ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුමක් ගැන ජන අරගල සන්ධානයෙන් අනාවරණයක්

ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුමක් ගැන ජන අරගල සන්ධානයෙන් අනාවරණයක්


ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුමක් ගැන ජන අරගල සන්ධානයෙන් අනාවරණයක්

(30.03.2025 – 20:35 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන 04 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදි වන බව ජන අරගල සන්ධානය පවසනවා.

ඔවුන් අවධාරණය කරන්නේ චීනයේ වර්ධනය වන යුද බලයට ප්‍රතිබලයක් ගොඩනැගීමේ අරමුණ සහිතව ඉන්දියාව උපක්‍රමශීලිව මෙම ගිවිසුම අත්සන් කරන බවයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ මේ බව සදහන් කළා ෴


රාත්‍රියට අඳුරේ ගිලෙන නව ගාලු පාරේ කිලෝමීටර 6 ක්

(30.03.2025 – 21:40 +0530 – sinhala.adaderana.lk)

පානදුර, අලුත් පාලම සිට මොරටුව දෙසට කිලෝමීටර හයක (6) පමණ ප්‍රදේශය රාත්‍රි කාලයේ දැඩි අඳුරේ පැවතීමෙන් ජනතාව විශාල අවදානමකට මුහුණදෙමින් සිටියි.

ගැටලුව මතුව ඇත්තේ 2021 වසරේ විදුලි අර්බුදය මැද ගලවා දැමූ එම මාර්ගයේ විදුලි පහන් යළි පිළිසකර නොකිරීම හේතුවෙනි.

මේ තත්ත්වය පවතින්නේ පානදුර අලුත් පාලම ප්‍රදේශයේ සිට මොරටුව නව නගරය දක්වා දිවෙන නව ගාලු පාරේය.

අතිශය ජනාකීර්ණ මෙම මාර්ගයේ රාත්‍රී කාලයේදීත් විශාල රථවාහන සංඛ්‍යාවක් ගමන් කරයි.

තත්ත්වය එසේ වද්දී 2021 වසරේ සිට මෙතෙක් වසර 4 කට අධික කාලයක් මෙම මාර්ගයේ කිලෝමීටර 6 ක පමණ මෙම කොටස පවතින්නේ දැඩි අන්ධකාරයකය.

මාර්ගය දෙපස පදික වෙළෙඳුන්ට මෙන්ම මාර්ගයේ ගමන් කරන ජනතාවට මේ හේතුවෙන් විශාල අවදානමකට මුහුණදීමට සිදුව තිබේ.

මේ හේතුවෙන් ජනතාවට හුළුඅතු දල්වාගෙන මහමඟ ගමන් කිරිමට සිදුව ඇත.

මාර්ගයේ අඳුරේ පවතින මෝදර, එගොඩ උයන, කටුකුරුන්ද, කොරළවැල්ල සහ මොරටුවැල්ල ආශ්‍රිත ප්‍රදේශ තුළ රාත්‍රියේ රිය අනතුරුවලද වර්ධනයක් දැකිය හැකිය.

ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී අදාළ අංශ දැනුම්වත් කළත් මේ වනතෙක් විසඳුම් ලබාදී නැත.

අප මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විදුලි පහන් යළි සකස්කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් නොවීම හේතුවෙන් එය ප්‍රමාද වූ බවය.

දැනට එම විදුලි පහන් පේනු ලුණු බැඳී අබලන්ව ඇති බවත් ඒවා පිළිසකර කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴


නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් කුඹුරකින් හමුවෙයි

(30.03.2025 – 18:24 +0530 – sinhala.adaderana.lk)

ගම්පොළ, කුරුදුවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් වගා නොකරන ලද කුඹුරක වැටී තිබීයදී සොයාගෙන තිබේ.

47 හැවිරිදි සිව් දරු පියෙකු වන එම පුද්ගලයා, රැය පුරා නිවසින් අතුරුදන්ව සිට ඇත.

මරණය පිළිබඳ විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ‘සතුන් දඩයම් කිරීමට අටවා තිබූ අනවසර විදුලි රැහැනක පැටලී’ මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.

මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ කුරුඳුවත්ත, පැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්ය.

වල් ඌරන් දඩයම් කිරීම සඳහා එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විදුලි කම්බි යොදා මෙම උගුල අටවා ඇති අතර, ඒ සඳහා ඔහු අසල නිවසකින් විදුලිය ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා සිය නිවසට බීමට ගන්නා ජලය මෙම පුරන් වූ කුඹුරු ප්‍රදේශයෙන් ලබා ගන්නා අතර, එම ජලය පරික්ෂා කිරීමට යාමේදී ඔහුට විදුලිසර වදින්නට ඇතැයි පොලීසිය සැකකරයි.

ගම්පොළ, කුරුදුවත්ත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත ෴


දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළට

(30.03.2025 – 14:02 +0530 – sinhala.adaderana.lk)

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් (100%) ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

අප්‍රේල් මස පළමු වන දින (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව එකතු කල් බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000 ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10 ක මුද්දර ගාස්තුවක් අයකිරීම මේ වනවිට සිදුවෙයි.

අදාළ මුද්දර ගාස්තුව අප්‍රේල් මස 01 වන දින රුපියල් 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වනවිට නිකුත් කර තිබේ.

2006 වර්ෂයෙන් පසුව මෙම මුද්දර ගාස්තුව සංශෝධනය වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

කෙසේවෙතත් පාරිභෝගික ණය පනතේ එළැඹ ඇති සින්නක්කර ගිවිසුමක් යටතේ ගෙවිය යුතු මුළු වටිනාකමෙහි සෑම රුපියල් 1,000 ක් හෝ ඉන් කොටසක් සඳහා අය කරනු ලබන මුද්දර ගාස්තුව සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව රුපියල් දහයක් (10) වන අදාළ මුද්දර ගාස්තුව අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය ෴


‘සෝලා විදුලි ඒකාධිකාරය’ මහ සමාගම්වලට… වහල මත සෝලා කැපේ.. අලුත් චක‍්‍රලේඛයක් එයි..

(30.03.2025 – 15:00 +0530 – lankacnews.com)

තම වහළ මත සවිකළ සූර්ය පැනල මගින් සාමාන්‍ය ජනතාවට ජාතික පද්ධතියට විදුලිය ලබාදීම අවම කර මහා පරිමාණ සමාගම් වලින් සූර්ය බල විදුලියත් මිලදී ගැනීමට ‘විදුලි බල මණ්ඩලය’ කටයුතු කරමින් ඇතැයි සැක පහළ වන බව විදුලි බල විශේෂඥයෝ පවසති.

‘ලංකා විදුලිබල මණ්ඩලයේ’ 2025/DCC/COM05 දරන ඉංග්‍රීසියෙන් පමණක් නිකුත් කළ චක්‍ර ලේඛයක් මගින් එම සැකය තහවුරු වෙමින් පවතින බව ඔවුන්ගේ අදහසයි.

මෙම සැකය මතුවන්නේ රජය සතු ජල විදුලි බලාගර වලින් ලබා ගැනීම විදුලිය වෙනුවට පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට ‘විදුලි බල මණ්ඩලයේ’ ඉහළ නිලධාරීන් වැඩි කැමැත්තක් දක්වන බවට චෝදනාවක් පසුගිය කාලය එල්ලවෙමින් වටපිටාවකය.

පසුගිය කාලය පුරා ‘ලංකා විදුලි බල මණ්ඩලය’ මගින් ‘නෙට් මීටරින්’ ක්‍රම වේදය යටතේ තමන්ගේ වහල මතසවිකරන කිලෝ වොට් 40 දක්වා ‘සූර්ය පැනල’ මගින් විදුලි බල මණ්ඩලයට තම අතිරේක විදුලි බලය විකිණීමට සාමාන්‍ය ජනතාවට හැකියාව ලබා දී තිබුණි.

ඒ අනුව මේ වන විට එවැනි ‘සූර්ය පැනල’ සවිකළ නිවාස ලක්ෂයක් පමණ ඇති බව කියැවේ. එම නිවාස වලින් 2024 අවසන් වන විට ‘ජාතික පද්ධතිය’ට මෙගා වොට් 600 ක් පමණ එකතු කර තිබුණි.

2030 වන විට ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් ‘පුනර්ජනනීය බල ශක්තිය’ යටතේ නිපදවීමේ සැලැස් මට අනුව මෙම සූර්ය බල ශක්ති උත්පාදනය සාමාන්‍ය ජනතාවගෙන් ඉවත් කර මහා පරිමාණ සමාගම් වෙත මෙම ඒකාධිකාරිය පැවරීමේ උත්සාහයක් බව විශේෂඥයෝ පවසති.

එහි තවත් පියවරක් ලෙස පසුගිය මාර්තු මුල් සතියේ ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවකින් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ වගා කරන ඉඩමක් මුඩු බිමක් ලෙස නම්කර සිංගප්පූරු සමාග මකට පැවරීමට අනුමත කර ඇත. එමෙන්ම අප්‍රේල් 05 වනදා ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාම්පූර් හි මෙගා වොට් 50 ක විදුලි බලාගාරයක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරමේ සූදානමක් ද පවතී.


අම්බලන්තොට වෙඩි තැබීමක්

(31.03.2025 – 06:48 +0530 – hirunews.lk/sinhala)

අද (31) අලු‍යම අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අද (31) අලුයම 02:00 ත් 02:25 ත් අතර කාලය තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අවුරුදු 30 ක පුද්ගලයෙක් තුවාල ලබා රෝගල්ගතකර තිබෙනවා.

තුවාලකරු හම්බන්තොට මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴

+

+


පේරාදෙණියේ බිහිසුණු අනතුරක් – දෙදෙනෙකුට (2) දිවි අහිමි වෙයි

(31.03.2025 – 07:13 +0530 – hirunews.lk/sinhala)

අද (31) අලුයම පේරාදෙණිය – ඒදඬුවාව ප්‍රදේශයෙදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රීරෝද රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

ඔවුන් මේ වන විට පේරාදෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


ජර්මනියෙන් අහසට ගිය රොකට්ටුවක් තත්පර 40 කින් පුපුරා ගිය හැටි (30.03.2025)

+


උත්සව සමයේ ආහාර මිලදී ගැනීම ප්‍රවේශමෙන්

(31.03.2025 – 10:23 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම, භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු පවතීනම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

ආහාර ද්‍රව්‍ය මිලට ගනීමේදී ගඳ, සුවඳ, පැහැය සහ සාමාන්‍ය ස්වභාවය පිළිබඳව විම්සිලිමත් වන ලෙසත් ඇසුරුම් කරන ලද ද්‍රව්‍ය මිලදී ගැනීමේදී පැකට්ටුව, ලේබලය හා එහි වෙනස්කම් ගැන අවධානය යොමුකරන ලෙසයි එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴


ජාවාරම්කාරියගේ යතුරුපැදියෙන් කොස්තාපල් හප්පලා

(31.03.2025 – 11:05 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී මත්පැන් යතුරුපැදියකින් ප්‍රවාහනයේ නිරත කාන්තාවක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු සැකකාරිය විසින් යතුරුපැදියේ හප්පා පලාගිය සිදුවීමක් වාර්තා වනවා.

සිද්ධියෙන් කොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කන්දකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකක්.

තුවාල ලැබූ කොස්තාපල්වරයා කන්දකැටය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකාර කාන්තාව තවත් කාන්තාවක් සමඟ යතුරුපැදියෙන් මත්පැන් ප්‍රවාහනය කරන බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව, මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරියේ නිරත පොලිස් කණ්ඩායමක් ඊයේ (30) රාත්‍රියේ අදාල යතුරුපැදිය නැවැත්වීමට අණ කර තිබෙනවා.

එසේ කොස්තාපල්වරයා යතුරුපැදියට නවතින ලෙසට සංඥා කළද, සැකකාරිය ඒ බව නොතකා පොලිස් කොස්තාපල්වරයාගේ ඇඟේ යතුරුපැදිය හප්පා තුවාල සිදු කොට රාජකාරියට බාධා කරමින් පලා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

සැකකාරියන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴


කිලිනොච්චිය ධර්මපුරම් පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

(31.03.2025 – lankadeepa.lk)

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදුන් එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.

පහරදීම් සිද්ධියක් සහ පවුල් ආරවුල් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි තමන්ට වාසිදායක ලෙස කඩිනමින් විසදා දෙන ලෙසට කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන්. චතුරංග මහතා වෙත බලපෑම් කරමින් සැකකාර පුද්ගලයා පන්දහසෙ (5000) මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක්තුළ රුපියල් පනස්දහසක (50,000) මුදල ස්ථානාධිපතිවරයාගෙ මේසය මත තබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු හට විදේශගතවීමට අවශ්‍ය බැවින් පැමිණිල්ල තමන්ට වාසිදායක ලෙස විසදා දෙන ලෙසට පොලිස් නිලධාරීන් වෙත බලකර ඇති බවත් මුදල් ලබාදෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ධර්මපුරම් පොලිසිය පැවසීය ෴


මගියාගේ පසුම්බියට විද්ද සැරයන් අත්අඩංගුවට

(31.03.2025 – lankadeepa.lk)

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි.

මෙම සැරයන්වරයා රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී, බස් නැවතුමේ රැඳී සිටි ඉහත පුද්ගලයා ගෙන් සැකපිට ප්‍රශ්න කර පරීක්ෂාවට ලක් කර ඇත.

පොලිස් සැරයන් විසින් මගියා පරීක්ෂාවට ලක් කර පිටව ගිය පසු, සොයා බැලීමේදී මගියාගේ කමිස සාක්කුවෙ ඇති ඉහත මුදල සොරාගෙන ගොස් ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබේ ෴


දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

(31.03.2025 – lankadeepa.lk)

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන ‘උඩරට මැණිකේ දුම්රියේ’ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර සංචාරක පොලීසියට බාරදී තිබේ.

මෙම පුද්ගලයා එම ගමනාන්තය සඳහා රුපියල් 1,200 කට මිලදී ගන්නා ප්‍රවේශපත්‍රයක් විදේශීය සංචාරකයන්ට රුපියල් 13,000 ක මුදලකට අලෙවි කොට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මාස 05 ක කාලයක් තුළදී අවස්ථා 92 කදී ඔහුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගෙන තිබෙන බවත්, ඊට අමතරව වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්ද භාවිතා කරමින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදීගෙන ඇති බවත් ය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *