මහියංගනයේ වෙඩි තැබීමකින් තුවාලකරුවෙක් රෝහලට
(15.04.2025 – 18:54 +0530 – hirunews.lk/sinhala)
මහියංගනය, ගෙවල් විස්ස ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් (1) රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
කණ්ඩායම් දෙකක් (2) අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.
+
ගම්පහ වෙඩිතැබීමක් : ජීවිත හානි හෝ තුවාලවීම් හෝ නැත
(15.04.2025 – 22:54 +0530 – hirunews.lk/sinhala)
ගම්පහ පොලිස් වසමේ ගම්පහ නගරයේ 200 පොදු බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට වෙඩි තබා පලා ගොස් ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වෙඩි තැබීමේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ලොරි රථයෙන් බැස අසල තිබූ වෙළෙඳ සැලකට දිව ගොස් ඇති අතර ඔවුන්ට තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් කුඩා ලොරි රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
නිවසක දෙවන මහලේ සිරකර තබාගත් දරුවෙක් දෙවැනි (2) මහලකින් පැන බරපතල තුවාල ලබයි
(15.04.2025 – 17:31 +0530 – hirunews.lk/sinhala)
අවුරුදු 12 ක බාල වයස්කාර දරුවෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක දෙවැනි (2) මහලකින් පැන බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඒ, එම නිවසේ ගේට්ටුවට අදාළ දරුවා තට්ටු කිරීමට උරණ වූ නිවසේ හිමිකරු දරුවා නිවස තුළ සිර කිරීම හේතුවෙන්.
කෙසෙල්වත්ත පීර් සයිබු වීදියේ පිහිටි මෙම තෙමහල් (3) නිවසේ ගේට්ටුවට තට්ටු කිරීම ඒ අවට බොහෝ දරුවන්ගේ විනෝදාංශයක් බවට පත්වී තිබෙනවා.
ඒ, ගේට්ටුවට තට්ටු කිරීමේදී මතුවන අධික ශබ්දය හේතුවෙන්.
13 වැනිදා කෙසෙල්වත්ත පීර් සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැළකට පැමිණි දරුවන් දෙදෙනෙකු (2) ද අදාළ නිවසේ ගේට්ටුවට තට්ටු කර තිබූ බවත්, එහිදී නිකුත් වූ අධික ශබ්දයට උරණ වූ නිවසේ හිමිකරු නිවසෙන් පිටතට පැමිණ එක් දරුවෙකු අල්ලාගෙන ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.
එම දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් නිවසේ දෙවැනි (2) මහලේ කාමරයකට දමා සිර කර, දරුවා පොලිසියට භාර දෙන බව පවසමින් බිය ගන්වා තිබෙනවා.
පොලිසිය පැවසුවේ, එම අවස්ථාවේදී නිවස තුළ සිර වී සිට දරුවා බියට පත් වී දෙවැනි (2) මහලෙන් බිමට පැන ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ නිවසේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෙසෙල්වත්ත පොලිසිය ආරම්භ කර තිබෙනවා.
+
නිවසක උඩු මහලින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
(15.04.2025 – 07:24 +0530 – hirunews.lk/sinhala)
නිවසක උඩුමහලින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 45 ක් වූ තල්ගහකොටුව, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අළුත් අවුරුදු දිනයේ නැකැත් චාරිත්‍ර ඉටුකිරීම සඳහා සූදානම් වෙමින් සිටින අතරතුර නිවසේ උඩු මහලේ අඩක් නිම කළ ස්ථානයකින් පහලට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
පැය 24 ට රිය අනතුරු මරණ 5 ක්
(15.04.2025 – 16:01 +0530 – hirunews.lk/sinhala)
අලුත් අවුරුදු සමයේ රථවාහන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ගෙවුණු පැය 24 තුළ පමණක් අනතුරුවලින් මියගිය ගණන 5 ක් බව පොලිසිය පවසනවා.
මේ අතර කොළඹ ජාතික රෝහල වාර්තා කරන්නේ හදිසි අනතුරු හේතුවෙන් මේ කාලය තුල පුද්ගලයින් 412 ක් රෝහල් ගතව ඇති බවයි.
+
මේ අතර මිහින්තලය වැල්ලමොරාන ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.
පලුගස්වැව සිට මිහින්තලය දෙසට ධාවන වූ කැබ් රථයක් A-9 මාර්ගයේ මිහින්තලය වැල්ලමොරාන ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ඊයේ (14) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් එක් (1) පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා (1) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අනුරාධපුර යුද හමුදා කඳවුරේ සේවය කරන මේජර්වරයෙකු සහ ගල්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්.
+
මේ අතර අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අද (15) අළුයම අනතුරක් සිදු වුණා.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු, පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු (2) සහ ගැහැණු දරුවන් තිදෙනෙකු (3) තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවුසවේ, බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු 6 ක ගැහැණු දරුවෙකු මියගිය අතර ඇය පිටිගල කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි බවයි.
දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු ඇල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
+
මේ අතර, 13 වැනිදා රාත්‍රියේ හයිලෙවල් මාර්ගයේ හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ පදිකයින්ට සහ මාර්ගයේ ධාවනය කෙරුණු රථ වාහනවලට බාධාවන අයුරින් මෝටර් රථ ධාවන තරගයක් පවත්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ මෙලෙස සංසරණය වනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවයි ෴
‘බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ධම්මික’ ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට
(15.04.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ‘හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපළේ දී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින්.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.
මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති ‘මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්’ විසින් භාවිත කරනු ලැබ තිබෙනවා.
අම්බලන්ගොඩ , කුළීවත්ත ප්‍රදේශයේ පදිංච් 31 හැවිරිදි මොහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කරන්දෙණිය සුද්දා’ නැමති අයගේ ප්‍රධාන වෙඩික්කරුව සිටි බවටයි පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් මෙම වෙඩික්කරු අම්බලන්ගොඩ මුලස්ථාන පොලිසිය වෙත භාරදී තිබෙනවා.
ගාල්ල, තලගහ ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකර තිබුණේ පසුගිය මාර්තු මස 13 වනදායි.
+
+
රුපියල් මිලියන 230 ක් වටිනා මත්ද්‍රව්‍ය එක්ක අමෙරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට
(15.04.2025 – 18:22 +0530 – hirunews.lk/sinhala)
‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 23 ක් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමරිකානු ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.
පොලිස් භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 230 ක් පමණ වන බවද සඳහන්.
+
සොරකම් කළ යතුරු පැදි තොගයක් සමඟ සිව්දෙනෙක් (4) අත්අඩංගුවට
(15.04.2025 – 19:58 +0530 – hirunews.lk/sinhala)
රුපියල් ලක්ෂ 25 ක් පමණ විටිනා යතුරුපැදි රැසක් සමග යතුරුපැදි සොරකමේ නිරත කල්ලියක පුද්ගලයන් සිව්දෙනෙකු (4) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ සමග යතුරු පැදි 09 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් සොරකම් කර තිබූ මෙම යතුරු පැදි තොගය තඹුත්තේගම නවසිරිගම නිවසක් තුල සඟවා තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙම යතුරු පැදි සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නවසිරිගම (තඹුත්තේගම), යාය 03 දකුණු ඉවුර(රාජාංගනය), කටියාව(එප්පාවල) යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවයි පොලිසිය පවසන්නේ.
මෙම යතුරු පැදි සොරකමේ ප්‍රධාන සැකකරු එප්පාවල කටියාව පදිංචි 27 හැවිරිදි තරුණයකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
සැකකරුවන් සිව්දෙනා (4) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴
මහජනයා අපහසුතාවය පත් කරමින් මහපාරේ තරගයට රේස් පැද්ද පිරිසට වැඩ වරදී
(15.04.2025 – 09:33 +0530 – hirunews.lk/sinhala)
138 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මහජනයා අපහසුතාවය පත් කරමින් මොටර් රථ තරඟයක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මෙම පිරිස ‘සිංහල හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය’ තුළදී මෙම තරගය පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.
තරඟය සංවිධානය කළ තැනැත්න්ට සහ මෙම තරඟයට සභාගිවී සහයෝගය දැක්වූ සියල්ලන්ටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
+
පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
(15.04.2025 – 13:40 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ආයතන ඡන්දය සඳහා භාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරනවා.
මේ අනූව අදාල දේශපාලන පක්ෂ ලේකම්වරු සහ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් වෙතයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
ලබන මැයි 06 වැනිදා එම මැතිවරණය පැවැත්වීමට නියමිතයි ෴
+++
පුංචි ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (16) තැපෑලට
(15.04.2025 – 17:39 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම හෙට (16) සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඡන්ද විමසීම ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතයි.
ඊට අදාල නිල තැපැල් ඡන්ද පත්‍රිකා ද මීට පෙර තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණා.
පළාත් පාලන ආයතන 250 කට ආසන්න ප්‍රමාණයක ඡන්ද විමසීම නියමිත පරිදි ලබන මැයි මස 06 වනදා පවත්වන බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.
එසේම, අධිකරණයෙන් තහනම් නියෝග නිකුත් කළ ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා ෴
+++
මැතිවරණ පැමිණිලිවල වර්ධනයක්
(15.04.2025 – 16:44 +0530 – hirunews.lk/sinhala)
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 200 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.
අපේක්ෂකයින් 71,000 කට ආසන්න පිරිසක් තරග වදින පළාත් පාලන ඡන්දය මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන ඡන්දයට අදාළව සමන්තුරේ නායිකුට්ටියර් ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී රිෂාඩ් බදියුද්දීන් සහ ඒ.එල්.එම්. අතාවුල්ලා යන හිටපු මන්ත්‍රීවරුන්ගේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අපේක්ෂකයෙකු (1) ඇතුළු දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා නායකත්වය දරණ ජාතික කොංග්‍රසය ඊයේ (14) මෙම රැස්වීම සංවිධාන කර තිබූ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන්ගේ ‘සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ’ ආධාරකරුවන් පිරිසක් එම රැස්වීමට පැමිණි පිරිසකට පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
පහර දීම සඳහා පැමිණි පුද්ගලයින් මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි සමන්තුරේ පොලිසිය ප්‍රකාශ කළා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴