අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි

අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි


අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි

(13.04.2025 – 20:57 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ දැන් අපරභාග 08:57 ට ආරම්භ වූ අතර, එය හෙට (14) පූර්වභාග 09:45 ට අවසන් වනවා.

ඒ අනුව නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ, අද (13) අපරභාග 8:57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි.

අලුත් අවුරුද්ද උදාවීමට පෙර සිදුකරන, ‘පරණ අවුරුද්ද සඳහා ස්නානය’ ද අදට (13) යෙදී තිබුණා.

දිඹුල් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය කිරීම යහපත් බවයි නැකත් චාරිත්‍රවල සඳහන් වන්නේ.

‘නව අවුරුදු උදාව’ හෙට (14) පූර්වභාග 03:21 ට යෙදෙන සුභ නැකතින් සිදු වනවා.

‘ආහාර පිසීමේ නැකත’ යෙදෙන්නේද, හෙට (14) පූර්වභාග 04:04 ටයි.

එහිදී තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දීකිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම සුදුසු බව නැකත් සීට්ටුවේ සදහන්.

‘වැඩ ඇල්ලීම’, ‘ගනුදෙනු කිරීම’ සහ ‘ආහාර අනුභව කිරීමේ’ නැකත යෙදි ඇත්තේ, හෙට (14) පූර්වභාග 06:44 ටයි.

මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

අලුත් අවුරුද්දේ ‘හිසතෙල් ගෑමේ නැකත’ ලබන 16 වනදා පූර්වභාග 09:04 ට යෙදෙන අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන්පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව සඳහන් ෴

+++

+++

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී

(13.04.2025 – 13:16 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අලු‍ත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන ‘හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය’ මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, ලබන 16 වන බදාදා පූර්ව භාග 09:04 ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වෙනු ඇති.

මෙවර හිසතෙල් ගෑමේ මහෝත්සවය මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ ෴

+++

කළාකරුවන් 200 කට වැඩි පිරිසක් පිරිවරාගත් ‘හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු මංගල්‍යය’ ට තව හෝරා කිහිපයයි (13.04.2025)

+++

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ දෙමළ චාරිත්‍ර සිදුවන්නේ මෙහෙමයි (13.04.2025)

+


සුනඛයෙකු නිසා ඇතිවූ ආරවුල මරණයෙන් කෙළවර වෙයි

(13.04.2025 – 22:49 +0530 – sinhala.adaderana.lk)

දෙපාර්ශවක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් (1) තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අද (13) සවස් කාලයේ වාර්තා වී තිබුණේ මිනුවන්ගොඩ පොලිස් වසමේ දෙවලපොල ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ, ගණෙහිමුල්ල, දෙවලපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු නිවසේ ඇති කරනු ලබන සුනඛයෙකු සැකකරුගේ නිවසට යාම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


මහජන ආරක්ෂක ඇමතිකම බාර ගන්න මං සූදානම්.. – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

(14.04.2025 – 11:20 +0530 – lankacnews.com)

වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි වගකීමක් තමන්ට භාරදෙනවා නම් එය භාර ගැනීමට අකමැත්තක් නොමැති බවය.

නමුත් තමන් අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දායක නොවූ බැවින් තමන්ට එවැනි වගකීමක් ඉල්ලීමට අයිතියක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.

+


දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක්

(14.04.2025 – 13:16 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේවන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

ගැලණිගම සහ දොඩංගොඩ අතර මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට මෙම රථ වාහන තදබදය ඇති වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් උදා වූ අලුත් අවුරුද්දත් සමඟ දක්ෂණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිසගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

+


බස් රථයක් කැබ් රථයක සහ ලොරි රථයක ගැටී මාරක අනතුරක්

(14.04.2025 – 15:58 +0530 – sinhala.adaderana.lk)

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබේ.

අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී තිබේ.

අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධව අග්බෝපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකයි.

+


රුපියල් මිලියන 45 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් (3) ගුවන් තොටේදී කොටුවෙති

(14.04.2025 – 14:40 +0530 – sinhala.adaderana.lk)

‘කුෂ් සහ හශීස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු (3) ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අද (14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මගීන් තිදෙනා බැංකොක් සිට මෙරටට පැමිණ ඇති අතර සැකකරුවන් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි ඔවුන් නවතා පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබේ.

එහිදී ඔවුන්ගේ ගමන් මළු තුළ තිබූ බිස්කට් සහ චිප්ස් බෑග් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබේ.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය අතුරින් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,616 ක් සහ හශීස් ග්‍රෑම් 1,762 ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 45 කට ආසන්න බවද රේගුව පවසයි.

මෙම සැකකරුවන් අතුරින් දෙදෙනෙකු (2) කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා (1) බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෑතකදි සිදුකරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීම් අතුරින් එකක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම හැඳින්විය හැකි බවය.

සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමටද පියවර ගෙන තිබේ.

+


තාත්තා අවසන් ගමන් යැවූ බාප්පාට පුතා දුන් දඬුවම

(14.04.2025 – 18:17 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය, රණවර්ණාව ප්‍රදේශයේ දී ගලකින් පහරදී අද (14) අලුයම පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

එහිදී මියගිය තැනැත්තාගේ හිස ප්‍රදේශයට ගලකින් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ රන්දෙණිය ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු පනස් පහක (55) පුද්ගලයකු වන අතර, පහරදීම සිදුකල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු විසිහයක (26) පුද්ගලයකු වන අතර, තම පියා ඝාතනය කල පලිය ගැනීමට තමන් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරු පොලිසිය හමුවේ මූලික විමර්ශනවලදී සඳහන් කර තිබෙනවා.

ඝාතනයට ලක් වී ඇත්තේ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ බාප්පා බවයි පොලිසිය සඳහන් කළේ.

අද (14) දින මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර සැකකරුගේ පියා ඝාතනය කල බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක් වන බවත් පොලිසිය සඳහන් කළා.

+


පොළොන්නරුවේ වල්බිහිවෙන ජල ව්‍යාපෘතිය

(14.04.2025 – 17:14 +0530 – sinhala.adaderana.lk)

රුපියල් මිලියන 1200 ක් වැයකර වසර 9 ක් මුළුල්ලේ ජනතා අයිතියට පත්කිරීමට නොහැකි වූ පානීය ජල ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු මැදිරිගිරිය, නබඩවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය, මිලදී ගැනීමට සිදුව ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය, මහවැලි D කලාපයේ බීසෝපුර ප්‍රදේශයේ මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භකර ඇත්තේ 2016 වසරේදීය.

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 14 ක වෙසෙන පවුල් 7,500 කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ඉදිකිරීම් අරඹා වසර 9 ක් ගතවී ඇතත් අද වනවිටත් මෙම පානීය ජල ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට බලධාරින් අපොහොසත් වී තිබේ.

ව්‍යාපෘතිය වෙනුවෙන් රැගෙන ආ නල මාර්ග අයිනේ ගොඩගසා තිබෙන ආකාරය අදටත් දැකිය හැකිය.

එමෙන්ම දැනටමත් ඉදිකර අවසන් විශාල ජල ටැංකිය සහ ගොඩනැගිලි මේ වනවිට වල් බිහිවී වීනාශ වෙමින් පවතියි.

මෙම පානීය ජල ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් 2022 වසරේදී පිරිපහදු කළ ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණද, එයද මේ වනවිට වනඅලි විනාශ කර තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට පානීය ජලය සපයා ගැනීමට සිදුව ඇත්තේ වැව්වලින්ය.

නිවාස ඉදිරිපිට ජල ටැංකි ලබාදී ඒවාට ජලය පිරවීමට ‘ජාතික ජල සම්පාදන මණ්ඩලය’ සහ ‘මහවැලිය’ එක්ව පියවර ගත්තද එම කටයුත්තද අඛණ්ඩව ප්‍රමාණවත් පරිදි සිදුනොවන බව ප්‍රදේශවාසීන් පවසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *