අධිවේගයේ රිය අනතුරින් මියගිය කථීකාචාර්යවරයාගේ බිරිඳත් මියයයි

අධිවේගයේ රිය අනතුරින් මියගිය කථීකාචාර්යවරයාගේ බිරිඳත් මියයයි


අධිවේගයේ රිය අනතුරින් මියගිය කථීකාචාර්යවරයාගේ බිරිඳත් මියයයි

(26.03.2025 – 10:19 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්. ඩී. ගුණේන්ද්‍ර ගයන්තගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (26) දිනයේ මියගිය බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ බිරිඳගේ සහෝදරයා ද අනතුරෙන් මීට පෙර මියගියා.

ඒ අනුව, මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තුන (3) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මීරිගම දෙසට ධාවනය වූ මෙම පිරිස රැගත් වෑන් රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ, පසුගිය 18 වැනිදායි.

සිද්ධියෙන් ආචාර්යවරයාගේ දරුවන් තිදෙනා (3) ද තුවාල ලැබී අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා ෴


ගායන ශිල්පි ඉරාජ් වීරරත්න CIDයට

(26.03.2025 – 13:18 +0530 – hirunews.lk/sinhala)

‘ගායන ශිල්පි ඉරාජ් වීරරත්න’ අද (26) පෙරවරුවේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය’ට කැඳවා තිබුණා.

‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අරමුදල් රැස්කිරීමට දායකත්වය ලබාදෙන්නැයි සඳහන් කරමින් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ පටු අරමුණු සහිතව විවිධ ව්‍යාජ ප්‍රචාරණ දියත් කරමින් සිටින බව නිරීක්ෂණය වී තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාව ප්‍රකාශ කළේ සිරි දළදා වන්දනාව සඳහා අරමුදල් රැස්කිරීමට දායකත්වය ලබාදෙන්නැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දැන්වීම් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවත්, එවන් පසුබිමක ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ජනප්‍රිය ගායන ශිල්පි ඉරාජ් වීරරත්න අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

+

+

+


ශුක්‍රාණු ධාතු බැංකුවට දැනට පරිත්‍යාගශීලීන් 40 ක් ලියාපදිංචි වෙලා

(26.03.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala)

‘කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ’ ආරම්භ කෙරුණු ‘ශුක්‍රාණු ධාතු බැංකුව’ට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන ‘හිරු ප්‍රවෘත්ති’ වෙත පැවසුවා.

මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත්, ඔවුන්ට පිළිවෙලින් ඒ සඳහා අදාල දින ලබා දෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

මෙරටදී ප්‍රථම වතාවට මෙවැනි ‘ශුක්‍රාණු ධාතු බැංකුවක්’ ආරම්භ කෙරුණේ ඉකුත් දෙසම්බර් 04 වැනිදා බවයි ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දක්වමින් වෛද්‍ය අජිත් දන්තනාරායන ප්‍රකාශ කළේ.

මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණයි.

ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා ඉදිරිපත් වන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතුයි.

මේ සඳහා දායක වීමට කැමතිනම් 011 267 8999 / 011 267 2216 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකියි ෴


ජීව උණ්ඩයක් ජනපති ලේකම් කාර්යාලයට ගෙනගිය සෙබළා රඳවා ප්‍රශ්න කරයි

(26.03.2025 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකතන ක්‍රියාකරුවෙක් ලෙස සේවය කරමින් සිටියදී T-56 ජීව උණ්ඩයක් සන්තකයේ තබාගත් බව කියන යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු පැය 48 ක් රඳවා ප්‍රශ්න කෙරෙනවා.

ගමන් බෑගයක් ජීව උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත්කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා යුද හමුදා සංඥා බළකායට අනුක්ත අයයෙක් බව‍යි පොලිසිය පවසන්නේ.

එම සැකකාර සෙබළා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුක්තව රාජකාරී යොදවා සිටින අයකු වන අතර ඉකුත් 20 වෙනි දින නිවාඩු ලබා සිට තිබෙනවා.

එහිදී ඔහු පදිංචි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසට ගොස් ආපසු රාජකාරී සඳහා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලට ඇතුළු වීමේ මහජන පිවිසුම අසලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන් සෙබළාගේ ගමන් බෑගය ස්කෑන් යන්ත්‍රය යොදා පරීක්ෂා කිරීමේදීයි මෙම ටි-56 උණ්ඩය හමුව ඇත්තේ.

ඒ බව කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත අද 26 දැනුම් දුන්නා.

ලබන 28 සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළාය.

සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කරන අවස්ථාවේ ස්කෑන් යන්ත්‍රය හරහා මේ බව අනාවරණය කරගෙන සැකකරු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලීසියට බාර දුන් බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ෴


‘මිශ්‍ර ලුණුවල මිල’ අධික ලෙස ඉහළ යාමෙන් කරවල නිෂ්පාදනයට කණකොකා හඬන ලකුණු

(26.03.2025 – 15:46 +0530 – hirunews.lk/sinhala)

කරවල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ‘මිශ්‍ර ලුණුවල මිල ගණන්’ අධික ලෙස ඉහළ යාම සහ ලුණු හිඟවීම හමුවේ මීගමුවේ කරවල නිෂ්පාදකයින් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

පසුගිය වසරේ රුපියල් 1,600 ක මිලකට අලෙවි වූ මිශ්‍ර ලුණු කිලෝ 50 ක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 7,000 ත් 8,000 ත් අතර අධික මිලකටයි.

මේ හේතුවෙන් කරවල නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මීගමුව ප්‍රදේශය ධීවර ක්ෂේත්‍රයට සේම කරවල නිෂ්පාදනයටත් එක සේ ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක්.

එම ප්‍රදේශයේ කරවල නිෂ්පාදකයින් 2,000 ක් පමණ සිටින අතර ඔවුන් යටතේ පුද්ගලයින් 7000 ක් පමණ වක්‍ර රැකියාවල ද නිරත වනවා.

කරවල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ‘මිශ්‍ර ලුණු’ හිඟවීම සහ ඒවායෙහි මිල අධික ලෙස ඉහළ යාම හමුවේ කරවල නිෂ්පාදනයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

පසුගිය වසරේ රුපියල් 1,500 ත් 1,600 ත් අතර මිලකට අලෙවි වූ මිශ්‍ර ලුණු කිලෝ 50 ක ගෝනියක් මේ වන විට මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 7,000 ත් 8,000 ත් අතර අධික මුදලකටයි.

සිය ගැටලුවලට කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි මීගමුවේ කරවල නිෂ්පාදකයින් පවසන්නේ.

+

මේ අතර සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත් කරන ලද කල් ඉකුත් වූ ලුනු වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදකයෙකු විසින් මිලදී ගෙන නැවත අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පසුගියදා වැටලීමක් සිදු කළා.

ඔහු අතරමැදියෙකු යොදා ගනිමින් කල් ඉකුත් වූ ලුනු පිටකොටුව ප්‍රෙද්ශයේ වෙනත් වෙළෙඳසැලකට අලෙවි කළ බව එහිදි අනාවරණ වීමෙන් පසු එම වෙළඳසැලද පාරිභෝගික නිලධාරීන්ගේ වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කෙරුණා.

ඒ වනවිටත් වෙලෙඳසැල් හිමියා එම ලුනු පැකට් කිහිපයක් පාරිභෝගිකයින් වෙත අලෙවි කර තිබුණා.

ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් අතර අධිකරණය හමුවේ වරද පිළිගත් සත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000 ක දඩයක් සහ අනෙක් චූදිතයින් දෙදෙනාට රුපියල් 75,000 බැගින් දඩ නියම කිරීමටයි නියෝග කෙරුණේ.

+

මේ අතර තහනම් පොලිතීන් හා ප්ලාස්ටික් වර්ග අලෙවි කරන වෙළෙඳසැල් සොයා මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා තංගල්ල පොලිසිය එක්ව ඊයේ (25) තංගල්ල නගරයේ ද වැටලීමක් ක්‍රියාත්මක කළා.

එහිදී වෙළෙඳසැල් 46 ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් වෙළෙඳසැල් 13 කට නඩු පවරා තිබෙනවා.

මේ අතර වෙළෙඳපොළේ පවතින පොල් හිඟය හේතුවෙන් අපනයන කර්මාන්ත සඳහා පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල් කිරි පිටි ආනයනයට අවසර ලබා දී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා ෴


සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරත්වය විදේශ ඇමති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට දන්වයි

(26.03.2025 – 16:20 +0530 – hirunews.lk/sinhala)

සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ඒකපාර්ශවීය පියවරක් බවත්, එය දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිඳු සහයක් නොදක්වන බව රජයේ ස්ථාවරය බවත්, විදේශ ඇමති මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අද (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදීයි.

එම නිවේදනයේ සඳහන් වූ කරුණු පහතින් :

‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක’ යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවු දෙනකුට (4) සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් (3) ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා වල හිටපු ප්‍රධානීහු වෙති.

‘වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේයැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්’ සම්බන්ධයෙන් ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.

අදාල පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටු වීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒක පාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිදියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ ෴


රුපියල් ලක්ෂ 16 ක් කොල්ලකෑ සිද්ධියේ කොස්තාපල්වරු දෙන්නා ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

(26.03.2025 – 16:37 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයකු පැහැරගෙන ලක්ෂ 16 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනූ ලැබූ වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු (2) ඇතුළු සැකකරුවන් හතර දෙනකු (4) රඳවාගෙන ප්‍රශ්න කරන බව කෙසෙල්වත්ත පොලිසිය අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවට පමුණුවනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් හතර දෙනා (4) පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

ඒ අනුව අදාල සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා ෴


මාපලගමදී වතු කළමණාකරුවෙකු පුටුවක ගැට ගසා ගිනි තබයි

(26.03.2025 – 19:22 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – මාපලගම කුඩමලාන වතුයායේදී වතු කළමාණාකරුවෙකු පුටුවක බැඳ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා.

පොලිසිය සදහන් කළේ අදාළ වතුයායේ පැරණි තේ කර්මාන්තශාලාවකට ගෙනවිත් කළමනාකරුට මෙලෙස ගිනි තබා ඇති බවයි.

පසුව ඔහුගේ කෑ ගැසීම ඇසී වතුයායේ සේවය කරන පුද්ගලයින් පැමිණ ගින්න නිවා අදාළ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ කළමනාකරුගේ මුහුණට සහ ගෙල ප්‍රදේශයට දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි.

ගිනි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


එගොඩ උයන දුම්රිය ස්ථානයේ දුම්රිය මගී ගුවන් පාලම කඩාවැටේ

(26.03.2025 – 22:31 +0530 – hirunews.lk/sinhala)

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිර වී තිබෙනවා.

මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පාළම කඩා වැටීමෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර දුම්රිය මාර්ගය මතට සුන්බුන් පතිතවී තිබෙනවා.

දුම්රිය මාර්ගයට පතිතවී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් කැඳවා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *