දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි

දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි


දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි

(25.03.2025 – 21:43 +0530 – hirunews.lk/sinhala)

මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු (2) ඉලක්ක කර සිදුකල වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැළසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

අදාළ සැකකටයුතු මෝටර් රථය ගන්දර කැලෑබද ප්‍රදේශයක තිබීයදී ගන්දර පොලිසිය විසින් සොයාගෙන තිබුණේ පසුගිය 05 වෙනිදායි.

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්න මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර තිබු‍ණේ පසුගිය 21 වැනිදා රාත්‍රියේදීයී.

වෙඩි ප්‍රහාරයෙන් 28 හැවිරිදි ‘යොමේෂ් නදීෂාන්’ හා 29 හැවිරිදි ‘පසිඳු තාරුක’ නම් තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුනා.

එම තරුණයින් දෙදෙනා (2) වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ මිතුරෙකුගේ නිවසේ තිබූ සාදයකට සහභාගි වී ආපසු යමින් සිටියදීයි.

අදාළ සාදයට ‘පසිඳු තාරුක’ තනිව පැමිණ ඇති අතර සාදය අවසන් වී ඔහු නිවස බලා යන විට ‘යොමේෂ් නදීෂාන්’ව ද රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් (1) ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු (4) අත්අඩංගුවට ගැනුණු අතර, මේ වනවිට ඔවුන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

මෙම වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි වෑන් රථය සම්බන්ධයෙන්ද මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

එම වෑන් රථයට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධයැයි සැකකෙරෙන තවත් සැකකරුවෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු 34 හැවිරිදි දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු මේ මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අදාළ වෑන් රථයේ ප්‍රසිද්ධ දුරකථන සේවා සමාගමක ස්ටිකර් අලවා තිබූ අතර, ඊට සමාන වෑන් රථයක් මියගිය තරුණයින් දෙදෙනා (2) මීට පෙර සහභාගි වූ මත්පැන් සාදයක දර්ශනවලද ඇතුළත් වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් (1) අයෙක් මියගිය තරුණයින් දෙදෙනාගේ (2) සමීපතනයෙක් වන අතර, එම සැකකරු අදාළ වෑන් රථයේ අලවා තිබූ ස්ටිකර් වලට අදාල දුරකතන සේවා සමාගමේ සේවකයෙකු බවටද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මේ අතර ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් ගන්දර පොලිසිය විසින් පසුගිය 05 වෙනිදා සොයාගත් අතර, අදාල මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවත් පොලිසිය සැක පළ කරනවා.

අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැය වෙනස් කර වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙම මෝටර් රථය සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

+

+


විදුලිබල ඇමතිගේ ගමේ දින හතරක් (4) තිස්සේ විදුලිය නෑ

(25.03.2025 – 18:50 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනෙක සන්ධ්‍යාවේ හමා ගිය සුළඟක් හේතුවෙන් මහා ඉංගිරිය අවට ප්‍රදේශ සඳහා විදුලිය විසන්ධි වී ඇති අතර, නැවත යථා තත්ත්වයට පත් කිරිමට තවමත් නොහැකි වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා.

රයිගම් වත්ත ප්‍රදේශය ආශ්‍රිතව හමා ගිය දැඩි සුළඟත් සමග ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් කණු තුනක් (3) බිඳවැටීම ඇති අතර, දින හතරක් (4) තිස්සේ විදුලිය විසන්ධි වී ඇති බවත්, විදුලිබල මණ්ඩල සේවකයින් දින හතරක් (4) තිස්සේ විදුලි කණු තුන (3) සිටවමින් සිටින බවට‍යි ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබන්නේ.

එම බිඳවැටීම හේතුවෙන් ඉංගිරිය – කොළඹ පාර හදපාන්ගොඩ දෙසට සහ මහා ඉංගිරිය, රයිගම් වත්ත, මැරේකන්ද, කුට්ටියාවත්ත, රයිගම් ජනපදය, ඉමගිර, රඹුක්කනගම ඇතුළු ප්‍රදේශ රැසකට මේ දක්වා විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට නිවාස තුළ මෙම දින හතර (4) තිස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවීම පවා දුෂ්කර වී ඇති අතර, ස්වයං රැකියාවල නිරත විශාල පිරිසකට මෙම දින හතර (4) තුළ තම රැකියාව කර ගැනීමටද නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.

එමෙන්ම අලුත් අවුරුදු සමය ආසන්න වීම නිසා විශාල බඩු තොග විකිණීම සඳහා වෙළඳසැල් වෙත ගෙනවිත් ඇති බවත්, විදුලිය ඇනහිටීමෙන් ශීතකළ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකටද පත්ව ඇතැයි ව්‍යාපාරිකයින් චෝදනා කරනවා.

+


අලුත් අවුරුද්දට ‘සහල් මාෆියාවක්’

(25.03.2025 – 19:23 +0530 – hirunews.lk/sinhala)

සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධයෙන් දැඩි ‘වෙළඳ මාෆියාවක්’ පවතින බව ‘සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ’ සභාපති හර්ශන රුක්ෂාන් පවසනවා.

අලුත් අවුරුදු සමය ඉදිරියේ ඔවුන් වෙළඳපොලේ දැඩි සහල් හිගයක් මවා පෙන්වන බවයි ඔහු පවසන්නේ.

පාලන මිල ඉක්මවා ඇතැමුන් දැනටමත් සහල් විකිණීම සිදුකරන බවත් එම මිලත් ඉක්මවා සහල් විකිණීමේ අරමුණෙන් මෙසේ කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම මිල මාෆියාව ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නාසිගුරාන් වැනි සහල් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි ‘සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ’ සභාපතිවරයා පවසන්නේ.

මේ අනුව අවම වශයෙන් රු. 25 කින් පමණ මිල ඉහළ දැමීමට සිදුවනු අති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ‘ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ’ සභාපති ප්‍රදීප් චාල්ස් අදහස් දක්වමින් පවසන්නේ මේ ගැටලුව නිසා සහල් ආශ්‍රිත කැඳවල සිට සියලු ආහාරවල මිල ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පවතින ‘සහල් මාෆියාව’ හමුවේ ස්වයං රැකියා ලාභීන්, පාරිභෝගිකයින් ඇතුලු සියලු ජනතාව අපහසුතාවට පත්ව සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴


ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592 ක් අත්අඩංගුවට

(25.03.2025 – 20:18 +0530 – hirunews.lk/sinhala)

2024-2025 ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් (3) තුළ හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින්, අසිස්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592 කු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම චූදිතයන්ගෙන් රු. 60,29,324 ක (හැටලක්ෂ විසි නවදහස් තුන්සිය විසිහතරක) මුදලක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇති බවයි හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිළධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සිදුකල මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චූදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20-45 ත් අතර විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වන තෙක්ම මෙවැනි වැටලීම අඛණ්ඩව සිදු කරන බවයි පොලිස් අධිකාරිවරයා තවදුරටත් සඳහන් කළේ ෴


හුදෙකලා විහාරස්ථානයකින් ඇසෙන සංවේදී කතාවක්

(25.03.2025 – 21:22 +0530 – hirunews.lk/sinhala)

විහාරස්ථානයක තනිවම වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානය තුළදීම ඝාතනය කොට තිබෙනවා.

එම සිරුර අද (25) පස්වරුවේ සොයා ගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

උන්වහන්සේගේ දේහය නරක් වී තිබීම නිසා එම ඝාතනය මීට දින කිහිපයකට පෙර සිදු වන්නට ඇති බවයි එප්පාවල පොලිසිය සැක කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ එප්පාවල – කිරලෝගම, රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසූ ‘පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන හිමියන්’.

උන්වහන්සේ මෙම විහාරස්ථානයේ තනිව වැඩ වාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශ වාසීන් පවසනවා.

පිට විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් අද (25) පස්වරුවේ මෙම අසපුවට පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක තිබෙනවා.

ඒ පිළිබඳව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක දැනුම්වත් කර අනතුරුව එප්පාවල පොලීසියට පැමිණිලි කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුවයි එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ.

මේ අතර ඝාතනය වූ බවට සැක විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු ලේඛන කිහිපයක් විහාරස්ථානයේ සිට කිලෝමීටර 02 ක් පමණ දුරින් පිහිටි ස්ථානයක් තිබී හමුව තිබෙනවා.

ඒ තලාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල විසි කර දමා තිබියදී බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර ස්වාමීන් වහන්සේට අයත් විහාරස්ථානයේ තිබූ ත්‍රී රෝද රථය ද අස්ථානගත ව ඇති බව පැවසෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

+


තංගල්ලේ කඩවල්වලට හිටි හැටියේ පැන්න නිලධාරීන්ගේ ඇස් මවිත වුනු සිද්ධිය | මේවා නීතියට අනුකූල නැහැනේ (25.03.2025)

+


ජනාධිපතිතුමාටම තමයි මේක කියන්නේ…|මිහින්තලේ හිමි හදිස්සියේම මාධ්‍ය හමුවක් කැඳවා අනාවරණයක් සිදු කරයි (25.03.2025)

+


යාපනයේ තිස්ස විහාරයේ ආන්දෝලනාත්මක සිද්ධිය | ඇමති සුනිල් ඊයේ උත්සවයට නොගියේ ඇයි? (25.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *