණු විමසීමේදි පාසල් සිසුවිය සහ සිසුවා අතුරුදහන් වී ඇති බවට මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව දන්වා තිබෙනවා.

පසුව එම සිසුවියගේ සහ සිසුවාගේ මව්පියන් හැටන් පොලිසිය වෙත කැදවා භාර දීමට යෑමේදි පාසල් සිසුවිය දෙමව්පියන් සමග නිවසට යෑම ප්‍රතික්ෂේප කළ බවයි පොලිසිය පවසන්නේ.

ඒ හේතුවෙන් පාසල් සිසුවා සහ සිසුවිය අධිකරණය වෙත ඉදිරිපත් කර මව්පියන් වෙත භාර දීමටයි හැටන් පොලිසියේ නිළධාරින් පියවර ගත්තේ ෴


REDY MIX වාහන දෙකක් (2) අනතුරක

(22.04.2025 – 18:48 +0530 – hirunews.lk/sinhala)

කොන්ක්‍රීට් මිශ්‍රකරන ටැංකි සහිත (ready mix) ලොරි රථ දෙකක් (2) අනතුරට පත් වීමෙන් එක් ලොරි රථයක රියදුරු සහ අනෙක් ලොරි රථයේ රිය සහයකයා බරපතල තුවාල ලබා තිබෙනවා.

එම තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට අද (22) අතුළත් කළ බවයි පූඬළුඔය පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවී ඇත්තේ පූන්ඬළුඔය ප්‍රධාන මාර්ගයේ හෙරෝවත්ත ප්‍රදේශයේදී බවද පොලිසිය පවසනවා.

එම වතුයායේ ගොඩනැගිල්ලක් ඉදි කිරිම සඳහා කොන්ක්‍රීට් මිශ්‍ර වාහන දෙක (2) ධාවනය කර තිබෙනවා.

එහිදී ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථය එම වතුයායට පිවිසෙන මාර්ගයට හරවනවාත් සමගම රථය රියදුරුගේ පාලනයෙන් මිදි පසු පස පැමිණෙමින් තිබූ කොන්ක්‍රීට් මිශ්‍ර ටැංකි සහිත ලොරි රථය මතට පෙරලී ඇති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් කොන්ක්‍රීට් මිශ්‍ර (ready mix) ලොරි රථ දෙකටම (2) බරපතල ලෙස හානි සිදුව ඇත් බව පැවසෙනවා.

+


හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කරයි

(22.04.2025 – 20:03 +0530 – sinhala.adaderana.lk)

තමන් ඉගෙනුම ලැබූ පාසලේ වැඩිමහල් ශ්‍රේණියක සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් රිදීගම – වෙලෙගෙදර – ෂැකරලි වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.

පසුගිය 16 වනදා රිදීගම – වෙලෙගෙදර – අංහන්දිය ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීම සඳහා කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ‘තිලිණ විරාජ්’ නැමැති සිසුවා ගොස් තිබේ.

තිලිණ යන අතරමග රැකසිටි එම පාසලේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් සහ තවත් පිටස්තර පිරිසක් ඔහුට පහරදී තිබුණේ, පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමිනි.

එහිදී ආරක්ෂිත හිස් වැසුම්වලින් සිසුවාගේ හිසට පහරදී ඇති අතර, අනතුරුව සිහිමුර්ඡා වී ඇති සිසුවා ප්‍රතිකාර සඳහා පළමුව මාවතගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යවා ඇත.

කෙසේ වෙතත්, කුරුණෑගල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද (22) ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සිද්ධිය සැලවීමත් සමග විදෙස්ගතව සිටි තිලිණගේ මව මේ වන විට නිවසට පැමිණ ඇත.

පොලීසිය පවසන්නේ, සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බවය.

සිසුවාට පහරදුන් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කුරුණෑගල – වෙලෙගෙදර පොලීසිය ඉදිරිපිටට රැස්වූ ෂැකරලිවත්ත ප්‍රදේශවාසීන් අද (22) විරෝධතාවක් පවත්වනු ලැබීය ෴


මාර්ගයෙන් ඉවතට පැන්න මෝටර් රථය අඩි 300 ක් ප්‍රපාතයට

(22.04.2025 – 10:12 +0530 – sinhala.adaderana.lk)

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300 ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මෝටර් රථයේ රියදුරු අනතුරින් තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.

අද (22) උදෑසන 07:15 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, නල්ලතන්නිය – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇතැයි අනාවරණය වී තිබේ.

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *